වර්ෂ 2018 ක්වූ  ජනවාරි 11 වැනිදා බ්‍රහස්පතින්දා




පොංගල් උත්සව සමයට සත්‍ය පුවතකින් තැනුණු ආකර්ෂණීය චිත්‍රපටයක්

පොංගල් උත්සව සමයට සත්‍ය පුවතකින් තැනුණු ආකර්ෂණීය චිත්‍රපටයක්

Special 26 1987 වසරේ මුම්බායිහි ඔපෙරා හවුස්හි සිදු වූ රන් සහ මුදල් මංකොල්ලය පිළිබඳ සත්‍ය පුවත තේමාකර ගනිමින් නිර්මාණය කෙරුණා. එම සිදුවීම පිළිබඳ පරීක්ෂණ පැවැත් වුවද අදටත් එය සිදු කළේ කවුරුන්ද යන්න සොයා ගෙන නොමැත.

එළඹෙන සති අන්තය කොලිවුඩයට සුවිශේෂි සති අන්තයකි. දකුණු ඉන්දියාවේ සුවිශාලතම සැමරුම් උත්සවය වන තෛයිපොංගල් උත්සව සමය සමඟින් එන සති අන්තය දකුණු ඉන්දීය සිනමා ලෝලීන් බලා සිටින්නේ විවේකය සමඟින් තම වඩාත් ප්‍රිය කරන්නා වූ තරු පිවිසෙන සිනමා නිර්මාණ රස විඳීමටයි. මෙවර තෛයිපොංගල් උත්සව සමය වෙනුවෙන් ජනප්‍රිය තරු කිහිපයකගේ සිනමා නිර්මාණ කොලිවුඩ් රිදී තිරයේ දැක ගැනීමට ලැබෙන අතර විග්නේෂ් ශිවන් විසින් අධ්‍යක්ෂණය කර කොලිවුඩයේ ජනප්‍රිය නළු සූර්යාගේ රංගනයෙන් ඔපවත් වන Thaanaa Serndha Koottam ඒ අතරින් එකකි.

දැවැන්ත සොරකමක් පිළිබඳ කතා පුවතක් ගෙන එන Thaanaa Serndha Koottam චිත්‍රපටය 2013 වසරේ තිරගත කෙරුණු නීර්ජ් පාණ්ඩේ අධ්‍යක්ෂණය කළ Special 26  චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක් බව සඳහන් වේ. අක්ෂේ කුමාර් ප්‍රධාන චරිතයට පණ පෙවු එය 1987 වසරේ මුම්බායිහි ඔපෙරා හවුස්හි සිදු වූ රන් සහ මුදල් මංකොල්ලය පිළිබඳ සත්‍ය පුවත තේමාකර ගනිමින් නිර්මාණය කෙරුණා. එම සිදුවීම පිළිබඳ පරීක්ෂණ පැවැත් වුවද අදටත් එය සිදු කළේ කවුරුන්ද යන්න සොයා ගෙන නොමැත. මධ්‍යම රජයේ ආදායම් බදු නිලධාරින් මෙන් වෙස් වළාගත් මංකොල්ලකරුවන් පිරිසක් විසින් සිදු කරන දැවැන්ත මංකොල්ලයක් පිළිබඳ කතාපුවතක් Special 26 චිත්‍රපටයේ දැක්වෙනවා.

දශක තුනකට පසු යළිත් මෙම සිදුවීම හෙට (ජනවාරි 12) සිට ලොව පුරා තිරගත කිරීම අරඹන Thaanaa Serndha Koottam චිත්‍රපටයෙන් දැක ගැනීමට අවස්ථාව සැලසෙනවා. එහි සූර්යා සමඟින් කීර්ති සුරේෂ්, කාර්තික්, ආනන්දරාජා, සෙන්තිල්, සුරේෂ් චන්ද්‍ර මෙනොන්, රම්‍යා ක්‍රිෂ්ණන්, සුධාකර් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වී සිටියි. මෙහි ප්‍රධාන නිළි චරිතයට පණ පොවන විසිපස් හැවිරිදි කීර්ති සුරේෂ් ළමා නිළියක ලෙසින් දකුණු ඉන්දීය සිනමාවට පිවිසි අතර දකුණු ඉන්දීය සිනමා සම්මාන රැසකට හිමිකම් කියන්නියකි.

