වර්ෂ 2016 ක්වූ මාර්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




ඇසෑමයේ භූපන් හසරිකා සම්මානය මෙවර ප්‍රසන්න විතානගේට

ඇසෑමයේ භූපන් හසරිකා සම්මානය මෙවර ප්‍රසන්න විතානගේට

ඉන්දියාවේ බිහි වූ විශිෂ්ට ගායකයකු, ගීත රචකයකු, සංගීත අධ්‍යක්ෂවරයකු මෙන්ම සිනමා අධ්‍යක්ෂවරයකු ද වූ ආචාර්ය භූපන් හසරිකා අනුස්මරණය කරමින් ඔහු උපත ලද ඇසෑම් ප්‍රාන්තයේ ඇසෑම් සාහිත්‍ය සභාව මඟින් පිරිනැමෙන ආචාර්ය භූපෙන් හසරිකා අන්තර් ජාතික සහයෝගිතා සම්මානය මෙවර පිරිනැමුණේ සිනමාවේදී ප්‍රසන්න විතානගේටය. පසුගිය 10 වැනිදා එම ප්‍රාන්තයේ රබීන්ද්‍ර භවන් ශාලවේදී පැවති විශේෂ උත්සවයකදී මෙම සම්මානය ප්‍රසන්නට පිරිනමන ලදී. දෙවසරකට වරක් ලබාදෙන මෙම සම්මානය 2013 වසරේදී බංග්ලා දේශ නර්ථන ක්ෂේත්‍රයේ පර්යේෂිකාවක මෙන්ම නර්ථන ශිල්පිනියක වූ ලුඩිතා මීරියම්ට පිරිනැමිණ. සුප්‍රකට කේරළ චිත්‍රපට අධ්‍යක්ෂ අධූර් ගෝපාල් ක්‍රිෂ්ණන්ටද මෙම සම්මානය පිරිනැමිණ. ඒ 2005 වසරේදීය.


තිස්ස - නිහාල්සිංහ සමරමු

ලාංකික සිනමාවේ විශිෂ්ට සිනමාකරුවන් දෙපොලක් වූ ආචාර්ය තිස්ස අබේසේකරයන් සහ ආචාර්ය ඩී. බී. නිහාල්සිංහයන්ගේ ගුණ අනුස්මරණයන් මෙම සතියේ යෙදී තිබේ. තිස්ස අබේසේකරයන් අප අතරින වියෝ වී අට වසරක් ගෙවෙන අතර නිහාල්සිංහයන් සමු ගත්තේ පසුගිය වසරේදීය. ලාංකික සිනමාව බිහිකළ විශිෂ්ටතම තිර රචකයා වන තිස්ස අබේසේකර මෙන්ම සිනමාවේ බිහි වූ විශිිෂ්ටතම පරිපාලකයා වන ඩී. බී. නිහාල්සිංහ යන දෙදෙනාම ජාතික චිත්‍රපට සංස්ථා ඉතිහාසයෙහි ලාංකික සිනමාව වෙනුවෙන් දැවැන්ත සහ දීර්ඝකාලීන මෙහෙයුමක් කළ යුග දෙකක් නියෝජනය කරති. නිහාල්සිංහයන් සිය මුල්ම චිත්‍රපටය වැලිකතර නිර්මාණය කරන ලද්දේ තිස්ස අබේසේකරගේ තිර රචනයක් අනුවය. එවකට ඔවුන් දෙදෙනාම භද්‍ර යෞවනයේ පසු වූහ. නිහාල්සිංහයන් චිත්‍රපට සංස්ථාවේ මුල්ම සාමාන්‍යාධිකාරිව සිටියදී (එවකට සංස්ථාවේ පූර්ණ බලතල තිබුණේ සාමාන්‍යාධිකාරීවරයාටය) ලාංකික සිනමා කර්මාන්තය වෙනුවෙන් විශාල මෙහෙයක් කළ අතර සංස්ථාවේ ස්වර්ණමය යුගය නිහාල්සිංහ යුගය ලෙස සැලකේ. තිස්ස අබේසේකරයන් ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ලෙසට 1997 දී පත් වූ අතර එවකට ඇල්්මැරෙමින් තිබුණු ලාංකික සිනමාවට අති විශාල ප්‍රබෝධයක් ගෙන දෙන්නට තිස්ස අබේසේකරයන්ට හැකි විය. ජයන්ත චන්ද්‍රසිරි, ඉමෝකා සත්‍යංගනී, සත්‍යජිත් මාඉටිපේ, සුදත් රෝහණ වැනි ප්‍රතිභාපූර්ණ සිනමා ශිල්පීන් පෙළක් ඒ සමයෙහි සිනමාවට එක් කළ තිස්ස සිනමා උත්සව ආදිය සංවිධානයෙන් ද ලාංකික සිනමාවේ ප්‍රබෝධය ඉහළ නැංවීය. ස්වකීය දැනුම නිර්ලෝභීව සිනමා රසික ප්‍රජාවට බෙදා දුන් විද්වතුන් දෙපළක් ලෙස ද ඔවුහු සම්භාවනාවට පාත්‍ර වෙති. තිස්ස හා නිහාල්සිංහ චිත්‍රපට හතර බැගින් අධ්‍යක්ෂණය කළහ.


