වර්ෂ 2016 ක්වූ ජනවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




යුද්ධයක් කියන්නේ පන්තියක ආරවුලක් නොවෙයි

යුද්ධයක් කියන්නේ පන්තියක ආරවුලක් නොවෙයි

ආලෝකෝ උදපාදි සමඟ එන නවක සිනමාකරු චත්‍ර වීරමන්

ඉතිහාසය කියන්නේ බොහොම සංවේදී කාරණයක්. එහිදි අපට අවශ්‍ය විදියට කටයුතු කරන්න බැහැ. එහෙත් නිර්මාණශීලීත්වයත් නිර්මාණයට ගෙනා යුතුයි. මොක ද මේක වාර්තා චිත්‍රපටයක් නොවන නිසා? ඒ කාලයේ භාවිත කළ භාෂාව හා ඇඳුම් - ආඉත්තම් පිළිබඳ පවා අපට බොහොම සැලකිලිමත් වීමට සිදු වුණා. ඒ සම්බන්ධයෙන් විවිධ ප්‍රශ්න පැන නැගුණා.

සිනමාවට අලුතින් ම එකතු වන නවතම චිත්‍රපටය ‘ආලෝකෝ උදපාදි’ ය. ‘ආලෝකෝ උදපාදි’ සිනමා ප්‍රේක්ෂකයන් වෙතට රැගෙන පැමිණෙන්නේ තරුණයෙකි. හේ චත්‍ර වීරමන් ය. ඔහුගේ කුලුඳුල් සිනමා නිර්මාණය වන ‘ආලෝකෝ උදපාදි’ 20 වැනිදා සිට ඊ. ඒ.පී. මණ්ඩලයේ ඇතුළු සිනමා ශාලා පනහක පමණ තිරගත වීමට නියමිත ය. වළගම්බා රාජ්‍ය සමය දක්වා පැමිණි මුඛ පරම්පරා ගත සත් ධර්මය වනපොත් වන අයුරුත්, ඒ කාල සීමාව ඇතුළත සිදු වූ ශාසනික හා සංස්කෘතික පරිහානියත්, දේශපාලන වශයෙන් සිදු වන වෙනස් වීම් අලළා විහිද යන රූප රාමු ඔස්සේ ප්‍රතිනිර්මාණය වන ඉතිහාසයේ එක් පරිච්ජේදයක් පිළිබඳ කියැවෙන ‘ආලෝකෝ උදපාදි’ සිනමා ප්‍රේක්ෂකයන්ට නවතම සිනමා අත්දැකීමක් රැගෙන එයි. ඒ අත්දැකීම රැගෙන පැමිණෙන්නට චත්‍ර වීරමන්ට සම අධ්‍යක්ෂණයෙන් සහය වන අනෙක් තරුණයා භාරත හෙට්ටිආරච්චි ය. මේ පෙළ ගැසෙන්නේ ඔවුන්ගේ නව වෑයම පිළිබඳ චත්‍ර වීරමන් සමඟ ‘සරසවිය’ට කරන ලද සාකච්ඡාවකි.

ඔබගේ පියා වන සමන් වීරමන් හරහා ද ඔබගේ සිනමා ආගමනයට අඩිතාලම වැටෙන්නේ?

ඔව්. පැහැදිලිව ම තාත්තා තමයි ඊට මූලික වන්නේ. කුඩා කාලයේ පටන් ම මා මේ අංශයට යොමු කිරීමට ඔහුට දැඩි ඕනෑකමක් තිබුණා. කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙන ගත් මා උසස් පෙළ හැදෑරුවේ ගණිත අංශයෙන්. ඒ වනවිට අපේ අධ්‍යාපන ක්‍රමය ඇතුළේත් මේ අංශයෙන් යන්න අඩිතාලමක් ගොඩනැඟිලා තිබුණේ නැහැ. ඒ නිසා උසස් අධ්‍යාපනයෙනුයි මේ සම්බන්ධ උපාධියක් හැදෑරීමට මට අවස්ථාවක් උදා වන්නේ. මේ සඳහා මගේ පවුලේ සියලු දෙනා ම මට උදව් කරනවා. ඒ උදව් අර ගනිමින් මැලේසියාට ගිහින් වසර පහක් දක්වා කාලයක් මේ උපාධිය හදාරනවා. ඒ සජීවකරණය හා සිනමාකරණය සම්බන්ධයෙන්. එහිදි මා හැදෑරූ සජීවකරණය විෂය ධාරාව මේ චිත්‍රපටයට බොහෝ ඉවහල් වුණා.

