වර්ෂ 2016 ක්වූ ජනවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




සම්මානනීය චිත්‍රපට හතරක් සිනමාවට දායාද කළ අර්ථපතිනිය

සම්මානනීය චිත්‍රපට හතරක් සිනමාවට දායාද කළ අර්ථපතිනිය

‘මම ලංකාවේ සිටියා නම් අනිවාර්යෙන්ම සුමතිපාල මැතිනිය ගැන අවමංගල උලෙළේදී කතාවක් කරනවා. මට එතුමිය ගැන ගෞරවාදරය කියන්නත් අවස්ථාව ලැබෙනවා' යයි මහාචාර්ය සුනිල් ආරියරත්න මට කිවේය.

චිත්‍රපට නිෂ්පාදිකා මිලිනා සුමතිපාල මැතිනියගේ අවමංගල්‍ය උලෙළ පැවැත්වෙන විට මහාචාර්යවරයා සිටියේ ඉන්දියාවේය.

'සුමතිපාල මැතිනියත් එක්ක මම චිත්‍රපට දෙකක් (උප්පලවණ්ණා, පත්තිනි) කළා. එතුමිය මට ඒ චිත්‍රපට නිම කිරීමට පූර්ණ නිදහස දුන්නා. සිංහල සිනමාවට එවැනි නිෂ්පාදිකාවක් අහිමිවීම ලොකු පාඩුවක්' මහාචාර්යවරයා කී විට මගේ මතකයට ආවේ වසර 10 කට පසු චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට සුමතිපාල මැතිනියත්, එතුමියගේ පුතු ජගත් සුමතිපාල මහතාත්, මාත් කළ සාකච්ඡාවකි.

'අපි චිත්‍රපටයක් කරමුදැයි' මා නිකමට මෙන් එතුමියගේ නිවසේදී ඇසූ විට මෙසේ කීවාය.

'ළමයො අපි අවුරුදු 10 කින් චිත්‍රපටයක් කළේ නෑනේ. මම කැමතියි 'රූපනන්දා' කතාව කරන්න. එදින එතුමිය කීවාය. 'ළමයෝ' කියා ඇමතිමට එතුමිය පුරුදුව සිටියාය. විටෙක තම පුතුන්ට ද කිට්ටුම ඥාතීන්ට ද, මුනුපුරන්ට ද මෙන්ම තමා යටතේ සේවය කළ අයට ද එතුමිය 'ළමයෝ' යයි ආදරයෙන් ඇමතුවාය.

'ළමයෝ රූපනන්දා කතාව කියවලා නැද්ද? හේන්පිටගෙදර ඤාණසිහ හාමුදුරුවන් ලියපු නවකතාවක් ඒක' 'මට හොයා ගන්න පුළුවන් . . .' මම එසේ කීව ද ඒ පොත සොයා ගැනීම නිකිණි සොයනවා වැනි අසීරුවක් බව දැන සිටියෙමි.

මා මේ ගැන මා මිතුරු මහාචාර්ය සුනිල් ආරියරත්නට කීවෙමි. ඔහු පැවසුවේ තමා ඒ පොත කියවා නැති බැවින් එය කෙසේ හෝ කියවා බැලීමට බලවත් ආසාවක් ඇති වූ බවය. මට අවශ්‍ය වුයේ මේ පොත සොයා මහාචාර්යවරයා සමඟ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරවීමටය. මම ඒ ගැන යෝජනාව ඉදිරිපත් කළේය.

මම මේ පොත ගැන ජගත් සුමතිපාල මහතාට කීවෙමි.

'අම්මා ඔය නවකතාව ගැන නිතරම කියනවා. අපි මහාචාර්යතුමා එක්ක දවසක හමුවෙලා කතා කරමු' ජගත් සුමතිපාල මහතා මට කීවේය.