ඇස අග කඳුළක් තබා

ආචාර්ය ජගත් විජේනායක සමුගනී

මෙරට සිනමා ක්ෂේත්‍රයට විශිෂ්ඨ නිර්මාණ කිහිපයක් දායාද කළ ආචාර්ය ජගත් විජේනායක පසුගිය සිංහල අලුත් අවුරුද්ද උදා වී හෝරා කිහිපයකට පසු ජීවන රඟ මඬලින් සමුගත්තේය. එදින දහවල ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා රෝහල් ගත වී සුළු මොහොතකට පසු ඔහු අවසන් සුසම් පොද වාතලයට මුසු කළේ්ය. වර්තමානයේදී වඩත් කතාබහට ලක්වුණු සිනමාපටයක් වන අශෝක හඳගමගේ ගේ ඇගේ ඇස අග සිනමාපටය නිෂ්පාදනය කළේ ද ආචාර්ය ජගත් විජේනායකය. එමෙන්ම හඳගමගේ විදු සිනමාපටයේ ද නිෂ්පාදක ඔහු විය. ආචාර්ය ජගත් සිනමා නිෂ්පාදනයට පිවිසෙන්නේ මොහාන් නියාස්ගේ එක් මලක පෙති සිනමාපටය සමඟිනි. මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ අම්මාවරුනේ සිනමාපටය නිෂ්පාදනය කළේ ද ආචාර්ය ජගත්ය. එය ආචාර්ය ලෙස්ටර්ගේ ද අවසන් සිනමාපටය විය. අනතුරුව ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට අවතීර්ණ වූ හෙතෙම මිලා, සඳට අහස ආදරෙයි, පබසරා, අකඩවාරිය, තරුපිරි අහස, ඒ ලෙවල් ඉවරයි, චංචල රේඛා (ටෙලි නාට්‍ය) කොළඹ අහස (ජාතික රූපවාහිනිය සමඟ සම නිෂ්පාදනය) වැනි ටෙලිසිතුවම් රාශියක් නිෂ්පාදනය කළේය. බොහෝ නිර්මාණකරුවන්ගේ පළමු නිර්මාණය නිෂ්පාදනය කොට ඇත්තේ ආචාර්ය ජගත්ය. නිර්මාණකරුවකු සොයාගෙන එද්දී ඔහු බැලුවේ ඒ නිර්මාණකරුවාගේ නිර්මාණ ගණන නොව ඔහුගේ නිර්මාණශීලිත්වයයි. එහෙයින් ක්ෂේත්‍රයේ වැඩි දෙනකු ඔහුව සොයා ආවේය. කෙටි කලක් තුළදී වැඩිම නිර්මාණ ගණනක් නිෂ්පාදනය කළේ ආචාර්ය ජගත්ය. ආචාර්ය ජගත් නිපැයූ සිනමාපට සහ ටෙලි නාට්‍ය රැසක්ම ඉදිරියේදී ප්‍රේක්ෂකයන් අතරට පැමිණීමට ද නියමිතව ඇත. ඒ අතර ආදර දඩයම, දුර්ගාත්ම ටෙලි නාට්‍ය මෙන්ම රන් දෝණි චිත්‍රපටය ද වේ.

