වර්ෂ 2018 ක්වූ  ජනවාරි 11 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

ප්‍රතිචාර සඳහා නවතම අංකයක් 0728384283

උසස් නිර්මාණ ගෙන එන ඉනෝකා සත්‍යාංගනී

කවදත් උසස් රස වින්දනයක් සහිත සම්භාව්‍ය ගණයේ සිනමා නිර්මාණ අධ්‍යක්ෂණය කළ ඔබගේ අතින් හැඩ වෙන නවතම සිනමා සිත්තමක් නව වසරේදී රිදී තිරයේ දැක ගැනීමට කැමැත්තෙන් සිටිමි.

චන්දන වන්නිආරච්චි
දෙහිඅත්තකණ්ඩිය


හද බැඳ ගත් හාරකෝටිය

ස්වර්ණවාහිනි නාලිකාව විකාශය කෙරෙන හාරකෝටිය ටෙලි නිර්මාණයට තේමා වී ඇත්තේ වර්තමානයේ රටේ සිදුවන සිදුවීම්ය. ප්‍රේක්ෂක සිත්වලට හද බැඳ ගත් නාට්‍යයක්. ඉදිරියටත් එවැනි නිර්මාණ ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටිමි.

එච්. එල්. තිලකසිරි ද සිල්වා
මරදානවත්ත
මීටියාගොඩ


ක්ලැරිස් ද සිල්වා නැවතත් රංගනයට එන්න

පැරණි ජනප්‍රිය චිත්‍රපටයක් වූ මාතලන් සහ අහංකාර ස්ත්‍රී යන චිත්‍රපටවලින් නපුරු සහ කපටි චරිත රංගනයන් ගෙන් මනා ලෙස රඟ දක්වා ජනප්‍රිය නමක් ලබා ඇති ක්ලැරිස් ද සිල්වාගේ ඒ අසීමිත රංගනයන් නැවතත් දකින්න චිත්‍රපට හෝ ටෙලි නිර්මාණයකට දායක ‍වන මෙන් ඉල්ලා සිටිමි.

තිලකරත්න විල්වල
මැණිකේ විල්වල
තටාකය පාර
කෑගල්ල


හාස්‍යය ගෙනෙන එල්. එම්. පුත් චතුර

හැඩ රුව ද කතාබහ ද අංග ලක්ෂණ ද චරිත නිරූපණය ද පිය උරුමයෙන් ලැබූ එල්. එම් පෙරේරාගේ පුතු චතුර පෙරේරා හාස්‍ය රසයෙන් යුතු චරිතයන්හි තම ප්‍රතිභාව මැනවින් නිරූපණය කරයි. දැන් ප්‍රදර්ශනය කෙරෙන ඩොක්ටර් නවරියන් චිත්‍රපටයේ ද ඔහුගේ රංගනය අගයමි. එසේම දුටු පමණින් අප සිනහ ගැන්වීමට චතුර සමත් ය. චතුර ඔබේ ඉදිරි ගමනට හෘදයාංගම සුභාශිංසන පුදමි.

ඩඩ්ලි ගෝමස්
කටුබැද්ද
මොරටුව


දෙවිමිණි රණවීරට

ස්වාධීන රූපවාහිනි නාලිකාවේ විකාශය වූ සසර සේයා නාට්‍යය තුලින් ඔබගේ රංගනයන් දැකීම විශාල සතුටකි. කුරුළු පිහාටු ඔස්සේ ද කළ රංගනය වෙනුවෙන් වූ කැපවීම ඉහළයි. ලද සෑම චරිතයක්ම එකිනෙකට වෙනස් අයුරින් නිරූපණයට හැකිවීම ඔබ ලද ජයග්‍රහණයකි. අනාගතයේදී පුංචි තිරයේ සේම රිදි තිරයෙන්ද දස්කම් දක්වන්න අවස්ථාව ලැබේවා කියා පතමි.

