වර්ෂ 2016 ක්වූ මාර්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




පත්තර මහ ගෙදරින් සිනමාවට ගිය ආදිවාසියා

පත්තර මහ ගෙදරින් සිනමාවට ගිය ආදිවාසියා

කවර මතවාද තිබුණ ද ජයවිලාල් විලේගොඩගේ අවසාන සිනමා විචාරය ලියවුණේ වසන්ත ඔබේසේකරගේ වෙස් ගත්තෝ පිළිබඳවය. වසන්තගේ අපැහැදිලි අත් අකුරු පිළිබඳව කර්තෘ මණ්ඩලයේදී නිතර විවේචනය කළ විලේගොඩ වෙස්ගත්තෝ සම්බන්ධයෙන් ලියා තිබුණේ මතු බලාපොරාත්තු තබාගත හැකි සිනමාකරුවකු බිහිවන වගය. විචාරය පළ වන විට විලේගොඩ හිටියේ රෝහලේය. විලේගොඩ බලන්නට ගොස් ආපසු එද්දී හිතවත් වෛද්‍යවරයකු හමු විය. ඔහු විලේගොඩගේ ඉරණම ඉදිරි පැය දෙක තුන ඇතුළත විසඳෙන බව වසන්තට හෙළි කළේය. කම්පාවට පත් වසන්ත ආපසු විලේගොඩ ළඟට ගොස් තවත් පැයක් පමණ ගත කළේය.

පරම්පරා තුනකට අයත් සිනමා විචාරකයන් 28 දෙනෙක් 1997 දී පනස් වසරක සිංහල සිනමාවේ හොඳම චිත්‍රපට දහය තේරූහ. එහිදි තේරුණු චිත්‍රපට තුනක් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේය. 1 වැනි ස්ථානය නිධානයටත් 2 වැනි ස්ථානය ගම්පෙරළියටත්, 9 වැනි ස්ථානය රේඛාවටත් හිමි විය. ඊළඟට එම චිත්‍රපට දහයට චිත්‍රපට දෙකක් තේරුණේ වසන්ත ඔබේසේකරගේ පමණි. 7 වැනි ස්ථානය පළඟැටියෝ චිත්‍රපටයටත් 8 වැනි ස්ථානය දඩයම චිත්‍රපටයටත් හිිමි විය.

පුදුමය නම් මේ දෙදෙනාම පත්‍ර කලාවෙන් සිනමාවට පිවිසුණවුන් වීමය. 1943 – 1944 අතරතුරදී යාපනේ චුන්නකම්හි දෙසතියකට වරක් පළ කළ ‘කේශරී’ පත්තරයට ලන්ඩනයේ සිට ලෙස්ටර් ‘Movie Postscript’ ලිපි පෙළ ලිව්වේය. ඉන්දියානු ජාතික ෆ්‍රැන්ක් මොරායස්ගේ කර්තෘත්වයෙන් පළ කළ ටයිම්ස් ඔෆ් සිලෝන් පත්‍රයේ ලන්ඩන් වාර්තාකරු වූයේ ද ලෙස්ටර්ය. ලෙස්ටර්ගේ අභිප්‍රාය වූයේ පූර්ණකාලීන පත්‍රකලාවේදියකු වීමය. ඒත් පත්තර කලාවට ඉහළින් සිනමාවට හිත ගියේ කුඩා කල ක්ලිෆඩ් පෙරේරාගේ අනාවැකිය නිසාවත්, කොළඹ චිත්‍රපට සමාජයේ සාමාජිකයකුව සිටි නිසාවත්, හෙර්වඩ් ජෑන්ස් හමු වු නිසාවත් නොව, පත්තර රස්සාව නිසාම රැලෆ් කීත් හමුවිම නිසා විය යුතුය. 1952 ලෙස්ටර් ශ්‍රී ලංකාවට ආවේ රැල්ෆ් කීත්ගේ ඇරියුමෙනි.

