වර්ෂ 2016 ක්වූ මාර්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




Bollywood

ආලියාගේ අලුත්ම යාළුවා

ආලියා බාත් බොලිවුඩයේ ජනප්‍රියම දඟකාරියයි. ඇයට අලුත් මිතුරෙක් කී සැණින් අපේ මතකයට නැඟෙන්නේ සුන්දර ආලියාගේ සිතට පෙම්බැඳි කඩවසම් හාදයෙකි. එඩ්වඩ් ඇයගේ අලුත්ම මිතුරායි. එහෙත් ඒ තරුණයකු නොව සිව්පා සුරතලෙකි. එඩ්වඩ් බාත් නම් මේ සිව්පා සුරතලා හිම මෙන් සුදු පැහැති පර්සියානු බළල් නාම්බෙක්ය. ආලියාට මේ පූස් සුරතලා ලැබුණේ පසුගිය මාර්තු 15 වැනි දිනට යෙදී තිබුණු 24 වැනි උපන් දිනයට තිළිණයක් ලෙසයි. ඇය එඩ්වඩ් සමඟ සිටින ඉන්ස්ටග්‍රම් ඡායාරූපය ඇයට හද බැඳි රසිකයන්ගේ නොමඳ ජනප්‍රියභාවයට පාත්‍ර වී ඇත.

ආලියා සත්ත්ව ප්‍රේමියකු බව නොදන්නා කෙනෙක් නැත. ඇය තම රසිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ තමන්ටත් වඩා සතුන්ට ආදරය කරන ලෙසයි. ඇය සත්ත්ව හිංසාවට එරෙහිව නැඟී සිටින තාරකාවකි.

බොලිවුඩ් පුරයේ සත්ව ප්‍රේමීන් අතර සල්මන් ඛාන්, අමිතාබ් බච්චන්, ෂාරුක් ඛාන්, අජේ දේව්ගන්, රිතික් රෝෂන්, වැන්නෝ සිටිති. පූසන්ට බිය ප්‍රියංකා සුනඛ සුරතලකුගේ ස්වාමි දුවකි. අපේ ජැකලින් ෆර්නැන්ඩස්ට සුනඛයන් හත් දෙනකු, බළලුන් දෙදෙනකු සහ මාළු ටැංකි පහක් හිමිය.


දුකට අඬන වීරයා

තිරයේදී වීරයා පරාජය නොවේ. ඔහු පරාජිතයකු කරන්නේ බොක්ස් ඔෆිස් වාර්තාය. ෂාරුක් ඛාන් අදටත් බොලිවුඩයේ සුපිරි තරුවයි. එහෙත් ඔහු රඟන සිනමාපට වුවත් සැම විටම සාර්ථක වන්නේ නැත. එවැනි අත්දැකීමක් ලද විට ඔහු කරන්නේ නාන කාමරයේ දොරගුළු ළාගෙන හැකි තරම් හඬා වැටීමයි. හැඬු පසු සිත දුකින් නිදහස් වේ. සියලු ජයග්‍රහණයන් සහ පරාජයන් තාවකාලිකය යන යථාර්ථය අනතුරුව පසක් කරයි. ඒ ෂාරුක්ගේ ස්වභාවයයි. ෂාරුක් මේ බව පැවසුවේ සැන් ෆ්‍රැන්සිස්කෝ අන්තර් ජාතික සිනමා උළෙලේදී අමෙරිකානු සිනමා අධ්‍යක්ෂ - නිෂ්පාදක බ්‍රෙට් රට්නර් සමඟයි.

රට්නර්ගේ “රෂ් අවර්” ඉන්දියාවේදී රූගත කිරීමට බලාපොරොත්තු වන අතර ඔහු ෂාරුක්ගෙන් එහි රඟපෑමට මනාපය විමසා ඇත. එහිදී ෂාරුක් පවසා ඇත්තේ ජැකී චෑං සහ ක්‍රිස් ටකර් එහි රඟපානවා නම් ඊට එකඟ බවය.


දර්ශන තලයේ දරු සුරතල්

තුෂාර් කපූර් නළුකම නිසා වගේම පිය පදවිය නිසා කාර්යබහුලයි. තවමත් ඔහුගේ පුතාට මාස දහයයි. ගෝල්මාල් රූගත කරන දර්ශන තලයට තුෂාර් පුංචි පුතාවත් රැගෙන යයි. ලක්ෂ්යා පුංචි පුතු නොමැති නම් රූගත කිරීමක් අවලංගු වූවාටත් වඩා නළු නිළි කණ්ඩායම අපහසුතාවට පත්වේ. රංගනයෙන් මඳ විරාමයක් ලද සෑම විටම ගෝල්මාල් කණ්ඩායම ලක්ෂ්යා වෙත යාමට අමතක නොකරති. තුෂාර්ට දැන් ගෝල්මාල් සගයන් කණ්ඩායම තම පවුලේම කොටස්කාරයන් ලෙස දැනෙයි.

