වර්ෂ 2016 ක්වූ මාර්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




අනුරපුර රඟහලේ සල්ලි බහිරවයා ගිල්ලාද?

අනුරපුර රඟහලේ සල්ලි බහිරවයා ගිල්ලාද?

දිමුතු චින්තක වේදනාවෙන් අසයි

මේ දවස්වල පුංචි තිරයෙන් ජනප්‍රිය වී සිටින දිමුතු චින්තක ගැන නොදන්නා කෙනෙක් නැති තරම්. සම්මානනීය ඇගැයුම් පැසසුම් මැද නිර්මාණකරණයේ නියැලෙන දිමුතුට යන යන තැනදිත් රසිකයන්ගෙන් ලැබෙන්නේ ඉහළ පිළිගැනීමක්. මේ දවස්වල ප්‍රේක්ෂකයන්ගෙන් පාර තොටේදී පවා දිමුතුට ලැබෙන්නේ ආදරණීය පිළිගැනීමක්. මේ නිසාම අපිට හිතුණා දිමුතුත් එක්ක මේ ගැන කතාබස් කරන්න.

* දිමුතු කොහොමද මේ දවස්වල අලුත් තොරතුරු?

ස්වාධීන රූපවාහිනියේ විකාශය වන නෙතු නාට්‍යයේ මම එස් ඩබ්ලිව්. ඊට අමතරව සමනලී ටෙලි නාට්‍යයේ සාජන් මහත්තයා. ස්වර්ණවාහිනියේ විකාශය වන බැද්දේ කුලවමිය මිනී පෙට්ටි සාප්පු අයිතිකාරයා. අමා ටෙලි නාට්‍යයේ නැවත විකාශනයක් වන එහි මම සරනේලිස් මාමා.

* පසුගිය කාලේ පාරේ බැහැලා යන්නත් බැරි තත්ත්වයක් ඇති කළ අමා නාට්‍යය නැවතත් විකාශය වෙනවා?

ඔව්. සතියේ දවස් පහේම ස්වාධීන රූපවාහිනියේ දවල් කාලයේ විකාශය වෙනවා. ඔන්න ඉතිං ආයෙත් පහුගිය දේවල් අයෙත් ප්‍රේක්ෂකයන්ට මතක් වෙලා හැඩයි. ඉතිං පාරේ බැහැලා යන්න තමයි මේ දවස්වල අමාරුව.

* වේදිකාවෙත් මේ දවස්වල ඔබ ජනප්‍රිය චරිතයක්?

ආර්. ආර්. සමරකෝන්ගේ කැලණි පාලම වේදිකා නාට්‍යයේ මැම්බර්ගේ චරිතය කරන්නේ දැන් මම. අනික් වේදිකා නාට්‍ය තමයි ජයසිරිට පිස්සු වේදිකා නිරිමාණය. සිකුරු හතේ, කෝ කුක්කු වේදිකා නිර්මාණවලත් රංගනයෙන් දායක වෙනවා.

* ආර්. ආර්. සමරකෝන්ගේ කැලණි පාලම නාට්‍ය මම හිතන්නේ ඔබට සුවිශේෂී අත්දැකීමක්?

ඇත්තෙන්ම ඔව්. මට ආර්.ආර්. සමරකෝන් මහත්තයාව කවදාත් හම්බ වෙලා නැහැ. මම කවදාවත් හිතුවේ නැහැ මේ වගේ නාට්‍යයක රඟපාන්න ලැබෙයි කියලාවත්. එදා පුංචි කොලුව කාලේ අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ වේදිකා ගතවෙන කොට කොට කලිසමක් ඇඳගෙන මේ නාට්‍ය රසවින්ද කෙනෙක් මම. එදා ජේ. එච්. ජයවර්ධන කියන රංගධරයා රඟපෑ චරිතය තමයි මම අද කැලණි පාලමේ රඟපාන්නේ.

* එදා කුඩා දරුවෙකුව සිට කැලණි පාලම ප්‍රේක්ෂකයෙක් ලෙස රසවින්ද ඔබට පෙර වාසනාවකට අද එහි මැම්බර්ගේ චරිතය කරන්න වාසනාව ලැබිලා තියෙනවා. මේ වාතාවරණය තුළ ඔබෙන් පෙර මෙම චරිතය කළ නළුවාගෙන් වූ රංගනයට සාධාරණයක් ඉටු වෙනවාද?

