වර්ෂ 2016 ක්වූ ජනවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




එක සතියක සමුගත් තුන්දෙනෙක්

එක සතියක සමුගත් තුන්දෙනෙක්

හිත හොඳ මිනිහෙක් බාලන්

නළුවකු, චිත්‍රපට නිෂ්පාදන කළමනාකරුවකු, සහාය අධ්‍යක්ෂවරයකු, නැටුම් අධ්‍යක්ෂවරයකු, චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ලෙසින් සිංහල සිනමාවට සිය නිර්මාණ දායකත්වය එක් කළ එම්. වී. බාලන් මහතා මෙම මස 14 වැනිදා අභාවප්‍රාප්ත විය. 1940 මාර්තු මස 15 වැනිදා යටින්තොට ගනේපල්ලේදී උපත ලැබූ ඒ මහතා මිය යන විට 77 වන වියේ පසු විය. එම්. වී බාලන් 1958 දී කාර්මික ශිල්පියෙකු ලෙසින් ලංකා චිත්‍රාගාරයට එක් වූ අතර සිහිනය චිත්‍රපටයට ආලෝකකරණ ශිල්පියකු ලෙසින් මුල් වරට සම්බන්ධ විය. පසු කාලේ සහය අධ්‍යක්ෂ, නැටුම් අධ්‍යක්ෂ, නිෂ්පාදන කළමනාකාර, රංග ශිල්පී, අධ්‍යක්ෂක ලෙසින් සිනමාවේ ඉදිරි ගමනකට එක් විය.

1969 දී ඔබ නැතිනම් සිංහල චිත්‍රපටයෙන් මුල් වරට සිංහල චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසි බාලන් හිත හොඳ මිනිහෙක්, රහසක් නැති රහසක්, දෙවියනි සත්‍ය සුරකින්න ආදී චිත්‍රපට බොහොමයක් අධ්‍යක්ෂණය කළේය.

මංජල් කුංකුමම්, නිර්මලා ආදී ලාංකේය දෙමළ චිත්‍රපට කිහිපයක්ම අධ්‍යක්ෂණය කළ බාලන් චිත්‍රපට රැසකට රංගනයෙන් දාායක විය. වනලිය චිත්‍රපටයේ සුළු චරිතයක් රඟමින් සිනමා රංගනයට එක් වූ එම්. වී. බාලන් දීපශිඛා, ධිවරයෝ, අල්ලපු ගෙදර, ඔබ දුටුදා, සූර චෞරයා, ලන්ඩන් හාමු, මමයි රජා, ඔබට රහසක් කියන්නම්, සුවිනීත ලාලනී, හිත හොඳ ගැහැනියක්, චෙරියෝ ඩොක්ටර් ආදී චිත්‍රපට රාශියකට රංගනයෙන් දායක විය.

ශ්‍රී ලාංකේය සිංහල සිනමාවේ මෙන්ම දෙමළ සිනමාවේ ද කැපී පෙනෙන සහය අධ්‍යක්ෂවරයකු ලෙසින් ද බාලන් කළ නිර්මාණ දායකත්වය ඉමහත්ය.

සිතක මහිම, ඉපදුණේ ඇයි, සූර චෞරයා, ලන්ඩන් හාමු, ඔක්කොම හරි ආදී චිත්‍රපට රැසක නැටුම් අධ්‍යක්ෂණයේ ද නියැළි බාලන් නොමියෙන මිනිසුන් චිත්‍රපටයේ ගාමිණී ෆොන්සේකා සමඟ කළ මෙහෙකරුවාගේ චරිතය තුළින් විශිෂ්ට චරිතාංග රංගනයකට එක් විය.

