වර්ෂ 2016 ක්වූ මාර්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




අපේ පරපුරේ ගොගොල් ගැන බී.බී.සීයේ පි‍්‍රයත් ලියනගේ ගේ ආවර්ජනය

අපේ පරපුරේ ගොගොල් ගැන බී.බී.සීයේ පි‍්‍රයත් ලියනගේ ගේ ආවර්ජනය

මාස ගණනක් දුෂ්කරක්‍රියාවෙන් ප්‍රසූත තිර රචනය යළි හදාරමින් රූපගත කලයුතු දර්ශන පෙළ සකසා සියලු සාකච්චා උපදෙස් හමාරයේ පරෙස්සමෙන් නිර්මිත දර්ශනය රංග ගත කිරීම ඇරඹෙයි. සුසුමක හඬක් නොඇසෙන නිහඬ බිඳීමින් රංගන ශිල්පියා හඬ අවදි කරයි .......... “කට්!” කැමරාව අසළ සිටින අධ්‍යක්ෂ දෑතින් හිස කෙස් අදිමින් ගොරෝසු හඬින් කෑ ගසා අසල පුටුවේ වැතිරෙයි .... යුහුසුලුව දිවයන කෙසඟ සහාය අධ්‍යක්ෂ නිසි උපදෙස් ලබා දෙන අතර සියගනණක් මුහුණු රැළි අතර සැඟවුණු දෙනෙත් කුඩා කරමින් මඳ සිනහවක් නඟන කැමරා අධ්‍යක්ෂ මැදගිල්ලෙන් යටි රැවුල කසයි. ...... කාගේත් අවධානය යළි යොමු වන්නේ හිසකේ ඇදීම නවතා මෝහනයට පත් අයකු මෙන් නැගී සිටින අධ්‍යක්ෂ වරයා වෙතයි.....

වසන්ත ඔබේසේකර තම නිර්මාණය හා බැඳුනු සියලු අංශ පරිපුර්ණ පාලනයට ගත් සිනමා “කතෘ වරයා” දැහැන සපන් ඍෂි වරයෙක් බඳුය. ප්‍රංශ සිනමා නව රැල්ලේ පුරෝගාමී විචාරක අන්ද්රී බැසන් (André Bazin) විසින් නිර්වචන කෙරුණු ආකාරයේ; චිත්‍රපට නිර්මාණය අතැඹුලක් සේ ග්‍රහණයට ගත් අතිශයෙන් සාර්ථක ශ්‍රී ලාංකික සිනමා කතෘ වරයා (Auteur) ලෙස වසන්ත ඔබේසේකර සුවිශේෂ ස්ථානයක් හිමි කර ගනියි. තම නිර්මාණයනට මුල්වූ වස්තු බීජයන් පිළිසිඳී තැන් පටන් කතාන්තර ගොඩ නැගීම තිර රචනය දෙබස් සියලු රූපරාමු ආලෝකය, අඳුර, කැමරා චලන, රංගනය, හඬ පටය, සංස්කරණය, සංගීතය, වේශ නිරූපණය ආදී සියලු අංශ මෙහෙයවෙන ආකාරය පිළිබඳ පැහැදිලි සවිස්තර සැලසුමක් ඔහු සතුය.

රුසියානු සාහිත්‍යය පිළිබඳ විවරණයක යෙදුනු ෆ්යොදෝර් දොස්තයවස්කි වරක් ප්‍රකාශ කළේ “අපේ පරපුරේ ලේඛකයන් ගොගොල් ගේ ‘හිම කබායෙන්’ එලියට ආ අය” යනුවෙන්. ලාංකීය සිනමාවේ අපේ පරපුරේ නිකොලායි ගොගොල් වසන්ත ඔබේසේකරය යනු මගේ හැගීමයි. වසන්තගේ වල්මත්වූවෝ, පළඟැටියෝ, දඩයම අපේ හිම කබා බවට පත්වූ බව නොරහසකි. ප්‍රසන්න විතානගේ, අශෝක හඳගම, විමුක්ති ජයසුන්දර, ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු ඇතුළු පිරිස් තම නිර්මාණයන්හි අන්තර්ගතය සහ ආකෘතිය පිළිබඳ නව මං සොයා යද්දී ඔවුනට ධෛර්යය ලබාදුන්නේ වසන්තගේ පුරෝගාමී ප්‍රවේශය යි.