ඒ නාට්‍යයේ එදා ප්‍රේක්ෂකයෙක් ලෙස මම නරඹද්දී මැම්බර් චරිතය මට ජීර්ණය වූ චරිතයක්. ඉස්සර මට ඇඟට දැනුණු ඒ චරිතය පාසලේ පන්ති කාමරයේදී රඟපෑවා. පසුකාලීනව මම රංග කලාව ඉගෙන ගන්න කොට මට වැටහුණා මේ අනුකරණය කියන්නේ එච්චර හොඳ දෙයක් නොවෙයි කියලා. ඊට පස්සේ එම චරිතය මගේම චරිතයක් බවට පත් වුණා. මම හිතනවා මුල් රංගනයට මම අසාධාරණයක් නොකරනවා කියලා.

* කැලණි පාලම සඳහා ඔබට ආරාධනා ලැබුණේ කොහොමද?

පුත්තලමේ දවසක් කැලණි පාලම වේදිකා ගත වෙනකොට ආර්. ආර්. සමරකෝන් මහත්තයා කිව්වලු ඉසුරුබවන කියලා ඒ දවස්වල මම රඟපෑ ටෙලි නාට්‍යයක් විකාශය වනවා දැකලා මේ කැලණි පාලම නාට්‍යයට ඒකෙ රඟපාන අනුරාධපුරයේ අර මහත හාදයා නම් හොඳයි කියලා. කොහොම හරි වසන්ත විට්ටච්චි දවසක් මට කතා කරලා කිව්වා මේ චරිතයට එන්න පුළුවන් ද , එනවා නම් අදම ඇවිත් රිහසල් කරන්න කියලා. ඒ වෙන කොට මේ චරිතය තිලක් කුමාර රත්නායක, ජයලාල් රෝහණ වගේ අයත් කරලා තිබුණා. මට මේ ආරාධනාව එන්නේ තිලක් කුමාරට රඟපාන්න එන්න බැරි අවස්ථාවක් යෙදෙන මොහොතක. මුලදී මට බයක් දැනුණා මේ වගේ ලොකු චරිතයක් කරන්න. කොහොම හරි මම මුලින්ම 3.30 දර්ශනය යන්තම් ගොඩ දාගත්තා. පසුව 6.30 දර්ශනය තවත් හොඳට ගොඩ දාගත්තා. මේ වෙනකොට දර්ශන වාර පනහක් හැටක් මම රඟපෑවා. නාට්‍යයේ සියලු ශිල්පීන් මට උපරිම සහයක් රඟපෑමේදී ලබා දුන්නා. එදා තිබුණ දෙබස්ම තමයි අදත් කියන්නේ. කිසිම දෙබසක් වෙනස් කරලා නැහැ. දෙබස් වෙනස් කරනවට රම්‍යා වනිගසේකර (රම්‍යා අක්කා) කැමැති නැහැ. මගේ රංගනය බලපු සමහරු ඇවිත් මගේ අතින් අල්ලලා මට සුභපැතුවා එදා ජේ. එච්. මහත්තයා කරපු චරිතයට හානියක් නැතුව මම කරනවා කියලා.

* සිනමාවේ නමක් තිබ්බ නිර්මාණවලට වගේම සිනමාව තුළ යම් දෙයක් කළ නිර්මාණකරුවන්ගේ චිත්‍රපට වෙනුවෙන් ඔබේ දායකත්වය එක් වෙනවා?

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, ප්‍රසන්න විතානගේ, වසන්ත ඔබේසේකර, ප්‍රියන්ත කොළඹගේ, ජයන්ත චන්ද්‍රසිරි, ජැක්සන් ඇන්තනි වගේ හොඳ අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපට වෙනුවෙන් මට දායකවීමේ අවස්ථාව උදා වුණා.

* විශේෂයෙන් ඔබේ සිනමාවේ ගුරුවරු එහෙමත් ඇති?