මහා දේවන් වේලුපිල්ලේ බාල කිෂ්ණන් නැතහොත් එම්. වී. බාලන් ලෙසින් සිනමාවට සම්ප්‍රාප්ත වූ බාලන් විසි හතර වන වියේදී මුල්වරට චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසියේය. සිංහල කාන්තාවක වූ චන්ද්‍රවතී හේසාරසිංහ සමඟ විවාහ වූ බාලන් දෙදරු පියෙකි. ඉකුත් 16 වැනිදා මළහිරු බැස යන සැඳෑ යාමයේ ගල්කිස්ස පොදු සුසාන භූමියේදී එම්. වී. බාලන් මහතාගේ අවසන් කටයුතු සිදු කෙරිණි.


අප අතරින් නික්ම ගිය දීපාල්

මේ ලියන්නේ කලා ලොවේ එදා මෙන් අදත් මා ළඟින් ඇසුරු කළ මාගේ වේදිකා නිර්මාණයකට වසර 15 කට පසු දායක වූ (2015 සිට) පසුගියදා අප හැරදා නොඑන ගමනක් ගිය හිත හොඳ ගුණ යහපත් මා හිත මිතුරු ප්‍රවීණ ජනප්‍රිය නළු ගායක දීපාල් සිල්වා පිළිබඳවය. දීපාල්ගේ උපත 1967. 11. 20 වන දිනය. ඔහු උපත ලැබුවේ පින්කන්ද දොඩම්දූව ප්‍රදේශයේය. ඔහුගේ පියා කේ. පී. සිල්වා විය. ඔහු හමුදාවේ හිටපු බලලත් නිලධාරි ඖෂධවේදියෙකි. මව ලීලා සාපේසාදා සිල්වා විය. ඇය හිටපු හෙද නිලධාරිනියකි. ඔහුගේ බිරිය කුසුම් ද සිල්වා මහත්මියයි. දීපාල්ගේ මුල් අධ්‍යාපනය වූයේ පින්වත්තේ පාසලයි. ඔහු පසුව බද්දේගම කරයිරස් බොයිස් විද්‍යාලයෙන් පසුව මොරටුව ශාන්ත සෙබස්තියන් අවසන් කාලයේ ඉගෙනුම ලැබුවේය.

දීපාල් කලා ලොවට අවතීර්ණ වූයේ ඉතාම කටුක බාධක අත්දැකීම්වලට මුහුණදීමෙන්ය. ඔහු මා දන්නා කාලයේ පටන් නාට්‍ය වේදිකාවට ප්‍රවිෂ්ට වුයේ වේදිකා නළුවෙකු වශයෙන් නොව එදවස ජනප්‍රිය නළු නිළියන් හට වේදිකාවේ තිරය පිටුපස සිට දෙබස් මතක් කර දීමෙන්ය. ඔහු තරම් දක්ෂ දෙබස් මතක් කරන්නෙකු එදවස නොසිටිය නිසා ඔහුට වේදිකා නාට්‍යය ඉල්ලුම වැඩි විය. මාගේ මතකය හැටියට ඔහු හා සමගාමීව සිටියේ ජනප්‍රිය නළු ආනන්ද වික්‍රමගේ පමණි. දීපාල් ඉන් පසුව නාට්‍යය ප්‍රදර්ශන අවස්ථාවලදී කණ්ඩායමේ සාමාජිකයකු හදිසි අසනීප තත්ත්වයක් ඇති වූ විට ඒ වෙනුවෙන් පෙනී සිටි හිත හොඳ කලාකරුවෙකි. ඊට අමතරව ඒ දින නාට්‍ය පුහුණුවීම්වලදී හැම අවස්ථාවකදීම සිනහමුසු මුහුණින් එම නාට්‍යවලට දර දිය ඇදි පුද්ගලයකු විය. නිහාල් සිල්වාගේ ද මෙවැනි ගතිගුණ තිබුණි. නිහාල් සිල්වා අප අතරින් වියෝ වූ පසු ඔහුගේ සාජන් නල්ලතම්බි නාට්‍යයේ දර්ශන 200 ක් 300 ක් රට වටා ගෙන ගියේ දීපාල් සිල්වාගේ රංගනයෙනි. ඔහු හරියට ඒ දේ කළේය.

