වර්ෂ 2016 ක්වූ ජනවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




අපේ තාත්තාගේ සැබෑ නම ජ්‍යෝතිෂ් සිංහා

ලාංකේය කථානාද සිනමාවටවසර 70යි

අපේ තාත්තාගේ සැබෑ නම ජ්‍යෝතිෂ් සිංහා

කඩවුණු පොරොන්දුව තැනූ ජේ.සිංහා ගැන දියණිය කරන හෙළිදරව්ව

හින්දු අරාබි අංකාවලියේ 0 සිට 9 දක්වා අංක තිබුණද නායගම් වැඩිම රුචිකත්වය දැක් වූයේ අංක 1 ටය. ඔහුගේ වැඩිමනත් නවෝත්පාදන ව්‍යාපාරවල පෑනට වූයේද මේ අංක 1 යි. එහෙයින් නායගම් මෙහිදී ද අංක 1 න් අංක 2 කට බැසීම ප්‍රතික්ෂේප කරයි. ඔහුගේ ක්ෂණික ප්‍රතික්‍රියාවේ ප්‍රතිඵලයක් ලෙස ඔහු කිට්ටු කර ගන්නේ තවත් ප්‍රකට කලාකරුකු වන බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නයි. මල් යහනාව, අවතාරය, භයානක පොරොන්දුව ආදී එවකට අතිශය ජනප්‍රිය නාට්‍ය රැසක් නිෂ්පාදනය කළේ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න විසිනි. නමුත් ඔහු නිෂ්පාදනය කළ ‘පොරොන්දු’ අතරින් නායගම් භාර ගත්තේ භයානක පොරොන්දුව නොව අදත් සිංහල සිනමා කතානාද වංශ කතාවේ ප්‍රාරම්භය සනිටුහන් කරන ‘කඩවුුණු පොරොන්දුව‘ නාට්‍යයයි.

සතියේ මධ්‍ය දිනයක උදෑසන කොළඹ නගරයට ඇතුළුවීමට ඇති අපහසුව ගැන මා ලිවිය යුතු නොවේ. කලින් යොදා ගත් හමුවීමක් වන හෙයින්ම වේලාවට වැඩ කළ යුතු විය. සාමාන්‍ය මොහොතක එනම් බොහෝ වේලාවට මම පදික නීතිත් උල්ලංඝණය නොකළත් එදින ඒ නීතිත් තුට්ටවකටත් මායිම් නොකළෙමි. දනි පනි ගා බසයෙන් බැස ගමන් කරමින් තිබූ වාහනද නවතා පාර පැන මම එන්නට කියූ තැනට යන විටත් කියූ වේලාවටත් වඩා මිනිත්තු 2 ක ප්‍රමාදයක් මගේ ඔරලෝසුවේ සටහන් විය. එතැනට ගිය කාරණය මම පසුවට සටහන් කරමි.

සුන්දර පිල්ලේ මදුර නායගම් සිය පවුලේ උදවිය සමඟ දකුණු ඉන්දියාවේ මදුරෙයි සිට ලංකාවේ කොළඹට සම්ප්‍රාප්ත වූයේ තම ජීවිතයේ අලුත් පරිච්ඡේදයක් ආරම්භ කිරීමටයි. කොලු ගැටයකු වූ සුන්දර පිල්ලේ මදුර නායගම් පාසල් ගියේ ද කොළඹ නගරයේමය. මෙතැන් සිට අපි ඔහු ඔහුගේ වාසගම වන නායගම් ලෙසින් හඳුන්වමු. නායගගම්ට සිය පවුල තුළින්ම උරුම වූයේ ව්‍යාපාරික පසුබිමකි. ඔහුගේ පවුල මදුරෙයිහිත් කොළඹහිත් ව්‍යාපාරික සබඳතා පුළුල් කරගෙන ගමනක් ගියවුන්ය. නායගම්ට ද මේ පසුබිම ජානමය කුසලතාවක් ලෙස පවතින්නට ඇත. නමුත් නායගම් චරිතයට තම ව්‍යාපාරික කුසලතාවයට අගය එකතු කළ වටිනාකමක් තිබුණි.

