වර්ෂ 2016 ක්වූ ජනවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




Bollywood

වරුන්ගේ ඔක්ස්ෆර්ඩ් ආදර කතාව

වරුන් ධවාන්ගේ ආදරය ගැන පසුගිය කාලයේ විවිධ කටකතා පැතිරුණා. ඒ කතා අතරේ ආලියා භාත්ගේ නම ප්‍රධාන වුණත් නැති පැත්තටම මිස ඇති අදරයක් ගැන දෙදෙනා ගෙන් කෙනෙක්වක් පැවසුවෙත් නැහැ. හැබැයි වරුන්ගේ එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ආදර කතාවක් ගැන ආරංචියක් ආවා. හැබැයි මේ ආදරය පටන් ගන්නේ ලබන අප්‍රේල් මාසයේදීයි.

වරුන්ගේ මේ අලුත් ආදරය තියෙන්නේ Judwaa 2 චිත්‍රපටයේදීයි. Judwaa 2 මේ වසරේ තිරගත කරන්න නියමිත හින්දි චිත්‍රපටයක්. වරුන් ආදරය කරන්නේ මේ චිත්‍රපටයේදීයි. තප්සේ පානු සහ ජැක්ලීන් ෆර්නැන්ඩ්ස් වරුන් සමඟින් මෙහි ප්‍රධාන කාන්තා චරිත නිරූපණය කරනවා. ලබන අප්‍රේල් මාසයේදී තප්සේ සහ වරුන් ඔක්ස්ෆර්ඩ්හිදී රූගත කිරීම්වලට දායක වෙන්න නියමිතයි.

වරුන්ගේ තාත්තා ඩේවිඩ් ධවාන් තමයි Judwaa 2 අධ්‍යක්ෂණය කරන්නේ. මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසයේදී Judwaa 2 චිත්‍රපටය තිරගත කරන්න නිර්මාණ කණ්ඩායම බලාපොරොත්තු වෙනවා.


බදු බරෙන් නිදහස් Dangal

අමීර් ඛාන්ගේ Dangal චිත්‍රපටය ගැන කතාබහට ලක් වුණේ එහි වැඩ ආරම්භ කරන්නත් බොහෝ කාලයකට කලින්. චිත්‍රපටය නිර්මාණය කළ කාලයේදී වගේම පසුගිය නත්තලේදී එය තිරගත කිරීම ආරම්භ කළ පසුත් කාගේත් අවධානය යොමු වුණා. සත්‍ය කතාවකින් එය නිර්මාණය කිරීම ඒ අවධානය තව තවත් වැඩි කළා කීවොත් වඩාත් නිවැරදියි.

දැන් ඉන්දීය රජයේ අවධානයත් Dangal චිත්‍රපටයට යොමු වෙලා. නවදිල්ලියේ නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍ය මනීෂ් සිදෝදියා කළ දැනුම්දීමක් අනුව Dangal චිත්‍රපටය නවදිල්ලියේදී බදු ඉවත්කර තිරගත කිරීමට අවස්ථාව ලැබිලා. අමාත්‍ය මනීෂ් සිදෝදියා පවසන්නේ, Dangal චිත්‍රපටය ක්‍රීඩාවේ ජවය ප්‍රචාරය කරන කදිම චිත්‍රපටයක් බවයි.

Dangal අමෙරිකා එක්සත් ජනපදයේ තිරගත කිරීම ආරම්භ කළේ පසුගිය දෙසැම්බර් 21 වැනිදා යි. ඉන්දියාව ඇතුළු ලොවපුරා අනෙකුත් රටවල තිරගත කිරීම සිදු වුණේ දෙසැම්බර් 23 වැනිදා යි. ඉන්දීය රුපියල් කෝටි 70ක වියදමකින් නිර්මාණය කළ එය දැනට ඉන්දීය රුපියල් කෝටි 576ක ආදායමක් උපයාගෙන තිබෙනවා.


අභිෂේක් සමඟින් එන නිළිය

අභිෂේක් බච්චන් රංගනයෙන් දායක වන මීළඟ චිත්‍රපටයට තවමත් නිළියක් නැහැ කියලා බොලිවුඩයෙන් ආරංචි වෙනවා. මේ ජනවාරි මාසයේ මැද භාගයේදී රූගත කරන්න නියමිතව තිබුණත් නිළියක් නැති නිසා රූගත කිරීම් කල්දාන්න සිදු වෙලා.

ප්‍රභූදේවාගේ අධ්‍යක්ෂණයක් වන Lefty නම් මේ චිත්‍රපටය නිසා බොලිවුඩයෙන් තවත් අලුත් මුහුණක් දැක ගන්න ලැබේවි යැයි බොහෝ දෙනා බලාපොරොත්තු වෙන් සිටිනවා. මීට කලින් මේ චරිතය ඓශ්වර්යා රායි බච්චන්ට දෙන කතාවකුත් බොලිවුඩයේ පැතිරුණා. අභිෂේක් සහ ඓශ් Kuch Naa Kaho සහ Guru වැනි චිත්‍රපට කිහිපයක දැක ගන්න ලැබුණත් දිගු කාලයකින් මේ දෙන්නා එකට සිනමාවේ දකින්න අවස්ථාව ලැබුණේ නැහැ.

