වර්ෂ 2016 ක්වූ මාර්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




හීන් සැරේ ඔබ ආවා...ආවා...

හීන් සැරේ ඔබ ආවා...ආවා...

ටී.අර්ජුන නැතහොත් සිනමාවේදී තංගරාජ් අර්ජුන හැත්තෑ පස් වැනි වියට පා තබන්නට නියමිතව තිබුණේ අප්‍රේල් මස 16 වැනි දිනය. උපන් දිනයට සුබ පැතුවාත් නැතත් සාමාන්‍යෙයන් දහවල් එක දෙක වන විට ඔහුගෙන් දුරකතන ඇමතුමක් ලැබෙයි. හවස මේ පැත්තේ ඇවිත් යන්න. උපන් දිනය ගැන නොකියන ඔහු ඉස්සරහට දමන්නේ අලුත් අවුරුදු සැමරුමකි.මෙවර එහෙම ඇරයුමක් ලැබුනේ නැත.මතු දිනක ලැබෙන්නේ ද නැත.

අප්‍රේල් 16 වැනි දාට එළිවන්නට හරියටම මිනිත්තු දෙකක් තිබිය දී කෙටි පණිවිඩයක සඥාවක් ලැබිණ. පණිවිඩය සරසවිය හිටපු කර්තෘ අනුර බණ්ඩාර රාජගුරු ගෙනි.අර්ජුන අන්ත්‍රාවුණා ඔහු සඳහන් කර තිබිණ.

පසුගිය අවරුදු තිහකට කිට්ටු කාලයක් අර්ජුන චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළේ නැත.ඔහු අවසන් වරට අධ්‍යක්ෂණය කරන ලද්දේ වසන්තත්තිල් ඔරු වානවිල් නම් ඉන්දියානු හවුල් නිෂ්පාදනයයි.

ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද්දේ ද චිත්‍රපට තුනකි.කලියුග කාලේ මුල්ම චිත්‍රපටයයි.එය කලියුගකාලම් නමින් දෙමළ බසින් දෙබස් කැවිණ.සාරා දෙවැන්නයි.තුන්වැන්න අර්ජුන ගේ වඩාත්ම ජනාදරය දිනූ චිත්‍රපටයයි.එය වාර්තාගත ආදයමක් ඉපැයුවා පමණක් නොව එම වසරේ ජනාධිපති සම්මාන උලෙළේ වැඩිම සම්මාන සංඛ්‍යාවක් දිනා ගන්නට ද සමත් විය.එයින් පසු චිත්‍රපට නිර්මාණය නො කළ ද අර්ජුන මුළු ජිවිත කාලය පුරාම සිනමාවෙන් සමුගත්තේ නැත.ඔහු සිනමා ලෝකයේ හිතවතකු විය.රසවතකු විය.සිනමාව සම්බන්ධ සියලු කටයුතු වලදී අර්ජුන ගේ යාවත්කාලින දැනුම බෙහෙවින් ප්‍රයෝජන වත් විය. චිත්‍රපට ආනයනයේ දී මෙන්ම ප්‍රදර්ශනයේ දී ද නිෂ්පාදනයේ දී ද අර්ජුන්ගේ දැනුමෙන් බොහෝ අය වැඩ ගත්හ.ඔහු ඒ සඳහා නොමසුරු දායකත්වය සැපයුවේය. ඇත්ත නම් අර්ජුන ගේ දැනුමෙන් ප්‍රයෝජනයක් නොගත් එකම තැනැත්තා අර්ජුන පමණි.

අර්ජුන හරහා අහිමිව ගියේ සිනමා පිළිබඳ දැනුමක් පමණක් නොවේ.උතුරත් දකුණත් යාකල අපූරු මිත්‍රත්වයක් ගැන ඉතිහාස කතාවක් ද ඒ අතර විය.උතුරත් දකුණත් එකක්යැයි ඇදහූ එහි නිදහස අර්ථවත්ව විඳී අත්දැකීම් සහිත පරම්පරාවක කතාවක් ද එහි විය.ඉන්දියාව සමඟ තිබුණු අපූරු මිත්‍රත්වය තවත් කතාවකි.ඒ සියල්ල එක් ලිපයකට ප්‍රමාණවත් නැත.පසුගිය කාලයේ අර්ජුන විවිධ මාර්තෘකා යටතේ ඔබ්සර්වර් පුවත්පතට තීරු ලිපියක් රචනා කළේය.