සරලවම කිවහොත් ඔහු නවෝත්පාදන ව්‍යවසායකයෙකි. 20 වන ශත වර්ෂයේ මුල් දශකවල සමාජය තුළ නවෝත්පාදන ව්‍යාපාර පතළ නොවූවත් නායගම් අවදානම බාරගෙන අලුත් ව්‍යාපාරවලට අත ගැසීය. ලංකාව තුළ නිෂ්පාදිත ප්‍රථම සබන් කැටය බිහි වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසය. සබන්වලින් අනතුරුව ලංකාවේ ප්‍රථමවරට ප්ලාස්ටික් පවා ඔහු නිපදවයි. කඳානේ සුප්‍රකට ස්වදේශී කර්මාන්තායතනය ස්ථාපිත කළේ නායගම්ගේ නිර්මාතෘත්වයෙනි. වෙළෙඳපොළට යන ග්‍රොසරි භාණ්ඩ හැරෙන්නට ඒ වන විට ඔහු තවත් නිමැවුමක් කර තිබුණි. 1940 දශකය වන විටත් ඉන්දියවේ මදුරෙයි නගරයේ පිහිටුවා තිබූ ප්‍රකට ශ්‍රී මුරුගන් නව කලා චිත්‍රාගාරය නායගම්ගේ මුලිකත්වයෙන් පිහිටවූවකි. සිනමාව සම්බන්ධයෙන් ඔහුගේ නාමය සම්බන්ධ කරන හූය නිම වෙන්නේ ශ්‍රී මුරුගන් නවකලා චිත්‍රාගාරයෙන්ය.

ලංකාවේ පළමු විකට චිත්‍රපටය ‘බණ්ඩා නගරයට පැමිණීම’ නිෂ්පාදනය කිරීම මෙන්ම ලංකාවේ පළමු චිත්‍රාගාරය වන සුන්දර සවුන්ඩ්ස් බිහි කළේ නායගම්ය. ඒ ‘බණ්ඩා නගරයට පැමිණීම’ ආරම්භයත් සමඟය. මා මෙහිදී ලංකාවේ පළමු වෘත්තාන්ත චිත්‍රපටය සඳහන් නොකළේ හිතාමතාමය. සැබවින්ම සියල්ලෙහි ප්‍රථමයා වීමට ධෛර්යෙන් වැඩ කළ නායගම් 1940 දශකයේ මධ්‍ය වන විට ලංකාවේ ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටය නිපදවීමට ද සැලසුම් සකස් කර තිබිණි. ඒ අනුව 1946 දී දිනමිණ පුවත්පත මඟින් ප්‍රසිද්ධ කරන දැන්විමකින් චිත්‍රපට තිර පිටපත් සඳහා ආරාධනා කෙරිණි. ඒ ආරාධනයෙන් ඉස්සර වූයේ එවකට ප්‍රකට කලාකරුවෙකු වූ ශාන්ති කුමාර් සෙනෙවිරත්නයි. නායගම් සහ ශාන්ති කුමාර් සෙනෙවිරත්න අතර සිදු වූ සංවාදයක් අතරතුර ඔහු ඉල්ලා සිටියේ තමාගේ තිර පිටපත අධ්‍යක්ෂණය කිරීමට තමාටම ලබා දිය යුතු බවයි. නමුත් ශාන්ති කුමාර්ගේ ඉල්ලීමට නායගම් දැක් වූ සෘණාත්මක ප්‍රතිචාරය හේතුවෙන් ශාන්ති කුමාර් නායගම්ගේ සමාගමයෙන් තිර පිටපත රැගෙනම ඉවත් විය.

