වර්ෂ 2016 ක්වූ ජනවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




ආදරය කිරීම මට පහසු නැහැ

ආදරය කිරීම මට පහසු නැහැ

සරිගම සමඟ යළි හමුවන අශාන් ඩයස්

මේ දිනවල තිරගත වන සෝමරත්න දිසානායකගේ ‘සරිගම’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් වන කැප්ටන් කිසිවකුටත් පහසුවෙන් අමතක නොවන චරිතයකි. දැඩි සිතක් ඇති කැප්ටන් සිය දරුවන් පාලනය කරන්නේ ද කැප්ටන් කෙනෙකු ලෙසිනි. ඔහුගේ චරිතයට පණ පොවන්නේ තරුණයෙකි. හේ අශාන් ඩයස් ය.

* අශාන් රංගනයට ආදරය කරන්නේ පාසල් කාලයේ පටන්මද?

මීගමුවේ කට්ටුවේ පදිංචි වී සිටි මා පාසල් ගියේ මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයටයි. පාසල් යෑමට පෙර පටන් ම අපේ නිවෙසේ තිබුණේ කලා පරිසරයක්. තාත්තා ගිටාර් එක වයන ගමන් ගී ගයනවා. ඔහු අපවත් ඒ කටයුතුවලට හවුල් කර ගන්නවා. අපිත් ගී ගයනවා. ඒ විතරක් නොවෙයි ඒ ගීත පටිගත කරන අයුරුත් මට තවම මතකයි. මුලින් ම මා රංගනයෙන් සහභාගි වන්නේ ළදරු පාසලේ කරන නාට්‍යයකටයි. එතැනින් ඇරැඹුණු මගේ රංගනයට තිබෙන කැමැත්ත වඩාත් වර්ධනය වන්නේ පාසල් සමයේයි. පාසලේ ඉගෙනීමේ කටයුතු අතරත් මා නාට්‍ය නිර්මාණවලට දායක වෙනවා. ඒ අතර ක්‍රිකට් ක්‍රීඩාවත් මා බොහොම ප්‍රිය කරන විෂයයක්. මගේ අයියා, මල්ලි නැෂනල් මට්ටම ම දක්වා ම සෙල්ලම් කළත් මට ඒ විදියට ක්‍රිකට් සෙල්ලම් කරන්නට නොහැකි වුණා.

* ඇයි ඒ?

මා ඒ - ලෙවල් කරන කාලයේදී අම්මා තමයි පවසන්නේ ක්‍රිකට් නවත්වන්න කියලා. ක්‍රිකට් සෙල්ලම් කරන එක නැවත් වුවත් රංගනයට මගේ අවධානය වැඩිපුර යොමු වුණා. ඒ අනුව කොළඹ පැවැත් වුණු ශේක්ස්පියර් නාට්‍ය තරගාවලියට මට සහභාගි වීමට අවස්ථාව උදා වෙනවා. අපේ රටේ ප්‍රසිද්ධ සෑම පාසලකින් ම වගේ සහභාගි වන තරගාවලියකුයි ශේක්ස්පියර් නාට්‍ය තරගාවලිය කියන්නේ. එහිදි අප ඉදිරිපත් කළේ ‘රෝමියෝ ජුලියට්’ වේදිකා නාට්‍යයයි. එහිදී හොඳම නළුවා ලෙස මා සම්මාන ලබනවා.

* ඒ ගමනත් සමඟද කොළොම්පුරවරයට පිවිසෙන්නේ?

එහි විනිශ්චය මණ්ඩලයේ සිටි ජෙරොම් ද සිල්වා කියන නාට්‍යකරුවායි මට ඒ සඳහා ආරාධනා කරන්නේ. 99 වසරේදී පටන් 2007 වසර දක්වා ම මා, ඔහුගේ නිර්මාණවලට දායක වුණා. ඒ අතර මා ගෘහ නිර්මාණ ශිල්පියකු විදියට වැඩ ආරම්භ කරලයි තිබුණේ. ඊට අමතරව ප්‍රවෘත්ති නිවේදකයකු විදියටත් මාධ්‍ය ආයතනයක සේවය කළා.