මහාචාර්යවරයා ද සෑම පුස්තකාලයකින්ම පොත සොයා බැලුව ද සම්බ වූයේ නැත. පසුව ඔහු රත්නපුර පැත්තේ පිරිවෙනක මේ පොත තිබෙන ආරංචිය ඔස්සේ එහි ගියේය. පොත හමු විය. තම රූපයෙන් මාන්නයට පත් රූපනන්දා බුදුන් වහන්සේ හමුවන අවස්ථාව නිරුපණය වන මේ නවකතාවෙන් වැඩි කොටසක් බුදුන් වහන්සේ පසුබිම් වන නිසා එය චිත්‍රපටයකට නැඟීම දුෂ්කර බව අප කළ සාකච්ඡාවලදී වැටහිණ.

'ඉතින් මොකද කරන්නේ... බෞද්ධ පසුබිමක් තියෙන වෙන කතාවක් නැද්ද?' සුමතිපාල මැතිනිය පැවසුවාය.

බෞද්ධ සාහිත්‍යයේ එන තෙර තෙරණියන් ගැන මහාචාර්යවරයා හා අපි කළ සාකච්ඡාව කෙළවර වූයේ සුමතිපාල මැතිනිය 'උප්පලවණ්ණා' තෙරණියගේ කතාව සිනමාවට නඟන්නටයි කී යෝජනාවක් අනුවය. මේ වන විට මහාචාර්ය ආරියරත්න තිස්ස අබේසේකරට මේ අදහස කියා එහි තිර නාටකය ලියමින් සිටියේය. සුමතිපාල මැතිනියගේ ආශිර්වාදය සහිතව චිත්‍රපටයේ වැඩ කටයුතු ඇරඹිණ. තම මවගේ සිතැඟි ඉටු කිරීමට පුතු ජගත් සුමතිපාල මහතා දැඩි උත්සාහයක් ගත්තේය. මම ඔහුට උපරිම සහය ලබා දුනිමි.

උප්පලවණ්ණා චරිතය රඟපාන නිළිය කවුදැයි බලවත්ම ප්‍රශ්නය විය. මේ චරිතය රඟපාන නිළිය හිස මුඩු කළ යුතුය යන ස්ථාවරයේ මහාචාර්යවරයා සිටියේය. අප එකල සිටි ප්‍රවීණ නිළියන්ට මේ යෝජනාව කළ විට තම කෙස්ස දන්දීමට ඔවුහු අකමැති වූහ.

සංගීතා වීරරත්න සුමතිපාල පවුලේ සමීපතම හිතවතියකි. ඇයට සුමතිපාල මැතිනිය දැක් වූයේ තම දියණියන්ට දක්වන කරුණා දයාවමය.

'සංගීතා කොණ්ඩය කපන්න කැමැතිදැයි' මහාචාර්යවරයා ඇසුවේය.

'කොණ්ඩය කපන්න . . . අම්මෝ' සංගීතා විස්මයෙන් පැවසුවාය.

'ඔයා මේ තිර නාටකය කියවන්න ඉස්සෙල්ලා' මමත් ඇයට ධෛර්ය දෙමින් කීවෙමි.

තිර නාටකය කිය වූ සංගීතා අසීමිත ලෙස සතුටට පත් වූවාය. සංගීතා විවාහ වූ අලුතය එය.

'මම ටිකක් කල්පනා කරලා හස්බන්ඩ් එක්ක කතා කරලා කියන්නම් සංගීතා කීවාය.

'මහත්තයා අකමැත්තෙන් ඕක කරන්න එපා ළමයෝ' සුමතිපාල මැතිනිය සංගීතාට කීවාය.

සංගීතා තම සැමියගේ අනුමැතිය ලබා 'උප්පලවණ්ණා' සඳහා රඟපෑමට තම කෙස්ස දන් දුන්නාය.

චිත්‍රපටයේ නිෂ්පාදිකාව ලෙස සුමතිපාල මැතිනිය උපප්ලවණ්ණා දර්ශන තලයට පැමිණියේ එක වරක් පමණි. ඒ අනුරාධපුරයේ තන්තිරිමලේදී සංගීත කෙස්ස කපන දර්ශනය නැරඹීමට විශේෂයෙන් පැමිණියාය.

මහාචාර්ය සුනිල් ආරියරත්නගේ "උප්පලවණ්ණා" සාර්ථකත්වය නිසාම සුමතිපාල මැතිනිය 'පත්තිනි' චිත්‍රපටය නිපදවීමට ඉදිරිපත් වූවාය.