තරුණ පරපුරේ නවකයන් තර්ජනයක් ලෙස කිසිවිට නොසැලකු වසන්ත, තම නිර්මාණ කටයුත්තේදී තරුණ පිරිස් සඳහා වෘත්තීය පුහුණු අවස්ථා නිරන්තරයෙන් ලබා දුන් අතරේ තිර රචනය පිළිබඳ වැඩ මුළු පවත්වමින් මහඟු සේවයක නිරත විය. විධිමත් සිනමා අධ්‍යයන ආයතනයක් නොමැති තත්වයක් තුල ඔහු සිදු කළ සේවය මිල කළ නොහැක. ලියද්දී රූප ගත කරද්දී, නවක අදහස් ගරු කළ ඔහු, තමාගෙන් ශිල්ප උගත් සිසු පිරිස් හට ගෝල බාලයින් ලෙස නොව, මිතුරන් ලෙස සමතැන් දී සැලකීමේ උතුම් ගුණයකින් ක්‍රියා කළ දුර්ලභ පඬිවරයෙකි. අප සියල්ලන් ආදරයෙන් “සර්” ලෙස අමතද්දී, ඔහු අප ඇමැතුවේ “මචං” ලෙසිනි.

සිනමාව, ජීවිතය, ආදරය, දේශපාලනය, කලාව ගැන විවෘත වීවාදයට එළඹෙමින් වසන්ත සමග මධු විතට එක්වීම සුලභ සිදුවීමකි. දැවැන්ත නාසය අදිමින් කැස්ස හැදෙන තුරු හිනා වුනු සර්, සිනහවෙන් විහිළුවෙන් කල් ගත කිරීමට ලොල් කළ රසවතෙකි. සිනමා කලාවේ නියුතු සිටියදී නව පරපුර දිරිමත් කිරීම ඔහු තදින් විශ්වාශ කළ දෙයකි. නිර්මාණකරණයේදී තම කෘතිය සඳහා සිනමාවේදියා තුල ඇතිවිය යුතු කැපවීම වසන්ත ඔබේසේකර ආදර්ශයෙන් පෙන්වා දුන් ගුණාංගයක් විය. නිර්මාණයේ සාර්ථකත්වය වෙනුවෙන් ජීවිතයේ අන් සියලු දේ නොවැදගත් ලෙස සලකා උමතු ධ්‍යානයකට සමවැදීමේ අවශ්‍යතාව ඔහුගෙන් උගත්තෙමු.

නිර්මාණ කාර්යයේදී ඔහු තුල වූ කැප වීම සහ වසන්ත ට ආවේනික ‘අවුල් විනය’ තුලින් නිර්මාණයට හවුල්වූ සියල්ලන් ආකර්ෂණයකින් වසඟයට ලක් කර ගැනීමට ඔහු සමත් වීය. රුප ගතකරද්දී හිස කෙස් අදිමින් උච්ච ආවේගයට පත්වන අවස්ථා වලදී ත් සොඳුරු සරින් සහෝදර කලාකරුවනට උපදෙස් දෙන විටදීත් ඔහු නිර්මාණයේ දැහැන බිඳ නොගනී.

සිනමාව ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක් බව නිරන්තරයෙන් මෙනෙහි කළ ඔහු, රුපය සහ හඬ පටය ප්‍රතිවිරුද්ධ සමාන්තර චේදනය තුලින් තුන්වැනි තලයක් බිහි කිරීම පිළිබඳ අත්හදා බැලීම් සිදු කරමින් සිනමාවේ නව මානයන් සොයා දිගු පර්යේෂණ චාරිකාවක නිරත විය. රූපය හා සමාන වැදගත් කමින් හඬ යොදාගැනීම නිරන්තර අවධානයට ලක් කරමින් සිය නිර්මාණ නව නිම්වළලු වෙත කැඳවා යාමට වසන්ත ඔබේසේකර ඉදිරිපත් වුයේ මහත් උද්යෝගයෙනි.

කිව යුතු දේ කෙලින් කී වසන්ත, නිරන්තර ආවේගයට පත්වූ සියුම් මනසකින් යුත් සංවේදී මිනිසෙකි. කලක් සහාය අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කළ ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු, සම්මානනීය සිනමාකරු ප්‍රසන්න විතානගේ ඇතුළු පිරිස් වසන්ත ඔබේසේකරට සදා ණය ගැති ය. තිර රචනයේදී ත් චිත්‍රපට නිර්මානයේදී ත් කළ යුතු දේ මෙන්ම නොකළ යුතු දේ වසන්ත සර් ගේ ආදර්ශයෙන් දැක බලා ගන්නට අපට හැකි විය. තමන් ගත කළ මධ්‍යම පන්තියේ අර්බුධ මැනවින් අවබෝධ කර ගත් ඔබේසේකරයන් ගේ කතාන්තර වල පාත්‍ර වර්ගයා සැබෑ මිනිසුන් හා ගැහැණුන් ගෙන් සමන්විතය.