මිල්ටන් ප්‍රනාන්දු
නව එක්සත් මාවත
මුදුකටුව


පුංචි තිරේ - රිදී තිරේ ප්‍රතිභා දැක්වූ සේමිණි

සේමිණි ඉද්දමල්ගොඩ ලාංකේය වේදිකාව, පුංචි තිරය වගේම රිදී තිරයේ එක ලෙස ප්‍රතිභාව දැක් වූ තරුවකි. ශ්‍රියාණි අමරසේනගේ ඉරබටු තරුව ටෙලි සිත්තමෙන් කලා ලොවට පා තැබූ ඇය නේත්‍රා මංගල්‍යය, වරා මල්, කළුවර ගෙදර, ඉතින් මට අවසරයි වැනි ටෙලි නිර්මාණවල කළ රැඟුම් සහ යර්ස් බොස් නාට්‍ය මාලාවේ රෝෂිණි ලෙසින් කළ රංගනය ද රෝස වසන්තය, යකඩ පිහාටු, සුදු හංසි, දකින දකින මල්, අසෙනි වර්ෂා වැනි සිනමා නිර්මාණ තුළින් දැක් වූ කුසලතා ඉතාමත් සාර්ථක බව කිව යුතුය. ඉදිරියටත් විවිධ චරිත සමඟින් අප හමුවට එන්න වාසනාව උදා වේවායි පතමි.

ලියනගේ සෝමරත්න ද සිල්වා
පියසේන විලා
මරදාන
අහුන්ගල්ල


මතකයේ රැඳී ඩී. ආර්.

ඩී. ආර්. නානායක්කාර ප්‍රතිභාපූර්ණ රංගනවේදියා සිරිසේන විමලවීරයන් අධ්‍යක්ෂණය කළ අම්මා වේදිකා නාට්‍ය ඔස්සේ කලා ලොවට පිවිස විමලවීරයන්ගේ අම්මා චිත්‍රපටයෙන් සිනමාවට ද පිවිසෙමින් රේඛාව, කුරුළු බැද්ද, පරසතු මල්, සුදු දුව, ඇතුළු චිත්‍රපට රැසක කළ චරිත නිරූපණයන් අපූරුය. 1963 වසරේ සිකුරු තරුව සහ 1968 වසරේ බයිසිකල් හොරා චිත්‍රපටයේ රංගනයන් උදෙසා සරසවිය සම්මානයෙන්ද පිදුම් ලද මේ සුවිශේෂි රංගන ශිල්පියා අප අතැර ගොස් ජනවාරි 04 වැනිදාට වසර 29ක් සපිරුණි. නමුත් ඔහුගේ රංගනයන් අප මතකයේ සදා රැව් දෙනු ඇත.

දයාරත්න ගනේගොඩ
කැලණිය


ආදරණීය ජීවරාණි

එදා 70 දශකයේ තිරගත වුණු සෙනෙහස, බයිසිකල් හොරා, රන්මුතු දූව, ගොපලු හඬ, සිඟිති සුරතල් යන සාර්ථක සිනමාපටවල ඔබ මැවූ චරිත එම රංගන විලාශයන් අප මතකයේ තවමත් රැඳී පවතී. ඔබගේ අඩි පාරේ පැමිණි ජානකී, මැණික්, ශිරාණි සොයුරියන් ද ආදරයෙන් සමරමි. සෙනෙහස සිනමාපටයේ අම්මා සහ දියණිය ලෙසින් නැගණිය ජානකී සමඟින් කළ රංගනය ඉතා උසස්ය. එහි එන දුව සුජාතා ගීතය ද සුන්දරය.

