වර්ෂ 2016 ක්වූ මාර්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




වස්සානයේ සඳ

මං දැනුයි හෙලිකොප්ටර් එකෙන් බැස්සේ

මඳ සිනහවක් පෑ සිසිර එතැනින් ඉවත් විය. මිහිරි අතේ වූ අනෙක් කුඩා ඉටි බෑගය ඉදිරියේ තිබු වීදුරු ටීපෝව මත තබා ඉන්පසු විදේශීය සඟරාවක් අතට ගෙන එහි පිටු පෙරළන්නට වුවාය. ඒ සමඟම ඇය කිසියම් කල්පනාවකට වැටුණාය. සුළු ‍මොහොතකින්ම එතැනින් නැගිට පැන්ට්‍රිය දෙසට පියවර තැබුවාය.

"මොනවද සිසිර, මහත්තයට දවල්ට කන්න හැදුවෙ?"

මෙතෙක් කතාව

සන්දේශ් හා මිහිරි යනු විවාහ ගිවිස ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින පෙම්වතුන් යුවලකි. මිහිරිට 'ඩවුන් සින්ඩ්‍රොම්' නැමැති බුද්ධි හීන ආබාධයෙන් පෙලෙන සොහොයුරෙකු සිටී. මෙම හේතුව මත සන්දේශ්ගේ දෙමව්පියෝ ඔවුන්ගේ විවාහයට කැමැත්තක් නොදක්වති.

සන්දේශ් පසුව උසස් අධ්‍යාපනය සඳහා ඕස්ට්‍රේලියාවට යයි. එහිදී ඔහු නතාශා නැමැති රූමත් ලාංකික යුවතියක් හඳුනාගෙන ඇය හා ආදරෙන් බැඳේ. දිනක් මිතුරු සාදයකදී ගැටුමකට මැදිවන සන්දේශ් සඳළුතලයකින් පහළට වැටෙයි. එහිදී කොඳු ඇට පෙළෙට දරුණු ලෙස හානි සිදු වී ඔහුගේ ජීවිතය රෝද පුටුවට සීමා වේ. මෙම හේතුව නිසා නතාශාගේ දෙමාපියෝ ඔවුන්ගේ විවාහයට විරුද්ධ වෙති. පසුව සන්දේශ් නතාශාගෙන් වෙන් වී යළිත් ලංකාවට පැමිණේ.

දිනක් සන්දේශ්ගේ උපන් දින සාදයකදී ඔහුට අහම්බෙන් මිහිරි මුණ ගැසේ. එහිදී මිහිරි තම පෙම්වතා වන ගයන්ත සන්දේශ්ට හඳුන්වා දෙයි. තවත් දිනක මිහිරි සන්දේශ් බැලීමට ඔහුගේ නිවසට යයි.

(අද එතැන් සිට)

* * *

ස්නායු ආබාධ පිළිබඳ මිතුරු විශේෂඥ දොස්තරවරයා කෙසේ හෝ සම්බන්ධ කරගත් ගයන්ත දිනක් සන්දේශ් ඔහු ‍වෙත යොමු කළේය. සන්දේශ් පරීක්‍ෂා කළ ඔහු ද පවසා සිටියේ සන්දේශ්ගේ ආබාධය තරමක් බරපතළ තත්ත්වයක් බවකි. එහෙත් උත්සායන් අත් නොහරින ලෙසත් කාය වර්ධන අභ්‍යාස නොකඩවා කරගෙන යන ලෙසත් පවසා සිටි දොස්තරවරයා දිවයිනේ ඒ සඳහා ඇති හොඳම ස්ථාන වෙත ද සන්දේශ්ව යොමු කළේය. ඒ කාර්යයන් සඳහා ගයන්ත සෑහෙන මහන්සියක් දැරීම ගැන මිහිරි ඔහුට දැඩිව ස්තුති කළාය.

* * *

නිවස ඉදිරිපිට පඩියක් මත වාඩි වී පුවත්පතක් බලමින් සිටි සිසිර රියක් නවත්වන හඬක් ඇසී හිස ඔසවා බැලුවේය.

කහ පැහැති කුලී රියකින් මිහිරි බසින අයුරු සිසිරට පෙනිණ. ඇය සාරියක් ඇඳ සිටියි. අතේ පාර්සල් දෙකක් ද ඇත. සිසිර ඇය දෙස බලමින් ම හුනස්නෙන් නැගිට්ටේය.

රියදුරාට මුදල් දුන් මිහිරි නිවස දෙසට හැරුණාය. පුවත්පත පසෙකින් තැබු සිසිර මඳක් ඉදිරියට පියවර තැබුවේය.

"කොහොමද සිසිර? ගෙදර කට්ටිය ඉන්නවද?"

"ලොකු නෝනා දානෙ ගෙදරක ගියා. මහත්තය නං ඉන්නව"

"මහත්තයා කෝ?"

දෙදෙනාම සිටියේ නිවස දෙසට ගමන් කරමිනි.

"නිදිද කොහෙද"

"මේ වෙලාවෙ?"

"මං හිතන්නෙ ඊයෙ ගොඩාක් රෑ වෙනකන් පික්චර් බල බල ඉඳල උදේටත් කාල තමයි ආයෙමත් ඔය පොඩ්ඩක් නිදාගන්න ගියේ"

නිවසට ඇතුළු වූ මිහිරි අතේ තිබු විශාල පාර්සලය සිසිර වෙත දිගු කළාය.

"මං මහත්තයාට කතා කරන්නද නෝනා?"

සිසිර එසේ ඇසුවේ මිහිරි දුන් පළතුරු පාර්සලය අතට ගනිමිනි.