විචාරක තේරීමෙන් පනස් වසරේ සිනමාවේ කෘති දෙකක් වසන්ත ඔබේසේකරගේ පළඟැටියෝ 7 වැනි තැනටත් දඩයම 8 වැනි තැනටත් තේරිණි. වසන්ත සිනමා කලාවට ආවේත් පත්තර රස්සාවෙනි. 1958 දී පේරාදෙණියේ ලංකා විශ්විවිද්‍යාලයට ඇතුළු වූ ඔහු උපාධි ලබා 1964 දී ලේක්හවුසියේ ‘දිනමිණ’ පත්තරයට පත්‍ර කලාවේදියකු ලෙස බැඳුණේ පුවත්පත් කලාව සිය ජීවන වෘත්තීය කරගන්නා අපේක්ෂාවෙනි. 60 දශකයේ මැද භාගයේදී වසන්ත දිනමිණ ප්‍රවෘත්ති අංශයේ ප්‍රවෘත්ති ලියමින් සිටි හැටි මට මතකයි. එවක දිනමිණ ප්‍රධාන කර්තෘවරයා ධර්මපාල වෙත්තසිංහ මහතාය. ඔහු වසන්තව භාර කළේ එවක ප්‍රවෘත්ති කර්තෘව සිටි එඩ්මන්ඩ් රණසිංහ මහතාටයි. අනෙක් පත්‍ර කලාවේදීන් එක් එක් අමාත්‍යාංශවල පුවත් ලිවීම පැවරුවත් වසන්තට කිසිදු නිශ්චිත අමාත්‍යාංශයක් හෝ විෂය ක්ෂේත්‍රයක් පැවරුවේ නැතැයි රණසිංහ මහතා කියයි. ඊට හේතු වූයේ ඔහු සිනමා කලාව හැර අන් කිසිදු විෂය ක්ෂේත්‍රයක් පිළිබඳව උනන්දුවක් නොදැක් වූ නිසා බවයි ඔහු කියන්නේ.

දිනමිණේ සිටියදී ඔහු වැඩි කාලයක් ගත කළේ දිනමිණ විශේෂාංග අංශයේ සේවය කළ ජයවිලාල් විලේගොඩ මහතාගේ හෝ එඩ්වින් ආරියදාස මහතාගේ අසුන ළඟ බව මට මතකයි. එඩ්වින් ආරියදාස මහතා වසන්ත පිළිබඳ මතක ආවර්ජනය කරන්නේ මෙසේය.

‘වසන්ත උනන්දු වූ විෂය සිනමාව විතරයි. ඔහු මා ළඟින් වාඩි වී කතා කළේ ග්‍රිෆිත්ගේ බර්ත් ඔෆ් අ නේෂන් ගැන. සර්ජි අයිසෙන්ස්ටයින්ගේ බැට්ල්ෂිප් පාටෙම්කින් ගැන, ප්‍රංශ නවරැල්ල ගැනයි. ඔහු අකිර කුරාසාවා - ඩිසිකා වැනි සිනමාකරුන්ගේ කෘති ගැන නිතර කතා කළා. ජයවිලාල්ගේ සිනමා විචාරය ඉල්ලා සිටින්නේ යථාර්ථවාදී සිනමාවක් බවත්, ඔහුගේ අරගලය අපේ සිනමාව දකුණු ඉන්දියානු අනුකරණවාදීන්ගෙන් ගලවා ගැනීම බවත් වසන්ත තේරුම්ගෙන සිටියා. ඒත් ඔහුගේ විචාර ශෛලිය ගැන ඔහු තුළ තිබුණේ අකමැත්තක්. මගේ මිත්‍රයා සිරි ගුණසිංහ ‘සත් සමුදුරට’ වසන්ත හවුල් කරගත්තේ මේ උනන්දුව ඔහු දැන සිටි නිසා වෙන්නට පුළුවන්’.