හින්දු අරාබි අංකාවලියේ 0 සිට 9 දක්වා අංක තිබුණද නායගම් වැඩිම රුචිකත්වය දැක් වූයේ අංක 1 ටය. ඔහුගේ වැඩිමනත් නවෝත්පාදන ව්‍යාපාරවල පෑනට වූයේද මේ අංක 1 යි. එහෙයින් නායගම් මෙහිදී ද අංක 1 න් අංක 2 කට බැසීම ප්‍රතික්ෂේප කරයි. ඔහුගේ ක්ෂණික ප්‍රතික්‍රියාවේ ප්‍රතිඵලයක් ලෙස ඔහු කිට්ටු කර ගන්නේ තවත් ප්‍රකට කලාකරුකු වන බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නයි. මල් යහනාව, අවතාරය, භයානක පොරොන්දුව ආදී එවකට අතිශය ජනප්‍රිය නාට්‍ය රැසක් නිෂ්පාදනය කළේ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න විසිනි. නමුත් ඔහු නිෂ්පාදනය කළ ‘පොරොන්දු’ අතරින් නායගම් භාර ගත්තේ භයානක පොරොන්දුව නොව අදත් සිංහල සිනමා වංශ කතාවේ ප්‍රාරම්භය සනිටුහන් කරන ‘කඩවුුණු පොරොන්දුව‘ නාට්‍යයයි.

ඒ අනුව දැනටමත් සමපාද ත්‍රිකෝණයක කෝණ 2 ක් යා කොට ඇත. කඩවුණු පොරොන්දුවත් නායගමුත් ඒ ත්‍රිකෝණයෙන් කැඩිය නොහැකි පුරුක් දෙකක්ය. එසේ නම් අනෙක් පුරුක කවරහුද? පසු කාලයක රුක්මණී දේවි ඇතුළු පිරිස ඉන්දියාවට ගියේ ‘කඩවුණු පොරොන්දුව‘ රූගත කරන්නටය. අද මෙන් නොව සිනමාවේ ආරම්භයේ දශකවල සියලු කාර්මික සේවා සැපයූවේ ඉන්දීය ශිල්පීන් අතිනි. ඒ නිසාවෙන් එකල චිත්‍රපට නිෂ්පාදනයට ඉන්දියාවේ යෑම එකල සුලබ කරුණකි.

නායගම්ගේ ශ්‍රී මුරුගන් නව කලා චිත්‍රාගාරයේ සිටි ජ්‍යෙෂ්ඨ ශබ්ද පටිගත කිරිමේ ශිල්පියෙකු ලෙස එක්තරා උද්යෝගිමත් පුද්ගලයෙක් සිටියේය. නායගම් වහා වහා ඔහුව තෝරා ගත්තේ කඩවුණු පොරොන්දුව අධ්‍යක්ෂණය කිරීමටයි. ඔහු නමින් ජෝ‍යීතිෂ් සිංහා. ඔබට කැමැත්තක් තිබේ නම් ඔබට දැන් ජෝ‍යීතිෂ් සිංහාත් යොදා ත්‍රිකෝණය යා කර ගත හැකිය. කෙටියෙන්ම ඔබට කියනවා නම් සිංහල සිනමාවේ ප්‍රථම කතානාද සිනමාපටයට හේතු වූ ප්‍රථම සුසංයෝගය එයයි. ඔබ යා කර ගත්තේ ඒ සුසංයෝගයයි. ජෝ‍යා්තිෂ් සිංහා ලංකාවේදී බොහෝ ප්‍රසිද්ධ වූයේ ජේ. සිංහ යන නමිනි. ඒ කෙසේ වෙතත් ජෝ‍යා්තිෂ් සිංහාගේ නම භාවිත වූයේ චිත්‍රපටයේ තේමාවේ සහ ලංකා සිනමා වංශයේ තැන් කිහිපයක පමණි. නමුත් ඔහු ගැන තොරතුරු වාර්තා වූයේ ඉතා අල්ප වශයෙනි.