පේරාදෙණියේ දරුවන් හය දෙනකුගෙන් යුතු පවුලේ පස්වැනියා ලෙස 1955 දී උපත ලද ඔහු නුවර ධර්මරාජ විදුහලේ ආදි සිසුවෙකි. ජයවර්ධනපුර සරසවියේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වන ආචාර්ය ජගත් පසුකාලීනව තම ශිල්පය බෙදාදීමේ කටයුතු සිදු කළේ පෞද්ගලික පංති හරහාය. ආචාර්ය ජගත්ට සිනමාව පිළිබඳ ද උපාධියක් ඇති බව බොහෝ දෙනෙකු නොදන්නා කරුණකි. එමෙන්ම චිත්‍රපට නිෂ්පාදක පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධනයන්ගේ විවාහ මංගල්‍යයේ දෙවැනි මනමාලයා වූයේ ද ආචාර්ය ජගත්ය. නිහඬව කලා ලොවට අමිල මෙහෙවරක් කළ එමෙන්ම ගිනුම්කරණ ගුරුවරයකු ලෙස දහස් ගණන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ නුවනැස පෑදූ ආචාර්ය ජගත්ට සරසවිය නිවන් සුව ප්‍රාර්ථනා කරයි.


ආචාර්ය අරෝෂගේ නිලංජනා අද තිරයට

ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු නිෂ්පාදනය කළ නිලංජනා සිනමාපටය මෙම මස 20 වැනිදා එනම් අද සිට එම්. පී. අයි මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගත වේ. සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වූ මෙහි හිමාලි සයුරංගි සහ කැලුම් කුලරත්න ප්‍රධාන චරිතයන් මවනු ලබයි. පාලිත සිල්වා, ශ්‍රියානි අමරසේන, බන්දුල විතානගේ, මහේන්ද්‍ර වීරරත්න, අනූෂා දමයන්ති සෙසු චරිතයන් නිරූපණය කරයි. නාලක විතානගේ අධ්‍යක්ෂණයකි.


බාහුබලී දෙවැන්න ලංකාවේ ශාලා 65 ක

ඉන්දියානු සිනමා ඉතිහාසයේ අති විශාල පිරිවැයක් දරා නිපැයූ සිනමාපටයක් වන බාහුබලී දෙවැනි කොටස එළඹෙන 28 දා සිට මෙරට සිනමා ශාලා හැට පහක තිරගත වේ. දමිල සහ හින්දි බසින් රස විඳිය හැකි බාහුබලී ධ්ධ් ආර් ආර්. රාජා මෞලිගේ අධ්‍යක්ෂණයකි. ප්‍රභාෂ් රනා, අනුෂ්කා ෂෙට්ටි, තමන්නා ඇතුළු පිරිස මෙහි චරිත මවති.


විජය වෙනුවෙන් යාපාට තිළිණයක්

විජය කුමාරතුංගයන්ගේ විසිනව වැනි ගුණඅනුස්මරණය නිමිති කරගනිමින් විජය කුමාරතුංග සහෘද කලා සංසදය මඟින් විජය සිනමාවට හඳුන්වා දුන් සිනමාවේදී සුගතපාල සෙනරත් යාපා කලාකරුවාව ඔහුගේ නිවෙසට ගොස් ඇගයීමට ලක් කෙරිණ. මේ සඳහා එම කලා සංසදයේ සභාපති අනුර ශ්‍රීනාත් හෙට්ටිආරච්චි, ප්‍රධාන ලේකම් අනුර රාජපක්ෂ සහ සහන් විජේසිංහ සහභාගි විය.


ද සූ කීපර්ස් වයිෆ්

හෙට

ලංකාවට

විශිෂ්ට ඝණයේ විදෙස් චිත්‍රපටයක් ලෙස මේ වසරේ ලොව පුරා සම්භාවනාවට පාත්‍ර වූ ද සු කිපර් වයිෆ් සිනමාපටය හෙට සිට බම්බලපිටිය මැජෙස්ටික් ඇතළු සිනමා ශාලාවන් රැසක ප්‍රදර්ශනය ඇරැඹේ. දෙවන ලෝක මහ සංග්‍රාමය සමයේ සිදු වූ සත්‍ය සිදුවිමක් පාදක කරගෙන තැනුණු මෙම චිත්‍රපටය නිකී කාරෝගේ අධ්‍යක්ෂණයකි.