වර්ෂ 2016 ක්වූ මාර්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




වසන්ත ඔබේසේකර පන්ති පදනමකින් සමාජය විවරණය කළ සිනමාකරුවා

වසන්ත ඔබේසේකර පන්ති පදනමකින් සමාජය විවරණය කළ සිනමාකරුවා

වසන්ත වෘත්තාන්ත චිත්‍රපට 13 ක් පමණ අධ්‍යක්ෂණය කර ඇත. විශ්ව විද්‍යාලයෙන් පිට වූ පසු මඳ කලක් ගුරු වෘත්තියේ යෙදුණු හෙතෙම පසුව පුවත්පත් කලාවේදියෙක් වූයේය. ඒ ලේක්හවුස් ආයතනයේය. 71 කැරැල්ලේ පූර්ව සමයේ තරුණ නැඟිටීම් පිළිබඳ වසන්ත පුවත්පත් කලාව ඔස්සේ කරුණු වාර්තා කළේය. එසේම හැදෑරුවේය.

මහාචාර්ය සිරි ගුණසිංහගේ ‘සත්සමුදුර’ චිත්‍රපටයට 52 වසරක් සපිරී ඇත. ඒ සමඟම වසන්ත ඔබේසේකරගේ සිනමා කලා ජීවිතයටද පනස් වසරක් සපිරී ඇත. මෙම චිත්‍රපටයේ සම තිර රචක හා සහාය අධ්‍යක්ෂවරයා වූයේ වසන්ත වන බැවිනි.

වසන්ත දිවි ගෙවූ පනස් වසර තුළ අපේ රටේත් ලෝකයේත් සිනමාව දැවැන්ත විපර්යාසයන්ට ලක් වූයේය. යටත් විජිතයක්ව තිබී පසුව නිදහස ලද රටවල ආසියා, අප්‍රිකා හා ලතින් ඇමෙරිකානු රටවල (මේවාට තුන්වැනි ලෝකයේ රටවල් යැයි කියනු ලැබේ) හැට හැත්තෑ ගණන්වලදී නව සිනමාවක් (පුළුල් අර්ථයෙන් ගතහොත්) නව දේශපාලන සිනමාවක් බිහි වූයේය. මිර්නාල් සෙන්, රිට්වික් ඝටක් (ඉන්දියාව) ග්ලෝබ රෝචා (බ්‍රසීලය) ෆර්නැන්ඩෝ සොලනාස් (ආර්ජෙන්ටිනාව) උස්මාන් සෙන්බෙනේ (අප්‍රිකාව) ලිනෝ බ්‍රෝකා (පිලිපීනය) මීට උදාහරණ කිහිපයකි.

මෙයට සාපේක්ෂව ඉහත කාලවකානුව තුළදී ලංකාවේද නව දේශපාලන සිනමාවක් බිහි වූයේය. එහිලා පුරෝගාමී වූයේ ධර්මසේන පතිරාජ හා වසන්ත ඔබේසේකරය.

වසන්ත ඔබේසේකර සිංහල සිනමාවේ බිහි වූ විශිෂ්ටතම චිත්‍රපට අධ්‍යක්ෂවරුන් කිහිප දෙනාගෙන් කෙනෙකි. එසේම කෘතහස්ත තිර නාටක රචකයෙකි. එහෙත් ධර්මසේන පතිරාජ මෙන්ම වසන්ත ද තිරනාටක ලියා ඇත්තේ ස්වකීය චිත්‍රපට උදෙසා පමණි.

වසන්ත ප්‍රභූ පවුලක, බුද්ධිමය පරිසරයක ඉපදී හැදුණු වැඩුණු අයෙකි. ඔහුගේ වැඩිමහල් සොහොයුරු මහාචාර්ය ගනනාථ ඔබේසේකර ලොව පිළිගත් සමාජ – මානව විද්‍යාඥයෙක් වෙයි.