* ඔබ ඉංග්‍රීසි වේදිකා නාට්‍යවල පමණක් ද රංගනයෙන් දායක වී ඇත්තේ?

පාසල් වේදිකාවෙදි නම් මා සිංහල වේදිකා නාට්‍යවල රඟපෑවා. ඉන් පස්සේ ප්‍රසිද්ධ වේදිකාව සඳහා රංගනයෙන් සහභාගි වන්නේ ජෙරම්ගේ කණ්ඩායමත් සමඟ පමණයි. ප්‍රසිද්ධ වේදිකාවේ සිංහල නාට්‍යවල රඟපාන්නට මට අවස්ථාවක් ලැබිලා නැහැ. එහෙත් ඔස්ට්‍රේලියාවේ ගියාට පස්සේ මට මුණ ගැසෙන ජය ශ්‍රී චන්ද්‍රජිත් නිෂ්පාදනය කරන ‘ස්වාමි පුරුෂයන්ට පාසලක්’ කියන වේදිකා නාට්‍යයේ රඟපානවා. මෑත කාලයේ මා රඟපෑ එක ම සිංහල වේදිකා නාට්‍යය එපමණයි.

* ඔබ ‘සරිගම’ චිත්‍රපටයට පෙරත් චිත්‍රපටයක ප්‍රධාන චරිතයකට පණ පොවනවා නේද?

අහම්බයෙන් වගෙයි මා සිනමාවට පිවිසෙන්නේ. ජෙරොම් ද සිල්වාගේ අවසන් වශයෙන් මා රඟපෑ ‘බ්ලඩ් බ්‍රදර්ස්’ කියන වේදිකා නාට්‍යයයි එහි පිවිසීමට පාර කියන්නේ. ඒ වේදිකා නාට්‍ය නරඹන්න පැමිණෙන චන්ද්‍රන් රත්නම් ඔහුගේ ‘අලිමංකඩ’ චිත්‍රපටයට මාව තෝරා ගන්නවා. ඒ චිත්‍රපටයේ සහය චරිතයක් රඟපාන්නයි. එහි ප්‍රධාන චරිතය රඟපාන්නට නියමිත වන්නේ සෞම්‍ය අයියා. ඒත් ඔහුට ඇති වන දින ප්‍රශ්නයක් නිසා ඒ චරිතය රඟපෑමට හැකිදැයි චන්ද්‍රන් රත්නම් මහත්තයා මගෙන් විමසනවා. ඒ අභියෝගය මා භාර ගන්නවා. ඊට පසුව ඔහුගේ ම ‘කොමන් මෑන්’ චිත්‍රපටයේත් මට රඟපෑමට අවස්ථාව ලැබෙනවා.

* ඔබ සෝමරත්න දිසානායකගේ නිර්මාණවලට දායක වන්නේ ‘සිරි පැරකුම්’ චිත්‍රපටයේ පතිරාජ සෙනෙවියාගේ චරිතය හරහායි?

රේණුකා බාලසූරියගේ පුතාත්, මමත් යහළුවෝ. ඉගෙන ගන්න කාලයේ මම නිතර ම වගේ එහෙ යනවා. එනවා. ඔස්ට්‍රේලියාවේදි මමත්, තිවංකත් සිටියේ එකටමයි. ඔවුන්ව බලන්නට එහි පැමිණි රේණුකා ආන්ටි දවසක් මට පැවසුවේ ‘සිරි පැරකුම්’ චිත්‍රපටය පිළිබඳයි. ඒ ගැන මා විමසලා බැලීමෙන් පස්සේ පතිරාජ සෙනෙවිගේ චරිතයට අදාළ විදියට ශරීරයත්, රැවුලත් වවාගෙනයි මා අපේ රටට එන්නේ. ඇවිත් ඒ චරිතයට අවශ්‍ය දේවල් පුරුදු පුහුණු වීමෙන් පස්සේ මා පතිරාජ සෙනෙවිගේ චරිතයට පණ දෙනවා. ඒ ඔස්සේ බොහෝ ප්‍රවීණයන් පිරිසක් සමඟ කටයුතු කිරීමට අවස්ථාව ලැබෙනවා ඒ වගේ ම අත්දැකීම් රැසකුත් හිමි වෙනවා.