එස්. ඒ. ප්‍රේමලතා
රුක්ගහතොටුපොල
බණ්ඩාරගම


එදා ගිනි සිළුව

පර්ල් කුරේ 70 දශකයේ රිදී තිරය මන්මත් කළ නිළියකි. සිත් වශී කළ රූ සපුවක් හිමි ඇය රඟ පෑ හැම චිත්‍රපටයක්ම අතිශය ජනප්‍රිය විය. දක්ෂ චරිතාංග නිළියක සේම දක්ෂ නර්තන ශිල්පිනියක ද ලෙසින් රිදී තිරයේ සිය ප්‍රතිරාව නැං වූ මනා පෞර්ෂයකින් ද හෙබි ඇය එදා රිදී තිරයේ ගිනි සිළුවම විය. යලි ඉපිදේ, සුසී වැනි චිත්‍රපටවල කළ රංගනයන් තවමත් අප මතකයේ ඇත.

ජගත් චන්ද්‍රසිරි
පූජා ජගත්සිරි
මීරිගම පාර
පස්යාල


5 සමත් උද්දික

5 සමත් චිත්‍රපටය උද්දික ප්‍රේමරත්නගේ තවත් විශිෂ්ට රංගනයකින් හැඩ වී ඇත. එම චිත්‍රපටයේ තිර රචනය ද ඉහළ මට්ටමක ඇති බව මගේ හැඟීමයි. පාසල් දරුවන්ට ඒ මඟින් ලැබෙන්නා වූ දිරි ගැන්වීම ඉහළය.

කෙනත් පෙරේරා
වැලිගම්පිටිය
ජා-ඇල


ෂෙල්ටන් ප්‍රේමරත්න සැමදා විශිෂ්ටයි

ගැහැනු ගැට, හැංගි හොරා, වීදුරු ගෙවල්, සිහින හතක්, කළණ මිතුරෝ, දස්කොන්, නිවෙන ගින්න, බඩුත් එක්ක හොරු සහ හිතක පිපුණ මල් යන චිත්‍රපටවලට ඔබ යෙදූ ගී තනු අති විශිෂ්ටයි. එම ගීත තවමත් අප මතකයේ රැඳී පවතින්නේ හරවත් රසවත් නිර්මාණයක් නිසාය.

ජයන්ත අමරතුංග
චන්දන පොකුණ
පොළොන්නරුව


කලා ලොවේ සැමට සුබ නව වසරක්

සරසවිය ඇතුළුව කලා ලොවේ සියලු දෙනාටම උදා වූ නව වසර සුබ නව වසරක් වේවායි ප්‍රාර්ථනා ගෙන එමි. ඔබ සැමගේ සියලු කටයුතු සාර්ථක වේවායි පතමි.

එච්. එච්. ජගත්
පෙතියාගොඩ
ගම්පහ


ගී අමදාරා සාර්ථකයි

පැරණි ගීතයට යළි තැනක් ලබා දෙමින් එම ගීත සුරැකීමට ගුවන්විදුලි රසික සංසදය හා සරසවිය රසික සංසදය බෙහෙවින් කැපවෙයි. පැරණි ගීත සුරැකීමේ අදහස ඇතිව පසුගියදා රුහුණු ගුවන්විදුලිය, වෙළෙඳ සේවය සහ සරසවිය රසික රසිකාවන්ගේ ප්‍රධානත්වයෙන් පැවති ගී අමදාරා පැරණි ගී ප්‍රසංගය ඉතා සාර්ථක අයුරින් ප්‍රථමවරට හපුතලේ හින්දු සංස්කෘතික ශාලාවේදී පැවැත්විණි. මෙවන් උදාර මෙහෙවරකට මුල පිරූ හපුතලේ පැරණි ගී සංසදයට මගේ හෘදයාංගම සුබ පැතුම්.

සමන් ගාල්ලගේ
කැටපල
ගනේගොඩ


දකින්න ලැබීම සතුටක්

සුනිල් හෙට්ටිආරච්චි රංගන ශිල්පියා අපගෙන් සමුගෙන දෙවසරක් ගත වුවත් ඔහුගේ රංගනයන් ස්වාධීන රූපවාහිනියේ කේතුමතී ටෙලි නාට්‍යයෙන් දැක බලා ගැනීමට හැකි වීම අපට ඉමහත් සතුටකි.

