වර්ෂ 2016 ක්වූ මාර්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




උරුවෙල කාශ්‍යප මහරහතන් වහන්සේ එළිදකියි

උරුවෙල කාශ්‍යප මහරහතන් වහන්සේ එළිදකියි

අසූ මහා ශ්‍රාවක ශ්‍රාවිකා චරිත කතා ග්‍රන්ථ රැසක් රචනා කළ ගයාන් චානුක විදානපතිරණ ලියූ ‘උරුවෙල කාශ්‍යප මහරහතන් වහන්සේ‘ කෘතියේ නවතම මුද්‍රණය මේ මස 25 වැනිදා මරදාන දයාවංශ ජයකොඩි සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේදී එළිදකියි.


රංග කලාකරුවන්ගේ ජාතික සංසදයෙන් විශේෂ රැස්වීමක් 25දා

රංග කලාකරුවන්ගේ ජාතික සංසදය වර්තමානයේ පවතින අභීයෝගතා හා ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වන විශේෂ රැස්වීමක් මේ මස 25 වැනිදා පසුවරු 4.00ට බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ (නාඩා)දී පැවැත්වෙයි. මේ රැස්වීම සඳහා සියලුම නාට්‍යකරුවන්ට සහභාගි වන්නැයි සංවිධායක කමිටුව ආරාධනා කරයි.


පැරැණි ටෙලි ඩීවීඩීයෙන් එයි

ඉහළ ජනප්‍රසාදයක් ලද ටෙලිසිතුවම් යුවළක් ඩී වී ඩී මාධ්‍යයෙන් පසුගියදා නිකුත් විය. ආනන්ද අබේනායක නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළ මැණික් නදිය ගලා බසියි සහ ප්‍රේමකුමාර ජයවර්ධන අධ්‍යක්ෂණය කළ රඟ සොබා එම ටෙලි සිතුවම් ද්විත්වය වේ. සෝමවීර සේනානායක විසින් රූපවාහිනි රචනය කරනු ලැබූ මැණික් නදිය ගලා බසියි හි සිරිල් වික්‍රමගේ, රම්‍යා වනිගසේකර, ජයලත් මමෝරත්න, ශ්‍රියන්ත මෙන්ඩිස්, වීණා ජයකොඩි, රන්ජන් රාමනායක ඇතුළු පිරිස රංගනයේ යෙදෙයි. අයිරංගනී සේරසිංහ, රවීන්ද්‍ර රන්දෙණිය, වසන්ති චතුරානි, අනුලා කරුණාතිලක, නිටා ප්‍රනාන්දු, ප්‍රදීප් සේනානායක, ඩග්ලස් රණසිංහ ඇතුළු පිරිස රඟසොභා රංගනනේ දායක වී තිබේ. රඟසොබා සුමිත්‍රා රාහුබද්ධගේ රූපවාහිනී රචනයකි. මෙම ටෙලි සිතුවම් යුවල ටොරානා ආයතනයේ බෙදා හැරිමකි.


ගම්පහට සුපිරි ශාලා යුගලක් රීගල් ගම්පහටත්

මෙරට සිනමා ශාලා පද්ධතියට එක් වූ නවතම සිනමා ශාලා යුගළ පසුගියදා ගම්පහදී විවෘත විය. ඒ රීගල් නමිනි. සීමාසහිත සිලෝන් තියටර් සමාගමට අයත් සී. ඊ. එල් මණ්ඩලය යටතේ මෙම සිනමා ශාලා පාලනය වේ. මෙතෙක් ගම්පහට පැවති සුපිරි සිනමා ශාලාවක අඩුව මෙම රීගල් සිනමා ශාලා යුගළ මගින් සපිරෙනු ඇත.


සරසවිය රසිකාවකගේ පුතු මියයයි

පැරැණිතම සරසවිය පාඨකාවක වන සුසිලා පතිරාජගේ ආදරණීය පුත්‍රයා වූ අරුණ මනෝජ් ජීවන්ත අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහුගේ වයස අවරුදු තිස් අටකි. සීදූවදී සිදු වූ හදිසි අනතුරකින් අරුණ මෙසේ අකාලයේ ජීවිතයෙන් සමු ගත්තේය. ඔහුගේ අවසන් කටයුතු පසුගියදා කපුවත්ත පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි.