වර්ෂ 2016 ක්වූ මාර්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




විජය - රවීන්ද්‍ර - ස්වර්ණා - සංගීතා හොඳම රඟපෑම් ගෙනාවේ වසන්ත හරහා

විජය - රවීන්ද්‍ර - ස්වර්ණා - සංගීතා හොඳම රඟපෑම් ගෙනාවේ වසන්ත හරහා

සිය සිනමා ගුරුවරයා පිළිබඳ ප්‍රසන්න විතානගේ සමඟ කළ සාකච්ඡාව

වසන්ත ඔබේසේකර නම් විශිෂ්ට සිනමාවේදියාණන් දැන් මෙලොව හැර ගොසිනි. ඒත් ඔහුගේ සිනමා ආශ්වාදය සර්වකාලීනය. වසන්ත වෙතින් සිනමා ඥානය ලැබ සිනමාවට පිවිසි පරම්පරාව විශාල එකකි. ඒ අතරින් සුවිශේෂ සිනමාකරුවකු වනුයේ ප්‍රසන්න විතානගේය. වසන්ත නිරන්තරයෙන් ප්‍රසන්න ගැන කතා කළේ ආඩම්බරයෙනි. ස්වකීය සිනමා ගුරුවරයා පිළිබඳ මතකාවර්ජනයක යෙදෙන්නට අපි ඔහුට ඇරියුම් කළෙමු.

ප්‍රසන්න විතානගේ මොරටුව පාලමෙන් එහා පාණදුර නගරය තම ගම් පියස කරගත්තෙකි. 70 දශකයේ ප්‍රසන්න කොළඹ එවෙන්නේ පාසල් යාමටය. නැතිනම් චිත්‍රපට නැරඹීමටය. තරඟයට චිත්‍රපට නරඹන නව යෞවනයන්ගේ ගොඩට එකතු වන ප්‍රසන්න චිත්‍රපට බැලීමේදී තමන්ගේ ලොකුම පුරුද්ද කර ගන්නේ චිත්‍රපටය නිකුත් කර පළමු දිනයේ බැරිනම් දෙවැනි දිනයේ හෝ චිත්‍රපටය බැලීමය. 1978 එවකට 8 පන්තියේ ශිෂ්‍යයෙක් ලෙස ප්‍රසන්න විතානගේ බම්බලපිටිය ලොරිස් පාරේ නොම්මර 15 නිවහනට යන්නේ වසන්ත ඔබේසේකරයන්ව මුණ ගැසෙන්නටය. සිනමාව ගැන අසීමිත ආශාවක් සහ ඔබේසේකරයන් ගැන අසීමිත ගෞරවයක් ඇති ඔහු ඔබේසේකරයන් සොයා යන්නේ තිර රචනය ගැන යමක් ඉගෙන ගන්නටය.

‘1978 අවුරුද්දේ මම 8 පන්තියේ ශිෂ්‍යයෙක්. දවසක් මම සිළුමිණ පුවත්පතේ අන්තිම පිටුවේ තිබුණ කුඩා දැන්වීමක් දැක්කා. ඒකේ තිබුණේ වසන්ත ඔබේසේකර මහත්මයා ආරම්භ කරන තිර රචනා පාඨමාලාවට අයදුම්පත් කැඳවනවා කියලයි. ඒ වෙනකොටත් එතුමාගේ වල්මත් වූවෝ, දියමන්ති කියන චිත්‍රපට 2 කම මම නරඹලයි තිබුණේ. වල්මත් වූවෝ එකේ සිරිල් වික්‍රමගේ තමන්ගේ උපාධි සහතිකය අරන් ගිනි තියන දර්ශනය ඒ වෙනකොටත් මගේ මතකයේ තදින්ම සටහන් වෙලා තිබුණා.’

ප්‍රසන්න විතානගේ තමන්ගේ මඟ සකසා ගැනීමේ මුල පැහැදිලි කළේ එසේය.