දිනමිණ කර්තෘ මණ්ඩලයට යාබදව තිබුණු ඩේලිනිව්ස් කර්තෘ මණ්ඩලයේ කලා විචාරක ‘විරංගා’ හෙවත් නිහාල් රත්නායකත්, චිත්‍රපට විචාරක පිලිප් කුරේත් ඔහු මහත් ඇල්මෙන් ආශ්‍රය කළේ සිනමාව ගැන උනන්දුව නිසා බව පැහැදිලිය. කලාත්මක සිනමාව ගැන ප්‍රථම සිංහල ග්‍රන්ථය වන ‘චිත්‍රපට ආස්වාදය’ ලියූ සිළුමිණ පත්‍රයේ බෙනඩික්ට් දොඩම්පෙගම ඔහු සමීපව ආශ්‍රය කළ අනෙක් මිතුරාය. ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ කුලුපග මිතුරකු වන බෙන්ගේ සිනමා දැනුම ඔහු ප්‍රිය කළේය. 1963 ලෙස්ටර්ගේ ගම්පෙරළියෙන් කුල්මත් වූ වසන්ත සිනමාව පිළිබඳ බොහෝ පොතපත කියෙව්වේය.

සිංහල සිනමාවට පේරාදෙණි විශ්වවිද්‍යාලයේ උගතුන්ගේ දායකත්වය ලබා දෙමින් ආචාර්ය සිරි ගුණසිංහ සමඟ සිනමාවට මංගල පියවර තැබීමේ භාග්‍යය වසන්තට උදා විය. ආචාර්ය ගුණසිංහ ලීනස් දිසානායක සමඟ එක්ව ගුණසේන ගලප්පත්තිගේ ‘මූදු පුත්තු’ සිනමාවට නැඟීමේ සාකච්ඡා පවත්වද්දී මමත් ගලප්පත්ති සමඟ සිටියෙමි. ගලප්පත්ති මූදුපුත්තු චිත්‍රපටය ගැන මහත් බලාපොරොත්තු තබාගෙන සිටියේය. එහෙත් කවර හෝ අභාග්‍යයකට ඒ තීරණය වෙනස් විය. මූදු පුත්තු චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට තෝරාගෙන සිටි (මූදුපුත්තු නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑ) සිරිල් වික්‍රමගේ සමඟ මූදුපුත්තු හා සමාන ධීවර පසුබිමක් සහිත අලුත් කතාවක් සිනමාවට නැඟීමට ආචාර්ය ගුණසිංහ පියවර ගත්තේය.

කවර මතවාද තිබුණ ද ජයවිලාල් විලේගොඩගේ අවසාන සිනමා විචාරය ලියවුණේ වසන්ත ඔබේසේකරගේ වෙස් ගත්තෝ පිළිබඳවය. වසන්තගේ අපැහැදිලි අත් අකුරු පිළිබඳව කර්තෘ මණ්ඩලයේදී නිතර විවේචනය කළ විලේගොඩ වෙස්ගත්තෝ සම්බන්ධයෙන් ලියා තිබුණේ මතු බලාපොරාත්තු තබාගත හැකි සිනමාකරුවකු බිහිවන වගය. විචාරය පළ වන විට විලේගොඩ හිටියේ රෝහලේය. විලේගොඩ බලන්නට ගොස් ආපසු එද්දී හිතවත් වෛද්‍යවරයකු වසන්තට හමු විය. විලේගොඩගේ ඉරණම ඉදිරි පැය දෙක තුන ඇතුළත විසඳෙන බව හෙතෙම වසන්තට හෙළි කළේය. කම්පාවට පත් වසන්ත ආපසු විලේගොඩ ළඟට ගොස් තවත් පැයක් පමණ ගත කළේය. මේ වග වසන්ත බොහෝ අවස්ථාවල හෙළිකළ කරුණකි.

