වර්ෂ 2016 ක්වූ ජනවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




SARASAVIYA MODEL BANK

සරසවිය මොඩ්ල් බෑන්ක් ආරම්භක වැඩසටහනට වැලිගම චාන්දනී සිනමාහලේ දී ලැබුණේ ඉහළ ප්‍රතිචාරයකි. එහි දෙවැනි වැඩසටහන සඳහා අප පිවිසියේ ගම්පහ පුරවරයට ය. ගම්පහ නයෝමි සිනමා ශාලාවේ දී සියනෑවේ නවක තරු සොයා ගිය සරසවිය මොඩ්ල් බෑන්ක් දෙවැනි අදියර මුල් අදියරට වඩා සාර්ථක ය. බොහෝදෙනෙකු එදින පැමිණ සිටියේ කලා ලෝකයට පිවිස තම රංගන ගමනට මඟක් පාදා ගැනීමේ අභිලාශයෙනි. ඒ වග ඔවුන්ගේ මුහුණුවලින් මොනවාට පැහැදිලි විය. කලා ලොවේ දිගු ගමනක් යෑමට අවස්ථාව උදා කරන මේ ඉඩහසර වෙන්වන්නේ ඔවුන් වෙනුවෙනි.

SMBGP 29

රංජිත් ජානක

රංජිත් ජානක කුමාර වීදි නාට්‍ය රංගන ශිල්පියෙක්. ඔහු මේ වන විට වීදි නාට්‍ය රැසකම රඟපා තිබෙනවා. කැමරාව ඉදිරියේ රංගන අවස්ථා සොයමිනුයි ඔහු අපේ ගම්පහ මොඩ්ල් බෑන්ක් එක සොයාගෙන ආවේ. රංජිත්ගේ වයස අවුරුදු තිස් හතයි. පදිංචිය නාගොල්ල අමිතිරිගල. ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දුගේ නිර්මාණයකට එකතුවන්නට රංජිත් ආසවෙන් ඉන්නවා.


SMBGP 30

චන්දික රුවන්

චන්දික රුවන් ගම්පහට එන්නේ පාදුක්කේ ඉඳලා. ඔහුට රංගන අත්දැකීම් නැහැ. නමුත් චන්දික කලා ක්ෂේත්‍රය ගැන ගොඩක් උනන්දුවෙන් ඉන්න වග කතාබහෙන් වැටහුණා. ඔහුගේ වයස අවුරුදු 21 යි. ආචාර්ය සෝමරත්න දිසානායක, ජැක්සන් ඇන්තනී ආදී නිර්මාණකරුවන්ගේ ඉදිරි සිනමාපටවලට එකතු වන්නට චන්දික කැමැත්තෙන් ඉන්නවා.


SMBGP 31

අතුල රම්‍යසිරි

අතුල රම්‍යසිරිටත් රංගන අත්දැකීම් නැහැ. රූපවාහිනියේ විකාශය වන නිර්මාණ නරඹමින් සිටින මොහොතකයි ඔහුට රංගනයට හිත යන්නේ. අතුලගේ වයස අවුරුදු හැටයි. ඔහු මේ වන විට ජීවිතයේ බොහෝ වගකීම්වලින් නිදහස් වෙලා සිටින නිසා රංගනයට සෑහෙන්න නිදහසක් තියෙනවා කිව්වා. සුදත් රෝහණ තමයි ඔහු කැමැතිම අධ්‍යක්ෂ. අතුලගේ පදිංචිය පානදුර.


SMBGP 32

නයනතාරා වික්‍රමසිංහ

අලුපාට හීන, සිහින සිතුවම් යන ටෙලි සිතුවම්වල මෙන්ම මහරජ ගැමුණු සිනමාපටයේ රංගන අත්දැකීම් ලබා ගනිමින් ඉදිරියට යන්නට උත්සාහ කරන අයකු ලෙස නයනතාරා වික්‍රමසිංහව හඳුන්වා දෙන්න පුළුවන්. ඇයට තවත් නිර්මාණ කිහිපයකට ඇරැයුම් ලැබ තියෙනවා. නයනතාරාගේ අදහස ආදරණීය චරිත ඔස්සේ සිනමාව සරසන්න. ප්‍රියන්ත කොළඹගේ ගේ සිනමාපටවලට ඇය වඩාත් කැමැතියි කියලා කිව්වා. නයනතාරාගේ පදිංචිය වත්තල. වයස අවුරුදු දහ අටයි.