ජයන්ත චන්ද්‍රසිරි, ප්‍රසන්න විතානගේ මගේ සිනමාවේ ගුරුවරු. මේ අයගෙන් මම ලැබුව දැනුමෙන් මම අද සන්නද්ධ පුද්ගලයෙක්. ප්‍රධාන චරිත දෙන නොදෙන එක නිිර්මාණකරුවාගේ වැඩක්. නමුත් මට ඕනෑම චරිතයක් කළ හැකියි. ඒක මම ඔප්පු කරලා පෙන්නුවා. මල් දෙවට කියන නාට්‍යයේ කොමඩි චරිතෙත් සැබෑ චරිතෙත් හරි අපූරුවට කළා. මහේෂ් සත්සරආරච්චි මේ චරිත දෙකම මට හරි අපූරුවට කරන්න පුළුවන් විදියට පිටපත ලිව්වා. ඩොල්කි බර්ටි චරිතය.

* කොමඩි කරනවා කියලා ඔබට චෝදනාවක් ආවද?

ආවා. අනුරාධපුරයෙන් ඇවිත් කොමඩි කරනවා කියලා. උඹ චරිතාංග නළුවෙක්. මොකද මේ කොමඩි කරන්නේ කියලා. මම ඒ අයට උත්තර දුන්නා. එහෙම එකක් නැහැ. මම අනුරාධපුරයේ අහිංසක කලාකාරයෙක් කියලා. මොකද මේක ලංකාවනේ. ලංකාවේ අය හිතනවා එයාලා විතරයි කොමඩි කරන්න ඕනේ. තව කොටසක් හිතනවා එයාලා විතරයි සීරියස් කැරැක්ටර් කරන්න ඕනෑ කියලා.

මහ රජ ගැමුණු චිත්‍රපටයේ ගැමුණු රජ්ජුරුවන්ගේ පියාගේ චරිතය මම කරපු අවස්ථාවේ සීන් එකක් තිබුණා සිහි නැති වෙලා වැටෙන. මම ඒ අවස්ථාව කරපු විදිය දැකලා එතන හිටිය ප්‍රධාන නළුවො කීප දෙනෙක්ම කිව්වා අපිට නම් ඒ වැටුණු වැටිල්ල කරන්න නම් බෑ කියලා. මම එතන හිතල වැටීමක් නොවෙයි කළේ. අපි කරලා තිබුණු අභ්‍යාස එක්ක මලකඳක් වැටුණ වගේ තමයි මම එතනදි වැටුණේ. අපි මිනිස්සු හැටියට අධි රංගනයේ යෙදෙනවා. කොහොමත් එහෙම කියලා අපිව කොමඩි කියලා නම් කොටු කරන්න බැහැ.

* කොළඹින් දුරස්වීම තුළ ඔබට නිර්මාණ දායකත්වයට ගැටලුවක් වෙලා නැද්ද?

වරෙන් මචං කොළඹට කියලා අඬගහන අය ඕනෑ තරම්. ඒත් මම මේ අවුරුදු තිහ තුළ අනුරාධපුරයේ ඉඳලා කොහොම හරි කොළඹ පැලපදියම් නොවී වැඩ කරගෙන තියෙනවා. කොළඹ රංගශාලා, පහසුකම්, අලුත් චිත්‍රපට, වේදිකා නාට්‍ය ගැන කතාබහ තියෙන එක ඇත්ත. ජනප්‍රිය වෙන්න වැඩිපුර රඟපාන්න කොළඹ ඉන්න ඕනෑ කියලා කිව්වට ජනප්‍රියතාවත්, ප්‍රසිද්ධියත් කියන දෙකම මම අනුරාධපුරයේ ඉඳලා ලබාගත්තා. හැතැම්ම එකසිය විස්ස තුළ නොලැබෙන දේවල් ගොඩක් ඇති. එත් දුරස්වීම කියන දේ නළුවෙකුට අවශ්‍ය නැහැ. මම ස්තූතිවන්ත වෙනවා සරත් කොතලාවලට ඔහුගේ ජයසිරිට පිස්සු නාට්‍යයට මම වගේ වන්නියේ කෙනෙක්ව සම්බන්ධ කර ගැනීම ගැන. මොකද ඔවුන් මගේ යම් දෙයක් දකින්න ඇති. ඒ විශේෂත්වයට තමයි ප්‍රධාන ධාරාවේ නළුවන් සමඟ උරෙන් උර ගැටෙන චරිතයක් සඳහා මාව තෝර ගත්තේ.