මම නැවතත් ආපස්සට එමි. පදික නීතින් ද උල්ලංඝනය කරමින් මා හනික දිව ගියේ කොළඹ ඉහළපෙලේ හෝටලයකටයි. එසේ දිව යන්නට හේතුව වූයේ ද ලංකා සිනමා වංශයේ මුල්ම සුසංයෝගයේ එක් පුරුකක් වන ජෝ‍යීතිෂ සිංහගේ ඉතා අප්‍රකට තොරතුරු රැසක් දැනගැනීමට දුර්ලභ අවස්ථාවක් උදා වූ නිසාය.

කලබලකාරී හෝටල් ආලින්දයේ මා බලාපොරොත්තුවෙන් තිදෙනෙක් අසුන්බරව සිටියහ. සුනීතා සිංහ. ඇය ජෝ‍යීතිෂ් සිංහ ගේ දියණියයි. අනෙක් තැනැත්තිය ආකර්ෂණීය තරුණියකි. ඒ අතර සිනමාවේ අයත් හොඳින් දන්නා සිනමා සංරක්ෂක ගෝර්ඩන් ද සිල්වා ද විය. අභිමානවත් සිනමා උලෙළක් සහිත සිනමා පුවත්පතක් වන සරසවිය ගැන වගතුග කියන්නට මුලින්ම ඉදිරිපත් වුණේ ගෝර්ඩන්ය. ඔහු අපව මුරුංගා අත්තේත් ඉහළින්ම තැබීම ගැන මම ඔහුට ස්තූතිවන්ත වෙමි.

අනතුරුව මම මා තුළ වූ දැවෙන ගැටලුව සුනීතා සිංහා මහත්මියට යොමු කළෙමි.

ඇයි ඔබ ලංකාවට පැමිණියේ?

මට ඇත්තටම විශාල වුවමනාවක් තිබුණා තාත්තා ගැන තෙරතුරු හොයන්න. ඇත්තෙන්ම තාත්තා ගැන අපි නොදන්නා තොරතුරු බොහොමයක් තිබෙනවා. අපේ පවුලෙන්ම ආපු යෝජනාවක් අනුව තමයි මේ විස්තර හොයන්න ගත්තේ. අපෙන් පස්සේ පරම්පරාවේ අයට තාත්තා ගැන අවබෝධයක් යන්නේ නැති නිසා අපි තීරණය කළා සියලුම විස්තර එකතු කරන්න. එකතු කරලා පොතක් මුද්‍රණය කරන්න. මැය තමා ඒ වැඩේට මූලිකත්වය ගන්නේ.

ඇය එසේ කියූ සැනින් පෙන් වූයේ අනෙක් පසින් වාඩි වී සිටින ආකර්ෂණීය තරුණියයි. ඇය නමින් ශිවන්ජිණි තන්ඩන්. සුනීතා සිංහා මහත්මියගේ දියණියගේ හොඳම මිතුරිය ඇයයි.

ඔබේ පසුබිම මොකක්ද? මම ඇසුවෙමි.

මම වැඩි හරියක් කරන්නේ පර්යේෂණාත්මන ලිපි ලියන එක. මගේ අධ්‍යාපන කටයුතු සිද්ධ වුණේ ඇමරිකාවේදී. එහිදී මානව විද්‍යාව හා ආර්ථික විද්‍යාව ගැන උපාධිය හැදෑරුවේ බොස්්ටන් විශ්ව විද්‍යාලයේදී. බොහෝ විට පර්යේෂණ ලිපිවලින් කළේ නාමධාරි පුද්ගලයන්ගේ ඉතිහාසය ගැන අධ්‍යයනය කරන එක. එවැනි ලිපි රාශියක් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා මගේ වෙබ් අඩවිය හරහා. ඒ හරහාම මම ශ්‍රව්‍ය සම්ප්‍රේෂණයක් සිදු කළා. නමුත් පුද්ගල චරිතයක් ග්‍රන්ථයකට හදන පළමු වතාව තමා මේ.

ශිවන්ජිණි මට පිළිතුරු දුන්නේ එසේය.