සිකියුරිටි සින්නතම්බි නව නිර්මාණය සඳහා ඔහුගේ සහභාගිත්වය මා ලබා ගත්තේ දීපාල් වේදිකා නාට්‍ය තුළින් ඉවත් වී වසර 15 කට පසුවය. ඒ වන විට ඔහු වේදිකාව අතහැර සංගීත ලොවේ ජනප්‍රිය ඉහළ තලයකට ගොස් සිටියේය. මා නව නිර්මාණ සින්නතම්බි නාට්‍යයේ ප්‍රධාන චරිතයට සහභාගි වීමට ආරාධනා කළ විට ඔහු එය ඉතා ලෙන්ගතුකමින් බාර ගත්තේය. නාට්‍යයේ මුහුරත් උලෙළ දිනය යොදා ගත්තේ දීපාල්ගේ උපන් දිනය යෙදී තිබුණ 2015 නොවැම්බර් 20 වන දිනය. ඔහු කලට වේලාවට පුහුණුවීම්වලට ද සහභාගි විය. ඔහුට එළිමහන් සංගීත සංදර්ශනවල අඩුවක් නොවීය. නාට්‍යයේ ඉල්ලුමට දර්ශන සැපයීමට මා හට හුදෙක් අවස්ථාවක් නොලැබුණේ දීපාල්ගේ සංගීත සංදර්ශන නිසාය. ඒ ගැන මම අදත් කනගාටු නොවෙමි. ඒ මන්ද යත් ඔහු එක් සංගීත සංදර්ශනයකට ගෙවන මුදල අපගේ නාට්‍ය දර්ශන 5 කින්වත් ගෙවීම නොහැකි නිසාය. ඔහු ඉරිදා සෙනසුරාදා දිනයන් මා හට ලබා දුනි.

වසර 1 1/2 ක් තුළ අපි දර්ශන වාර 50 නොවැම්බර් 20 දින කොළඹ ලුම්බිණි රඟහලේදී දීපාල්ගේ දැනුවත්කමින්ම ඔහුගේ උපන් දිනයට සංවිධානය කර තිබුණි. එම කාලය තුළදී දීපාල්ගේ අසනීප තත්ත්වය උත්සන්න විය. ඒ අතරතුරදී ඔහු මා හට පැවසුවේ 'අසෝකයෝ, ඉදිරි දර්ශන ආරියසේන ගමගේ දාලා දිගටම කරන් යන්න' යනුවෙනි. ඔහු එවලේම ගමගේට කතා කර ඒ බැව් පැවසූ හැටි මට අද මෙන් මතකය. මා ගමගේ පුහුණුවීම් කර ඉතිරි දර්ශන ද 50 වෙනි දර්ශනය ද පැවැත් වූයේ දීපාල්ගේ ආශිර්වාදය මැද්දේය.

ඔහුගේ රෝගාතුර තත්ත්වයට ආධාර පිණිස කිරිබත්ගොඩ දීපාල්ගේ මිතුරන් සමඟ ලබන පෙබරවාරි 03 කඩවත කේසීඑෆ් ශාලාව ද වෙන් කර තිබුණි. ඔහු මුද්‍රණය කරන ටිකට්පත්වල පිටුපස ඔහුගේ අත්සන යෙදීමට ඔහු එකග වී තිබුණි. එදින උදෑසන දීපාල් සිල්වාගේ නිවසේදී ඔහු තම මිතුරාට පැවසුවේ 'ධම්මික, ටිකට්ස් අද ගහල රෑට මට ගෙනත් දෙන්න, මම අත්සන් කරලා දෙන්නන්, හෙට උදේ මේ ටිකට් මගේ මිතුරන්ට බෙදන්න. ඔහු දුන් මිතුරු නම් ලැයිස්තුව ලියුවේ මාය. පසුදා උදෙන්ම මට ධම්මිකගෙන් දුරකථන ඇමතුමක් ලැබුණේ 'අසෝක අයියේ දීපාල් නැති වුණා' කියමිනි එපමණකි . . .