ජීවිතය එල්ල කළ අභියෝගයන් හමුවේ දිගින් දිගට නිර්මාණ කාර්යයේ යෙදුනු වසන්ත ‘සර්’ සිහින දැකීම අත් නොහල සැබෑ කලාකරුවෙකි.

වරෙක කුඩා දරුවෙකු මෙන් අහිංසක මුරණ්ඩු කමින් ක්‍රියා කරද්දී වුව ඔහු හා ලෙන්ගතු නොවී සිටින්නට නොහැකි වුවත් වැඩෙක යෙදී සිටියදී ඔහු හා විසීම පහසු නොවේ. අසංග පුතුට ත් කනිෂ්කා දියණියටත් හද පතුලෙන් ආදරය කළ මේ මහා පුරුෂයා පසුපස සිට සැබෑ ශක්තිය සපයමින්, ඔහු ඉවසමින්, ස්වකීය නිර්මාණ කටයුතු අත් නොහැර, වරෙක බිරිය, වරෙක මව ලෙස දුෂ්කරවූ උපේක්ෂා සහගත භූමිකාව වේ යෙදුනු ස්වර්ණා, වසන්ත හා දුක සැප බෙදා ගත් දිරිය මවයි.

නිතර පොත පත කියවූ වසන්ත ඔබේසේකර සිනමාව පිළිබඳ දැනුමට පමණක් සීමා නොවූ පුළුල් ප්‍රඥාවකට හිමිකම් කී විරල පඬිවරයෙකි. භීෂණ සමයේ තම නිවසේ ආරක්ෂාව ලැබූ තරුණ පිරිස් තමන් සතු පොත් රහසින් විකුණාගත් අවස්ථාවේ කඳුළු වගුරමින් හැඬු ඔහු සමාජ අසාධාරණයට එරෙහි ප්‍රභල වෘතාන්ත භාවාතිශය බැවින් තොරව ඉදිරිපත් කළ හැකි සංයමයකින් යුතු කලාකරුවෙකි. සිනමාවේ නිරත කලාකරුවන් සෑම අවස්ථාවක පැහැදිළි දේශපාලන අවබෝධයකින් යුතුව පියවර තැබිය යුතු බව ඔහු විශ්වාශ කර සිටියේය.

සිනමා කෘතියක සාර්ථකත්වයේ පදනම තිර රචනය බව තරයේ විශ්වාශ කළ වසන්ත ඔබේසේකර, සවිස්තර තිර රචනය සඳහා කාලය කැප කළේය. සිරුරෙන් මෙන්ම නුවණින් කුඩා අපගේ ආදරයත් ගෞරවයත් දිනාගත් ඔහු, අපට සිනමාව කියාදුන් ගුරු වරයා, හිත මිතුරා සහ සහෝදර සේවකයාය.

ඔහු අපේ සර් ය. අපි ඔහුගේ මචං ය. ඔබ අප හැර ගියත්, අප ඔබ හැර නොයන්නෙමු. ඔබේසේකරයන් ගේ වියෝව පිළිබඳ දුක් විය නොහැක්කේ එහෙයිනි. ඔහු තවමත් අප සමගය.

අපට කියා ගෙන්වා ගත් මධු විත බිඳුවක් අපට නොදී තනිව පානය කරමින්, දෙබැම පිරිමදිමින් අවසාන ජවනිකාව රූපගත කරන ආකාරය සිතෙහි සැලසුම් වෙයි.

“සර්! බයික් එක කෝ?”

මඳ වෙලාවකට දැහැනින් මිදෙමින්, “කෙළියා! ........... මං උදේ ගෝල් ෆේස් ගිහිල්ල ටැක්සියේ ගෙදර ආවෙ.... බයික් එක එතන.”

“අනේ මචං ටැක්සියක ගිහිං....... ring it back will you?!”

සර් ට අමතක වන දේ බොහෝය. “සර්! I can’t, ........ මං බයික් පදින්න දන්නෑ සර්.”

“ ........ආ! I forgot ......... මං ක්‍රිස්ටිට කියන්නන්. ...... එහෙනං ලියා ගන්නවද මේ ෂොට් එක .... “ (ඔලුව නවමින් සෙමෙන් තම හිසකෙස් අදී.)

සර් අන්තිම ජවනිකාව ලියා අවසන් කර ඇත. අපි නව නිර්මාණයකට යළි එක්වෙමු. එදාට අපි එකට සව්දිය පුරමු.

(fade in ...... song ........... යොවුන් වසන්තයේ ..............

රෑන් මුදාගෙන පාවී යනු මැන ඉගිල්ලිලා