* ඒ රඟපෑමෙන් පසුවයි ඔබට ‘සරිගම’ චිත්‍රපටයේ කැප්ටන්ගේ චරිතය හිමි වන්නේ?

පතිරාජ සෙනෙවියා විදියට මා කළ රඟපෑම් නිසා සෝමරත්න දිසානායක මහත්තයා කැප්ටන්ගේ චරිතයට මාව තෝරා ගන්නවා.

* ඔබ කැප්ටන්ගේ චරිතය ප්‍රතිනිර්මාණය කරන්නේ කොහොම ද?

ඉස්සෙල්ලා ම මට උවමනා වුණේ කැප්ටන්ගේ චරිතය මගේ ඔළුව ඇතුළට දමා ගැනීමයි. කැප්ටන් කියන්නේ විශ්‍රාම ගිය නාවික නිලධාරියෙක්. ඔහු බිරිය මියගියාට පස්සේ තමන්ගේ නිවෙස පාලනය කරන්නේ නැවක කටයුතු කරන විදියටයි. එතැනින් එහාට ඔහු කොහොම ද නිවෙසක් පාලනය කරන්නේ කියලා දන්නේ නැහැ. ඒ කාරණය තමයි ඔහුගේ චරිතයේ මූලික වුණේ. එහිදී මා සිතුවේ ඔහු නාවිකයකු නොවෙයි, පාසලක විදුහල්පති කෙනෙකු වෙන්න ඇති ය යන්නයි. ඒ අනුව විනය ගැන දැඩිව සිතන, ආදරය පෙන්වන්න දන්නේ නැති පියකුගේ චරිතය මා සිතේ මවා ගත්තා.

* කැප්ටන්ගේ චරිතයට අදාළව වෙනස් කරගත යුතු ම වූයේ කුමන කාරණා ද?

විසිල් එක ගහන විදිය, සැලියුට් ගහන විදිය, ඕඩර්ස් දෙන විදිය මට පුහුණු වෙන්න වුණා. නාවිකයකු විසිල් එක අල්ලන්නේ වෙන ම විදියකටයි. නාවිකයකුගේ තිබිය යුතු ඒ වගේ පොඩි පොඩි දේවල් මා මගේ චරිතයේදී හදා ගත්තා.

* කැප්ටන් කියන්නේ ඔබට වඩා වයස්ගත චරිතයක්. එය අංගරචනයෙන් පමණක් ප්‍රතිනිර්මාණය වීම මඟින් චරිතය සාර්ථකව ගොඩනැඟෙන්නේ නැහැ.

මගේ වයසත් එක්ක අධ්‍යක්ෂවරයා තීරණය කරලා තිබුණේ වයස පනස් පහක් වයසැති කැප්ටන් කෙනෙකුගේ චරිතයක් දක්වා යන්නයි. ඒ වයස් ප්‍රමාණය පිළිබඳ අදහස මට අංගරචනා කටයුතුවලදි ලැබුණත් යම් යම් වෙනස්කම් මගේ රංගනයේදී හදා ගන්න මා උත්සාහ ගත්තා. නාවික නිලධාරියකු කිව්වට පස්සේ ඒ චරිතය ඇතුළේමත් ඒ වයස් ප්‍රමාණය හැංඟිලා තිබෙන බවයි මට සිතුණේ. ඒත් ඔහු කතාබහ කරනව විදිය, යන, එන විදිය වගේ දේවල් එක්ක ඒ වයස් ප්‍රමාණය ගැන ගොඩක් සිතා වෙහෙස වීමට අවශ්‍යතාවක් මට තිබුණේ නැහැ. ඒ වගේ ම මා සිතුවේ නැති වුණත් ඉබේට ම වගේ තාත්තාගේ චරිතය මගේ රඟපෑමට ඇතුළත් වුණ බවක් මට හැඟෙනවා. ඒ බව මට හැඟුණේ චිත්‍රපටය නරඹද්දියි. ඔහුත් ටිකක් දැඩි චරිතයක්. ඒත් ඔහුගේ තිබුණු ආදරණීය හැඟීම ගැන මට හොඳට ම දැනෙන්නේ දැන් තමයි.