Thaanaa Serndha Koottam චිත්‍රපටයේ අධ්‍යක්ෂ විග්නේෂ් ශිවන් පවසන්නේ, මෙම චිත්‍රපටය ඉනඥජඪචත 26 චිත්‍රපටයේ නිල ප්‍රතිනිර්මාණයක් නොවන බවයි. ප්‍රතිනිර්මාණය වෙනුවෙන් අයිතිය ලැබුව ද Special 26 චිත්‍රපටය එලෙසින්ම නිර්මාණය කිරීමට තමන්ට අවශ්‍යතාවක් නොවූ බවත් ඔහු සඳහන් කරනවා. "රූප රාමුවෙන් රූප රාමුවට මට Special 26 චිත්‍රපටයම දෙමළ බසින් නිර්මාණය කරන්නට වුවමනාවක් ඇති වුණේ නැහැ. එලෙසින් කරන්නත් බැහැ. නමුත් ඒ සඳහා පාදක වූ කතාව ගෙන Thaanaa Serndha Koottam චිත්‍රපටය මට අවශ්‍ය ලෙසින් නිර්මාණය කළා. ඒ විතරක් නෙවෙයි මෙහි එන 'Sodakku Mela Sodakku Poduven'  ගීතයට Special 26 චිත්‍රපටයේ කොතැනකවත් ඉඩක් නොමැති බව Thaanaa Serndha Koottam නැරඹූ විට ඔබ ‍තේරුම් ගනීවි" යැයි විග්නේෂ් පවසා සිටිනවා.

Thaanaa Serndha Koottam චිත්‍රපටයේ තවත් විශේෂත්වයක් ඇති බව සූර්යා පවසයි. එනම් මෙහි දුම්වැටි හෝ මත් පැන් පානය කරන්නා වූ දසුන් ඇතුළත් නොවීමයි. රැඟුම් පාලක මණ්ඩලය පවා මෙය නරඹා මවිත වූ බවත් මෙවැනි සිනමා නිර්මාණයක් නැරඹුයේ බොහෝ කලකින් බව පවසමින් අධ්‍යක්ෂ විග්නේෂ් වෙත ස්තූති කළ බවත් සූර්යා පසුගිය දිනෙක චිත්‍රපටය වෙනුවෙන් පැවැත් වූ උත්සවයකදී පවසා සිටියා. එසේම සාමාන්‍යයෙන් තම චිත්‍රපටවල මංගල දර්ශනයන් නැරඹීමට දායක නොවී දින දෙදකට පසු නැරඹීම පුරුද්දක් කර ගෙන සිටියද Thaanaa Serndha Koottam චිත්‍රපටයේ දී එය වෙනස් වන බවත් තමන් අනිවාර්යයෙන්ම රසික රසිකාවන්ගේ උද්යෝගය සමඟින් එහි මංගල දර්ශනය නැරඹීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් ඔහු පවසයි.

2011 වසරේ දීපවාලි උත්සව සමයේදී තිරගත වූ 7aum Arivu චිත්‍රපටයෙන් පසුව උත්සව සමයකදී තම සිනමා නිර්මාණයක් එළිදැක්වීම සූර්යා අත්දකින්නේ වසර හතකට පසුවයි. එසේම පසුගිය කාලයේ සූර්යාගේ අවසන් චිත්‍රපට ද්විත්වය එතරම් සාර්ථකත්වයක් පෙන්නුම් නොකළ නිසා මෙම චිත්‍රපටයේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය ඔහුගේ සිනමා දිවියට ඉතාම වැදගත් වනු ඇති බව සිනමා විචාරකයන්ගේ අදහසයි. එසේම මෙම චිත්‍රපටය අසූව දශකය පෙන්නුම් කළ ද තත්ත්පර කිහිපයකින් එය සමකාලීන ප්‍රේක්ෂකයන් සමඟින් සම්බන්ධ කිරීමට අධ්‍යක්ෂවරයා දරා ඇති උත්සාහය ද ඇගයීමට ලක්වී තිබේ.