'පත්තිනි' චිත්‍රපටය නැරඹීමට 'සැවෝයි' සිනමාහලට පැමිණි එතුමිය චිත්‍රපටය අවසන අසීමිත ප්‍රීතියට පත් වූවාය.

තමා ඉතා සතුටින් මේ චිත්‍රපටය බැලූ බව පැවසූ එතුමියගේ මුහුණේ තිබූ ජයග්‍රාහී සිනාරැල්ල මට කිසිදා අමතක නොවේ.

තම මවගේ ආසාව මුදුන්පත් කිරීම ලොකු පුතු ජගත් සුමතිපාල මහතා දැඩි වෙහෙසක් ගත්තේය.

මව කුමන හෝ නවකතාවකට කැමති වුණොත් එය චිත්‍රපටයට නැඟීමේ ආශාව නිසා නතර නොකරන බව පුතු දනී.

'අම්මා නවකතා කියවන්න කමැතියි. අයිලින් සිරිවර්ධනගේ 'අහසින් පොළොවට' නවකතාවට ආසා කළා. ඒ බව තාත්තට කිව්වා. තාත්තා (යූ. ඩබ්ලිව්. සුමතිපාල මහතා) ඒ පොත කොහොම හරි සිනමාවට නඟන්න ටෝනි රණසිංහට පැවරුවා. තිස්ස අබේසේකරට කියලා තිර නාටකය ලියලා ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයට පැවරුවා. එහෙමයි 'අහසින් පොළොවට' සිනමාවට නැගුණේ' ජගත් පුත් එදා අපට නිදාන කතාව කීවේය.

එපමණක් නොව 'අහසින් පොළොවට' චිත්‍රපටයේ ගීතයක් තම ප්‍රියතම ගායිකාව හා මිතුරියට ගැයීමට හා රඟපෑමට අවස්ථාව දෙන ලෙස ද සුමතිපාල මැතිනිය ලෙස්ටර් මහතාගෙන් ඉල්ලා සිටියාය. වසර ගණනක් චිත්‍රපටයක පසුබිම් ගීතයක් නොගැයූ රුක්මණී දරු නැළවිල්ලක් ආශ්‍රිත ගීතයක් මේ චිත්‍රපටයේ ගැයුවාය. එඩී හා රුක්මණී සුමතිපාල යුවළගේ සමීපතම නළු නිළි යුවළ වූ අතර තම නිවසේ තිබූ සෑම සාදයකදීම මේ යුවළට ඇරයුම් ලැබිණ. එසේ හමුවන හැම අවස්ථාවකම සුමතිපාල මැතිනියගේ ඉල්ලීම පරිදි ගීත ගැයීමට සිදුවන්නීය.

රුක්මණී මියගිය පුවත ඇසූ සුමතිපාල යුවළ අතිශයින්ම කම්පාවට පත් වූහ. එම වසරේම පැවති ජනාධිපති සම්මාන උලෙළේදී 'අහසින් පොළොවට' චිත්‍රපටයේ ගී ගැයූ ඒ ගීතයට දක්ෂතම ගායිකාව ලෙස සම්මානය රුක්මණීට හිමි වූ අතර එය පිළිගැනීමට ඇය මෙන්ම තම සැමියා ද ජීවතුන් අතර නොසිටීම ගැන සුමතිපාල මැතිනිය දුක් වූවාය.

සරසවිය පුවත්පතේ ජ්‍යෙෂ්ඨ උප කතුවරයා වූ මට සුමතිපාල මැතිනිය හා සුමතිපාල මහතා සමීපව ඇසුරු කිරීමේ අවස්ථාව ලැබිණ. චිත්‍රපට කතා රචක අරියරත්න කහවිට මඟින් හඳුනාගත් සුමතිපාල මැතිනියගේ සහෝදරයා වූ ඩබ්ලිව්. ඒ. ධර්මසිරි එකල ලංකාවේ සිටි සිනමාව ගැන ලියූ සෑම ලේඛකයකුගේම සමීප මිතුරා විය. මේ හේතුව නිසා අපට නිතරම එම නිවසට යාමට ආරාධනා ලැබිණ.

