වර්ෂ 2016 ක්වූ ජනවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




ඩී.ජේ.අරා අද සිට සියතට

ඩී.ජේ.අරා අද සිට සියතට

ඩි. ජේ. අරා හිරු ගුවන් විදුලියේ දොරටුවෙන් එළියට ආවේය. ඔහු ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ විදුලි සෝපානයට ගොඩ වී තිස්හත්් වැනි මහලේ සිට පහතට බැස්සේය. එතැනින් එළියට බට ඔහු යළිත් හැරී බැලුවේය. අහස සිප ගෙන ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ කුළුණු යුවළ විරාජමානව සිටියි. පුරා වසර දහ අටක් මුළුල්ලේ දිනපතා තමන් මෙතැනට ආ හැටි අරාට සිහි විය. මේ කාලය අතරතුර අරාට හිරු ගුවන් විදුලිය ඔස්සේ ලැබුණු දේ බොහෝය. ඩී. ජේ. අරා යන නම සැදුණේ ද මෙතැන්දිය. නමුත් දෛවයට අභියෝග කිරිමට කාලය එළැඹී ඇත. අරා හිරු ගුවන් විදුලියෙන් නික්ම යන්නේ එලෙස සිතාය. අද සිට ඩී. ජේ. අරා හිරු ගුවන් විදුලියේ නැත. සියත ගුවන් විදුලියේ උපදේශක ලෙසට ඔහු සිය වෘත්තීය ජීවිතයේ හැරවුම් ලක්ෂයක් තබා අවසන්ය. ඩී. ජේ. අරා ලෙසින් අප වඩාත් හඳුනන අරවින්ද ලොකුගේ යන සැබෑ නම ඇති ඔහුගෙන් ආයතන මාරුව ගැන මෙලෙස විමසුවෙමු.

ඒ ගැන විවිධ දෙනා විවිධ අදහස් දක්වති. අපට ද කෙළින්ම ඔහුගෙන් විමසන්නට කරුණු කාරණා රාශියක් ඇත. ඒවාද අප කෙළින්ම අරවින්දගෙන් අසා බැලුවෙමු.

* අරවින්ද ඔබේ මේ මාරුවට වැඩි දෙනෙකු එකඟ නැහැ. අරවින්දට පිස්සුද මන්දා හිරු වගේ නාළිකාවක් දාලා යන්න කියලත් ඇතැම් අය කියනවා. මොකක්ද ඇත්තටම වුණේ?

පළමුව කියන්න ඕනෑ මේ සේවා මාරුව හදිස්සියේ වුණ දෙයක් නෙවෙයි. කාලයක් තිස්සේ මෙවැනි වෙනසක අවශ්‍යතාවයක් මගේ හිතේ තිබුණා. වසර දහ අටක් වෙනවා මං හිරු ගුවන් විදුලියට එකතු වෙලා. ඉන් දොලොස් වැනි වසර ගෙවෙද්දී මට දැනෙනවා හිරු ගුවන් විදුලිය මඟින් යම් යාන්ත්‍රණයයක් හැදෙනවා. ඒ තුළ මටම දැනෙනවා ඒ සිස්ටම් එක හරිම සුව පහසුයි කියලා. හැමදාම කරගෙන යන්න තියෙන්නේ එකම දේ. අභියෝගයක් කියලා දෙයක් ඇත්තෙම නැහැ. ඔහොම යන්න යන්න අභියෝග කියන දේ මට අමතකම වෙලා යනවා. අවශ්‍ය ප්‍රමාණයට විතරයි මට වැඩ කරන්න වෙන්නේ. අන්න ඒ නිසා චැලෙන්ජ් එකකට මුහුණ දෙන්න තියෙන හයිය මට අමතක වෙලා යනවා. වෘත්තීය ජීවිතය මට සැහැල්ලු වෙනවා. නමුත් මට දැනෙනවා මට වැඩ කරන්න ඕන අභියෝගත් එක්කයි කියලා. නමුත් එහෙම වුණේ නැහැ. ඔය දේවල් ඔහොම සිද්ධ වෙද්දී ආයතනයේ දැක්ම පිළිබඳ මට ගැටලුවක් මතු වෙනවා. අලුත් අය ආයතනයට එකතු වෙනවා. එතකොටත් ආයතනයේ ප්‍රතිපත්ති වෙනස් වෙනවා. ඒවත් සමඟ මගේ ප්‍රතිපත්ති නොගැළපීමක් සිදු වෙනවා. දිගින් දිගටම එහෙම සිද්ධ වෙද්දී මට යම් තීරණයක් ගන්න වෙනවා. අවසනදි මට සිදු වෙනවා හිරු ගුවන් විදුලියෙන් නික්ම යන්න.

* එතකොටත් ඔබ හිරු ගුවන් විදුලිය පවතින ඒ. බී. සී. මාධ්‍ය ජාලයේ සැලකිය යුතු තනතුරක් දරමිනුයි හිටියේ?

