වර්ෂ 2016 ක්වූ ජනවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




පූජාගේ මඟුල ඉවරලු?

පූජාගේ මඟුල ඉවරලු?

දැන් මගේ මඟුල ඉවරයි. දැන් මං ආයෙත් ඇක්ටිංලට එනවා.

පූජා කටකාරව කියවන්නීය. ඇයගේ අලුත් විස්තර අහන ඕනෑ කෙනෙකුට කියන්නේ ඒ වදන්ය. පූජා, මඟුල ඉවරයි කියන්නේ කරදරයක් ඉවර වුණා කියන එකනෙ.

පූජාගේ කතාව අසන වැඩිහිටියන් එලෙස කියන්නේය.

මඟුල නෙවෙයි නම් මොකක්ද ඒ ඉවර වුණේ?

ඇය යළිත් අසයි.

මඟුල නෙවෙයි විවාහ මංගල උත්සවය. නැත්නම් වෙඩින් එක.

එලෙස පූජාට කරුණු පැහැදිලි කර දෙයි.

අයියා මඟුල ක්ලෝස්. දැන් ආයෙත් ඇක්ටිං පටන් ගත්තා.

ආයෙත් පූජා තවකකුට කියනු ඇසෙයි.

මළමඟුලයි.

මඟුලට, විවාහ මංගල උත්සවය යනුවෙන් පවසන ලෙසට පූජාට කියා දුන් තැනැත්තාට එසේ කියවිණ. පේන හැටියට පූජාට මඟුල මඟුලමය. ඒකේ කතා දෙකක් නැත.


ගැයුමට එක් වී

අපට සිටින දක්ෂ නළුවන් අතර කුමාර තිරිමාදුර පෙරමුණේ සිටිනවා. ලැබෙන චරිතයට උපරිම සාධාරණයක් කරන්න පුළුවන් බව ඔහු කිහිප අවස්ථාවකදීම අපිට පසක් කළා. කුමාර ගැන අලුත් ආරංචියක් තියෙනවා. ඒ ඔහු චිත්‍රපට පසුබිම් ගායනයට පිවිසුණ එක.

තිස්ස නාගොඩවිතාන චිත්‍රපට ආයතනයේ නිෂ්පාදනයක් ලෙසින් ළඟදීම රූගත වන රයිගමයයි ගම්පලයයි චිත්‍රපටය සමඟ තමයි කුමාර මෙහෙම චිත්‍රපට පසුබිම් ගායනයට පිවිසිලා තියෙන්නේ. යාළුවොත් එක්ක සෙට් වුණාම කුමාර සින්දු කියන්නේ බඹරා වගේ. ඒ ගැන නම් දන්න අය දන්නවා.

ඒවා එහෙම තියෙද්දී චිත්‍රපට පසුබිම් ගායනයට කුමාර පිවිසුණේ තම හැකියාව තවත් ප්‍රකට කරන්න. අනේ මන්දා කුමාර මෙහෙම සින්දු කියන්න ඇවිල්ලා දැනට ඉන්න පසුබිම් ගායකයන්ට තැනක් නැති වේවිද මන්දා.


දැන් ඉන්නේ නුගේගොඩ

අනෝජා වීරසිංහ අපට කතා කළා ඇගේ පදිංචිය වෙනස් කළා කියලා දන්වන්න. අංක 252, පස්වැනි පටුමග, විමලවත්ත පාර, නුගේගොඩ තමයි අමෝජාගේ නව ලිපිනය.


ලේ වතුර වෙලා

නැඟී එන නළුවා ලෙස සම්මාන දිනූ රුවන් පෙරේරා ජැක්සන් ඇන්තනිගේ සී රජ ටෙලි සිතුවමේ අපූරු චරිතයක් රඟපානවා. නරුබරා නමැති එය සටන්කාමී චරිතයක්. වැඩිපුරම ඉන්නේ ගසක් උඩ හදපු අට්ටාලයක.

