වර්ෂ 2016 ක්වූ ජනවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




අනූ දෙක හංගා හැත්තෑව පෙන්වන දේශීය සිනමාව

අනූ දෙක හංගා හැත්තෑව පෙන්වන දේශීය සිනමාව

සිංහල සිනමාවට හැත්තෑ වසර සපිරෙන්නේ මේ විසි එක් වැනි දිනට යැයි ඇතැම් තැන් හි වාර්තා වෙති. ඇත්ත නම් සිංහල සිනමාවට නොව මුල්ම සිංහල කතානාද චිත්‍රපටය වන කඩවුණු පොරොන්දුවට ය. එය මුල්වරට එවකට සභානායක මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතානන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ කිංස්ලි සිනමාහලේ තිර ගත වීම ඇරඹෙනුයේ 1947 ජනවාරි විසි එක් වැනි දිනටය. අප විසින් මහ ඉහලින් සිංහල සිනමාවේ උපන් දිනය යැයි සළකනු ලබනුයේ මේ විසි එක් වැනි දිනය. එහෙත් සිංහල සිනමාවට දැන් අවුරුදු 92 කි . එහි උත්පත්තිය එතරම් පැරණිය. එනම් 1925 වසර තරම් ඈතය. එනම් ශාන්තා හෙවත් රාජකීය වික්‍රමය නම් චිත්‍රපටය නිර්මාණය වීමේ කතාවය.

කඩවුණු පොරොන්දුව හරහා අප විසින් සලකනු ලබනුයේ මුල්ම කතානාද චිත්‍රපටය තිර ගතවීම පමණී. එහෙත් අප විසින් අමතක කරලිමට පමණක් නොව අවඥාවට ලක් කරනුයේ එයට වසර විසි දෙකකට පෙරාතුව ලාංකික සිනමාව ආරම්භ කරන්න්ට මුල පිරූ මිනිසුන් ගේ කඳුලු දහදිය සහ කැපවීමය. එය පළ දැරූවක් ද නැතහොත් ලත් තැනම ලොප් වීමක් ලෙස හුවා දැක්වීම යුක්ති සහගත නොවේ.මෙහි අරමුණ 1947 වසරේ කඩවුණු පොරොන්දුව නිෂ්පාදනය කළ එස්.එම්.නායගම් ගේ හෝ අශෝකමාලා නිෂ්පාදනය කළ චිත්තම්පලම් ඒ.ගාඩිනර් ගේ හෝ කඩවුනු පොරොන්දුව ට සහ අශෝකමාලා යන චිත්‍රපට යුගල වෙනුවෙන්ම කැප වී ඉතිහාසයේ සැබෑ ගෞරවය අහිමි වූ ශාන්ති කුමාර් සෙනෙවිරත්න ගේ වෑයම අඩු ලුහුඬු කොට දැක්වීම නොවේ.

ලාංකික සිනමාවේ සැබෑ ඉතිහාසය සොයා යෑමය.1947 වසරේ සිංහල සිනමාවේ උපත ලෙස සඳහන් වීම දුවන්නන් වාලේ කෙට එළදෙන දිවීම ජාතියේ වැඩකි. ඒ පිළිබඳ සරසවිය මෙයට පෙර වකවානු ගණනාවකින් ම පෙන්වා දී තිබිණ. 1925 වසරේ දී ඉන්දියාවේ තිර ගත කළ නිහඬ චිත්‍රපට පිළිබඳ වාර්තා අතර මදාන් සමාගම මගින් තිර ගත කරන ලද චිත්‍රපටයක් ලෙස ශාන්තා නම් චිත්‍රපටයක් වෙයි. එම වසරේම ලාංකික චිත්‍රපටයක් ලෙස නිපදවන ශාන්තා හෙවත් රාජකීය වික්‍රමය (පධරචත චඤමඥදබභපඥ) චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනුයේ ද ගුප්තා නම් සිනමාකරුවෙකි.

චිත්‍රපටය නිපදවනුයේ ටි.ඒ.ජේ.නූර්බායි නම් එවකට මෙරට සිටි ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකි. ඔහු මෙරට සිනමා ව්‍යාපාරය වෙනුවෙන් දැවැන්ත මෙහෙයක් කළ තැනැත්තෙකි.පසුකලක සිලොන් තියටර්ස් සමාගම බිහි කිරිමෙහිලා චිත්තම්පලම් ඒ.ගාඩිනර් ගේ හවුල් කරුවකු ද වන නූර්බායි එම සමාගමේ ආරම්භක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වෙයි. එමෙන්ම වැල්ලවත්තේ පැවැති ප්ලාසා සිනමාහලේ මුල් හිමිකරුවා ද වනුයේ ඔහුය. එමෙන්ම කොළඹ කොටුවේ මල්වත්ත පාරේ මුල්ම සිනමාහල ගොඩ නගන ලබනුයේ ද නූර්බායි විසිනි.