කෙසේ වෙතත් අර්ජුන ගැන ලියන්නට නම් ඔහුගේ යටගියාව ගැන ලියැවිය යුතුය.

තංගරාජ් අර්ජුන උපත ලද්දේ 1943 වසෙර්ය.ඔහුගේ මාපියන් වූයේ සාන්ත තෝමස් විදුහලේ ආචාර්යවරයෙක් වන තංගරාජා මහතා සහ රංගනා තංගරාජ් ය. තංගරාජ් මහතා ගුරුවරයකු පමණක් නොව විශිෂ්ට විද්වතකු ලෙස සමකාලිනයන් අතර ජනප්‍රිය ව සිටියේය.හතලිස් ගණන් වල මෙරට සිටි ඉහළ පෙළේ ලාංකික දේශපාලකයන් උගතුන් නිතර හමුවෙන විවිධ වැදගත් බුද්ධි සංවාද මණ්ඩප මෙහය වන එක් තැනක් වූයේ තංගරාජා යුවළට අයත් කොටහේනේ පිහිටි දැවැන්ත නිවහනය. එබැවින් එම යුගයේ සිදුවූ අතිශය වැදගත් දේශපාලන සිදුවීම් පිළිබඳ රස රහස් රාශියක් අර්ජුනගේ මතකයේ විය.ඩඩ්ලි සේනානායක මහතානන්ගේ ගුරුවරයකු වූ තංගරාජා ගේ නිවසේ පැවැති විශිෂ්ට සංවාද නිසාම අර්ජුන ඉතා ඉහළ දැනුමක් අත් පත් කර ගත්තේය. ඩඩ්ලි සිය ගුරුතුමාණන්ට කෙතරම් ගරු කළේ ද යත් වරක් තංගරාජා ට සෙනට් මන්ත්‍රී පදවියක් ද යෝජනා කළේය.එහෙත් තංගරාජා එය කාරුණිකව ප්‍රතික්ෂේප කළේය.

ලංකාවේ මුල් වරට භරත නාට්‍ය හදාරා අරන්ගෙත්‍රම් ප්‍රසංගයක් පැවැත්වූ රංජනා අතිශය රූමත් කාන්තාවක් විය. ඇය ලොව විශිෂ්ට සිනමාකරුවකු වන කැරොල් රීඩ් විසින් ලංකාවේ දී රූ ගන්වන ලද අවුට් කාස්ට් ඔෆ් දි අයිලන්ඩ් චිත්‍රපටයේ මුල් ජවනිකාවේ ද නර්තනයක් ඉදිරිපත් කළාය.අම්මා ගේ බලපෑම නිසාවෙන් අර්ජුන සංගීතය මෙන්ම සියලු ලලිත කලාවන් පිළිබඳ ප්‍රමාණාන්තික දැනුමැත්තෙක් විය.ඔහුගේ රස වින්දනය ඉතා ඉහළ එකක් විය.

අම්මා ගේ රූප ශ්‍රීය නිසාවෙන් අර්ජුන ද මිය යන තුරුම ඉතා කඩවසම් ව සිටියේය. හිරිමල් තාරුණයේ දී හින්දි නළුවක් පරදන රූ සිරියාවෙන් යුත් අර්ජුන දැන සිටි ආචාර්ය ලෙස්ටර් ගොළු හදවත චිත්‍රපටයේ සුගත් වීරසේකර ගේ චරිතය සඳහා මුලින්ම ආරාධනා කළේය.එහෙත් නළුවකු වීමට නොසිතූ අර්ජුන එය ප්‍රතික්ෂප කළේය.