කෙසේ වෙතත් සිරි ගුණසිංහ අමෙරිකාවේ ලොස්ඇන්ජලීස් විශ්වවිද්‍යාලයේ සිනමාකරණය හදාරා තිබුණත් වසන්ත ඔබේසේකර සත් සමුදුර සම තිර රචකයා ලෙසත් සහාය අධ්‍යක්ෂවරයා ලෙසත් තෝරා ගැනීම වසන්ත ඔබේසේකරගේ සිනමා ප්‍රවිෂ්ටය විය.

1970 දී වෙස් ගත්තෝ චිත්‍රපටයේ සිටම ඔහු සමකාලීන සමාජ දේශපාලනමය ප්‍රස්තුත සිය සිනමා කෘති තුළින් සිනමාත්මක සාකච්ඡාවට ලක් කිරීමෙන් ධර්මසේන පතිරාජ – ධර්මසිරි බණ්ඩාරනායක මෙන්ම වම් ඉවුරේ සිනමාකරුවකු ලෙස ප්‍රකට විය. වල්මත් වූවෝ - දියමන්ති – පළඟැටියෝ - දඩයම – කැඩපතක ඡායා - මාරුතය - දොරකඩ මාරාව ඇතුළු වසන්තගේ සියලු චිත්‍රපට ලෙස්ටර් ආරම්භ කළ යථාර්ථවාදී සිනමාවේ දිගුවක් විය. ලෙස්ටර් අබිබවා සමකාලීන සමාජ ගැටලු හා සමාජ අසාධාරණය ප්‍රශ්න කිරීමට වසන්ත තම චිත්‍රපට යොදා ගත්තේය.

චිත්‍රපට ගත කිරීමට ඔහු තෝරා ගත් මිනීමරුම් මනුෂ්‍ය ඝාතනාදිය පිටුපස ඇති සමාජ යථාර්ථය පිළිබිඹු කරමින් එම වැරැදි පුද්ගල වැරැදි නොව, සමස්ත සමාජ යාන්ත්‍රණයේ වරද බව ඔහු පෙන්වා දුන්නේය. ඇතැම් විචාරකයන් පෙන්වා දෙන්නේ ඔහු සැබෑ සමාජ සංසිදධීන් ආශ්‍රයෙන් කතන්දරයක් කියන අතර කලාත්මක ප්‍රකාශන රීතියකින් සමාජ දේශපාලනය ප්‍රශ්න කරන බවයි.

වසන්ත ඔබේසේකර සිනමාව වෙනුවෙන් සිය ජීවිතය කැප කළ සිනමාකරුවෙකි. චිත්‍රපටයක තිර නාටකය සාර්ථක ලෙස නිම කරගැනීම චිත්‍රපටයෙන් සියයට පනහක් සාර්ථක කරගැනීමක් ලෙස ඔහු සැලකුවේය.

චිත්‍රපටයක් හැර අන් ඕනෑම කලා කෘතියක් අහම්බෙන් බිහි විය හැකිය. මහමඟ යන එන විටකදී කවි සිතුවිල්ලක් පහළ විය හැකියි. එය කඩදාසි කැබැල්ලක සටහන් කරගත හැකියි. මැදියම අඩ නින්දේදී මධුර ස්වර මාලාවක් මනසේ සිතුම් විය හැකියි. නින්දෙන් නැගිට එය ලියා තැබිය හැකියි. එහෙත් චිත්‍රපටයක් පමණක් එසේ ආකස්මිකව බිහි විය නොහැකියි. එය දීර්ඝ කාලීන සැලසුමක සහ දීර්ඝ ක්‍රියාවලියක අවසන් ප්‍රතිඵලයක් පමණයි යන සත්‍යජිත් රායිගේ කියමන වසන්ත ඔබේසේකර තරයේ ඇදහූ කෙනෙකි. ඔහු සිය තිර නාටකය කෙරෙහි දැක්වූයේ අපමණ උනන්දුවකි.