නැවතත් මම සුනීතා සිංහා මහත්මිය දෙසට හැරිණි. ඔබේ පවුලේ පසුබිම කොයි ආකාරයේ එකක්ද?

අපේ පවුලේ දූ දරුවෝ ඔක්කොම 5 දෙනයි. හතර දෙනෙක්ම ගැහැනු ළමයි. එක සහෝදරයයි මට හිටියේ. ගැහැනු ළමුන්ගෙන් බාලම කෙනා මම.

ඔබට පියාගේ උපන් දිනයයි මිය ගිය දිනයයි ගැන මතකයක් තිබෙනවාද? මා එය ඇසුවේ එය මට කිසිවිටකත් මග හැරිය නොහැකි තැනක් නිසාය.

තාත්තා ඉපදුණේ 1905 දෙසැම්බර් මාසයේ 22 වැනිදා. ඔහු මිය පරලොව ගියේ 1970 නොවැම්බර් මාසයේ දිනක.

ඔබට තාත්තාගේ පවුල් පසුබිම ගැන අවබෝධයක් තිබෙනවාද?

තාත්තා ඉපදුණේ බෙංගාලයේ. ඔහු හැදී වැඩුණේ බෙංගාලයේ. තාත්තාගේ තාත්තා ඒ කියන්නේ සීයා වෛද්‍යවරයෙක්. ඒ දවස්වල සීයා පවා හිතන් ඉඳලා තියෙනවා තාත්තා වෛද්‍යවරයෙක් වෙයි කියලා. නමුත් ඔහුට ඒ ගැන කිසිම උනන්දුවක් ආශාවක් තිබිලා නැහැ. ඔහුට පොඩි කාලේ තිබිලා තියෙන්නේ නළු පිස්සුවක්. ඔහු පස්සේ කාලෙක රඟපාලා පවා තිබෙනවා.

එතකොට ඔබ හැදී වැඩෙන්නේ කොහේදීද?

මම ඉතාම කුඩා අවධියේදී තමයි අපි බෙංගාලයේ ඉඳන් දකුණු ඉන්දියාවට සංක්‍රමණය වුණේ. ඉන් පස්සේ අද වෙනකම්ම අපේ පදිංචිය දකුණු ඉන්දියාවේ.

ඔබ ඔබේ තාත්තාව දැක්කේ මොන විදිහටද?

ඔහු ඉතාම හැඩකාර චරිතයක්. හරිම පිළිවෙළයි ඔහු වැඩ කරන විදිහ.

ඔබේ පියා දිගටම නිරත වුණේ ශබ්ද කාර්මික ශිල්පියේ. නමුත් පස්සේ කාලෙක ඔහු චිත්‍රපට අධ්‍යක්ෂණයටත් එනවා. තාත්තාගේ කලාව ගැන ඔබ කොයි තරම් දුරට සවිඥානකව සිටියාද?

තාත්තා ඊටත් කලින් රඟපෑවනේ. කොහොමත් තාත්තට වගේම අම්මටත් සංගීත හැකියාව හොඳට තිබුණා. තාත්තා පියාමෝ හා ක්ලැරිනට් වාදනයට දස්කම් දැක් වුවා. ඒවා අප ඉස්සරහ ඔහු වාදනය කළා. ඒ වගේම අම්මා එස්රාජය වාදනය කරන්න සෑහෙන්න ඇලුම් කළා. ඇය ඒකට දක්ෂයි.

එතකොට සිනමාට එන්න පියාට පවුලේ කොතනක හෝ පසුබිමක් හැදිලා තිබුණේ නැත්ද?

නැහැ. ඔහුට එහෙම කිසිම පසුබිමක් තිබුණේ නැහැ. සිනමාව හෝ ශබ්ද පරිපාලනය ඔහු දන්නා එකම දෙය වුණේ නැහැ කවමදාකවත්.

ඔබ ඒකෙන් අදහස් කළේ මොකක්ද?

