වර්ෂ 2016 ක්වූ මාර්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




අද බිහිවන ගීවලට පසුව තැනක් ලැබෙන්න පුළුවන්

අද බිහිවන ගීවලට පසුව තැනක් ලැබෙන්න පුළුවන්

ක්‍රිෂාන් රණසිංහ

කඳුළු අතරේ ඔබව මැවෙනා රෑ පුරා

දෑස මානේ තව කෙනෙක් ඔබගේ වෙලා

සැමදා කඳුළු හංගා මාගෙ නෙතු රහසේ හැඬුවා

දාලා යන්නට නම් එපා කියා

ඔබ ම යන්නේ ඇයි ද මා හඬවා

සතුට මාගේ රැගෙන යන්නේ කොහොම ඉන්න ද මා මෙදා

යළිඳු ආයේ ඔබට දුන් දේ කාට දෙන්න ද මා සදා

ඔබ විතරයි මා හදේ තියෙනතුරු ජීවිතේ

ඉන්න එක ම කෙනා

ඔබට ඕනේ මා නොවේදෝ කියනු මැන මට හමුවෙලා

තරහ වෙන්නේ නැතේ කිසිදා ඔයා ඉන්නකො සිනහවෙලා

හැමදාමත් ආදරෙන් සතුටින් ඉනු ජීවිතේ

ඔබම පතනෙමි මා

මේ දවස්වල විවිධ චැනල්වලින් ඇසෙන අලුත් ම ගීතය ගයන්නේ මාධ්‍ය සඟයකු වන ක්‍රිෂාන් රණසිංහයි. මාධ්‍යවේදියකු මෙන්ම ඡායාරූප ශිල්පියකු ද වන ක්‍රිෂාන් රණසිංහගේ අලුත්ම ආගමනය ගැන කතාබහක නිරත වීමට අප අමතක කළේ නැහැ.

* ඔබ මුලින් ම යෙදෙන්නේ ලේඛන වෘත්තියේ ද? නැත්නම් ඡායාරූපකරණයේද?

මගේ ගම ගාල්ල ගිංතොටයි. ඒත් මා කුඩා කාලයේ පටන්ම පදිංචි වී සිටියේ හෝමාගමයි. මා හෝමාගම මහා විද්‍යාලයට වගේ ම හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයේත් ඉගෙන ගත්තා. හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙන ගන්න කාලයේයි මට ගයාන් ගණකධාර කියන සංගීත ගුරුවරයා මුණ ගැසෙන්නේ. ඔහුගෙන් මා ගිටාර් වාදනය හැදෑරුවා. උසස් පෙළ විභාගයෙන් පස්සේ මම සර් එක්ක ඔහුගේ නිර්මාණවල සංගීත කණ්ඩායමේ වාදනය කරනවා. ඒ අනුව ප්‍රසිද්ධ වේදිකා නාට්‍යවල සංගීත කණ්ඩායමේ කටයුතු කිරීමත් සමඟ විවිධ අය හඳුනා ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ අතරදියි මා සංගීත ප්‍රස්තාර එකතු කිරීමට ගන්නා පුවත්පතක දැන්වීමක් දකින්නේ. පුවත්පතක ලේඛකයකන් බඳවා ගන්නා බවට කර තිබුණු ඒ දැන්වීමට මා ඉල්ලුම් කරනවා. මුල් වරට මා ලේඛකයකු බවට පත්වන්නේ ඒ දැන්වීමට අනුවයි.

* එහෙම නම් ලේඛකයකු වීමේ ගමන්මඟයි ඡායාරූපකරණයට පාර කියන්නේ?

ඔව්. 1998 වසරේදී ‘සඳරේණු’ පුවත්පතෙන් ආරම්භ කරන මගේ ලේඛන දිවිය වෙනස් මඟකට යොමු කරන්නේ 2000 වසරයි. ඒ වනවිට මා ඒ පුවත්පතේ ප්‍රධාන ඡායාරූප ශිල්පියා බවට පත් වනවා.

* මේ වනවිට ඔබ අපේ රටේ ප්‍රධාන පුවත්පත් කාර්යාලයකයි සේවය කරන්නේ. එහි පිවිසුම සටහන් වන්නේ කෙසේ ද?