වසන්ත වෘත්තාන්ත චිත්‍රපට 13 ක් පමණ අධ්‍යක්ෂණය කර ඇත. විශ්ව විද්‍යාලයෙන් පිට වූ පසු මඳ කලක් ගුරු වෘත්තියේ යෙදුණු හෙතෙම පසුව පුවත්පත් කලාවේදියෙක් වූයේය. ඒ ලේක්හවුස් ආයතනයේය. 71 කැරැල්ලේ පූර්ව සමයේ තරුණ නැඟිටීම් පිළිබඳ වසන්ත පුවත්පත් කලාව ඔස්සේ කරුණු වාර්තා කළේය. එසේම හැදෑරුවේය.

‘වෙස්ගත්තෝ’ (1970) වසන්තගේ ප්‍රථම නිර්මාණයයි. මෙය එක්තරා ආකාරයක ප්‍රහසන (ජ්ඒඅඛ්ඡ්) චිත්‍රපටයකි. ඔහු මෙයින් කියන්ට උත්සුකව ඇත්තේ ලොකු හොරුන් නිදැල්ලේ වෙසෙද්දී පොඩි හොරුන් පමණක් නීතියේ රැහැනට අසුවන ආකාරයයි.

ඉන් පසුව වසන්තට සිනමාකරණය හැදෑරීම සඳහා ප්‍රංශයට යාමට අවස්ථාවක් ලැබුණේය. එහෙත් එමඟින් තමා ඉගෙන ගත් කිසිවක් නැතැයි හෙතෙම පසු කලෙක කියා සිටියේය.

ආපසු ලංකාවට පැමිණි වසන්ත නිපද වූ මුල් චිත්‍රපට දෙකම (වල්මත් වුවෝ හා දියමන්ති) රැකියා නොමැති උපාධිධාරීන්ගේ ගැටළුව සාකච්ඡාවට ගෙන තැනුණු චිත්‍රපටය. නිදහස් අධ්‍යාපනය පුළුල්වීමත්, පනස් හයේ සිදු කළ සමාජ ප්‍රතිශෝධනත් නිසා ගම්බද සිංහල පමණක් උගත් තරුණයන්ට විශ්ව විද්‍යාල වරම් ලැබිණි. එහෙත් සරසවිය හැරයාමත් සමඟ ඔවුන්ට උග්‍ර රැකියා ප්‍රශ්නයකට මුහුණ දෙන්ට සිදු වූයේය. තම දරුවන් උසස් අධ්‍යාපනයට යොමු කළේ ගේ දොර, වතුපිටි, හරකබාන විකිණීමෙන් හෝ උකස් තැබීමෙනි. අවාසනාවකට මෙන් ඒවා ද සින්න වී ගියේය. මෙබඳු පසුබිමක අනාගතය ඉච්ඡාබංගත්වය, සමාජ විරෝධය තරුණයන් තුළ නොමඳව පිහිටන්ට පටන් ගත්තේය. එහි ඛේදවාචකය ‘වල්මත් වූවෝ’ මූර්තිමත් කරයි.

මෙහි එන කතානායකයා තමාගේ උපාධි සහතිකය ගිනිබත් කරයි. ඒ, මේ සමාජක්‍රමය තුළ ඊට උපයෝගිතා වටිනාකමක් නොමැති බැවිනි.

‘දියමන්ති’ ද (1976) උපාධිධාරින්ගේ රැකියා ප්‍රශ්නය ඉස්මත්තට ගනී. එහි කතානායක චන්ද්‍රතිලක තම උපාධි සහතිකය කුණු බක්කියට විසි කරයි. ප්‍රධාන චරිත තුන පාළු බංගලාවට එනතුරු චිත්‍රපටය යථාර්ථවාදී මඟක් ගන්නා අතර ඉනික්බිතිව වන සිදුවීම් සම්මත වාණිජ චිත්‍රපටයක් නොඉක්මවා යයි. වසන්ත මෙයින් තැත් දැරුවේ සිනමානුරූපිභාවය රඳවගනිමින් ප්‍රේක්ෂකයන්ට ද කිසියම් ආස්වාදයක් ලබා දෙන්නටය. එහෙත් එය සාර්ථක වූ බවක් පෙනී නොයයි.