දෙමගක ගිය දෙදෙනෙක් තිස්ස හා වසන්තගේ අතීත හමුවක්

‘මම පුරාජේරු සහිත ලොකු ලිපියක් හදාගෙන දවසක් නොම්මර 15 ලොරිස් පාර, කොළඹ 7 ලිපිනයට ගියා. පාංශු දේහධාරි පැහැපත් මනුස්සයෙක් ඇවිත් ගේට්ටුව ඇරියා. ඔහු තමයි වසන්ත ඔබේසේකර. මම මගේ ලිපිය ඔහුට දුන්නා. ඔහු ඒක භාර ගත්තා. සෙනසුරාදා දවසක තමයි සම්මුඛ පරීක්ෂණය තිබ්බේ. මට ඒකට එන්න කියලා තිබුණා. එදා ඔහු මාව තෝරා ගත්තා. ඒ ඔහුගේ දෙවැනි තිර නාටක ශිෂ්‍ය කණ්ඩායමට. ශාන්ත පීතර විද්‍යාලයේ තමා අපට පන්ති පැවැත්වුණේ. මම හිටපු කණ්ඩායමේ හොඳම ශිෂ්‍යයා තමා ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු.’

* ඔබ වසන්ත ඔබේසේකරයන් විශිෂ්්ටයෙක් හැටියට තෝරන්නේ ඔහුගේ කිනම් භූමිකාවක් නිසාද?

ඔහු එක් පැත්තකින් ගුරුවරයෙක්. අනෙක් පැත්තෙන් පුවත්පත් කලාවේදියෙක්. මතුපිටින් බලලා විග්‍රහ කරනවාට වඩා ගැටලුවක් සිදුවීමක් ඇතුළතින්ම බලලා විග්‍රහ කරන පුරුද්ද ඔහුට ආවේ ඔහු පුවත්පත් කලාවේදියෙක් නිසා කියලයි මට හිතෙන්නේ.

සෑම දේකම සත්‍ය හොයා ගන්න යථාව ඉදිරිපත් කරන්න ඔහු වෙහෙසුණා. එනමුත් ඔහු විශිෂ්ටයෙක් ලෙස මතුවෙන්න හේතුවෙන කාරණා 3 ක් මම දකිනවා.

පළමුවෙනි එක තමා ගුරුවරයෙක් හැටියට අපිට ඉගැන්වූවා මිනිසුන් මිනිසුන් හැටියට තේරුම් ගන්නේ කොහොමද කියන එක. මිනිසෙක් නිශ්චිත මොහොතක හැසිරෙන විදිහ ගැන කුහුලක් ඔහු අප තුළ ඇති කළා. ඒ කුහුල මතින් තමා අප මිනිසුන් දිහා බැලුවේ.

දෙවැනි කාරණය තමා ඔහුගේ මව සහ පියා. ඔහුගේ පියා ආයුර්වේද වෛද්‍යවරයෙක්. ඔහු පියාගෙන් තමා අවංකකම ඉගෙන ගත්තේ. වතාවක් කිසියම් අවශ්‍යතාවයකට ඔහු පියාගේ හාෆ් ෂීට් කොළ වගයක් ගත්තා.

පියා මේ දේ දැක්කා. දැකලා කිව්වා ‘උඹට හාෆ් ෂීට් ගන්න ඕනෑ නම් මම සල්ලි දෙන්නම්. ඒත් මේවා ආණ්ඩුවේ දේවල්. ඒවා ගන්න එපා’. ඔහු එතනින් ලොකු පාඩමක් ඉගෙන ගත්තා.

ඒ ඉගෙන ගත්ත අවංකකම ජීවිත කාලය පුරාම රැකගත්තා. ඒ වගේම ඔහුගේ මව ඔහු ළදරු වියේදීම මිය ගියා. ඔහුට මවගේ සෙනෙහසත් ලැබුණේ නැහැ. නුමුත් ඒ කාරණය ඔහුගේ නිර්මාණකරණයේදී මතු වුණා. කාන්තාව යනු ස්වාධීන ආත්මයක්, එය පුරුෂාධිපත්‍යයකට යට නොවිය යුතු බව ගොඩක් නිර්මාණවල අවධාරණය කළා. දඩයමේ රත්මලීගේ චරිතය ඒ වගේ එකක්. සෙනෙහසක් නොමැති නිසා ඔහු කාන්තාවකට හිමි ගෞරවය ගැන නිර්මාණවලින් කතා කිරීම කළා කියන එක සාධාරණයි.

