වර්ෂ 2018 ක්වූ  ජනවාරි 11 වැනිදා බ්‍රහස්පතින්දා




ඔබ එනතුරු අපි ඉඳිමු

ඔබ එනතුරු අපි ඉඳිමු

සරසවිය අකුරක් නෑර කියවන ඔබට සුගත් ප්‍රියන්ත යන නාමය නෙත ගැටී ඇති වගට කිසිදු සැකයක් නැත. සරසවිය පුවත්පත සැකසීමට සහාය ලබා දෙන්නන්ගේ නාමයන් පළවන තැන විවිධ සහය යටතේ ප්‍රියන්තගේ නම සනිටුහන්ව තිබෙනු දැකිය හැකිය. සරසවිය පවුලේ සාමාජිකයකු වන හෙතෙම ඉකුත් එදින හදිසි අනතුරකට ලක් වූයේ අප සැම දෙනාවම කම්පනයට පත් කරවමිනි. සුපුරුදු පරිදි ප්‍රියන්ත බ්‍රහස්පතින්දාවේ ලේක්හවුසිය අසල ඇති බස් නැවතුමෙන් බැස්සේය.

ඔහු එදින ගියේ වෙනදා එන පැත්තට නොව ප්‍රතිවිරුද්ධ දිශාවටය. ඒ හිස් අතින් නොගොස් කාර්යාල සගයන්ට තෑග්ගක් ගේන්නටය. එයට පෙර දිනක ඔහුගේ පෞද්ගලික සතුටක් සමරනු පිණිසය. ගත වූයේ නිමේෂයකි. තිරිංග අක්‍රීය වූ ලොරියක් ප්‍රියන්තව ද යට කරගෙන තවත් තැනැත්තෙක්ගේ ද ජීවිතය අහිමි කරමින් අසල ඇති බැංකුවේ දොරකඩ නතර විය. ප්‍රියන්තගේ දකුණු පාදයට උඩින් ලොරිය ගමන් කොට තිබිණ. අපගේ වාසනාවට ප්‍රියන්තගේ ජීවිතයට කිසිදු හානියක් වූයේ නැත.

එහෙත් කුඩුපට්ටම් වී තිබුණ දකුණු පාදයේ දණහිසට පහළ කොටස ඉවත් කිරීමට සිදු විය. ප්‍රියන්ත අනතුරට පත් වූ මොහොතේ සිට ලේක්හවුසියම ගිනිගත් ගානය. සෑම අංශයකින්ම දුරකතන ඇමතුම් සරසවියට ගලා එන්නට විය. එය එලෙස සිදු වුණේ ප්‍රියන්තට මුළු ලේක්හවුසියම ආදරය කළ බැවිනි. ඔහුව නොදන්නා කෙනෙකු නැත. සෑම තරාතිරමක තැනැත්තන් ඔහුගේ කුලුපග මිතුරන් විය. එහෙයින් මේ වන තෙක් බොහෝ දෙනා සිටින්නේ ප්‍රියන්තට සිදු වූ දෙය ගැන කම්පිත වූ සිතිනි.

පසුගිය සරසවිය සම්මාන උලෙළේදී සරසවිය පවුල ගැන පළ වූ ලිපියෙහි චතුර ගීතනාත් බණ්ඩාර ප්‍රියන්ත ගැන සඳහන් කොට තිබුණේ සරසවියේ හදවත ඔහු බවය. සැබවින්ම සරසවිය පුවත්පතේ උන්නතිය පිළිබඳ ප්‍රියන්ත උනන්දු වූයේ කාටත් නොදෙවෙනි පරිද්දෙනි. සරසවිය පිටු හදන දවසට ඔහු ලබාදෙන සහය මෙතෙකැයි කියා නිම කළ නොහැකිය.

ඔහුට ඉක්මන් සුවය අප සැමගේ ප්‍රාර්ථනය වන්නේය. එමෙන්ම ප්‍රියන්ත අනතුරට පත් වූ අවස්ථාවේ සිට යුහුසුළුව ක්‍රියා කරමින් ඔහුගේ සියලු අවශ්‍යතා සොයා බැලු ලේක්හවුස් ආයතනයේ සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයේ සිට සෑම තරාතිරකම සියලු දෙනාට සරසවිය පවුලේ ප්‍රණාමය පුද කරමු. තවමත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන සුගත් එනතුරු සරසවිය පවුලේ හිතවතුන් වන අපි බලා සිටින්නෙමු.