* රංග ශිල්පියෙක් වගේම ඔබ වෘත්තියෙන් ගුරුවරයෙක්?

නාච්චදූව සිංහල මහා විද්‍යාලයේ උගන්වන පාසල් ගුරුවරයෙක් මම. ගුරු වෘත්තීය නිසාවෙන් මට ගොඩක් කලා නිර්මාණවලට සම්බන්ධවීමේ අවස්ථා මඟ හැරිලා තියෙනවා. මම උගන්වන ඉස්කෝලෙත් මම මේ දවස්වල වේදිකා නාට්‍ය, වීදි නාට්‍ය හදනවා. ඒ දරුවන්ටත් හෘදයාංගම බව දැනෙන්න ඕනෑ. නාට්‍ය කලාව කියන්නේ මිනිසුන් සුවපත් කරන කලාවක්. මිනිසුන් ජීවත් කරන කලාවක්. මේක මේ රටේ හැම පාසල් දරුවෙකුටම, ශ්‍රී ලාංකිකයකුටම දැනෙනවා නම් රටේ මේ වගේ ප්‍රචණ්ඩකාරී ප්‍රශ්න නැහැ කියලයි මම හිතන්නේ. එහෙම නොවීම තමයි මේ තත්ත්වයට හේතුව.

* මේ වසර ඔබට සංක්‍රාන්ති වසරක් කිව්වා?

මම මුලදි වැඩ කළේ තරුණ සේවා සභාවේ තරුණ සේවා නිලධාරියෙක් ලෙසින්. ඊට පස්සේ ටවුමේ පාසලක වැඩ කරලා මේ වගේ දුෂ්කර පාසලක රැකියාවට ගියා. මට මේ වසරට අවුරුදු පනහක් පිරෙනවා. ඉස්සෙල්ලාම ඔන්න සරසවියට කිව්වා. මේ පනහ ලැබීමත් එක්ක වැඩ කීපයක් කරන්න හිතාගෙන ඉන්නවා.

* මොනවද ඒ සංක්‍රාන්ති වැඩ පිළිවෙළ?

අගෝස්තු මාසය වෙන කොට මට වයස අවුරුදු පනහ පිරෙනවා. කලා ජීවිතයට අවුරුදු තිහක් වෙනවා. මිත්‍රයො නම් කියනවා මොනවා හරි දෙයක් කරමු කියලා. ඒත් ඉතිං සල්ලි කියන දේ ඉස්සරහට එනවානේ. කොහොම හරි 2011 වසරේ රාජ්‍ය නාට්‍ය උලෙළේ ළමා අංශයෙන් ප්‍රථම ස්ථානය ලැබූ වඳුරන්ගෙන් පාඩමක් කියන නාට්‍යයේ පිටපත මම පොතක් ලෙස එළි දක්වන්න බලාපොරොත්තු වෙනවා. 2006 වසරේ සමස්ත ලංකා නාට්‍ය තරගයෙන් ප්‍රථම ස්ථානය ලැබූ අමාවකට අපි බය නෑ නාට්‍ය පිටපත පොතක් ලෙස ම්‍රද්‍රණය කරන්න බලාපොරොත්තු වෙනවා.

* ඇත්තද මේ රඟපෑම වගේම ඔබට ගීත ගායනා කරන්නත් පුළුවන් කියන්නේ?

මම දැන් සිංදු කියන්නත් පටන් ගත්තා. රඟපෑමට වඩා මගේ මුලින් තිබුණේ ගායකයෙක් වීමේ සිහිනය. මේ වෙන කොට ගීත දෙකක් පටිගත කරලත් ඉවරයි. සනත් චන්ද්‍රසේකර ලිව්ව දර්ශන දිසානායක සංගීතවත් කරපු, විමලජිත් දොඹගහවත්ත ලියා සංගීතවත් කරපු මේ සිංදු දෙකත් සමග සිංදු හයක් මගේ හඬින් එළි දක්වන්නත් සැලැස්මක් තියෙනවා. ඔය අතරේ සංක්‍රාන්ති සමය නිසාවෙන් මගේ වන්නිය වේකාවේ සහෘද සගයන් සමඟ ඔවුන්ගේ ඉල්ලීමට වේදිකා නාට්‍යයක් කරන්නත් අදහසක් තියෙනවා.

