වර්ෂ 2016 ක්වූ ජනවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




සිනමාවේ ගැහැනිය සිනමා උලෙළ 22 දා

සිනමාවේ ගැහැනිය සිනමා උලෙළ 22 දා

ස්වර්ණාට බුහුමන් 26 දා

ස්වර්ණා මල්ලවාරච්චි ලාංකේය සිනමාවට දෙවියන් විසින් ලබා දුන් ස්වර්ණමය තිළිණයකි. එදා මෙදාතුර සිනමා වංශ කතාවේ ස්වර්ණා තැබූ සලකුණ සැබවින්ම ස්වර්ණය. ඇය සිනමාවට පැමිණෙද්දී සිනමාවේ නිළි චරිතය තිබුණේ එක්තරා රාමුවකය. තවත් අයුරකින් කිවහොත් බොහෝ ස්ත්‍රී චරිත සාපේක්ෂව එක්තරා තැනක සිර වී තිබිණ.

ඒ රාමුවෙන් ඔබ්බට ගොස් ස්වර්ණා රඟපෑ ඇතැම් චරිත එවකට යම් නිළියක් රඟපාවි දැයි සැක සහිතය. විශේෂයෙන් ඇය රූපණය කළ චරිත අතර බහුතරයක් පුරුෂාධිපත්‍යට එරෙහිව යන චරිත විය. එම චරිතයන්හි ගැබ්ව ඇති යථාර්ථය මනාව තේරුම් ගනිමින් රංගනයේ යෙදුණ ඇය නොබෝ කලකින් සම්මානනීය නිළියක් බවට පත් වූයේ නිරායාසයෙනි.

කොළඹ ග්‍රෑන්ඩ්පාස් හි උපත ලබා ග්‍රෑන්ඩ්පාස් විජයබා සහ බොරැල්ල යශෝධරා යන විදුහල්වලින් සිප්සතර හැදෑරූ ඇය රංගනයට අවතීර්ණ වූයේ සිරි ගුණසිංහගේ සත්සමුදුර සිනමාපටයෙනි. ඒ 1967 වසරේදීය. ස්වර්ණා එහි සෝමා විය. පසුකාලිනව ඇය නිම්වළල්ල, හන්තානේ කතාව, තුංමං හන්දිය, සුද්දිලාගේ කතාව ආදී සිනමාපටයන් රැසක සිය රංගන කුසලතාවය අපූරුවට විදහාලීය.

ස්වර්ණා සිනමාවට අවතීර්ණ වී මෙම වසරට වසර පනහකි. ඇය වෙනුවෙන් සිනමා උලෙළක් සංවිධානය කිරීමට ස්වර්ණා මල්ලවාරච්චි සහෘද සංසදය කටයුතු යොදා තිබේ. ඒ ඇයට කරනා උපහාරයක් ලෙසටය. "ස්වර්ණාය සිනමාවේ ගැහැනිය" යනුවෙන් එම උලෙළ නම් කොට තිබේ. මෙම මස 22 සිට 26 වැනිදා දක්වා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී එය පැවැත්වෙනු ඇත.

එම දිනයන්හි ස්වර්ණා රඟපෑ විශිෂ්ට චිත්‍රපටයන් දහයක් තිරගත වනු ඇත. උලෙළ අවසන් වනදා එනම් 26 වැනිදා සවස ස්වර්ණාට උපහාර පිදීමක් ද සිදු කිරීමට කටයුතු යොදා තිබේ. උලෙළේ චිත්‍රපටයන් තිරගත වන පිළිවෙල මෙසේය.

22 වැනිදා උදෑසන 10.30 ට ධර්මසිරි බණ්ඩාරනායකගේ බවදුක

සවස 2.30 ට ධර්මසිරි බණ්ඩාරනායකගේ බව කර්ම

සවස 6.30 ට මහාචාර්ය සිරි ගුණසිංහගේ සත් සමුදුර

23 වැනිදා සවස 2.30 ට සුමිත්‍රා පීරිස්ගේ සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා

සවස 6.30 වසන්ත ඔබේසේකරගේ දඩයම

24 වැනිදා සවස 2.30 ට ප්‍රසන්න විතානගේ ගේ අනන්ත රාත්‍රිය

සවස 6.30 ට ධර්මසිරි බණ්ඩාරනායකගේ සුද්දිලගෙ කතාව

25 වැනිදා සවස 2.30 ට වසන්ත ඔබේසේකරගේ කැඩපතක ඡායා

සවස 6.30 ට ධර්මසිරි බණ්ඩාරනායකගේ හංස විලක්

26 වැනිදා සවස 2.30 ට අශෝක හඳගමගේ චන්න කින්නරාවි

සවස 6.30 ට ස්වර්ණා මල්ලවාරච්චි පනස් වසරක සිනමා අභිමානය - උපහාර උලෙළ.

ස්වර්ණා මල්ලවාරච්චි සිනමා උලෙළ පැවැත්වෙනුයේ නොමිලයේ බවත් ප්‍රවේශ පත්‍ර නොමිලයේ චිත්‍රපට සංස්ථාවේ කාර්යාලයෙන් ලබාගත හැකි බව සංවිධායක කමිටුව දන්වා සිටියි.