හේමාල්, ගම්‍යා එක්කොට අරුණ හැත්තෑවේ පෙම් කතාවක් හදයි

නිකිණි වැස්ස අධ්‍යක්ෂණය කරමින් අප සිනමාවේ අපූර්ව නමක් සනිටුහන් කළ අරුණ ජයවර්ධන සිය දෙවන සිනමා කෘතියේ වැඩ කටයුතු අද දින කෝට්ටේ සෝලිස් ශාලාවේ පැවැත්වෙන මුහුරත් උලෙළකින් අනතුරුව ආරම්භ වේ. 1970 ලව් ස්ටෝරි ලෙසට නම් කළ එය දිග හැරෙනුයේ 70 දශකයේ සිදු වූ සත්‍ය සිදුවීමක් ඇසුරිනි. හේමාල් රණසිංහ සහ රූ රැජනක් වූ ගම්‍යා විජේදාස ප්‍රධාන චරිත මවන මෙහි මහේන්ද්‍ර පෙරේරා, බිමල් ජයකොඩි, අෂාන් ඩයස්, සරත් කොතලාවල, සඳලි ප්‍රනාන්දු, සමන් හේමරත්න, අසංග පෙරේරා, නන්දන හෙට්ටිආරච්චි ඇතුළු පිරිස රංගනයේ යෙදෙයි. 1970 ලව් ස්ටෝරි සිනමාපටය සමන් එදිරිසිංහගේ නිෂ්පාදනයකි.

රුක්මණී වෙනුවෙන් සැමරුම් දෙතැනක

රුක්මණී දේවි අනුස්මරණ සංගමය වෙනුවෙන් එහි නිර්මාතෘ හෙන්රි ප්‍රියශාන්ත මෙන්දිස් සංවිධානය කරන රුක්මණී දේවි 95 වැනි ජන්ම දිනය නිමිති කොට ගෙන සංවිධානය කරන රුක්මණී දේවි සමරු ගී ප්‍රසංගය මෙම මස 15 වැනිදා උදෑසන 10 ට කොළඹ ටවර් රඟහලේදී පැවැත්වේ. උත්සවයෙහි ප්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය හේම කුමාර නානායක්කාර යන මහත්වරුන් සහභාගිවීමට නියමිතය. ජනාධිපති සම්බන්ධිකරණ ලේකම් සනත් වීරසූරිය, ටවර් හෝල් රඟහල අධ්‍යක්ෂ ලාල් රත්නවීර, සංස්කෘතික අධ්‍යක්ෂ අනූෂා ගෝකුල සහ ග්‍රන්ථ කර්තෘ සේනක ජයතිලකගේ දායකත්වයෙන් පැවැත්වෙන මෙම ප්‍රසංගයේ සංගීත අධ්‍යක්ෂණය රාජ්‍ය සංගීත කණ්ඩායමෙනි. සංස්කෘතික දෙපාර්තමේන්තුවේ නර්තන කණ්ඩායම නර්තන ඉදිරිපත් කරන අතර උත්සව සභාව මෙහෙයවීම නිවේදක ජගත් ලියනගේ ගෙනි.

එමෙන්ම රුක්මණී දේවියගේ ගුණ අනුස්මරණය කරමින් අමරණීය රුක්මණී උපහාර උලෙළ සහ මැවිලා පෙනේවි රූපේ සංගීතමය ප්‍රසංගය මෙම මස 14 වැනිදා සවස මරදාන ටවර් රඟහලේදී පැවැත්වේ. මෙය සකල කලා සංසදයේ සංවිධානයකි.

ෆ්‍රැන්සිස් වන්නිආරච්චි මියයයි

නාට්‍ය ශිල්පියකු, මාධ්‍යවේදියකු වූ ෆ්‍රැන්සිස් වන්නිආරච්චි පසුගිය දා ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර දී අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 71 කි. ස්වාධීන රූපවාහිනියේ සංස්කෘතික අංශයේ හිටපු ප්‍රධානියකු වූ හෙතෙම දිගුකලක් තිස්සේ ජීවත් වූයේ විදෙස්ගතවය.

