වර්ෂ 2016 ක්වූ මාර්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




‘බන්ධනය’ට සිරවන සිඟිති සුරතලිය

‘බන්ධනය’ට සිරවන සිඟිති සුරතලිය

සහේලි සදිත්මා

සහේලි සදිත්මා සතරසිංහ බන්ධනය සිනමාපටයේ සුමනාගේ චරිතය රඟන්නීය. එය වෙනස්ම අන්දමේ ළමා චරිතයක් ලෙස හැඳින්විය හැකිය. සහේලි මේ වන විට අට හැවිරිදි වියෙහි පසුවෙයි. බන්ධනය සිනමාපටය ඉහළ ප්‍රතිචාර ලබමින් තිරගත වෙද්දී ඒ ජනප්‍රියත්වය එලෙසටම සහේලිටත් ලැබී තිබේ. අප ඒ පුංචි නිළියව සරසවියට කැඳ වූවෙමු.

සහේලි හුරුබුහුටිය. කටකාරය. අපේ කතාවට එක් වූයේ හුරතලයත් එක්කය.

* සහේලි කොහොමද බන්ධනය වෙනුවෙන් ඔබට මේ ලැබුණු ජනප්‍රියත්වය ගැන හිතෙන්නේ?

බන්ධනය චිත්‍රපටය වැඩිපුරම මගේ වයසේ අය බලලා නැහැ. ඒක හොල්මන් එකක්නෙ. ගොඩක් බලලා තියෙන්නේ ලොකු අංකල්ලා ඇන්ටිලා. එයාලා මාව දැක්කම අහනවා මේ අර හොල්මන වැහිච්ච ළමය නේද කියලා.

* කවුද ඔයාට මේ බන්ධනය සඳහා රඟපාන්න එන්න කියලා කතා කළේ?

උදය අංකල් බන්ධනයට ළමයෙක් හොය හොය ඉඳලා තියෙනවා. මං තාරා නාට්‍යයේ රඟපෑවනේ. ඒකෙදි මුණ ගැසුණු සුජාතා ප්‍රේමරත්න කියලා ඇන්ටි කෙනෙක් උදය අංකල්ට කියලා තිබුණලු තාරා ටෙලි නාට්‍යයේ ඉන්න මං ගැන. උදය අංකල් තාරා නරඹලා මට ස්ක්‍රීන් ටෙස්ට් එකකට කතා කළා. එතනට මං ගියාම අංකල් කිව්වා මං පොඩි වැඩියි කියලා. නමුත් මගේ හැකියාව දැකලා චරිතයට තෝර ගත්තා.

* බන්ධනය චිත්‍රපටයේ කතාව අහලා ඔයාට බය හිතුණෙ නැතිද?

උදය අංකල් ස්ක්‍රිපට් එක දුන්නෙ අම්මට. අම්මට කිව්වලු මට ඒක් පෙන්නන්නවත් එපා කියලා. අම්මයි තාත්තයි පිටපත බැලුවා. ඒකේ කතාවට එයාලටත් බය හිතුණලු. රූගත කරද්දී අම්මා නම් ලොකේෂන් එකට ආවෙවත් නැහැ. මං වගේ කෙනෙකුට නොලැබෙන චරිතයක් නිසා තමයි අම්මයි තාත්තයි මේකට මාව යැව්වේ.

* සහේලි හොල්මන් චිත්‍රපට නරඹනවාද?

ඔව්. මං බය නැහැ ඒවට.

* බන්ධනය නරඹද්දී මොකද හිතුණේ?

මේ මමම ද කියලා හිතුණා. ටිකක් විතර ගැස්සුණා.

* බන්ධනය රඟපාද්දී වෙච්ච අමතකම නොවන සිදුවීම මොකක්ද?

මට තමයි බන්ධනය කරලා තියෙන්නේ. ඒක ඇඟට වැහුණට පස්සේ රඟපාන ටික කෙරුවෙ අමුතුම මේකප් එකක් දාගෙන. ඒක දැම්මේ ජයන්ත අංකල්. එයා කිව්වා ළමා නිළියකට පළමු වතාවටලු ඒ වගේ මේකප් එකක් එයා දාපු. චිත්‍රපටයේ එක දර්ශනයක තියෙනවා මට වමනෙ යන. වමනෙත් එක්ක යන්නේ හූණො කැරපොත්තො ආදි සතුන්. ඒ සීන් එක කරද්දී ඇත්තටම අප්පිරියා හිතුණා.

* දිගින් දිගටම චිත්‍රපටවල ඉන්නද කල්පනාව?

ඔව්. හොඳ චිත්‍රපට ලැබුණොත් දිගටම මං රඟපානවා.

* සහේලිගේ අනාගත බලාපොරොත්තුව මොකක්ද?

හොඳ නිළියක් වෙන එක තමයි.

* දැන් සහේලිගේ වයස කීයද?

අවුරුදු අටයි. රඟපාන්න ආවේ එක වසරෙදි.

* මොන වගේ නිර්මාණවලට ද මුලින් දායක වුණේ?

මුලින්ම හිටියේ ඇඩ්වල. ඊට පස්සේ සුජාතා සහ තාරා නාට්‍යවල රඟපෑවා. බන්ධනය තමයි මං රඟපාපු පළවෙන චිත්‍රපටය. මං ඉන්න දේදුනු ආකාසේ චිත්‍රපටය එන්න තියෙනවා.

* මේ දවස්වල හඬ කැවීම් කටයුතුවල යෙදෙනවා කියලත් ආරංචියි?

ඔව් ඔව්. නෙත් එකේ සත්‍යා කියා එෆ් එම් නාට්‍යයක හඬ කවනවා. එකේ සත්‍යා මං.

* සහේලිගේ පාසලත් මතක් කළොත්?

කොළඹ සංඝමිත්තා බාලිකාව.

* පාසලෙන් මොන වගේ සහායක් ද ලැබෙන්නේ රංගන කටයුතු වෙනුවෙන්?

ලොකු සහායක් ලැබෙනවා. ඉස්කෝලේ මැඩම් තුෂාරි ද සිල්වාව මතක් කරන්න ඕනෑ. කොච්චර රඟපෑම් තිබුණත් මං පාසලේ වැඩ හොඳින් කරනවා. යාළුවොත් මට සපෝට්.

* අම්මගෙයි තාත්තගෙයි නම් කියමු?

අම්මා ඉමානි, තාත්තා වසන්ත. ඒ අය තමයි මගෙත් එක්ක රඟපාන වැඩවලට එන්නේ.

* කාටද තුති පුදන්න තියෙන්නේ?

ගෙදර අයට, උදය අංකල්ට, ඩොනල්ඩ් ජයන්ත මාමට.