මාස දහයේ සිට දර්ශන තලවල සැරිසැරීම නිසා ලක්ෂ්යාට කවරදා හෝ නළුකම කජු කෑම වගේ ලේසි පහසු දෙයක් වනු ඇත.


සෝනම්ගේ පිය උරුමය

64 වැනි ඉන්දීය ජාතික සම්මාන උළෙලේ ජයග්‍රාහකයන්ගේ නාමාවලිය පසුගියදා ප්‍රකාශයට පත් විය. ඒ අනුව අක්ෂය කුමාර් “රස්ටම්” රංගනය සඳහාත්, හොඳම සිනමාපටය ලෙස “කාසව්” ද, හොඳම සහාය නිළිය ලෙස දාංගල් සිනමාපටයේ සයිරා වසීම් ද සම්මානයෙන් පිදුම් ලබා ඇත. සෝනම් කපූර්ට ද නීර්ජා රංගනයට විශේෂ කුසලතා සම්මානයක් හිමි වී තිබේ.

මීට නව වසරකට පෙර සෝනම්ගේ පියා අනිල් කපූර් ද පුකාර් රංගනයට ජාතික සම්මානයෙන් පිදුම් ලැබුවේය. පියා වෙනුවට එදා සම්මානය ගත්තේ එවකට විසි එක් හැවිරිදි වියේ පසු වූ සෝනම් ය. දෛවයේ අරුමය එදා පියා වෙනුවෙන් සම්මානය ගත් සෝනම් මෙදා සැබෑවටම ජාතික සම්මානයෙන් පිදුම් ලබා ඇත. එදා සම්මානය ගැනීමට සිය පවුලම ගියා සේ මෙදා ද සම්මානය ගැනීමට පවුල පිටින්ම යාමට සෝනම් බලාපොරොත්තු වන්නීය. ජාතික සම්මාන උළෙල මැයි තුන් වැනිදා පැවැත්වීමට නියමිතය.


බොලිවුඩයේ වියපත් බඹරුන්

කලක පෙම්වතුන්ව සිටි වයස අවුරුදු අනූව ඉක්මවමින් ජීවත්වන තිරතරු යුවළක් හින්දි සිනමාවේ සිටියි. ඒ දිලිප් කුමාර් සහ කාමිණී කෞෂාල්ය. දිලිප් දැන් අනූ හතර හැවිරිදිය. දිලිප් පෙම් බැඳි කාමිණී කෞෂාල් අනූ විය ඉක්ම වූවාය.

විවාහකව සිටියදී කාමිණී දිලිප්ට පෙම් බැන්දාය. පසුව දිලිප් මධුබාලා, වෛජයන්ති මාලා තාරකාවන්ට ද පෙම් කළ අතර අවසානයේදී විසර විසි දෙකක් බාල සයිරා බානු තාරකාව සමඟ විවාහ විය. කාමිණීට අදටත් වයස යනු තවත් ඉලක්කමක් පමණි. ඉංග්‍රීසි ගෞරව උපාධිධාරිණියක ලෙස සිනමාවට එක් වුණු ඇය විවාහ වූයේ හදිසි අනතුරකින් මියගිය නැගණියගේ තනි වූ දියණියන් දෙදෙනාට රැකවරණය සැපයීමටයි. එම විවාහයෙන් කෞෂල්‍යාට පුතුන් තිදෙනකු සිටියි. ඇයගේ සෑම උපන් දිනයක්ම ජයටම සමරන්නේ දරුවන් පස්දෙනා හා මුනුබුරු මිනිබිරියන්ය. 1946 දී නීචා නගර් සිනමාපටයෙන් සිනමා දිවිය ඇරැඹූ කාමිණී රැඟූ දෝ බායි, බිරාජ් බාහු, ජේලර්, ෂාහීඩ් වැනි සිනමාපට අතිශය ජනප්‍රිය විය. අවසන් වරට ඇය රැඟුවේ චෙන්නායි එක්ස්ප්‍රස් (2013) සිනමාපටයේ ෂාරුක් ඛාන්ගේ මිත්තණිය ලෙසයි.