ඉඹුල්ගොඩ අබේසිංහ
ශ්‍රියානි ජයසිංහ
අලව්ව


සදානුස්මරණීය ගී හඬ

ප්‍රේමණීය ගීතයේ සදානුස්මරණීය ගී හඬ මාලනී බුලත්සිංහල යි. හදවතට කාවදින ගීත රසික දෙසවනට දැහැන් ගත කළ මාලනිය දිවියෙන් සමු ගෙන ගියත් ඇය විසින් ගැයූ ගීත ශ්‍රවණය වන විට සැමදා ඇය සිහිපත් වේ.

එච් ඉන්ද්‍රපාල
ශ්‍රී සංගමිත්තා මාවත
මුංහේන


පැහැසරා

පැහැසරා ටෙලි නාට්‍ය තුළින් පැහැසරා ලෙසින් ඉතා දක්ෂ ලෙස රංගනයේ යෙදෙන මහේෂි මධුශංඛා අපට සිටින දක්ෂ නව පරපුරේ නිළියකි. පැහැසරා චරිතයට සාධාරණයක් ඉටු කරමින් රංගනයෙන් තව තවත් ඉදිරියට යන්නට පතන්නම් නිරතුරු පැතුම්. ලැබෙන සියලුම චරිත සාර්ථකව ඉටු කරන්නට අවස්ථාව ලැබේවා.

සුනිල් බී. වේහැල්ල
ගෝනපොල


ගි ලොව සරසන හර්ෂණ සැරදේ

පුවතර දඹදෙණිය පුරවර මෙලොව දිනා
රසබර ගී කුමුදු පුබුදන මිහිර දෙනා
සුන්දර ලෝකයේ හර්ෂණ තරිඳු මෙනා
පැහැබර රුවන් එළි විහිදයි සවන් පිනා

මනරම් සිතුවමට ඔබ සූරිය අරණ
ඉරෙන් හඳෙන් ගී සර අමරස පිරුණ
මුසුකර රසික දෙසවන් සිරිලක් දෙරණ
පින වී සුවඳවත් කර අප හද අරණ

අත්තම්මා නිවන් ගිහින් අපෙන් හුඟක් ඈතයි
සිත්තම් වී හදවිල්තලා නළියන රස දෝතයි
කවදත් සවනට ළං කළ නොමියෙන ගීතයි
හර්ෂණ දුරු කතර ගියත් ඉන්නේ ළඟ පාතයි

විරාජ් හර්ෂනාථ බණ්ඩාර
හුළුගල්ල පාර
නිකවැරටිය


යශෝධාටයි මේ ආසිරි

උගත් බුද්ධිමත් රූමත් පින්වන්ත
රංගන හැකියාව උපතින් ලැබ ගත්ත
පියාගේ අඩි පාරේ යාමට හැකි ද හිත
දැනුම දෙන්න යනු මැන සරසවිය වෙත

වේදිකාවෙ සිනමාවෙ පුංචි තිරේ
දුටු දන ඔබට දක්වති මහඟු ආදරේ
ගැලපෙන චරිත රඟනට යන අතර තුරේ
හින්දි උගන්වනවා නම් ලැබෙයි හුරේ

සොරෙකුට ගන්න බැරි ඉගෙනුම වෙත යන්න
මහැදුරු විභාගෙත් ඉහළින් ජය ගන්න
ලක්දිව මෙන්ම ලෝකෙත් බබලන්න
යශෝධාට ආසිරි තුති බැති මෙන්න

ආර්. ඒ. සෝමා රණසිංහ

වර්තමානයේ නිර්මාණය වන චිත්‍රපට හා ටෙලි නාට්‍ය පිළිබඳ ඔබගේ අදහස් විශේෂයෙන් ලියා එවන්න.