නමුත් ඒ වෙනුවෙන් ඓශ්ගේ මුහුණ පරිණත වැඩි වෙලා. ඒ නිසා දැන් අලුත්ම කෙනෙක් ගැන අවධානය යොමු වෙලා. මේ දවස්වල ඒ වෙනුවෙන් තිර පරීක්ෂණ පැවැත්වෙනවා. ඒ නිසා Lefty සමඟින් තවත් අලුත් බොලිවුඩ් නිළියකගේ ආගමනය සිදු වේවි. මේ දක්වා රංගනයට විතරක් සිමා වුණු අභිෂේක් Lefty චිත්‍රපටය නිෂ්පාදනයටත් දායක වෙනවා.


පැරණි මිතුරන් අලුත් වැඩකට

සුප්‍රකට සිනමා නිර්මාණකරු කරන් ජොහාර්ට සුපිරි නළු සල්මන් ඛාන් සමඟින් චිත්‍රපටයක වැඩ කරන්න ආසාවක් ඇති වෙලා. ඒ ආසාවට සල්මන්ගේ උපකාරයත් අංක එකෙන්ම ලැබිලා. ඒ නිසා අලුත් අවුරුද්දේ මේ දෙන්නා එකතු වෙලා අලුත් චිත්‍රපටයක් හදන්න සූදානම් වෙලා. මේ චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයට තෝරා ගෙන තියෙන්නේ අක්ෂේ කුමාර්. හැබැයි මේ චිත්‍රපටයට තවම නමක් නම් යෝජනා කරලා නැහැ.

කරන් මේ ගැන මුලින්ම සඳහන් කළේ තම ට්විටර් පිටුවේ. "සල්මන් සමඟ චිත්‍රපටයක් සම නිෂ්පාදනය කරන්න මම ඉන්නේ නොඉවසිල්ලෙන්. අක්ෂේ කුමාර් ප්‍රධාන චරිතයට පණ පොවන ඒ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ අනුරාග් සිංග්. එය ලබන 2018 වසරේදී රිදී තිරයට පැමිණෙනු ඇත" යනුවෙන් එහි සටහන් කර තිබුණා. "අලුත් අවුරුද්දේ කියන්න තියෙන හොඳම නිවේදනය මේක තමයි" සල්මන් සටහන් කළේ එලෙසින්. අක්ෂේත් මේ චිත්‍රපටයේ රඟපාන්න ලොකු උනන්දුවකින් සිටින බව බොලිවුඩයෙන් ආරංචි වෙනවා.

කරන් - සල්මන් - අක්ෂේ බොලිවුඩයේ හොඳ මිතුරන් වුණත් ඔවුන්ට නිතර එකට වැඩ කරන්න නම් අවස්ථා හමු වුණේ නැහැ. මීට පෙර කරන්ගේ ප්‍රථම චිත්‍රපට අධ්‍යක්ෂණය වුණු Kuch Kuch Ho Ta Hai චිත්‍රපටයට සල්මන් දායක වුණා වගේම අක්ෂේ රංගනයෙන් දායක වුණු Brothers චිත්‍රපටය නිෂ්පාදනය කළේ කරන්.


කළුත් නැති සුදුත් නැති චරිතය

සෝනක්ෂි සිංහ 2017දී අලුත් චිත්‍රපට දෙකකට සූදානම් වෙනවාලු. Noor සහ Ittefaq නම් මේ චිත්‍රපට දෙකත් තමාගේ සිනමා දිවියේ සුවිශේෂ වනු ඇති බවට ඇය පවසනවා. පසුගිය වසරේදී ඇය Akira සහ Force 2 ක්‍රියාදාම චිත්‍රපට දෙකට දායක වුණා.

සිනමා නිර්මාණ වෙනුවෙන් දායකවීමේදී සෝනක්ෂි අදාළ නිර්මාණය කෙරෙහි විශේෂ සොයා බැලීමක් කරන්න උනන්දු වෙනවාලු. ඇය දැන් එකඟ වෙන්නේ බොහොම හොඳ අනන්‍ය තිරරචනයක් තිබෙන්නා වූ චිත්‍රපට සඳහා පමණයි. ඒ වගේම මීට පෙර තමා රංගනයෙන් දායක වූ වර්ගවල සිනමා නිර්මාණ සඳහා දායක නොවෙන්නත් ඇය වගබලා ගන්නවා. පසුගිය දිනෙක ඇය අපූරු කාරණයක් සඳහන් කළා.

ඒ යම් සිනමා නිර්මාණයක් තමා වෙත පැමිණි පසු, එහි එන චරිතය තමා තුළ සිටින රංගන ශිල්පිනිය කෙතරම් දුරට අභියෝගයකට ලක් කරන්නේද යන්න තමාගෙන්ම විමසා සිටින බවයි. "මීට කලින් දායක වෙලා නැති චරිතවලට විතරක් දායක වෙන්න මම කැමැතියි" සෝනක්ෂි පවසනවා. "Ittefaq කියන්නේ ඒ වගේ චිත්‍රපටයක්. ඒ චරිතය තැන් දෙකක සිට කෝණ දෙකකින් බලලා කළ යුතු චරිතයක්. ඒ චරිතයට මම හරිම කැමැතියි. ඒක කළුත් නැති සුදුත් නැති චරිතයක්. Noor චිත්‍රපටයේ චරිතයට තමාට ගොඩක් සමීප බව ඇගේ අදහසයි. සුනිල් සිප්පි මේ චරිතය වෙනස්ම ආකාරයෙන් ගෙනවිත් ඇති බවත් සෝනක්ෂි පවසනවා.