වර්ෂ 2016 ක්වූ ජනවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




සිරිල් බී. පෙරේරා මියගොස් වසර විසිපහක් සපිරෙයි

සිරිල් බී. පෙරේරා මියගොස් වසර විසිපහක් සපිරෙයි

ප්‍රවීණ සිනමා විචාරකයකු මෙන්ම පුවත්පත් කලාවේදියකු ද 'දෙසතිය ' ආරම්භක කර්තෘ සිරිල් බී. පෙරේරා අභායවයට පත් වී මේ මස විසිවැනිදාට වසර විසිපහක් සපිරෙයි. ඒ නිමිති කර ගනිමින් මේ මස 28 වැනිදා කොළඹ මහවැලි කෙන්ද්‍රයේදී පසුවරු 3.30ට අනුස්මරණ උත්සවයක් පැවැත් වීමට සිරිල් බී. පෙරේරා සමරු සංසදය විදි විධාන යොදා ඇත.

බෙනඩික්ට් ජෝශප් පියතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වීමට නියමිත මේ අනුස්මරණ උත්සවයේදී 'නව තාක්ෂණයට අනුරූපීව නිර්මාණය විය යුතු ලාංකේය සිනමාව' යන මැයෙන් පැවැත් වුණු ආධුනික චිත්‍රපට විචාර තරගයේ නිර්මාණශීලී විචාර තුනක් තෝරා, එහිදි විශිෂ්ට නිර්මාණයට සම්මානයක් සහ සහතික පතක් පිරිනැමීමටත්, අනෙක් නිර්මාණ සඳහා සහතික පත් පිරිනැමීටත් සංවිධායක කමිටුව බලාපොරොත්තු වෙයි. එසේම සිරිල් බී. පෙරේරා සිය දායකත්වය ලබාදුන් එක් එක් කලා අංශ පිළිබඳ වියත් දේශනා පැවැත්වෙන අතර ඔවුන්ගේ ලිපි අඩංගු සමරු කලාපයක් එළිදැක්වීමට ද නියමිත ය. මෙයට සමගාමීව පැළ බෙදාදීමක් සිදු කිරීමට ද සංවිධායක කමිටුව තීරණය කර ඇත.


‘සාදය මාරයි සල්ලි හමාරයි’ කෙටි විරාමයකින් පසුව නැවතත් රට වටා

ධර්මප්‍රිය ඩයස්ගේ 'සාදය මාරයි සල්ලි හමාරයි' වේදිකා නාට්‍ය කෙටි විරාමයකින් පසුව නැවතත් රට වටා ගමන අරඹා ඇත. ඒ අනුව එහි පළමු රංගය මේ මස 21 වැනිදා කොළඹ මහානාම විද්‍යාලයීය රංග ශාලාවේ පස්වරු 3.30ට සහ 6.30ට වේදිකා ගතවීමට නියමිත ය.


සාහිත්‍යාභිනන්දන උලෙළ 22

2016 සාහිත්‍ය මාසය නිමිත්තෙන් කොටිකාවත්ත සණස මඟින් පවත්වන ලද තරගාවලියේ ජයග්‍රාහකයන් ඇගැයීමේ ‘2016 සාහිත්‍යාභිනන්දන උලෙළ මේ මස 22 වැනිදා පස්වරු 1.00ට කොටිකාවත්ත සණස ගොඩනැගිල්ලේ පස්වැනි එරීනා උත්සව ශාලා ශ්‍රවණාගාරයේදී පැවැත්වෙයි. මෙහි ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වන්නේ සහ එහි මුඛ්‍ය දේශනය සිදු කරන්නේ රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභී ලේඛක මහින්ද ප්‍රසාද් මස්ඉඹුල විසිනි. පාසල් සිසු - සිසුවියන් හත්සියයකට අධික සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් පැවැති චිත්‍ර, අත්අකුරු, ගායන, නර්තන තරග මෙන්ම විවෘත තරගාවලියක් ලෙස පැවැති කෙටිකතා සහ නාට්‍ය තරගවලදී එදින ජයග්‍රාහකයන්ට තිළිණ හා සහතික පත් පිරිනැමෙයි. ගායන හා නර්තන තරගවලදී ප්‍රථම හා දෙවැනි, තුන්වන ස්ථාන ලැබූ ජයග්‍රාහකයන් ඒ උලෙළේදී ඉදිරිපත් කරන අතර ජනප්‍රියම ගායනය හා නර්තනය ප්‍රේක්ෂක ඡන්දයෙන් තේරීම ද මෙහි විශේෂත්වයකි. එහිදි හොදම නාට්‍ය ලෙස තේරුණු කෙටි නාට්‍යය ද එදින වේදිකා ගතවෙයි.


ප්‍රියන්ත රංජන්ගේ පියාණන්ගේ තෙමස් පූර්ණ පිංකම 23

හවුස් ඔෆ් ඩ්‍රාමා අධිපති ප්‍රියන්ත රංජන්ගේ පියාණන් වූ දොඩම්පහළ සිසාරා නිවෙසේ විසූ අභාවප්‍රාප්ත එල්.වයි. චාර්ලිස් සිඤ්ඤෝගේ තෙමස් පූර්ණ පිංකම මේ මස 23 වැනිදා දික්වැල්ල දොඩම්පහළ උඩදෙණිය 'සිසාරා' නිවෙසේ දී පැවැත්වෙයි. මේ පිංකම සඳහා හවුස් ඔෆ් ඩ්‍රාමා ආයතනය සියලුම සහෝදර කලාකරුවන්ට ආරාධනා කරයි.


උමා නර්තන ප්‍රසංගය 21 දා

නර්තන ආචාරිණී චමිලා වික්‍රමසිංහගේ උමා නර්තනාංජලී නර්ථන ප්‍රසංග මාලාවේ හයවැනි අදියර සංකලනි නමින් මෙම මස 21 වැනිදා සවස බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. ඇයගේ උමා කලා ආයතනයේ සිසු සිසුවියන්ගේ නර්තන අංග තිහකින් මෙය සමන්විත වේ. ප්‍රසංගයෙහි විශේෂ ආරාධිත අමුත්තන් වශයෙන් කුලසිරි බුදවත්ත, හේමාලි බුදවත්ත සහ පද්මිණී දහනායක යන අය සහභාගි වනු ඇත. සමන් ජයනාත්ගේ තුමුල නමුණු කුලගිරිහිස (උමා) ගීතයේ නර්තනයේ යෙදෙමින් ජනාදරයට පත් වූ චමිලා වඩාත් ජනප්‍රිය උමා නමිනි.


ෂා ට පහළොවයි

ෂා ගුවන් විදුලියේ පහළොස් වැනි සංවත්සරය මෙම මස 21 වැනිදාට යෙදී තිබේ. ඒ වෙනුවෙන් විශේෂ සංගීත රාත්‍රියක් එදින සවස ෂා මැදිරියේදී පැවැත්වෙනු ඇත. ලාල් විතානගේ ප්‍රමුඛ සන්ෂයින් වාදක මඬුල්ල සමඟින් දිවයිනේ ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් එය රසවත් කිරීමට නියමිතය.