ස්වාධීන රූපවාහිනියේ මධුරසාංග වැඩ සටහන අරඹමින් එය ඉතාම ජනප්‍රිය තලයකට ගෙන ගිය ෆ්‍රැන්සිස් පසුව කලා රසාංග වැඩ සටහන නිර්මාණය කළේය. සුභ සහ යස ඔහු නිෂ්පාදනය කළ පළමු නාට්‍යය විය. වේදිකාවේ ද කැපී පෙනුණ චරිතයක් වූ ෆ්‍රැන්සිස් හතරවරම්, රජදරුවෝ ආදි නාට්‍ය ගණනාවකට සිය රංගන දායකත්වය සැපයීය. පෙති ගෝමර, වදුල, ගංගා, සිකුරු දසාව ෆ්‍රැන්සිස් රඟපෑ චිත්‍රපට කිහිපයකි. ජෝති රාත්‍රිය ප්‍රසංගයේ සංවිධායකවරයා වූ ෆ්‍රැන්සිස් ජෝතිපාලයන් සමඟ ජෝති රාත්‍රිය රැගෙන රට වටා ගියේය. එය එකල තිබූ ජනප්‍රියම ඒක පුද්ගල ප්‍රසංගය විය.

ඈෂ්ලි අන්තර්ජාතික ඩකා උලෙළට

ආසියා පැසිෆික් සිනමාවේ සංවර්ධනය සඳහා වූ එකමුතුවේ (නෙට්පැක්) විධායක අධ්‍යක්ෂවරයා සහ ශ්‍රී ලංකා සිනමා විචාරක පර්ෂදයේ සභාපතිවරයා වූ ඈෂ්ලි රත්නවිභූෂණ 16 වැනි ඩකා අන්තර්ජාතික සිනමා උළෙලට සහ ඊට සමගාමීව පැවැත්වෙන පළමුවන ආසියාතික සිනමා විචාරකයන්ගේ සමුළුවට සහභාගි වීම සඳහා බංගලා දේශය බලා පිටත් විය. මෙම සමුළුව ජාත්‍යන්තර සිනමා විචාරක සහ පත්‍ර කලාවේදීන්ගේ ජගත් සංවිධානයක් වූ ෆිප් රෙස්කි ආයතනයේ පූර්ණ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන්නකි. ඩකා ජාත්‍යන්තර උලෙළ ජනවාරි 12 සිට 20 දක්වා පැවැත්වෙන අතර සිනමා විචාරක සමුළුව ජනවාරි 16 සහ 17 යන දිනයන්හි පැවැත්වේ. මෙම උලෙළේ තවත් විශේෂත්වයක් වනුයේ ජනවාරි 13 සහ 14 යන දිනයන් තුළ පැවැත්වෙන සිනමාවේ ස්ත්‍රීය 2018 4 වැනි ඩකා ජාත්‍යන්තර සමුළුවයි. මේ සඳහා ලොව විවිධ රටවලින් සිනමාකාරියන් සහ සිනමා නිළියන් රාශියක් සහභාගිවීමට නියමිතය.

ඔවුහු ද අපගෙන් සමුගත්හ

ඉකුත් සරසවිය කලාපය තුළින් 2017 වසරේ අප අතරින් වියෝ වූ කලාකරුවන් පිළිබඳ විස්තරයක් පළ විය. සරසවිය උපන් දින තීරය සකසන සිරි කහවල විසින් සකසා තිබූණු එම ලැයිස්තුවේ යම් දෝෂ කිහිපයක් ඇතිව වාර්තා විය. 2017 වසරේදී අප අතරින් සමුගත් එලෙස පුවත්පතේ පළ නොවූ කලාකරුවන් මෙලෙසය.

ධර්ම යුද්ධය සිනමාපටය අධ්‍යක්ෂණය කළ චෙයියාර් රවී

ඇඳුම් නිර්මාණ ශිල්පී ෂෙල්ටන් ජයසිංහ

ලෝකයේ ජීවත් වූ වයස්ගත සිනමාකරු වූ දුප්පතාගේ දුක සිනමාපටය අධ්‍යක්ෂණය කළ ඇන්තනි මිත්‍රදාස් (අවුරුදු 103 ආයු වළඳා 2017. 02. 20 දා මිය ගියේය)

ළාහිරු දහසක් නාට්‍යයේ රඟපෑ රෝහිත සමරවීර (චුලා)

රංගන ශිල්පිනී සුමනා වීරසේකර

ගායක විමල් ජේ. සාගර

චිත්‍රපට විචාරක අමරදාස වීරසිංහ

රංගන ශිල්පිනී කුමාරි මානෙල් විමලවීර

නිවේදිකා නෙරන්ජලා බස්නායක

මේ පිළිබඳ අප දැනුවත් කළ සරසවිය පාඨකයාට ස්තූතිය පුද කරමු.