නරුබරා වෙනුවෙන්ම ජැක්සන්ලා අති දැවැන්ත ගසක් තෝරාගෙන අට්ටාලයක් හැදුවා. ඒකට නගින්නේ වැල් ඉනිමඟකින්. අට්ටාලෙට උඩින් තවත් වැල් ඉනිමඟක් තියෙනවා. ඒක සම්බන්ධ වෙන්නේ යාබද ඇති අනෙක් ගසට යන්න තිබෙන වැල් පාලමකට.

මේ සියල්ල තියෙන්නේ අඩි හතළිහකටත් වඩා උඩින්. රුවන් ටිකක් කෙට්ටු හාදයෙක් හින්දා එහෙන් මෙහෙන් පැන පැන අට්ටලයට එන්නේ ගස් උඩ යන වඳුරෙක් වගේ. ඔන්න සී රජහි රූගත කිරීමකදී මේ වැල් පාලම දිගේ ඇවිත් අට්ටාලයට වෙනකම් එන්න කියලා ජැක්සන් කිව්වලු.

රුවන්ට මේක තේරිලා තියෙන්නේ බිමටම බහින්න කිව්වා වගේ. ජැක්සන් ඇක්ෂන් කිව්වට පස්සේ කඩි මුඩියේ වැල් පාලම දිගේ ඇවිත් වැල් ඉනිමඟට පැනලා එතනින් අට්ටාලෙට බැස්සලු. ජැක්සන් කට් කියලා නැහැ. රුවන් හිමිහිට ජැක්සන්ලා ඉන්න පැත්ත බැලුවලු. එතැන සිටින සියලු දෙනාම ඔළුවට අත තියාගෙන රුවන් දිහා කන්න වගේ බලාගෙන ඉන්නවලු.

ඔහු ආපු වේගයට එතැන හිටපු අය හොඳටම බය වෙලා කොතැනකදි හෝ පය පැටලිලා රුවන්ව වැටෙයි කියලා. රුවන් බය වෙයි කියලා කෑ ගැහැවුවෙත් නැතිලු. අවසනදී ඒ සීන් එක හොඳට ආවත් විනාඩි කිහිපයක් ගියාලු ජැක්සන් ඇතුළු සීරජ නිෂ්පාදන කණ්ඩායමේ ඇඟවල්වල වතුර වෙලා තිබුණ ලේ යළිත් ලේ බවට පත් වෙන්න.


සල්ලි එපා

භාතිය - සන්තුෂ් කියලා කියන්නේ මෙරට සංගීත ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් කරපු දෙන්නෙක්. දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ ඔවුන් කළ නිර්මාණවලට මල්වලට වැඩියෙන් අවේ ගල්. නමුත් මේ දෙන්නා එදා වගේම අදටත් සිය නිර්මාණ කටයුතු අචලව කරගෙන යනවා. භාතිය සහ සන්තුෂ් සරසවිය සම්මාන උලෙළෙහි ගීතයක් ගයන්නට ආවා. ඒ සඳහා තවත් ගායක ගායිකාවන් කිහිප දෙනෙකු ද සහභාගි වුණා. භාතිය සහ සන්තුෂ් ඒ වෙනුවෙන් ඉදිරිපත් වුණේ ස්වෙච්ජාවෙන්. භාතිය සහ සන්තුෂ් ගී ගයන්ට පැමිණි මුල් යුගයේ බොහෝ මාධ්‍යයන් ඔවුනට පහර පිට පහර ගහලා තියෙනවලු. සරසවිය විතරයි ඔවුන්ව ඉහළට ඔසවලා තියෙන්නේ එදා ඒ කළ උදව් තවමත් මතකයි කියලා මේ දෙන්නා කියනවා. ඇත්තටම සතුටුයි භාතියලා වගේ අයත් කලා ලෝකේ ඉන්න එකට.