තුන්වැනි කාරණය තමයි ඔහු නිර්මාණකරණයට එනකොට තම පෞද්ගලික සිතැඟි අනුව කටයුතු නොකිරීම. අධ්‍යක්ෂණ කාර්යයේදී වසන්ත ඔබේසේකර කියන්නේ ශල්‍ය වෛද්‍යවරයෙක් වගේ ක්‍රියා කරන කෙනෙක්. සියුම් තුඩකින් ශරීරයක් කපනවා හා සමානව ඔහු තමන්ගේ රංගන ශිල්පීන් එක්ක ගනුදෙනු කළා. ඔවුන් නිරාවරණය කරන්නේ තමන්ගේ පෞද්ගලිකත්වය.

ඒ පෞද්ගලිකත්වය මඟින් සිතැඟි ඉටු කරගන්න වසන්ත කවදාවත් උත්සාහ කළේ නැහැ. ඔහුගේ මේ සියුම් හැසිරවීම රංගන ශිල්පීන් බොහෝ දෙනෙක්ට ආශිර්වාදයක් වුණා. සමහර අය තමන්ගේ හොඳම රඟපෑම කළේ වසන්ත ඔබේසේකර යටතේ. උදාහරණයකට විජය කුමාරතුංග කැඩපතක ඡායා, රවීන්ද්‍ර ස්වර්ණා දඩයමේ, සනත්, සංගීතා දොරකඩ මාරාවේ. ඒ වගේම සෝමසිරි දෙහිපිටිය, සිරිල් වික්‍රමගේ හොඳම දක්ෂකම් පෙන්වූයේ වසන්ත ඔබේසේකර යටතේ.

* එතුමන් පිටපතට වැඩි බරක් දෙන නිර්මාණකරුවෙක් හැටියට චිර ප්‍රසිද්ධයි. ඔබගේ ගුරුවරයා වන්නේත් එතුමා?

එතුමාව මුලින්ම ක්‍රමවත්ව හමුවෙන්නේ ඔහුගේ සම්මුඛ පරීක්ෂණයේදී. ඒ 1978. බඩු බාහිරාදිය ඉතා අල්ප හතර වටෙන් පොත් පිරිච්ච රාක්ක තිබුණු කාමරයක් මධ්‍යයේ ඔහු හිටියා. ඔහු මගෙන් ඇහුවේ ඔබට මේ දේවල් ග්‍රහණය කරගන්න පුළුවන් වෙයිද කියලා මට තේරෙන්නේ නැහැ. ඔබට පුළුවන්ද ඒ දේ කියලා.

මම කිව්වා මට ග්‍රහණය කරගන්න පුළුවන් කියලා. වතාවක් මම ඔහුගේ පිටපතක් පිටපත් කළා. ඒ කිව්වේ ඔහු කියනකොට මම ලිව්වා. ඒක නාට්‍ය ශාලාවක බුකිං ක්ලාක් කෙනෙක්ගේ කතාවක්. මොහු දුගී වුණත් තමන්ගේ ආත්ම ගෞරවය ගැන තකපු කෙනෙක්. මොහුට යම්කිසි වංචාවක් හසු වෙනවා. ඒක ප්‍රධානීන්ට දන්වනවා.

නමුත් ප්‍රධානින් ඒ ගැන ක්‍රියා කරන්නේ නැහැ. මොකද ඔවුනුත් වංචාවන්ට හවුල් නිසා. මේ චිත්‍රපටය කවදාවත් කෙරුණේ නැහැ. මොකද ඔහු විශ්වාස කළා පිටපතේ සමහර දේවල් රූපමය විදිහට ග්‍රහණය කරගන්න ප්‍රේක්ෂකයන්ට බැරි වේවි කියලා.

අනෙක් කාරණය තමයි ඔහු පොතපතින් ගන්නා සාධකවලට වඩා ජීවමාන සාධක ගැන ලොකු විශ්වාසයක් තබා ගනිපු එක. චරිත අභ්‍යන්තරය රූපයට නගන කාර්යය ගැන ඔහු හිටියේ අවධානයෙන්. පුද්ගලිකව ඒ සම්බන්ධව මම ලෙස්ටර්ට බර වුණත් වසන්ත ඔබේසේකර කියන්නේ දැවැන්ත කාර්යයක් කරපු කෙනෙක්.

රූ ගැන්වීමක ජයනාත් ගුණවර්ධන සමඟ

* සිනමාව සම්බන්ධයෙන් වසන්ත ඔබේසේකර කියන්නේ නව්‍යවාදියෙක්ද?