තංගරාජා මුල් පරම්පරාව යාපනයේ වල්ලිපුරම් නිජබිම කොට ගත්තාවූ වංශවතුන්ය.අදටත් ලාංකිංකයන් විසින් ආඩම්බරයෙන් සිහිපත් කරන වල්ලිපුරම් රන්පත සොයා ගන්නා ලද්දේ අර්ජුන ගේ පරම්පරාගත ඉඩමකය.එය කොළඹ කෞතුකාගාරයට බාර දෙ ලද්දේ ද තංගරාජා මහතා විසිනි.

රාජකීය විදුහලේ ඉගෙනුම ලබන අර්ජුන සිනමාවට පෙම් බදින්නේ ඒ අවදියේ පටන්මය. ඔහුගේ පන්ති සගයන් බහුතරය පසුකලක රට තොට පතළ දේශපාලකයන් වෛද්‍යවරුන් ව්‍යාපාරිකයන් විය.සුප්‍රකට ව්‍යාපාර ජාලයක් හිමිකරුවකුට අදටත් හැඳීන්වෙන සුරතල් නාමය වන කිලී යන නාමය පාසලේ දී පට බඳීන ලද්දේ අර්ජුන විසිනි.

අනතුරුව අර්ජුන අධ්‍යාපනය සදහා යවනු ලබන්නේ එංගලන්තයටය.එහිදි ඔහුගේ බාරකාරිත්වය පියාණන් විසින් පවරනු ලබනුයේ එදවස එංගලන්තයේ වැඩ විසූ අති පූජ්‍ය වල්පොල රාහුල හිමිපාණන්ටය. රාහුල හිමිපාණන් සහ අර්ජුන අතර සබැඳීයාව උන් වහන්සේ අපවත් වන තුරුම පැවැතියකි. ලාංකික සිනමාවේ ලන්ඩන් ෆිල්ම් ස්කූල් ආයතනයේ ඉගැනුම ලැබූ එකම සිනමාකරුවා වූයේ අර්ජුනය.එකල ඔහුගේ පන්ති සගයකු වූ බෲනායි සුල්තාන් වරයා එයින් පසු අර්ජුනට එරටට ආරාධනා කරන ලද්දේ එහි රජයේ චිත්‍රපට අංශයක් ආරම්භ කරන්නටය.එම කටයතු ආරම්භ කළ ද සියලු යස ඉසුරු වලට සිර වී සිටිය නොහැකි නිදහස් මිනිසකු වන අර්ජුන එය අතහැර ආපසු ලංකාවට පැමිණියේය.

සමහරු ජීවිතය මුදල්යැයි විශ්වාස කරති.සමහරු ජීවිතය යනු නිදහස යැයි විශ්වාස කරති.අර්ජුන අයත්වූයේ දෙවැනි කාණ්ඩයටය.

ඔහු ලංකාවේ දී මුල් වරට ආරම්භ කරන්නට සූදානම් වූයේ කොළඹ හත නම් චිත්‍රපටයයි.එහි තිර රචනය කුමාර කරුණාරත්න විසින් රචනා කරන ලද අතර චිත්‍රපටය කිසිදිනක වැඩ නිමවූයේ නැත.ඔහුගේ වසන්තයේ දවසක් චිත්‍රපටයේ තිර රචනය ද කුමාර කරුණාරත්න විසින් ලියන ලද්දකි.

අර්ජුන සිංහල ද දෙමළ ද ඉංග්‍රිසිය ද මැනවින් උගත්තෙකි.ඔහුගේ සිංහල කතාව අසන කිසි වෙකුත් හෙතෙම දෙමළ ජාතිකයෙකුයැයි විහ්වාස නොකරති.‍1983 ජූලි කලබල සමයේ විජයා චිත්‍රාගාරය ගිනි තැබූ පසු එහි තිබූ චිත්‍රපට බේරා ගැන්මට ගිය පිරිස අතර අර්ජුන ද සිටියේය.ඒ කොළඹ ඇතැම් දෙමළ ජාතිකයන් ජීවිතාරක්ෂාව සොයා යන වටපිටාවකය.ඒ අර්ජුන ගේ හැටිය. එතෙර ද මෙතෙර ද අර්ජුනට මිතුරන් සිටියහ.මේ සියලු මිතුරන් වෙනුවෙන් පණ දෙන්නට වුවත් අර්ජුන සූදානම් ව සිටියේය.