ඔව්. හිරු, ෂා සහ සූරියන් යන එෆ් එම්වල අධ්‍යක්ෂ වැඩ සටහන් විදිහට මං වැඩ කටයුතු කළා. ඒ වගේම ඒවාහි නිෂ්පාදන සහ ප්‍රවර්ධන අංශවල යම් යම් කාර්යභාරයන් කිහිපයකුත් මවිසින් ඉටු කළා.

* ඔබ ඒ. බී. සී. මාධ්‍ය ජාලයෙන් එළියට ආ මොහොතේ වෙනත් නාළිකා ගණනාවකින්ම ආරාධනා ගලා එන්නට ඇති?

ඒ මොහොතේ විතරක් නෙවෙයි මං හිරු නාළිකාවේ රාජකාරි කරන කාලයේදී පවා මට අනන්තවත් ආරාධනා ලැබුණා මෙරට ප්‍රමුඛ පෙළේ නාළිකා ගණනාවකින්ම. මට ඒක හරිම සුපුරුදු දෙයක්. ඉකුත් වසර ගණන ඇතුළත මං තරම් එවන් සේවා ආරාධනා ලබපු කෙනෙක් නැතුව ඇති.

* ඒ සියලු ආරාධනා ප්‍රතික්ෂේප කොට ඔබ සියත හා බැඳෙන්නේ කුමන පදනමක් මතද?

සියතට මට කතා කළේ එහි ඉහළ කළමනාකාරිත්වයෙන්. ඒ ගැන මං සොයා බැලුවා. එතැන මං සොයපු අභියෝගාත්මක රාජකාරිමය වටපිටාව තියෙනවා. මං සියත ළඟ නැවතුණේ ඒ හින්දයි.

* සියත ගුවන් විදුලියට ගියේ කුමන අරමුණින්ද?

ආයෙ ඉතින් මොකද රිදෙන්න වැඩක් කරනවා. ඒක තමයි මූලික අරමුණ. ඕන කෙනෙකුගෙන් ඇහැව්වොත් සියත දන්නවද කියලා වැඩි දෙනෙක් කියාවි ඔව් කියලා. නමුත් සියත තුළ ඇති අන්තර්ගතය බහුතරයක් දන්නේ නැහැ. මට ඕනෑ සියත නම වගේම එහි කරන වැඩ කටයුතුත් ශ්‍රාවකයන් අතරට යවන්න ඕනෑ. ඒක මං කරනවා.

* ඔබ ඩී. ජේ. අරාව රැගෙනද සියතට ආවේ, නැත්නම් ඩී. ජේ. අරා තවමත් හිරු ගුවන් විදුලියේද?

මගේ නම අරවින්දනේ. වැඩි දෙනෙකු මට කතා කරන්නේ අරා කියලා. ඩී. ජේ. කියන්නේ ඩිස්ක් ජොකි. ඒක වෘත්තියක්. කාලයක් මං ඩී. ජේ. කෙනෙක් විදිහට හිටියා. එහෙම බලන කොට මමත් ඩී. ජේ. කෙනෙක්නෙ. මං එහෙමයි මගේ නම හදා ගත්තේ. ඩී. ජේ. අරා කියන්නේ මම, වෙන කෙනෙක්වත් වෙන කෙනෙකු හදපු චරිතයක්වත් නෙවෙයි. එහෙනම් ඇයි මං ඩී. ජේ. අරාව හිරු නාළිකාවේ තියලා එන්නේ.

* ඒ කියන්නේ ඩී. ජේ. අරාගේ කතා අද ඉඳලා අහන්න වෙන්නේ සියතෙන්?

ඒක මට දැන්ම කියන්න බැහැ. එහෙම තීරණයක් මං අරගෙනත් නැහැ.

* හෙට ඉඳලා හිරු ගුවන් විදුලියේ ඩී. ජේ. අරා ලෙසට වෙන කෙනෙක් වැඩසටහන කළොත්?

මං පටන් ගත්තු මෝනිං ෂෝ එක ඉහළ ජනප්‍රියත්වයක් ලැබුවා. ඒ හින්දා එය පවත්වාගෙන යනවද නැද්ද කියන එක හිරු ආයතනයේ වැඩක්. මං වෙනුවට වෙන කෙනෙක් හිරු එකේ ඩී. ජේ. අරා. නමුත් මට ඒක ප්‍රශ්නයක් නැහැ.

* එහෙම වුණොත් ශ්‍රාවකයන්ට පැටලේවි නේද ඩී. ජේ. අරා හිරු ගුවන් විදුලියෙත් ඉන්නවා, සියතෙත් ඉන්නවා. හරි ඩී. ජේ. අරා කවුද කියලා ඔබට ආදරය කරන ශ්‍රාවකයන්ට ගැටළුවක් වේවි?

