වර්ෂ 2016 ක්වූ ජනවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




ගිවන්ත අර්ථසාද්ගේ ‘සිනමා - මායා’ එළිදකියි

ගිවන්ත අර්ථසාද්ගේ ‘සිනමා - මායා’ එළිදකියි

ජ්‍යෙෂ්ඨ සිනමා ශිල්පී ගිවන්ත අර්ථසාද් රචනය කළ ‘සිනමා - මායා’ ග්‍රන්ථය මේ මස 21 වැනිදා පසුවරු 2.30ට ජාතික චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේදී එළිදකියි.

එහිදි මේ ග්‍රන්ථය පිළිබද සමාලෝචන දේශනය කරනු ලබන්නේ ඇක්වයිනාස් සරසවියේ මාධ්‍ය විද්‍යායතනාධිපති, බෙනඩික්ට් ජෝශප් පියතුමාණන් විසිනි.

පුරා වසරක් සරසවිය පුවත්පතේ පළ වූ ‘සිනමා - මායා’ ලිපි මාලාව ග්‍රන්ථයක් ලෙස මෙලෙස නිකුත් වන්නේ දේශීය කථානාද සිනමාවේ වසර හැත්තෑවක් සහ ජාතික චිත්‍රපට සංස්ථාවට වසර හතළිස් පහක් පිරීම නිමිත්තෙනි. එඩ්මසන් හා ලුමියර් සහෝදරයන්ගේ රූප මාලාවල සිට සර්ජි අයිසන්ස් ස්ටයින්ගේ ‘බැටල් ෂිප් පොටෙමිකින්’ හා ඩී. ඩබ්ලිව්. ග්‍රිෆිත්ගේ ‘ද බර්ත් ඔෆ් අ නේෂන්’ ඔස්සේ කුබ්රික්ගේ ‘ස්පෙස් ඔඩිසි’ දක්වා වූ ලෝක සිනමා වංශය පිළිබඳ සිංහල සනමා පුවත්පතක පළ වූ සාර ගර්භ ලිපි පෙළ ‘සිනමා - මායා වෙයි.


පාතේගම ඤාණිස්සර හිමියන් ලියූ ‘කරුමයේ අරුමය’ එළිදකියි

මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමියන් ලියූ ‘කර්මය පල දෙන හැටි’ පොත්පෙළේ තුන්වැන්න ‘කරුමයේ අරුමය’ ග්‍රන්ථය මේ මස 27 වැනිදා පෙරවරු 10ට මරදාන සාහිත පොත් පියසසේ දී එළිදකියි. මේ කෘතිය සාහිත පොත් පියස ප්‍රකාශනයකි.


මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියන්ගෙන් ‘රස බණ කථා’

මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියන් ධම්මපදට්ඨ කතා ඇසුරින් රචිත ‘රස බණ කථා’ කෘතියේ නවතම දෙවන මුද්‍රණය පසුගියදා එළිදැක්විණි.

සොරෙය්‍යිවත, භික්ෂූන්ටත් නිවනන් ම සාදා දුන් මගඵලලාභිනිය, අඥානයා ලබන ශිල්පය අනර්ථකාරීය, පහන් සිතින් දන්දුන් බන්දුල මල්ලිකා ආදි මාතෘකා රැසක් යටතේ ධම්ම පදයේ ඇතුළත් ධර්මය රසවත් කතන්දර ලෙස මේ කෘතියේදී ඉදිරිපත් ව ඇත. මේ කෘතිය සාහිත පොත් පියස ප්‍රකාශනයකි.


‘ක්‍රිස්තුනි කරුණා කළ මැනව’ එළිදකියි

ප්‍රවීණ මාධ්‍යවේදියකු මෙන්ම ප්‍රකට ගීත රචකයකු වන හා ලේඛකයකු වන අභාවප්‍රාප්ත ආචාර්ය අජන්තා රණසිංහ ලියූ ‘ක්‍රිස්තුනි කරුණා කළ මැනව’ නවකතාවේ නවතම මුද්‍රණය මේ මස 24 වැනිදා මරදාන දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේ දී එළිදකියි. මේ කෘතිය දයාවංශ ජයකොඩි ප්‍රකාශනයකි.


‘සැදෑ ප්‍රේමය’

රේණුකා කරුණානායකගේ 'සැදෑ ප්‍රේමය' කෙටිකතා සංග්‍රහය පසුගියදා එළිදැක්විණි. 'සැදෑ ප්‍රේමය' ඇගේ කුලුඳුල් කෙටිකකතා සංග්‍රහයයි. කෙටිකතා නවයකින් යුතු මේ කෙටිකතා සංග්‍රහය සඳහා කතුවරිය පාදක කරගෙන ඇත්තේ තමා අපට වෙසෙන සමාජයේ ජීවත් වන චරිතයි. මේ කෘතිය ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ සමාගමේ ප්‍රකාශනයකි.