* ඔබ සම්මානනීය කෙටි චිත්‍රපටකරුවෙක්?

පිංකාර පව කියන මගේ කෙටි චිත්‍රපටය ලංකාවෙන් පළමු ස්ථානය ලැබුවා. මතට තිත කෙටි චිත්‍රපටය ලංකාවෙන් දෙවන ස්ථානය ලැබුවා. මෑතකදී මම පෘතක්ජන කියලා තව කෙටි චිත්‍රපටයක් කළා. ඒක ජාත්‍යන්තර කෙටි චිත්‍රපට උලෙළකට දාන්න මම මේ දවස්වල අදහස් කරලා තියෙනවා.

* අනුරාධපුරය කේන්ද්‍ර කොටගෙන පසුගියදා චිත්‍රපටයක් නිර්මාණය වුණා?

ඔව්. මේ චිත්‍රපටයේ නිෂ්පාදකයා, අධ්‍යක්ෂවරයා, පිටපත් රචකයා, ගීත රචකයා මේ හැම දෙයක්ම එකම පුද්ගලයෙක්ගේ. මුලින් චිත්‍රපටයට නම දාලා තිබුණේ ආදරණී රිකී කියලා. චිත්‍රපටයට යොදාගෙන හිටිය ළමා නළු නිළියන් සියල්ල අනුරාධපුරයේ. මේ දවස්වල චිත්‍රපටයේ සංස්කරණ කටයුතු සිද්ධ කරනවා. අනුරාධපුරයෙන්ම බිහි වූ චන්දන විරකෝන් කියන නිර්මාණකරුවා තමයි මේ චිත්‍රපටය කළේ. අනුරාධපුරයේ වන්නිය වේදිකාව හරහා ගොඩනැගුණ ප්‍රධාන පෙළේ නළු නිළියන් තමයි බහුතරයක් මේ සඳහා දායක වුණෙත්. අනුරාධපුරයෙන් මෙතෙක් කලක් බිහි වෙලා හිටියේ චිත්‍රපට නිෂ්පාදකයෙක් විතරයි. ඒ ධම්මික සිරිවර්ධන. චන්දන වීරකෝන් කියන්නේ අපේ අනුරාධපුරයෙන් සිනමාවට බිහි වන ඊළඟ යෝධ ශක්තිය.

* නිර්මාණකරුවන්ගේ පසුපස හඹා ගොස් චරිත ඉල්ලන නළුවෙක්ද ඔබ?

අතීතයේ මට ලොකු උණක් තිබ්බා කලාව ගැන. සරසවිය පත්තරයේ දැන්වීමක් තිබුණා සිනෙ රුවන් චිත්‍රපටය වෙනුවෙන් නළු නිළියන් සොයනවා කියලා. එතකොට මම ඉස්කෝලේ යනවා. ගෙදරිනුත් බැනුම් අහලා මම ඒකට පෝස් කාඩ් එකක් දැම්මා. ඒකට කැඳවීමක් ආවා. රාජගිරිය පැත්තේ තමයි ඒ වෙනුවෙන් තෝරා ගැනීම් කළේ. මමත් ගියා. මගේ ෆොටෝ කීපයක් අරගත්තා, එච්චරයි. එදා ඒ අය බොරුවක් කළේ කියලා මට දැන් තේරෙනවා. ඊට පස්සෙ අනෝජා වීරසිංහගේ ඔබට දිවුරා කියන්නම් චිත්‍රපටයේ නළු නිළියන් තෝරා ගන්නවා කියලා දැන්වීමකට තෝරා ගැනීමේ පරීක්ෂණයකට ගියා. එතනට පන් දහසක් විතර සෙනඟක් ඇවිත් හිටියා. ඒ පන්දාහෙන් සිය දෙනකුට මාව තේරුණා. හැබැයි මාව තේරුණේ අතවනන්න. මට තිබුණේ චිත්‍රපටයේ වී වෝන් ශෂී කියලා අතවනන්න. ශෂි සිංදු කියනවා. වාමදේවන් කැමරාව, සුනිල්සෝම පීරිස්, අනෝජා වීරසිංහ නිෂ්පාදක. එදාම මට චිත්‍රපට කලාව එපා වුණා. උදේ අටේ ඉඳලා දවල් දෙක වෙනකන් වී වෝන් ශෂී. බනිස් එකක් කාලා බීම එකක් බීලා කළේ ඔච්චරයි.