රිදී හැන්ද කටේ ගසා ගෙන උපන්න ද අර්ජුන ජිවිතය දුටුවේ අමුතු ආකාරයටය.ධනය යනු රුස් කර ගත යතු දෙයකැයි ඔහු ඇදහූ වගක් පෙනෙනනේ නැත. කිසි විටෙකත් තම වංශවත් අතීතය හුවා නොදැක්වූ ඔහු මිනිසුනට ඇති තැන එකකුත් නැති තැන තව එකකුත් කීම බැහැර කළේය.අර්ජුන් සිටි සබා ගැබ නිබඳ උස් සිනහවෙන් පිරුණකි. එහි හාස්‍ය රසය එමටය. ප්‍රබුද්ධි මණ්ඩපයක් එහි මැවෙයි.වාද විවාද ගොඩනැගෙන්නේ මතවාද සමගය. අර්ජුන ගේ මතවාද ඉතා ඉහළය.නිතර පොත පත මෙන්ම විද්වත් ඇසුර ද ඔහු ගේ දෛනික චර්යාවෙන් කොටසකි. කෑම බීම පිරෙයි. ඇතැම් රස මසවුළු තැනෙන්නේ ඔහුගේ උපදෙසිනි.ආහාර රසය ද ලලිත කලාවකැයි ඔහු විශ්වාස කළේය. මේ සමාගමේ නැත්තේ කිසිවකු පිළිබඳ දොස් කතා පමණකි.

අර්ජුන සිනමාව මෙන්ම බොහෝ ව්‍යාපාර වල යෙදිණ.එයින් රැස් කළ ධනයක් වී දැයි සැක සහිතය.

වරක් ඔහු අලුත් ආනයන ව්‍යාපාරයකට අත ගසා සිටියේය.ඒ මෙයින් වසර ගණනාවකට පෙරාතුවය.හවස මමත් ඔහු ගේ තවත් මිතුරකුත් ව්‍යාපාරික ස්ථානයකට ගියෙමු.අර්ජුන ව්‍යාපාරික කතාවක යෙදී සිටියේය. ඔහු හමුවීමට පැමිණි ව්‍යාපාරිකයා දැඩි අඳෝනාවකය. අවසානයේ කිසිදු ඇප කොන්දේසියකින් තොරව ම අර්ජුන ඇණවුම් බාර දුන්නේය.එයින් පසු අප හමුවේදී අප මිතුරා අර්ජුනට දැඩි අවවාදයක් දුන්නේය. ඒ මුදල් පිළිබඳ වය.මිනිස්සු ගැන අවිස්වාස කරන්න එපා අර්ජුන පැවසුවේය.කතා බහ එයින් නිමා විය.ඉන් දින ගණනකට පසු දැන ගන්නට ලැබුනේ ගණුදෙනුකරු පැදුරටත් නොකියා මාරු වි ඇති විත්තියයි. බිස්නස් එහෙම තමා.ලාබ වෙනවා පාඩු වෙනවා.ඕවා ගණන් අරන් බැහැ.සියල්ලෝ විස්සෝප වද්දී අර්ජුනගේ පිළිතුර විය.ඔහු කිසිවකුට හෝ දොස් පැවරුවේ නැත. සමහරවිට අපට පෙනෙන එම මෝඩ කම පසුව ද කරන්නට ඇත. එහිදී ද පිළිතුර එයම වන්නට ඇත. තමා පාඩුවක යෙදුනාද අදාළ පුද්ගලයා ආශ්‍රෙයන් අත් අරින්නේ ද නැත.

