වර්ෂ 2016 ක්වූ මාර්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




අමාරුකාරයන් ගැන රස කතාවක්

අමාරුකාරයන් ගැන රස කතාවක්

අලුත් 'මල්ලි බබෙකු' නිවසට රැගෙන එන තෙක්, පුංචි ටිම් සිටින්නේ ඇඟිලි ගනිමින්. අම්මායි තාත්තායි ගෙදරට සමඟින් එන මල්ලි බබා දැකීමෙන් ටිම් ට ඇතිවන්නේ ආදරයකට වඩා කුතුහලයක්.

මේ බබා අනික් බබාලට වඩා ගොඩක් වෙනස්. එයා අඳීන්නේ 'ෆුල් සූට්'. බ්‍රීෆ් කේස් එකකුත් අරගෙනයි ඉන්නේ. හරිම සීරියස්. හරියටම කියනව නම්... හරියටම.. හරියටම.. ඔෆිස් එකක බොස් කෙනෙක් වගේ.

ඉතින් මේ මල්ලි බබා ගැන පුංචි ටීම් ගේ සැකය සාධාරණයි. ඒ නිසයි මේ ගැන වැඩිදුරටත් සොයා බලන්න ටීම් තීරණය කරන්නේ. හොරෙන්ම මල්ලි බබාගේ කාමරයට රිංගන ටීම් ට ඇස් අදහාගත නොහැකි වනවා. මේ මල්ලි බබා රහසිගත මෙහෙයුමක් සඳහා පැමිණි නිලධාරියෙක්.

ටොම් මැක්ග්‍රාත් ගේ අධ්‍යක්ෂණයෙන්, රම්සි ඈන් නයිටෝ ගේ නිෂ්පාදනයෙන්, ඩ්‍රීම් වර්ක්ස් ඇනිමේෂන්ස් සජීවකරණයෙන් නිර්මාණය වූ 'The Boss Baby'කතාව මෙලෙස දිගහැරේ.

ට්වෙන්ටියත් සෙන්චරි ෆොක්ස් විසින් බෙදාහරිනු ලබන මෙම චිත්‍රපටය ප්‍රවීණ සංගීත අධ්‍යක හාන්ස් සිමර් සහ ස්ටීව් මසාරෝ ගේ සංගීතයෙන් ඔපවත් වූවක්.

මාර්ලා ෆ්‍රසී නම් ළමා නවකතා ලේඛිකාවගේ මෙනමින් යුත් කතාව පාදක කරගෙන මෙම චිත්‍රපටය තිර රචනය කර ඇත්තේ මයිකල් මක්යුලර්ස් විසින්.

ප්‍රවීණ රංගන ශිල්පීන් පිරිසකගේ එකතුවක් වන මෙම චිත්‍රපටයේ ඇලෙක් බෝල්ඩ්වින් (ස්ටිල් ඇලිස්, රූල්ස් ඩෝන්ට් ඇප්ලයි) ළදරු රහස් ඔත්තු නිලධාරියාට හඬ කවන අතර, ටෝබී මැග්‍යුරි (ස්පයිඩර් මෑන්, කැට්ස් ඇන්ඩ් ඩොග්ස්), ජිමී කිමල් (ජිමී කිමල් ෂෝ), ලීසා කුඩ්‍රෝ (පේපර් මෑන්, ද ගර්ල් ඕන් ද ට්‍රේන්) සෙසු චරිතයන්ට හඬ කවති. මෙම චිත්‍රපටය විනාඩි 98 ක ධාවන කාලයකින් යුක්ත වූවකි.

මෙය අමෙරිකානු ඩොලර් මිලියන 125 ක පිරිවැයකින් තැනී ඇති අතර, මේ වන විට ඩොලර් මිලියන 220 ක් ඉක්මවූ ආදායමක් ලබා ගන්නට සමත් වී ඇත. ධ්ර්ච්ඕ දර්ශකයේ ලකුණු 6.5 ක් සටහන් කරන මෙම චිත්‍රපටය රෝටන් ටෝමාටෝස් හි ලකුණු සියයට 51% සහ මෙටා ක්‍රිටික් හි ලකුණු සියයට 51 ක් වශයෙන් සටහන් කර තිබෙනවා.

ඒ අනුව 'The Boss Baby' විචාරකයින්ගෙන් මිශ්‍ර ප්‍රතිචාර ලත් චිත්‍රපටයක්. රෝටන් ටෝමාටෝස් හි පොදු විචාරය පවසන්නේ මෙය හැකියාවෙන් යුත් රංගන ශිල්පීන් සමූහයකගෙන් සමන්විත වන අතර, දෘශ්‍ය ආකර්ෂණයක් ළඟා කරගත් චිත්‍රපටයක්.