එවර නම් මගේ ප්‍රශ්නයට මැදිහත් වූයේ ශිවාන්ජිණිය. ශිවන්ජිණි ජෝ‍යීතිෂ් සිංහාගේ චරිතයේ දිග පළල ගැන සෑහෙන දුරට පර්යේෂණයක් කර තිබුණි.

ජෝ‍යා්තිෂ් සිංහා කියන්නේ බොහෝම විශ්වකර්ම වැඩ කරපු කෙනෙක්. ඔහු තාම ඉන්දියාවේ මුලින්ම විශේෂ ප්‍රයෝග යොදලා ඡායාරූපයක් සකස් කළේ. ඒ රූපයේ පුද්ගලයෝ දෙදෙනෙක් සිටිනවා. ඔවුන් නිවුන් සොහොයුරන් වගෙයි. නමුත් ඇත්තටම කරලා තියෙන්නේ එකම පුද්ගලයා දෙවිදිහකට දාලා එක ඡායාරුපයක් සකස් කරපු එක. ඒ වගේම ඔහු තමයි මුලින්ම ඉන්දියාවේ නාට්‍ය ක්ෂේත්‍රයට පටිගත කරන ලද සංගීත ඛණ්ඩ භාවිත කරන විදිහ හඳුන්වලා දුන්නේ.

ඒ වගේම ඔහු මැජික් ශිල්පියෙක්. මට පුංචි මතකයක් තිබෙනවා ඔහු මැජික් පෙන්වපු විදිහ ගැන.

ඒ බව කිව්වේ සුනීතා සිංහා මහත්මියයි. ඔබට මතකද පියාගේ චිත්‍රපට? ඒවා නරඹන්න අවස්්ථාව ලැබුණාද? මම නැවතත් හැරුණේ සුනීතා සිංහා මැතිණියටයි.

නැහැ. මට කවදාවත් තාත්තාගේ චිත්‍රපටයක් බලන්න ලැබිලා නැහැ. නමුත් ඔහුගේ යම් යම් චිත්‍රපට ගැන පුංචි මතකයක් තිබෙනවා. බොහොම ඈතක ‘තල්ලිප්‍රේමා’ නැත්නම් ‘මවගේ ආදරය’ කියලා චිත්‍රපටයක් ඔහු හැදුවා තෙළිඟු භාෂාවෙන්. ඒ දිනවල ඒක සෑහෙන්න ජනප්‍රියයි කියලා මට දැනගන්නට ලැබුණා.

ඒ කාලයේ හැටියට ඔහු ජනප්‍රිය පුද්ගලයෙක්ද?

කොහෙත්ම නැහැ. මම නම් දන්න විදියට ඒ දවස්වල තාත්තාගේ එක සම්මුඛ සාකච්ඡාවක්වත් පත්තරේක පළ වණේ නැහැ.

ඒකට හේතුව?

ඔහු කවදාවත් එළියේ සමාජයේ නිරාවරණය වුණේ නැහැ. මා දන්න විදිහට ඔහු පුවත්පත්වලට සම්මුඛ සාකච්ඡා දීම පවා ප්‍රතික්ෂේප කළා. ඔහු හුදකලාව ඉන්නයි කමැති වුණේ.

ඔබ මේ ලංකාවට එන පළමුවැනි වතාවද?

අවසනාවකට වගේ ඔව්. මට දැන් තමයි තේරෙන්නේ ලංකාව කියන්නේ කොච්චර ලස්සන තැනක් ද කියලා.

ඔබේ පියා ලංකාව සමඟ කිට්ටු සබඳතා පවත්වපු නිසා ඔබටත් ලංකාව සමඟ සබදතා ඇති මෙහි නොපැමිණියත්?