‘සඳරේණු’ පුවත්පතෙන් ඈත් වුණාට පස්සේ මා කාලයක් නිදහස් ලේඛකයකු විදියටත්, ඡායාරූප ශිල්පියකු විදියටත් කටයුතු කළා. එහෙත් මාව බොහෝදෙනා හඳුනා ගන්නේ ඡායාරූප ශිල්පියකු විදියටයි. මේ අතරදි මට සඳුන් ගමගේ අයියා විජය පුවත්පත් සමාගමට එන්නට උදවු කරනවා. ඉන්පසුව මාව හඳුනා ගන්න අද පත්තරේ කර්තෘ කාංචන දසනායක අයියා එහි කටයුතු කිරීමට ඉඩ සලසා දෙනවා. මේ වනවිට මා එහි ප්‍රධාන ඡායාරූප මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරනවා.

* මෙතෙක් පැමිණි මාධ්‍ය ගමන නිසා ඔබගේ සංගීත කටයුතු අතපසු වුණා ද?

කාලයක් අතපසු වුණු සංගීත ගමන යළිත් මා ආරම්භ කරන්නේ මේ කටයුතුවලින් පසුවයි. ඒ සඳහා හේෂාන් ගමගේ ගුරුතුමා ළඟටයි මා පිවිසෙන්නේ. එහිදියි මට අශාන් මල්ලි මුණ ගැසෙන්නේ. අප දෙදෙනා බොහෝ හිතවතුන් බවට පත්වනවා. දවසක් මා ගීතයක් ගයන්න තිබෙන මගේ සිතේ කැමැත්ත ගැන ඔහුට පවසනවා. මගේ සිතේ තිබුණු අදහස සැබෑවක් බවට පත් කරමින් ‘කඳුළු අතරේ’ ගීතය නිර්මාණය වෙනවා. මේ ගීතය සංගීතවත් කරන්නේ අශාන් ප්‍රනාන්දුයි. ගීතයේ පද ලිව්වේ නිසල් ප්‍රනාන්දුයි. රූප රචනය කළේ හරි ක්‍රියේෂන් වෙතින් ලහිරු මුදලිගේයි.

* ‘කඳුළු අතරේ’ ගීතයට ලැබෙන ප්‍රතිචාර කොහොම ද?

මේ දවස්වල සෑම රූපවාහිනි සේවාවක ම වගේ ම ගුවන්විදුලි සේවාවල ගීත වැඩසටහන්වලත් මගේ ගීතය ප්‍රචාරය වෙනවා. ඒ වගේ ම යූ - ටියුබ් එක හරහාත් ඕනෑම කෙනෙකුට මේ ගීතය අසන්නට හැකියි. මේ වනවිට ගීතයට ලැබෙන ප්‍රතිචාරත් බොහොමයි. බොහෝ අය දුරකථනයෙන් කතාබස් කරලා ගීතය ගැන විවිධ අදහස් පළ කරනවා.

* ‘කඳුළු අතරේ’ ගීතය නිර්මාණය වන්නේ සත්‍ය සිදුවීමක් පාදක කරගෙන ද?

එක්තරා පිරිමි ළමයකුට නොසිතූ අවස්ථාවක යුවතියක කෙරෙහි ආදරයක් ඇති වෙනවා. නමුත් ඒ යුවතිය ඔහුට ආදරය කරන්නේ සෙල්ලමටයි. එහෙත් පසුව ඈ ඔහුගේ සැබෑ ම ආදරය ගැන වටහා ගන්නවා. මේ ගීතයට අදාළව නිර්මාණය වුණු මියුසික් වීඩියෝව නිර්මාණය කිරීමට තෝරා ගන්නේ සත්‍ය සිදුවීමක්. ලහිරු හා මාත්, එරන්දත් කතා කරලා මේ කටයුත්ත බොහොම සුන්දර ලෙස නිර්මාණය වුණා. ඒ සඳහා හර්ෂණ බෙත්මගේත්, නයෝමිත් රංගනයෙන් දායක වුණා.

* ඔබ පළමුවෙන් ම ගයන්නේ ජනප්‍රිය රැල්ලට යන ගීතයක්. එවැනි ගීතයක් ගයන්නට තෝරා ගත්තේ ඇයි?