එහෙත් ඔහු කිවයුතු තැන කිවයතු දේ කිසිවකු ගේ හෝ මුහුණටම පැවසුවේය.එහි දී ඔහුට ලොකු කම් පොඩි කම් වැදගත් වූයේ නැත. ඔහු හිටපු ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතාණන් සමග (ඔහු ජේ.ආර් .ජයවර්ධන මහතාණන්ට ඇමතුවේ අන්කල් යනුවෙනි.) වරක් රණ්ඩු වී පැමිණ තිබුණේ අත ඇති ෆයිල් කවරය දමා ගසමිනි. ඒ අර්ජුනගේ හැටිය. එමෙන්ම කෙනෙකුට උදව් ඇවැසි වුවමනා තැන පංගු පේරුවකින් තොරව බඩ බැඳ ගෙන උපකාර කළේය. පසුගිය වකවානුවේ චෙන්නායි සහ කොළඹ අතර උපකාරක පාලමක් ද අර්ජුන ගොඩනැංවූයේය. මුල් යුගයේ තරුණ සිනමාකරුවන් රැසකටම ඉන්දියානු චිත්‍රාගාර පහසුකම් ලබා දෙන්නට උපකාර කළ අර්ජුන රෝගී තත්වයේ පසු වූ බොහෝ දෙනෙකුට ඉන්දියානු රෝහල් වලින් ප්‍රතිකාර ලබා දීමට බලවත් උපකාර කළේය. එවැනි අවස්ථා වල බොහෝ දෙනාගේ නවාතැන වූයේ ද අර්ජුන ගේ චෙන්නායි නගරයේ වාල්මිකී නගර් වල පැවැති නිවහනය. අර්ජුන් ගේ ඉන්දියානු සබදතාවන් කෙතරම් ද යත් එයින් පළ ලැබුවෝ බොහොමයකි.වරක් සරසවිය සිනමා උළෙලට සිනමාවේදී මනිරත්නම් කැඳවා ගත්තේ ද අර්ජුන් ගේ මැදිහත්වීමෙනි. තිස්ස අබේසේකරයන් චිත්‍රපට සංස්ථා සභාපති පදවිය හොබවද්දී චෝල මණ්ඩල සිනමා උළෙල පවත් වන්නට ද ඒ.බී.රාජ් ඇතුළු සිනමාකරුවන් කැඳවා ගන්නට ද අර්ජුනගේ සබඳතාවන් බෙහෙවින් ඉවහල් විය. කිසිවකු ට හෝ බැහැයි කියන්නට අර්ජුනට වුවමනාවක් ඔහුට තිබුණේ නැත. ප්‍රේමසිරි කේමදාසයන් සමග අර්ජුන්ගේ මිත්‍රත්වය කෙතරම් ද යත් ගයත්‍රි කේමදාසයන් විවාහ වූ දින ඇය පෝරුවෙන් බස්සවන ලද්දේ ද අර්ජුන විසිනි. අර්ජුනගේ සන් මිත්‍රත්ව නාමාවලිය ලියන්නට ගත හොත් පුවත්පතේ පිටු ද මදි වන්නකි.ඒ හැම දෙනෙකුටම ජීවිතයේ එක් වරක් හෝ අර්ජුන විසින් උපකාරයක් කර නැතැයි කීම මුසාවකි.

අර්ජුන් වැනි මිනිසුන් හමුවන්නේ කලාතුරකිනි.මේ නිසාම අර්ජුන මිය ගිය පුවත ඔහු ඇසුරු කළ කිසිවක් හෝ එකවර විස්වාස කළේ නැත. එය අදහා ගත නොහැකි දෙයකි. ඊටත් අවුරුදු දවසේ කොස්වාඩියේ බුද්ධි කීර්තිසේන ගේ නිවහනට ගිය අර්ජුන සිය මිතුරන් සමග විහිළුවෙන් තහළුවෙන් කල් ගෙවූ ඔහු එකවරම මෙලොව හැර ගියෙයැයි සිතීම විඳ දරා ගත යුතුව තිබුණේ ඔහු ගේ හිතවතුන්ටය.ඇත්තය.අර්ජුන වැනි මිනිසුන් සදහටම අප ජීවත් වන තුරු හදෙහි කොතැනක හෝ ජීවත් වනු ඇත.