නූර්බායි ආනයන ද්‍රව්‍ය ව්‍යාපාරිකයකු මෙන්ම වැල්ලවත්තේ එවකට පැවැති දැවැන්ත රෙදි කම්හල සඳහා ද පුරෝගාමි හවුල් කරුවකු ද වන්නේය. මේ අවදියේ මෙරට පමණක් නොව ආසියාවේම සිනමා කර්මාන්තය වැඩි පුරම රැදි පැවැතියේ ඉන්දියාවේ මදාන් සමාගම මතය. මදාන් වරු ලංකාවට විශාල වශයෙන් චිත්‍රපට ආනයන කළහ.

මෙරට ස්ථාවර මුල්ම සිනමාහල් සියල්ල ගොඩ නංවන ලද්දේ මදාන් සමාගමයි. නූර්බායි ගේ ශාන්තා සිංගප්පූරුවේ සහ ඉන්දියාවේ ප්‍රදර්ශනය කළා යැයි පැවසේ. චිත්‍රපටය අභිරහස් ගින්නකට හසු වී විනාශ වූවායැයි පැවසෙනුයේ එයින් පසුවය. මේ අවදියේ මදාන් චිත්‍රපට ජාලය ඉතාමත් බලසම්පන්න යුගයයි.මදාන් සිනමා ජාලය සිංගප්පුරුව දක්වා ව්‍යාප්ත වූ එකකි. ශාන්තා සිංග්පූරුවේ සහ ඉන්දියාවේ තිර ගත කළා නම් එය කළ හැකි වනුයේ මදාන් සමාගමේ ප්‍රදර්ශණ ජාලය ඔස්සේය.නූර්බායි වැනි ව්‍යාපාරිකයකුට මදාන් සමග ගණුදෙනු වක් විය.

හේතුව ඔහු පවා චිත්‍රපට ආනයනය කර ගත යුත්තේ මදාන් වරු හරහාය.මේ එවකට ඉන්දියානු සිනමා ව්‍යාපාරය ගොඩ නැංවී තිබුණ ආකාරයයි. මදාන් අබිබවා ස්වාධීන තිර ගත කිරිමකට නූර්බායිට ඉඩ ලැබීම සිදුවීම සිතිය නොහැකි කරුණකි. අනිත් අතට එවකට චිත්‍රපටයේ පිටපතක් මුද්‍රණය කරවා ගත හැකි රසායනාගර සතු වූයේ ද මදාන් සමාගම සතුවය.

ඉන්දියාවේ මදාන් සමග තරගකාරි සිනමා ව්‍යාපාර රාශියක් පිහිටිය ද මෙරට සිනමා කර්මාන්තයට සෘජු සම්බන්ධතාවක් ගොඩ නගා ගෙන තිබුනේ මදාන් සමාගම පමණී. එබැවින් චිත්‍රපටය තිර ගත කරවීම සඳහා මදාන් වෙත යෑම සාමාන්‍ය කරුණකි. ගුප්තා නිර්මාණය කළ ශාන්තා සම්පූර්ණයෙන් වැඩ නිමකළ චිත්‍රපටයක් පමනක් නොව එය සිංගප්පූරුවේ සහ ඉන්දියාවේ තිර ගත කළ චිත්‍රපටයක් වීම මෙහි දී වැදගත් කරුණක් වෙයි. එහි ප්‍රධාන චරිතය රඟපෑවේ එවකට කොළඹ ආනන්ද මහා විදුහලේ ඉගැනුම ලැබූ පසුකලක කීර්තිමත් දේශපාලනඥයකු වූ ආචාර්ය එන්.එම්.පෙරේරා ය.