මේ කාරණය බොහෝ දෙනෙක් මගෙන් විමසන කාරණයක්. පීනන්න නම් වතුරට බහින්න ඕනෑ. මෙතෙක් කිසිම අවස්ථාවකදි මට ගයන්න අවස්ථාවක් ලැබිලා නැහැ. මගේ මාධ්‍ය ජීවිතය ගත්තත් එහි ආරම්භය සනිටුහන් වන්නේ යොවුන් පත්තරවලින්. ඒ ලැබුණු ඉඩහසර ප්‍රයෝජනයට ගනිමින් අද වනවිට මා මගේ මාධ්‍ය ජීවිතයේ ඉදිරි ගමනක් නිර්මාණය කරගෙන තිබෙනවා. ඒ පන්නරය මට ලැබුණේ යොවුන් පුවත්පත හරහා. මේ වනවිට ගීතය ඇතුළේත් එක්තරා ජනප්‍රිය රැල්ලක් නිර්මාණය වී තිබෙනවා. එය වැරැදියි කියලා මා කියන්නේ නැහැ. මේ කාලයේ නිර්මාණය වන ගීතවලට අනාගතයේ දී යම් ඉඩක් නිර්මාණය වන්න පුළුවන්. උදාහරණයක් විදියට ජෝතිපාලගේ ගීතවලට එදා බොහෝදෙනා බැන්නත්, අද ඒ ගීතවලට බොහෝ දෙනා ආදරය කරනවා. ඒ මොන දේ වුණත් මමත් මේ ක්ෂේත්‍රයට පිය මැන්නා. යම් දෙයක් කළා. ඒ ක්ෂේත්‍රයේ ඉඳීමින් මගේ ගමන වෙනස් කර ගන්න ඕන කොහොම ද කියලා මා දැන ගත යුතුයි.

* ඉදිරියේදී වෙනස් ම නිර්මාණ රැසකින් අසන්නන් හමුවට පිවිසීමේ අදහසක් තිබෙනවා ද?

මේ ගීතයට අමතරව තවත් ගීත දෙකක් ඉදිරියේදී අසන්නන් හමුවට පිවිසීමට සියලු කටයුතු සූදානම්. තවත් සුළු සුළු කටයුතු කිහිපයකුයි එහි අවසන් කිරීමට තිබෙන්නේ. ඒ ගීතත් අයත් වන්නේ මේ ජනප්‍රිය රැල්ලටමයි. ඉන් එහාට ගිහින් ගීත කිහිපයක් ගැයීමේ අදහසක් නැතිවා ම නොවෙයි. ඒ සඳහා පිවිසිය යුත්තේ සෙමෙන්. සෙමෙන්. ගායන ක්ෂේත්‍රයෙන් සෙමෙන් දිගු ගමනක් යන්නටයි මා අදහස් කරගෙන සිටින්නේ.

* බොහෝ ජනප්‍රිය රැල්ලේ ගායික ගායිකාවන් පවසන්නේ අප දෙන්නේ රසිකයන් ඉල්ලන දේ බවයි. මේ ගැන ඔබට තිබෙන්නේ මොන වගේ අදහසක් ද?

මා කියන්නේ අප ලබාදෙන්නේ රසිකයන් ඉල්ලන දේ නොවෙයි. මා පවසන්නේ අප දෙන දේ පිළිගන්නේ රසිකයන් බවයි. අද තෝරා ගැනීම් බොහෝයි. අප අසන්නේ අපට වුවමනා දේයි. එහෙම නැතිව කිසිම ගීතයක් කිසිවකුටත් බලෙන් අසන්නට දෙන්නට බැහැ.

* මේ කටයුතුවලට පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය කොහොම ද?

බිරිය සහ දරුවන් දෙදෙනාගෙන් මේ කටයුතුවලට ලැබෙන සහයෝගය බොහොමයි. එහෙම නොවුණා නම් මට වෘත්තිය කටයුතුත්, ගායන කටයුතුත් සමබර විදියට කරගෙන යන්න ලැබෙන්නේ නැහැ. අවසන් වශයෙන් මේ ගමන එන්න උදවු කළ සියලු දෙනාට ම ස්තුති කිරීමට අවස්ථාවක් කර ගන්නවා.