'අහසින් පොළොවට' චිත්‍රපටය කයිරෝ ජාත්‍යන්තර චිත්‍රපට උලෙළේදී තුන් වැනි ලෝකයේ හොඳම චිත්‍රපටය ලෙස ජගත් සම්මානය ලැබූ දා සුමතිපාල නිවසේ රජ මඟුලක ස්වරූපය ඉසුලූ බව මගේ දෑසින් මම දුටුවෙමි.

එදා සුමතිපාල මහතා සහ මැතිනිය හා ටෝනි රණසිංහ කි දෑ සම්පිණ්ඩනය කොට මම සරසවියට (1978. 12. 29) ලිපියක් ද සුමතිපාල මහතා සමඟ කළ සාකච්ඡාවක් ඇසුරෙන් 'අහසින් පොළොවට, පොළොවෙන් අහසට' නමින් ලිපියක් (1976 ඔක්තෝබර් 25) සරසවිය පුවත්පතට ලීවෙමි.

'අහසින් පොළොවට' චිත්‍රපටය නිමා කිරීමට ආසන්නයේ සුමතිපාල මැතිතුමා තම බිරිඳගේ ආදරණීය ඉල්ලිමක් ඉටු කිරීමට කැමැත්ත පළ කළේය. 1979 මාර්තු මාසයේ දිනක සුමතිපාල යුවළගේ ගෙදරට ගිය එක්තරා සැන්දෑවක මට අපූරු ආරංචියක් ලැබිණ.

'මගේ නෝන කියවපු කැමතිම නවකතාවක් චිත්‍රපට ගත කරන්න කියනවා. මම තිරණය කළා ඒ චිත්‍රපටය සුමිත්‍රා පිරිස් මැතිනියට භාර දෙන්න. ලැටීෂියා බොතේජු නෝනා ලියපු කතාවක්. කාන්තාවන් දෙදෙනෙක් සම්බන්ධ 'ගඟ අද්දර' චිත්‍රපටය නිෂ්පාදිකාව මගේ නෝනා' සුමතිපාල මහතා මට කීය.

'අපූරු ප්‍රවෘත්තියක්. කාන්තාවන් තිදෙනෙක් එක් වී හදන මුල්ම චිත්‍රපටය 'සරසවිය' පත්තරේට හොඳ ආරංචියක්' මම කීවෙමි.

මම සුමතිපාල මැතිනියගෙන් මේ ගැන විමසීමි.

'ගඟ අද්දර නවකතාව මම කියෙව්වේ ඒ පොත නිකුත් වූ කාලේ. මම වඩාත් ප්‍රිය කරන නවකතා අතර මේක සුවිශේෂයි. මගේ පොත කවුරු හරි ගෙනිච්චා ආපසු දුන්නේ නෑ. මම ගුණසේන සාප්පුවේ බැලුවා. පොත නැහැ. මගේ ජගත් පුතාට කිව්වා කොහොම හරි පොත හොයන්න කියලා. පුතා රාජ්‍ය ලේඛනාගාරයට ගිහින් පිටපතක් හොයාගෙන ඒක පිටපත් කර ගත්තා. ඒ පොතේ තිබුණා පොත ලියූ ලෙටීෂියා බොතේජුගේ කොළඹ 07, බුලර්ස් පටුමඟ ලිපිනය. පුතා එතැනට ගියා. ලේඛිකාව ගෙවල් මාරු කරලා. අපි උත්සාහය අත ඇරියේ නෑ. සෙව්වා. හම්බ වුණා.'

1979 මාර්තු 20 වෙනිදා සරසවියට 'කාන්තාවන් තිදෙනෙක් එක් කළ චිත්‍රපටයක්' කියලා මේ තොරතුරු ඇතුළත් කරලා විශේෂාංගයක් මම ලිව්වෙමි.