නිළිය වූයේ බර්ගර් ජාතික යුවතියක් වූ සිබිල් ෆිම් නමැත්තියකි. ඇය කාගේ කවුදැයි කියන්නට තොරතුරු සොයා ගත නොහැක. එමෙන්ම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලදදේ ගුප්තා නමැත්තකුයැයි මෙරට ඉතිහාසයේ සඳහන් වුව ද ඔහු නිශ්චිත වශයෙන් කාගේ කවුදැයි සොයා ගැනීම ද දුෂ්කර වූ කාරණයකි. එයට හේතුව නිහඬ සිනමා යුගයේ ගුප්තා නමින් සිනමා කරුවන් කිහිප දෙනෙකුම ඉන්දියාවේ කටයුතු කර තිබීමය.ඔවුන් පිළිබඳ වෙන වෙනම තොරතුරු නැත. ගුප්තා නාමය දරන්නෝ බෙංගාලයේ මෙන්ම ගුජරාටය ද ප්‍රමුඛ කොට සමස්ත උතුරු ඉන්දියාවේ ම වෙසෙන්නෝය.

කෙසේ වෙතත් මදාන් සමාගම 1925 වසරේ දී චිත්‍රපට 11 ක් තිර ගත කොට ඇත. මේ චිත්‍රපට නිර්මාණය කර අය අතර වර්තමානයේ සොයා ගත හැක්කේ අධ්‍යක්ෂවරුන් දෙදෙනෙක් ගේ නම් පමණකි. බොහෝ විට මදාන් සමාගම සිය චිත්‍රපට සඳහා භාවිතා කරන ලද්දේ සිය සිනමා සමාගමේ කීර්තිමත් නාමය විනා සිනමා කරුවන් ගේ නාමය නොවේ. නම සොයා ගත හැකි ච්ත්‍රපට වනුයේ ද මදාන් අධිපති ජේ.ජේ.මදාන් අධ්‍යක්ෂණය කළ පැම්පර්ඩ් යූත් සහ ජෝතිශ් බැනර්ජි අධ්‍යක්ෂණය කළ සති ලක්ෂ්මි චිත්‍රපට යුගල පමණී.

ජෝතිශ් නිහඬ ඉන්දියානු සිනමාවේ වැදගත් සිනමා කරුවෙකි. කෙසේ වෙතත් මදාන් තිර ඟත කළ චිත්‍රපට දහයකම නළු නිළියන් කවුරුන්දැයි සොයා ගත හැකිය. ඔවුන් සියල්ලම එවකට ඉන්දියානු සිනමාවේ ජනප්‍රිය නළු නිළියන්ය. නළු නිළියන් පිළිබඳ කිසිදු සළකුණක් නැත්තේ ශාන්තා චිත්‍රපටයේ පමණී. මේ සිදුවීම කිසියම් කුකුසක් ඇති කරන්නකි.මදාන් නිපද වූ සියළු චිත්‍රපට වල නළු නිළියන් ජනප්‍රිය නළු නිළියන් ය. ශාන්තා නළු නිළියන් පිලිබඳ තොරතුරු නැත්තේ ද මේ අප සොයන ශාන්තා නිසා යැයි සැකයක් උපදින්නකි.

එවකටත් කිසිදු කෙනෙක් නොදන්නා වූ ලාංකික නළු නිළියන් පිළිබඳ විස්තරයක් එකතු කරන්නට තරම් මදාන් ට අවශ්‍යතාවක් තිබිය හැකි ද ? පැරණි සමාගම් නම් පාවිච්චි කරනුයේ වාණිජ ජනපි‍්‍රයත්වය සළකමින් බව මේ ගවේෂණයේ දී සිහිය තබා ගත යුතුවාට කම් නැත. මේ සියල්ලටම වඩා වැදගත් දෙය නම් 1925 වසර අවසානයේ මදාන් සමාගමට සිදුවන විශාලම විනාශය නම් කල්කටාවේ පැවැති ඔවුන්ගේ සියලු චිත්‍රපට ගින්නකට හසු වී විනාශ වී යාමය.

මෙම ගින්නෙන් පසු එයට පෙර මදාන් සමාගම මගින් නිපද වූ චිත්‍රපට අතරින් අද වන විට ත් ඉතුරුව ඇත්තේ ඒ වන විට වෙනත් ස්ථාන වල තිර ගත වෙමින් තිබුණ චිත්‍රපට පමණකි. මදාන් සමාගමේ ගින්න එතරම් හානියක් ගෙනාවේය. ඉතිහාසයේ හැම විටම පැවසෙනුයේ ශාන්තා ලංකාවේ තිර ගත කරන්නට පෙර ගින්නකට හසු වූ විත්තියයි.