ඔව්. තාත්තා ලංකවේ අයගෙන් වැඩියෙන්ම හිතවත්කම් පැවැත් වූයේ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න එක්ක. ඒක නිසා ඒ පවුලත් එක්ක අපි සමීපයි. මම ලංකාවට ආපු ගමන් එතුමාගේ දුව ප්‍රේමා ජයමාන්නව මුණ ගැහුණා. අපේ වැඩේට ඇය ගොඩක් උදව් කළා. ඒ වගේමයි රුක්මණී දේවි. මට තවම මතකයි ඇය දවසක් ඉන්දියාවට ආපු වෙලාවේ මට තැග්ගක් දුන්නා. පොඩි කූඩයක් අවාරණය කරලා ඊට උඩින් රිබන් පටියක් ගැට ගහලා මට දුන්නා. මං ඇරලා බලද්දී ඒ පූස් පැටියෙක්.

ඔබේ පියා ජීවිතේ අවසන් කාලය ගත කළේ කොහොමද?

ඔබේ රටේ ‘ගැහැනු ගැට’ චිත්‍රපටයෙන් පස්සේ ඔහු චිත්‍රපට හැදුවේ නැහැ. ඔහු වැඩිමනත් කළේ නිවසට වෙලා තමන්ගේ විනෝදාංශවල නියැළිච්ච එක. ඔහුට තිබ්බා විශාල ඔරලෝසු එකතුවක්. ලොකු කුඩා එක එක ජාතියේ ඒවා. ගොඩක් වෙලාවට ඔහු ඒවා ගලවලා නැවත එකලස් කරනවා. ඒ වගේම තව කෑලි එකතු කරලා අළුතෙන් දේවල් හදනවා. ඔහු කාර්මිකයෙක් වගේම ඉංජිනේරුවෙක්. ඔහු අන්තිමට කළේ බෝට්ටු හදලා විකුණපු එක.

ඔබ ඔය ග්‍රන්ථය සම්පාදනය කරලා ඉවර වුණාම ලංකාවටත් පිළිගන්වනවාද?

අපි හිතං හිටියේ නම් මේ පොත පවුලේ පරිහරණය සඳහා විතරක් තියා ගන්න.

ඇයි ඔබ එහෙම කරන්නේ? මම ඒ ගැටලුව එසේ යොමු කළේ සිනමාවේ අලගිය මුල ගිය තැන් සොයන සරසවියට කතා කරන ලේඛනාරක්ෂයට නිතර යන සිනමාලෝලීන් වෙනුවෙනි.

ඔබ යෝජනා කරනවා නම් අපි ඒ ගැන සලකලා බලන්නම්. ඒ වගේම මට උදව් කරන්න ඉදිරිපත් වුණු ලංකාවේ අයට ස්තූති කරන්න තියෙනවා. ගෝර්ඩන් ද සිල්වා මහත්මයාට විශේෂ ස්තුතියක් කරන්න ඕනෑ. ඔහු තමයි ලංකාවේදී හැම මඟ පෙන්වීමක්ම කරන්නේ. ඒ වගේම උදුලා දාබරේ, ශාන්ති අබේසේකර, ශ්‍රියාණි අමරසේන, ආතර් යූ. අමරසේන, ප්‍රේමා ජයමාන්න, ටී. අර්ජුන් කියන අයටත් මම විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම සරසවිය පුවත්පතේ කර්තෘ අරුණ ගුණරත්න මහත්මයාටත් ස්තුතිවන්ත වෙනවා කාර්යබහුල වෙලාවක අපිට උදව් කරන්න පැමිණීම ගැන.

ඒ සංවාදය එතනින් නිමා විය. 1947 ජනවාරි 21 වැනිදා කඩවුණු පොරොන්දුව තිරගත විය. ඒ අනුව නායගම් චරිතය චිත්‍රපට නිෂ්පාදනයෙන් ද, ලංකාවේ නොම්මර 1 විය. ඔහුගෙන් වෙන්ව ගිය ශාන්ති කුමාර් අධ්‍යක්ෂණය කළ ‘අශෝකමාලා’ එම වසරේම අප්‍රේල් 10 ප්‍රදර්ශනය විය.