"නෑ කමක් නෑ.තව පොඩ්ඩක් ඔහොම නිදාගත්තාවෙ"

මිහිරි සාලයේ තිබු අසුනකට බර විය.

"නෝනා මොනවද බොන්නෙ?"

"සිසිර මොනවහරි ගේන්නකො"

මඳ සිනහවක් පෑ සිසිර එතැනින් ඉවත් විය. මිහිරි අතේ වූ අනෙක් කුඩා ඉටි බෑගය ඉදිරියේ තිබු වීදුරු ටීපෝව මත තබා ඉන්පසු විදේශීය සඟරාවක් අතට ගෙන එහි පිටු පෙරළන්නට වුවාය. ඒ සමඟම ඇය කිසියම් කල්පනාවකට වැටුණාය. සුළු ‍මොහොතකින්ම එතැනින් නැගිට පැන්ට්‍රිය දෙසට පියවර තැබුවාය.

"මොනවද සිසිර, මහත්තයට දවල්ට කන්න හැදුවෙ?"

සිසිරට මිහිරිගෙ කටහඬ ඇසුණේ ඔහු බලාපොරොත්තු නොවූ මොහොතකය. බීම වීදුරුවක සීනි දිය කරමින් සිටි ඔහු හිස හරවා පිටුපස බැලුවේය.

"ඊයේ රෑ ඉතුරු වෙච්ච කෑම වගයක් තියෙනව. නෝනා කිව්වා ඒව රත් කරල ගන්නෙයි කියලා"

"ඊයෙ රෑ කෑම? අයියෝ........ මොනවද තියෙන්නෙ ගෙදර උයන්න? "

මිහිරි එසේ කියමින් ශීතකරණය විවර කර එහි ඇතුළ විමසිල්ලෙන් බැලුවාය.

"ආ...... මේ තියෙන්නෙ ගොඩක්. මැකරෝනි. චීස් එහෙම තියෙනවද?"

"ඇති නෝනා"

"මහත්තයා චීස් කන්න ආසනෙ"

"ඔව්, ඒ වුණාට ඉතිං කිසිම කෑමක් වැඩිය ආසාවෙන් කන්නෑ"

"අපි මහත්තයා ආස වෙන විදියට කෑමක් හදමු"

එසේ කියවමින් මිහිරි සෝස් බෝතල් දෙසත් නෙත් හෙළුවාය.

"ආ මේ හොඳ සෝස් එහෙමත් තියෙන්නෙ. සිසිර මට උදව් කරනවනෙ"

ඇය එසේ කියමින් සාරි පොට ඉනේ ගසා ගත්තාය.

"හරි නෝනා"

මිහිරි ශීතකරණය තුළ තිබුණ අවශ්‍ය ආහාර ද්‍රව්‍යයන් එකින් එක ගෙන මේසය මත තබන්නට විය.

"මේ නෝනගෙ ඩ්‍රින්ක් එක"

"ඕක තියන්නකො. මං බොන්නං"

මේ මොහොතේ ගයන්ත සිටියේ ගුවන් හමුදා කඳවුෙර්ය. ඔහු රාජකාරී ගමනක යෙදී හෙලිකොප්ටර් යානයකින් බිමට බට සැණින් ඔහුගේ ජංගම දුරකථනය නාද විය. එහි මුහුණත දෙස බැලු ඔහු ඉන්පසු එය කනට සමීප කළේය.

"ඔව් මිහිරි?"

දුරකතනය තුළින් ඇසුණේ මිහිරිගේ සුපුරුදු කටහඬය.

"මං දැනුයි හෙලිකොප්ටර් එ‍කෙන් බැස්සෙ. ඔයා සන්දේශ්ලගෙ ‍ගෙදර ආවද...... දවල් කෑමට?"

ගයන්තට තම අත බැඳී ඔර්ලෝසුව දෙස බැලිණ.

"අනේ ගයන්ත, ඔයා එනකොට තරහ නැතුව පාන් ගෙඩියක් ගේනවද?"

"අයියෝ,දවල්ට පාන් ද අර මනුස්සයට කන්න දෙන්නෙ?"

"ඔයා ගේනනකො"

"මේ දවල් කොහෙද පාන් තියෙන්නෙ?"

"ඔය සුපර් මාකට්වල ඇති"

"ඔයා නං........."

"ගොඩක් පරක්කු වෙන්න එපා ‍හොඳද, ඔයත් කෑමට එන්න"

"හරි හරි"

ගයන්ත සිනා රැඳී මුවින් යුතුව දුරකතනය ක්‍රියා විරහිත කළේ මිහිරිගේ වැඩ ගැන සිතමිනි. ඉන්පසු ඔහු ඉක්මනින්ම හමුදා කඳවුරෙන් එළියට පිවිසියේය.

සන්දේශ්ගේ නිවස තුළ සිටි මිහිරි විදුලි උදුනක් තුළ තිබු හතරැස් ආහාර තසිම එළියට ගත්තාය.

"සිසිර,මහත්තයට කතා කරන්න. දැන් නං මහත්තයා නිදාගත්තා හොඳටම ඇති"

එසේ කී මිහිරි කුඩා ශබ්දයක් ඇසී හැරී බැලුවාය. සන්දේශ් තරමක් ඈතින් පසෙක රෝද පුටුවේ සිටිනු දැකීමෙන් ඇය තරමත් විමතියට ද පත් විය. ඒ සමඟම ඇය දෙඅතින් මුහුණ වසාගෙන සෙමෙන් සිනාසෙන්නට ද වූවාය. සිසිර ද හීන් සිනහවකින් යුතු මුහුණින් යුතුව සන්දේශ් දෙසත් මිහිරි දෙසත් බැලුවේය.