හිතවත් මිතුර ඔබට නිවන් සුව පතමි.
ඔබ කළ දේ ගරුය, ගාම්භීරය.
එය තව කෙනෙකුට කළ නොහැක.
අසෝක සෙනරත් මුදලිගේ
සිකියුරිටි සින්නතම්බි
නාට්‍ය රචක / නිෂ්පාදක


රසකාමී හිතවතා එච්. එස්. පෙරේරා සමුගනී

අසූව, අනූව දශකයේදී මෙරට ගීත කැසට් ව්‍යාපාරයේ හා චිත්‍රපට ලෝකයේ නමක් තැබූ නිෂ්පාදකවරයකු, ගීත රචකයකු වූ එච්. එස්. පෙරේරා පසුගියදා අභාවප්‍රාප්ත විය. ක්ෂේත්‍රයේ සියලු දෙනා අතර ජනප්‍රිය පුද්ගලයකු වූ එච්. එස්. සිනමාවට පිවිසියේ ගීත රචකයකු හැටියටය. ඒ අවදියේ ගීතරාණි එන්ටප්‍රයිසස් නමින් කැසට්පට නිෂ්පාදනයට පිවිසි එච්. එස්. ජනප්‍රිය කැසට් රාශියක් නිපද වූයේය. නැව ගිලුණත් බෑන් චූන් චිත්‍රපටය ඔස්සේ සිනමා නිෂ්පාදනයට පිවිසි එච්. එස්. පසුකාලීනව හොද හොඳ සෙල්ලම්, කම් ඕ ගෝ චිකාගෝ, නරලොව හොල්මන් වැනි චිත්‍රපට නිෂ්පාදනය කළේය. ඉඳිආප්ප කතාව ලෙස ජනාදරයට පාත්‍ර වූ හිරුට මුවාවෙන් නාට්‍යය ද එච්. එස්ගේ නිෂ්පාදනයකි. ටෙලි නාට්‍ය සහ චිත්‍රපට රැසකම විවිධ චරිත රංගනයෙන් ප්‍රේක්ෂකයන් අතරට ගිය එච්. එස්. කලා ලොවට තම දියණිය සහ පුතණුවන් ද දායාද කළේය. රංගන ශිල්පිණියක්, ගායිකාවක මෙන්ම හඬ කැවීමේ ශිල්පිනියන් ලෙසින් කටයුතු කරන මල්කුමාරි ගීතරාණි ඔහුගේ දියණියයි. පුතණුවන් ගායක ප්‍රබුද්ධ ගීතරුචි වේ. ෆ්‍රෙඩී සිල්වා, අනිල් භාරතී, මහේෂ් ජයසිංහ ආදී ගායකයන් රාශියක් වෙනුවෙන් එච්. එස්. ගී කැසට්පට නිෂ්පාදනය කළේය. එච්. එස්. ගේ භාර්යාව රාණී පෙරේරා ද චිත්‍රපට රාශියකට රඟපෑමෙන් හා නිෂ්පාදන කාත්‍යාධිකාරිත්වයෙන් දායක විය. සීගිරි ලාලිත ලඳුනේ, (විජය - ඇන්ජලින්), අතැඟිලි බැඳුනේ (ඉන්ද්‍රාණි පෙරේරා) පුංචි ගිරවෝ (අනිල් භාරතී) සල්ලි සල්ලි (නිහාල් නෙල්සන්) කපුටු කාක් කාක් කාක් (ෆ්‍රෙඩී) ආදි ජනප්‍රිය ගී රැසක් එච්. එස්. අතින් ලියැවුණි. ඇද්දා ලණුව දැම්මා කොඩිය එච්. එස්. නිපද වූ අවසන් චිත්‍රපටයයි. අභාග්‍යයකට වසර ගණනාවක් පුරා එය තිරගත කර ගැනීමට ඔහුට හැකියාව ලැබුණේ නැත. දිවි ගමනේ හැට අට වසරක් ගෙවා දැමූ එච්. එස්.ගේ අවසන් කටයුතු ඉකුත් සඳු දින ගල්කිස්සේදී සිදු විය.