‘පළගැටියෝ’ (1979) වසන්ත එදා මෙදාතුර තැනූ හොඳම චිත්‍රපටය ලෙස මගේ සැලකිල්ල ලබයි. සත්‍ය සිද්ධි පාදක කරගෙන චිත්‍රපට තැනීමට වසන්ත පෙලඹුණේ මේ සමඟමය. තම සත්‍ය සිද්ධි ඇසුරු කර ගන්නේ තම මැද පාන්තික ජීවිතයේ අත්දැකීම් සීමිත හා ඒකාකාරී නිසා බව වසන්ත කියා ඇත. මෙය ඉතාම අවංක ප්‍රකාශයකි.

වසන්ත තෝරා ගන්නා සත්‍ය සිදුවීම් බොහෝ විට කෙළවර වන්නේ මිනීමැරුමකිනි. මෙය වෙනමම විග්‍රහකර බැලිය යුතු කාරණයකි. නගරයට සංක්‍රමණය වන රැකියා විරහිත ගැමි තරුණයන් එහිදී නන්නත්තාර වන ආකාරය ‘පළගැටියෝ’ කතා කරයි.

‘දඩයම‘ (1984) අදටත් වසන්තගේ ජනප්‍රිය චිත්‍රපටයයි. ඔහු පොදුජන ප්‍රේක්ෂකයන් ප්‍රථම වතාවට සමීප කරගත්තේ මේ සිනමාපටයෙනි. මෙය ද සත්‍ය කතාවකි. මිනීමැරුමකින් කෙළවර වන්නකි.

වසන්තගේ මුල්කාලීන චිත්‍රපට පුරුෂවාදී (MASCULINE) ස්වභාවයක් ගත්තේය. එහෙත් ‘දඩයමේ’ සිට හෙතෙම ගැහැනිය කේන්ද්‍ර කරගෙන ඔවුන් පුරුෂාධිපත්තියට හා ලිංගික සූරාකෑමට එරෙහිව ක්‍රියා කරන ආකාරය දක්නට උනන්දු වූයේය.

‘කැඩපතක ඡායා’ (1989) මා දකින්නේ දඩයමේම එක්තරා දිගුවක් වශයෙනි. විවෘත ආර්ථිකයෙන් පසු අපේ රටේ ඇති වූ සාරධර්ම හා සදාචාර පරිහානිය මෙම චිත්‍රපටය මනාව පිළිබිඹු කර දක්වයි.

‘දඩයම‘, ‘කැඩපතක ඡායා’ යන චිත්‍රපට සිනමාවේ ආකෘතිය අත්හදා බැලීම් ලෙස සැලකිය හැකිය. එහිදී කතාව තල (LAYER) කීපයකින් ඉදිරිපත් කෙරේ. වසන්ත කියා ඇති පරිදි මෙය ලෝක සිනමාවේ වුව යෙදී නොමැති සිනමා භාවිතාවකි. එය වසන්තගේ ගෝලයකු වන ප්‍රසන්න විතානගේ ද තම මුල්ම නිර්මාණය වන ‘සිසිල ගිනි ගනී’ චිත්‍රපටයෙහි ද අනුගමනය කරයි. එහෙත් වසන්ත පවා පසු කලෙක මේ සිනමා ආඛ්‍යානය තවදුරටත් වර්ධනය කළේ නැත.

‘දොරකඩ මාරාව‘, ‘ආගන්තුකයා’ වැනි චිත්‍රපට දෙක තුන හැරුණු කොට වසන්තගේ පසුකාලීන චිත්‍රපට (මගේ පෞද්ගලික නිගමනයට අනුව නම්) අසාර්ථකය. ’මාරුතය’ වැනි චිත්‍රපටයක් අන්තර්ජාතික සම්මානයට පාත්‍ර වුව එය විශිෂ්ට නිපැයුමක් නොවේ.

වසන්තගේ සිනමාවේ මා අගය කරන වැදගත්ම ලක්ෂණයක් වන්නේ ඔහු නිරූපණය කරන චරිත පුළුල් පන්ති හා සමාජ පසුබිමක තබා විවරණය කිරීමයි. එම චිත්‍රපට වඩාත් සාරගර්භ වන්නේද එනිසාය. මේ නිසාදෝ ඔහු වම් ඉවුරේ සිනමාකරුවකු ලෙස වරක් හඳුන්වන්ට යෙදිණි.