ප්‍රේක්ෂකයාට පරිකල්පනය ඇති කිරිම සම්බන්ධයෙන් ඔහුගේ මැදිහත්වීම විශිෂ්ටයි. අපි ගොඩක් පරිකල්පනය කියලා දකින්නේ ගතවන කාලයත් සමඟ පරිකල්පනයකට එළඹීම. ඒ කියන්නේ දෘශ්‍යමාන ඔරලෝසු කාලය.

නමුත් වසන්ත මේ දේ වෙනස් කළා. මාරුතය, කැඩපතක ඡායා වගේ චිත්‍රපටවල  Apparent Time  (දෘශ්‍යමාන කාලය) ඒකට ඔබ්බෙන් ගිහින් එතුමාට පුළුවන් වුණා අතීත, වර්තමාන, අනාගත කියන කාලත්‍රයට රූප ගලප ගන්න. ඒ අනුව රූපය පරිකල්පනයත් එක්ක ගැට ගැහෙනවා.

අතීතය ස්මරණය කරන්නත් අනාගතයේ සිහින දකින්නත් වර්තමානයේ ක්‍රියා කරන්නත්. ඒ වගේම ඔහු ශ්‍රව්‍ය මාධ්‍ය ගැනත් වැඩිපුර හිතපු කෙනෙක්. ඒ තුළ ගොඩක් අත්හදා බැලීම් කරන්න ඔහු පුරුදු වුණා. ඒ දේවල් අතිශය සාර්ථක වුණා. මොකද කොපලාගේ God Father ජෝසෆ් ලුසී අධ්‍යක්ෂණය කරපු The Go Between වගේ චිත්‍රපටවලත් ඔහු කරපු අත්හදා බැලීම් කරලා තිබුණා. ඒ පිළිබඳව ඔහු බොහෝම සතුටට පත් වුණා.

* ඔබ එතුමාණන්ගෙන් ඉගෙන ගත් හොඳම පාඩම මොකක්ද?

එතුමා උගන්නපු හොඳම පාඩම ලොකුම දේ තමා චිත්‍රපටයක සිදුවීම් විකාශය කර පෙන්වන්නට ජනප්‍රිය අංග අවශ්‍ය නැහැයි කියන එක. කාලෙක ඉඳන් මතයක් තිබුණා චිත්‍රපටයක ගීත, සටන් ජවනිකා නොතිබුණොත් ඒ චිත්‍රපටය අසාර්ථක වෙනවා කියන එක. ඒ මතය බොරු කරපු සිනමාකරුවෙක් තමා වසන්ත ඔබේසේකර. 1975 දී ඔහු හදපු දියමන්ති චිත්‍රපටයේ ගීත අඩංගු වුණා. නමුත් වාණිජමය අනිත් චිත්‍රපටය අසාර්ථකයි. ඊට පස්සේ හදපු දඩයම චිත්‍රපටය බලන්න. එකේ ජනප්‍රිය අංග නැහැ. ඒත් ඒ වසරේ වාණිජමය අතින් සාර්ථකම චිත්‍රපටය වගේම සරසවිය සම්මාන උලෙළේ හොඳම චිත්‍රපටය වුණා. මම ප්‍රංශයේ වෙසුල් සිනමා උලෙළට ගියා. ඒ උලෙළේදී තවත් ලංකාවේ චිත්‍රපටත් එක්ක දඩයමත් පෙන්නුවා. මෙහෙන් ගෙනිච්ච ඩීවීඩී පිටපත ඉතා දුර්වල එකක්. තිරගත කරනකොට දහ පහළොස් සැරයක් අක්‍රිය වුණා. නමුත් ප්‍රේක්ෂකයෝ චිත්‍රපටය බලන එක අතහැරියේ නැහැ. ඉතා උණුසුම් ප්‍රතිචාර ප්‍රේක්ෂකාගාරයෙන් ලැබුණා. ඒ කෙසේ වෙතත් මම කවදාවත් එතුමා එක්ක එකට චිත්‍රපටයක වැඩ කළේ නැහැ. එකම එක දවසක් එතුමාට අසනීප වෙච්ච දවසක දොරකඩ මාරාව චිත්‍රපටයේ දර්ශන කිහිපයක් රූපගත කරන්න මට භාර දුන්නා. ඒ තමා ප්‍රථම සහ අවසාන වතාව මම ඔහුගේ නිර්මාණයකට සම්බන්ධ වුණ.