මං ඔය ප්‍රශ්නයට උදාහරණයකින් පිළිතුරු දෙන්නම්. චාලි චැප්ලින් ඉන්නවා නේද, ඔහුගෙන් පසු කී දෙනෙක් චැප්ලින්ට ඇන්දද. ඒත් අදටත් මිනිස්සු කතා කරන්නේ සහ ගරු කරන්නේ ඇත්ත චැප්ලින්ට පමණයි. මේකත් එහෙමනේ. මගේ නම දාගත්ත කියලා එහෙම පැටලීමක් වෙන්නේ නැහැ. ශ්‍රාවකයන් බුද්ධිමත්. හරි ඩී. ජේ. අරා කවුද කොයි නාළිකාවකද ඉන්නේ කියලා හඳුනා ගනියි.

* ඔබ ඔය නොකියා කිව්වේ ඩී. ජේ. අරා ගේ හඬ සියතෙන් ළඟදීම ඇහෙනවා කියන එකනෙ?

පෙබරවාරි මාසයේදී බලන්නකො.

* ඔබත් එක්ක වැඩසටහන කළ පැස්බරා, දිස්නා මුණසිංහ තවමත් හිරු නාළිකාවේද?

ඇය ද හිරු ආයතනයෙන් අයින් වුණා කියලා ආරංචියක් තියෙනවා. මෙහිදී කියන්න ඕන මාගේ සහ ඇයගේ අයින්වීම කාරණා දෙකක්ය කියන දේ.

* ඔබ වඩාත් ජනප්‍රිය වුණේ හිරු නාළිකාවට එකතු වුණායින් පසුව. හදිසියේම මෙවන් වූ තිරණයක් ගත්තු එක හරියට නැංග ඉනිමඟට පයින් ගැසීමක් නොවේද?

හිරු එක මගේ නම හැදුවා. ඒ ගරු කිරීම එහෙම්මම මගේ හිතේ තිබෙනවා. දරුවෙක් වුණත් මුලදි හැදෙන්නේ වැඩෙන්නේ පවුල යටතේ. ලොකු වුණායින් පසුව ළමයින්ට තෝරගන්න පුළුවන් තමන් යන මාවත මොකක්ද කියන එක. රට යන්න හිතුණොත් ගෙදරින් යන්න වෙනවා. රැකියාවක් කරන ළමයි ගෙදර ඉන්නවා. ඔබගේ ප්‍රශ්නයට ඒ උදාහරණයත් එක්ක පිළිතුරු ලැබුණා කියලා මං හිතනවා.

* ඇතැම් අය කියනවා වැඩි පඩියකටලු ඔබ සියතට එකතු වුණේ?

හිරු නාළිකාවෙන් මං එළියට එද්දී මට සැලකිය යුතු පඩියක් ගෙව්වා. ආර්ථික අතින් මං ස්ථාවර තැනක හිටියේ. එතැනින් මං කෙළින්ම සියතට ආවේ නැහැ. මං ඇඩ්වර්ටයිසිං ක්ෂේත්‍රයෙහි වැඩ කටයුතු කරන්න හිටියේ. ඔය අතරතුරදියි සියතට එකතු වුණේ. ඒත් මං පූර්ණකාලීනව නෙවෙයි සියතෙ වැඩ කරන්නේ. එහෙම බලනකොට ඔබටම හිතෙනවා නේද මගේ වැටුප කෝකෙද වැඩි කියලා. ඇත්තටම කිව්වොත් මේ මාරුව මගේ ඇඟේ අමාරුවට ගත්තු තීරණයක්.

* හිරු නාළිකාවේ යම් යම් වැඩ සටහන්වල තවමත් ඔබේ හඬ ඇහෙනවා?

ඒකට කමක් නැහැ. මගේ හඬ ඒ වැඩ සටහන්වලට ආලෝකයක් නම් එහෙම ගත්තුදෙන්.

* ඔබ ඩී. ජේ. අරා නමැති චරිතය ගුවන් විදුලියට ගෙනවිත් එය ජනප්‍රිය වෙද්දී තවත් ඩුබ්ලිකේට් ඩි. ජේ. අරාලා බුරුතුපිටින් බිහි වුණා. ඒ ගැන මොකද කියන්න තියෙන්නේ?

මට ඒ අයගෙන් අහන්න තියෙන්නේ 'ඔබ එලෙස කරන වැඩේ ගැන තෘප්තිමත්ද' කියන කාරණය. මම නම් මම කරන කාර්ය ගැන සියයට සියයක් තෘප්තිමත්. කොපි කිරීමත් ආර්ට් එකක්නෙ. ඒ හින්දා මාව අනුකරණය කරමින් වැඩ සටහන් කරන අය ඒ අය විසින්ම තමන් කරන වැඩේ ගැන තෘප්තිමත් නම් දිගටම මාව අනුකරණය කරන්න. ප්‍රශ්නයක් නැහැ.