* ඔබ රඟපාන්නට බිය වූ පූජා උමාශංකර් ගැන මේ වනවිට තිබෙන්නේ කුමන හැඟීමක් ද?

මේ නිර්මාණයට කලින් ඇයව මට මුණ ගැසිලා තිබුණු බව ඇත්තයි. ඒත් මේ නිර්මාණය කරද්දි ඈ පළමු දවසේ ම මා හා මිත්‍ර වුණා. මගේ චරිතය රඟපාන්නට ඇගෙන් ලැබුණේ උපරිම සහයෝගයක්. ඇගේ සිතේ තරු සංකල්පයක් තිබුණේ නැහැ. ඈ හැමෝට ම උදව් කරනවා. බොහොම පරිත්‍යාගශීලියි. ඈ වැනි අයෙක් සමඟ රඟපාන්නට ලැබීම වාසනාවක්.

* ඔබට ආදර ජවනිකා රඟපාන්නට පහසු වුණා ද?

ඒක තමයි මට හොඳට ම අපහසු වුණේ. ඒ මා සත්‍ය ජීවිතයේ ආදරය කරලා තිබුණත් තිරයේ ආදරය කරලා තිබුණේ නැහැ. ගයනිට දක්වන ආදරය මට පෙන්වන්න තිබුණේ ඇඟවීම්වලින්. මරියාට ආදරය කිරීමයි මට අපහසු වුණේ. ඈට මා දැක් වූ ආදරය සීයට සියයක් ම සාර්ථක වුණේ නැති බවයි මට හැඟෙන්නේ. ගීතයකදි ආදරය කිරීම මට පහසු නැහැ.

* ඔබ වෘත්තිය විදියට රංගනය තෝරා ගැනීමටද අදහස් කරන්නේ?

එහෙම සිතාගෙනයි ඔස්ට්‍රේලියාවේ පදිංචිය වෙනස් කරමින්, මෙවර අපේ රටට පැමිණියේ. මගේ බිරියත් ගෘහ නිර්මාණ ශිල්පිනියක්. ඒ නිසා සම්පූර්ණයෙන් ම ඈ ඒ වෘත්තියේ නියෙළීමටත්, ඒ සඳහා මගේ උදව් ලබාදෙමින්, වැඩි දායකත්වයක් රංගනයට දැක්වීමටයි මා අදහස් කරගෙන සිටින්නේ. ඉදිරියේදි නිර්මාණ කිහිපයකට ම ආරාධනා ලැබිලා තිබෙනවා. මට ගැළපෙන චරිතයක් නම්, ඒ චරිතයේ යමක් කරන්න තිබෙනවා නම් මා ඒ නිර්මාණය භාර ගන්නවා.

* ඔබගේ රංගන කටයුතුවලට පවුලෙන් ලැබෙන සහයෝගය මොන වගේ ද?

තාත්තා වෘත්තියෙන් මිනින්දෝරුවරයෙක්. අම්මා කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක්. එහි ඈ ඉංග්‍රීසි අංශයේ ප්‍රධානියා. අයියත් රැකියාවක් කරනවා. මල්ලි තවමත් ක්‍රිකට් සෙල්ලම් කරනවා. බිරිය මේඛලා. මේ සියලුදෙනාගෙන් ම මගේ රංගන කටයුතුවලට උපරිම සහයෝගය ලබාදෙනවා. මේ වනවිට අප පදිංචි වෙලා ඉන්නේ කළුබෝවිල.