* ඔහු දේශපාලන සිනමාකරුවෙක්ද?

ඇත්තටම ඔය ප්‍රශ්නේ වසන්ත ඔබේසේකර මහත්මයා ජීවත් වෙලා ඉන්න කාලේ ඇහුවා නම් අනිවාර්යෙන්ම ඔහු කියනවා උඹට පිස්සු ද කියලා. ඔහු විශ්වාස කරන්නේ නැහැ ඔහු දේශපාලන ප්‍රකාශකයෙක් කියලා. ඔහු කලාව කලාව හැටියට කළා මිසක් ලේබල් ගැහෙන්න ගියේ නැහැ. හැබැයි ඔහු දේශපාලනික ප්‍රකාශන ගොඩක් ඉහළින් අගය කරපු කෙනෙක්. ධර්මසේන පතිරාජගේ බඹරු ඇවිත් ඔහු ඒ විදිහට ඉතාම අගය කළා. ඒ වගේමයි සිසිල ගිනි ගනී. කොහොමත් මගේ පිටපත්වලදී මම වසන්ත ඔබේසේකර සමඟ ඉතා කිට්ටුවෙන් සාකච්ඡා කළා. ඔහු ඒ දේ තමුන්ගේ දෙයක් විදිහට භාරගෙන මා සමඟ සාකච්ඡා කරලා උපදෙස් දුන්නා. හැබැයි ඔහුගේ ලොරිස් පාරේ ගෙදර කියන්නේ සිනමාව දේශපාලනය ගැන ගැඹුරින් කතා වෙච්ච තැනක්. බොහෝ දෙනා ඒ දවස්වල දේශපාලන සාකච්ඡා කරන්න ලොරිස් පාරට ඇවිත් යන සිරිතක් තිබුණා. ඒ දවස්වල මට මතකයි සිරිල් අයියට (සිරිල් වික්‍රමගේ) දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් මරණ තර්ජන තිබුණා. මොකද ඔහු මහජන පක්ෂයේ හිතවතෙක් නිසා. ඔහු ජීවිතාරක්ෂාව පතා නතර වුණෙත් ඔබේසේකර මහත්මයාගේ ලොරිස් පාරේ ගෙදර. ඒ වගේම අපි නිරන්තරයෙන් උතුර හා නැගෙනහිර වෙන යම් යම් සිදුවීම් ගැන දැනගත්තෙත් ලොරිස් පාරේ ගෙදරින්. මොකද ඩී. බී. එස්. ජෙයරාජ් වාගේ මාධ්‍යකරුවන් නිතර එහේ ආවා ගියා. ඒ කෙසේ වෙතත් ධර්මසේන පතිරාජ නගරයේ දේශපාලනය ගැන කතා කරන කොට ගමේ දේශපාලනය ගැන කතා කළේ වසන්ත ඔබේසේකර.

* සිනමාව සම්බන්ධයෙන් රාජ්‍ය මැදිහත්වීම ගැන වසන්ත ඔබේසේකරගේ අදහස වුණේ කුමක්ද?

ඔහු සිනමාවේ රාජ්‍ය ඒකාධිකාරය වෙනුවෙන් පෙනී හිිටියා. ඒ වගේම සුමිත්ත අමරසිංහ චිත්‍රපට සංස්ථාවේ සභාපතිව සිටි වකවානුවේ ඔහු අධ්‍යක්ෂ මණ්ඩලයටත් පත් වුණා. එය ඔහුගේ ගෞරවයට හේතු නොවුණ බව මා කිව යුතුයි. එයින් වන්නේ සිනමාවට කැප වූ සිනමාකරුවකුගේ සමාධිය බිඳ වැටීමයි. වසන්ත ඔබේසේකර කවදාවත් තමන්ගේ බැංකු ශේෂය බලාගෙන වැඩකරපු කෙනෙක් නෙවෙයි. ඔහු එතැනදිත් අසරණ වුණා. එයින් පසු ඔහු විවිධ තනතුරු දැරුවත් ඒ සියල්ලෙන් සිදු වූයේ සමාජය අවදි කළ සිනමාකරුවකු නිහඬවීමයි.