'ගඟ අද්දර' චිත්‍රපටය හැම අතින්ම වාසනාවන්ත චිත්‍රපටයක් විය. එය ආදායම් වාර්තා පිහිටුවමින් ප්‍රදර්ශනය විය. චිත්‍රපටයෙන් ලැබුණු ශුද්ධ ලාභය සුමතිපාල මැතිනිය ජාතික රෝහලේ ස්නායු රෝග ඒකකයේ විශේෂ වාට්ටුවක් සඳහා පරිත්‍යාග කළාය. 1981 සරසවිය සම්මාන උලෙළේ එතෙක් එක් චිත්‍රපටයක් ලැබූ වැඩිම සම්මාන 10 කින් ද, ජනාධිපති සම්මාන 10 කින් ද ඕසීඅයිසී සම්මානයකින් ද පුද ලැබීය.

1998 දී ජනාධිපති සම්මාන 7 ක් 'දුවට මවක මිස' නවකතාව ඇසුරින් එතුමිය තැනූ චිත්‍රපටයට හිමි වූවාය. ඕසීඅයිසී සම්මාන 2 ක් හිමි විය.

මා විසින් 2005 වසරේ ලියන ලද 'රුක්මණී දේවි යුගයක ස්වර්ණ ගීතය' කෘතිය පිළිගැන් වූයේ සුමතිපාල මැතිනිය වෙතය. එහි මෙසේ සඳහන් විය.

'ජාත්‍යන්තර සම්මානයෙන් පුද ලත් 'අහසින් පොළෙවට' චිත්‍රපටය නිපදවීමට සිය සැමියාට සහාය වෙමින් රුක්මණී දේවිය මුල්වරට ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අධ්‍යක්ෂණය යටතේ රංගනයට සහ පසුබිම් ගායනයට යොමු කිරීමේ සංකල්පය ඉදිරිපත් කළේ ඔබය.

රුක්මණී දේවිය ගැයූ ඒ දරු නැලවිලි ගීතය ජනාධිපති සම්මානය ලැබීමට තරම් භාග්‍යමත් විය. රුක්මණී දේවිය නම් අග්‍රගණ්‍ය කලාකාරියගේ සමීපතම හා ලෙන්ගතු මිතුරියක්ව සිට 'ගඟ අද්දර' හා 'දුවට මවක මිස' චිත්‍රපට නිපදවා ජනාධිපති සම්මානයෙන් පුද ලැබූ ඔබ මැතකදී උප්පලවණ්ණා නම් වූ සම්භාවනීය චිත්‍රපටය සිනමාවට දායාද කළාය. සුමති සමූහ ව්‍යාපාරයේ සභාපතිනිය මිලිනා සුමතිපාල මැතිනියනි ඔබට සෙනෙහසින් මේ කෘතිය මම පිළිගන්වමි'

'දුවට මවක මිස' චිත්‍රපටය ඉන්දියානු ජාත්‍යන්තර චිත්‍රපට උලෙළ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තිරගත වූ අවස්ථාවේ එහි ගිය පිරිස් අතර මිලිනා මැතිනිය ද සංගීතා විීරරත්න, සනත් ගුණතිලක, අරුණ ගුණරත්න හා මමද වීමු. දුවට මවක මිස චිත්‍රපටය ප්‍රදර්ශනය කරන ලද්දේ නවදිල්ලියේ සිරිෆෝට් සිනමා සංකිර්ණයේය. චිත්‍රපටය ප්‍රදර්ශනයට පෙරදින රාත්‍රියේ අපි එහි පෝස්ටර් ශාලාවේ පුවරු මත ඇල වූයේ එදවස නවදිල්ලියේ පැවැති දැඩි සීතල ද නොතකාය. එවකට සනත් ජනාධිපති මාධ්‍ය උපදේශකවරයා විය. සනත්ගේ කර මත නැග ගත් අරුණ සිනමාහලේ ඉහළ පුවරුවල පෝස්ටර් ඇල වූයේය. පසුදා ශාලාව පිරී ඉතිරි ගොස් තිබිණි. එය මිලිනා සුමතිපාල මහත්මියගේ නොමඳ සතුටට හේතුවිය.

චිත්‍රපටය ගැන අපට ඉතා ප්‍රශංසනීය ප්‍රතිචාර ලැබිණ. විදේශීය විචාරකයන්ට හා අප ගිය පිරිසට සුමතිපාල මැතිනිය විශේෂ භෝජන සංග්‍රහයක් පැවැත්වූවාය.