ධර්මසිරි බණ්ඩාරනායක සහ ප්‍රසන්න විතානගේ යන සිනමාකරුවන් පවසන්නේ ‘පළඟැටියෝ’ වැනි පරිපූර්ණ තිර නාටකයකින් තමන් ලැබූ පූර්වාදර්ශය අති මහත් බවයි.

වසන්ත ඔබේසේකර සිය සිනමා කෘති මඟින් අපේ ප්‍රේක්ෂකයන්ගේ රුචිකත්වය උරගා බලන විවිධ ශෛලියේ චිත්‍රපට නිර්මාණය කරන්නට පසුබට වුණේ නැත. දියමන්ති වැනි චිත්‍රපටයක් ඇතැමුන්ගේ දෝෂ දර්ශනයට ලක්වුණේ එබැවිනි. ඔහුගේ සිනමා කෘති සිංහල සිනමාවේ පෙරැළිකාර කෘති බවට පත් විය.

සිනමාව සැමවිටම කලාත්මක ප්‍රකාශනයක් බව විශ්වාස කළ වසන්ත බොහෝ දෙනෙකු වාණිජත්වයෙන් බැහැර කළ නොහැකි බව කියූ රූපවාහිනි මාධ්‍යයද කලාත්මක ප්‍රකාශනයක් ලෙස භාවිත කළ හැකි බව ඔහු මෙහෙය වූ රූපවාහිනී පාඨමාලා ඔස්සේ පෙන්වා දුන්නේය. ඔහුගෙන් රූපවාහිනී මාධ්‍ය උගත බොහෝ තරුණ කලාකරුවෝ අද රූපවාහිනී මාධ්‍යයේ සාර්ථක ශිල්පීන් බවට පත්ව සිටිති.

1960 දශකයේ මීගමුවේ පිටිපන කලපුවේ ‘සත් සමුදුර’ රූපගත කරද්දී මා එහි ගොස් ආචාර්ය සිරි ගුණසිංහ සහ කැමරා ශිල්පී ඩී. නිහාල්සිංහ සමඟ සම්මුඛ සාකච්ඡාවක් කරද්දී වසන්ත සත් සමුදුර තිර පිටපතත් රැගෙන මා අසල සිටි බව මට මතකය. සිරිල් වික්‍රමගේ, එඩ්මන්ඩ් විජේසිංහ හා සෝමසිරි දෙහිපිටිය එදින රූපගත කිරීම්වලට සහභාගී වුහ.

පසු කාලයකදී වරින්වර ලෝරස් පාරේ ඔහුගේ කාමරයේදී හමු වී බෙහෝ දේ කතාඛළ හැටිත් ඇතැම් අවස්ථාවල ඔහු සියල්ල ගැන කලකිරීමෙන් හා උකටලී ස්වරයෙන් කතා කළේය.

අප විසින් සංවිධානය කරනු ලැබ ලේක්හවුස් ආදිවාසීන්ගේ හමු කිහිපයකට ඔහු මතත් කැමැත්තෙන් සහභාගි වූයේය. බියගම විලේජ්හි පැවැති ආදිවාසී හමුවලදී ඔහු පැරැණි සගයන් හමු වී ගී ගැයීමට හවුල් වෙමින් සතුටු වූ ආකාරය අදත් මැවී පෙනේ.

කෙසේ වෙතත් කොතරම් සමාජ මෙහෙවරක් කළත් බොහෝ කලාකරුවන්ගේ අවමඟුල් උත්සවවලදී ඔහුට බුහුමන් පිදීමට අවසන් ගෞරව දැක්වීමට පැමිණෙන පිරිස ගැන නම් කිසිසේත් සෑහීමකට පත්විය නොහැකිය. වසන්ත ඔබේසේකර කලාකරුවාගේ අවමඟුලේදී ද ඒ ජාතියේ අකෘතඥභාවය මනාව කැපී පෙනුණුු බව කනගාටුවෙන් වුව සටහන් කර තැබිය යුතුය.