මේ ගින්න නැවක දී ඇති වුනායැයි සඳහන් කළ ද ඒ පිළිබඳ කිසිදු නිශ්චිත සටහනක් නැත. එසේ නම් මදාන් ඉතිහාසයේ සඳහන් 1925 වසරේ තිර ගත කරන ලද ශාන්තා චිත්‍රපටය නූර්බායි විසින් නිපද වන ලාංකික චිත්‍රපටය නොවිය හැක්කේ මන්ද? අපේ ශාන්තා ද මදාන් ගින්නට හසුව අපට අහිමි වූවා නොවේ ද? යම් හෙයකින් ශාන්තා ලංකාවේ තිරගත වූවා නම් අපේ සිනමා ඉතිහාසය පමණක් නොව දේශපාලන ඉතිහාසයද සහමුලින්ම වෙනස්වනු ඇතැයි විශ්වාස කළ හැක්කේය.

ශාන්තා කොයිහැටි වෙතත් එයටත් පසු දොන් එඩ්වඩ් නම් ටවර් හෝල් සංගීතඥයා නිපදවන ලද පළිගැනීම චිත්‍රපටය 1936 වසරේ මැයි 19 වැනි දින කොළඹ කොටහේනේ ගෙයිටි සිනමාහලේ තිර ගත කළ බවට සියලු සාක්කි සපයා දී තිබිය දී ද අප සිනමාව තිරිහන් වන්නට තැත් කරන්නේ කවර හේතුවක් නිසාවෙන්දැයි තවමත් ප්‍රහේලිකාවක්ව පවතී.

කෙසේ වෙතත් 92 හැවිරිදි ලාංකික සිනමාවේ උත්පත්ති කතාව ගැන අප තර්ක කරනුයෙ එහි අනාගතය ගැන කතාබහකින් තොරවය. තව දුරටත් සිනමාව යනු අතීතය නොවේ. එහි අතීතය අවශ්‍ය වනුයේ සිනමා ඉතිහාසය සොයා යන කිහිප දෙනෙකුටය. එහෙත් සිනමාව යනු අතීතයක් නොවේ.

අප අතීතය සොයා කල්මරනුයේ ම එහි වර්තමානය අවිනිශ්චිත නිසාවෙනි. පැහැබර වර්තමානයක දී අතීත දූවිලි එක් කරන්නෝ විරළය. අපේ සිනමාවට ස්වර්ණමය යුගයක් තිබුනා යැයි පවසමින් එම යුගයේ බිහි වූ චිත්‍රපට ද එම යුගයන්ගේ තාරකාවන්ගේ රස තොරතුරු ද තවමත් අපේ කතාබහින් නතර වන් නේ නැත.

සමස්ත සිනමාව පවතිනුයේ අතිතකාමයෙන් පමණි. එයට හේතුවනුයේ සිනමාව සම්බන්ධ කෙකර ගෑමකින් තොරව පසුගිය දශක ගණනාවකම මහජනයාට දැනෙන යමක් සිදු නොවුන විත්තියයි. සිනමාවේ යමක් සිදු වනුයේ නම් එය දැනිය යුතුයේ ප්‍රබෝධය ක් ඇති වනුයේ සිනමා ප්‍රේක්ෂකයා එයට දක්වන උත්තේජනයක් සමගය.මා විශ්වාස කරන අන්දමට සිදුව නැත්තේ ද එයයි. සිනමා කෘති නරඹන්නට සිනමා ප්‍රේක්ෂකයන් එමටය.තවමත් ලෝකයේ වඩාත්ම ජනපි‍්‍රය විනෝද මාධ්‍ය අතර සිනමාවට ඇත්තේ මුල් තැනය. රසිකයන් හමුවේ දේශිය සිනමාව යනු යල් පැන ගිය වචනයකි.

සිනමාව සිනමාහලෙන් බැහැර ව ගොස් කලක් ගත වන තුරුම ඒ පිළිබඳ අවබෝධයක් ලබා ගන්නට ලාංකික සිනමාවේ බොහෝ දෙනෙකුට හැකි වූයේ නැත. අප සිනමාව දකිනුයේ හැමවිටම ළිං මැඩි න්‍යායෙන් වීම කණගාටුවට කරුණකි. එහි අනාගතය දැක ගත හැක්කේ තාරුණ්‍යයේ මාධ්‍යයක් හැටියටය.

අප ඒ අබියෝගය එළැඹෙන දවසේ භාර ගන්නේ ද?