* දිමුතු ඇයි ඔබට යාළුවෝ නාඩි කියලා අනවර්ථ නාමයක් පටබැඳලා තියෙන්නේ?

මගේ තියෙනවා පුරුද්දක් මොනවා හරි දෙයක් කරන්න ගියහම අතපත ගාලා ටිකක් හොයලා බලන පුරුද්දක්. මුලින්ම මම ඔබට දිවුරා කියන්නම් චිත්‍රපටයට රඟපාන්න ගියේ මගේ මාමා රුපිල් හැටකට මට අරන් දුන්න ටී ෂර්ට් එකත් ඇඳගෙන. මම එතන කරපු දේවල් ගැන හොඳට හොයලා බැලුවා. ලයිට් ගහගෙන, කැමරා තියාගෙන, බෝඩ් අල්ලගෙන කරපු දේවල් මම හොඳට බලන් හිටියා. ඒ වකවානුව වෙන කොට මම උතුරු මැද පළාතේ කලා උලෙළේ හොඳම නළුවා වෙලයි හිටියේ. ඔය අතර පොළොන්නරුවේ වැඩ මුළුවකට ආපු අනෝජා වීරසිංහ කිව්වා සමහරු එනවා චිත්‍රපටවල අත දාන්නත් කියලා. කොහොම හරි ඒ චිත්‍රපටය පස් වතාවක් බලලා තමයි මගේ අත දැක්කේ. දැන් තමයි දන්නේ ට්‍රැක් ෂොට් එකක් ඇවිත් මගේ අත ළඟින් නතර වෙනවා කියලා. යාළුවෝ චිත්‍රපටය බලලා අහනවා නාඩි කෝ බං උඹේ අත කියලා.

* කොහොමද පවුල් තොරතුරු?

මට දුවයි පුතයි. දුව කාවින්ද්‍රා මමෝහාරි, ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ. පුතා දමිදු සචින්ත අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ හදාරනවා. බිරිය ගීතා රංජනී අනුරාධපුර පළාත් ඉංජිනේරු කාර්යාලයේ රැකියාව කරනවා.

* අනුරාධපුරයේ ලොකු පොදු ප්‍රශ්නයක් වෙනුවෙන් හඬ නඟපු කෙනෙක් ඔබ?

අද වෙන කොට අනුරාධපුරයේ කලාකරුවන්ට තමන්ගේ නිර්මාණයක් පෙන්නගන්න, නිර්මාණයක් කරන්න පුහුණු වෙන්න රඟහලක් නැහැ. මම අනුරාධපුරයට රඟහලක් දෙන්න කියලා ලොකු අරගලයක් කළා. පත්තර විස්සකට විතර මම ලිව්වා අනුරාධපුරයට රඟහලක් දෙන්න කියලා. තාම ඒක අනුරාධපුරයට සිහිනයක්. අක්කර තුනක ඉඩමක් පවා වෙන් වුණා. පහුගිය ආණ්ඩුව කාලයේ හිටපු ආණ්ඩුකාරතුමා කරුණාරත්න දිවුල්ගනේ මහතා සමඟ අපි මේ ගැන සාකච්ඡා කළා. රඟහලේ සැලැස්මත් හැදුවා. මුලින් මිලියන හාරසීයක් වෙන් වුණා. පසුව මිලියන එක්දහස් පන්සීයක් වෙන් වුණා. ඒත් රඟහල හැදුණේ නැහැ. මිලියන ගණන් වෙන් වෙච්ච සල්ලිවලට බහිරවයා ගිල්ලා වගේ වුණු දෙයක් අදටත් කවුරුවත් දන්නේ නැහැ. අනුරාධපුරයේ රඟහලක් සඳහා වෙන් වෙච්ච සල්ලිවලට මොකද වුණේ කියන දේ මම අදත් අහනවා. රඟහලට මුල්ගල තියන්නත් ගියා. අන්තිමට ආණ්ඩුකාරතුමාත් නිශ්ශබ්ද වුණා. රඟහල ආශ්චර්ය නැවතුණා. අපි අදටත් මේ ආණ්ඩුවටත් ලිව්වා අපේ හීනය සැබෑ කරලා දෙන්න කියලා.