‘ආලෝකෝ උදපාදි’ චිත්‍රපටයට කලින් ඔබ නිර්මාණය කරන්නේ කුමන නිර්මාණයක් ද?

උපාධිය හදාරලා මා මුලින් ම කරන්නේ කෙටි චිත්‍රපටයක්. එහි නම ‘සයිලන්ට් නෝට්’. මේ කෙටි චිත්‍රපටය රටවල් ගණනාවක සම්මාන උලෙළවලට යවලා, සම්මාන රැසක් ම දිනා ගත්තා. ඒ චිත්‍රපටය මා නිර්මාණය කළේ කාටුන් එකක් විදියටයි. පුංචි කාලයේ පටන් ම තාත්තා කළේ විවිධ කාටුන් ගෙනැත් මට නරඹන්න දීමයි. ඒ නිසා මට ඒ කාලයේ පටන් ම එවැනි නිර්මාණ කිරීමේ ආසාවක් ඇතිවෙලයි තිබුණේ. මේ මූවී මැජික් එක ගැන මගේ සිතේ කැමැත්තක් උපදින්නේ පුංචි කාලයේ පටන්මයි. ඒ අනුවයි මා තාක්ෂණය අංශයෙන් ඉදිරියට යෑමට තීරණය කළේ. පාසල් කාලයේදිත් මා එක් එක් මෘදුකාංග සොයාගෙන පුංචි පුංචි නිර්මාණ කළා. එහිදී ඇති වුණු ආශාවයි මා මැලේසියාවට යැව්වේ. විශේෂයෙන් ම සජීවීකරණ විෂය ධාරාවට මා පුදුම විදියට ආදරය කළා. එහි මා ආශා කළ දේ වුණේ අජීවී වස්තුවලට කොහොම ද? මිනිස් අංග චලනය, චර්ය රටා ආරෝපණය කරන්නේ කියන කාරණය. ඒ අනුවයි මා ‘සයිලන්ට් නෝට්’ නිර්මාණය කරන්නේ. ඊට අමතරව මා වාර්තා චිත්‍රපට හා කෙටි චිත්‍රපට කිහිපයකුත් නිර්මාණය කරනවා.

‘ආලෝකෝ උදපාදි’ චිත්‍රපටය බිහි වන පසුබිම නිර්මාණය වන්නේ කෙසේ ද?

මැලේසියාවෙන් නැවතත් මා ශ්‍රී ලංකාවට පැමිණෙන විට තාත්තා ‘සිද්ධාර්ථ ගෞතම’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර වාණිජමය අතින් සාර්ථකත්වයක් ලබලයි තිබුණේ. ඒ නිසා ඔහුට උවමනා වුණේ ඒ නිර්මාණයට සමානව යන කතා තේමාවක් ඔස්සේ යන දෙවන කොටසක් නිර්මාණය කරන්නයි. ඒ අනුවයි ‘ආලෝකෝ උදපාදි’ කතා වස්තුවට අදාළ තිරරචනය නිර්මාණය වන්නේ.

එහෙත් ‘සිද්ධාර්ථ ගෞතම’ චිත්‍රපටයේදී හා ‘ආලෝකෝ උදපාදි’ චිත්‍රපටවලින් කතාබහ කෙරෙන්නේ වෙනස් ම වූ කාරණායි. එවිට ‘සිද්ධාර්ථ ගෞතම’ චිත්‍රපටයේ දෙවැනි කොටස ලෙස ‘ආලෝකෝ උදපාදි’ චිත්‍රපටය ගැනීම උචිත ද?

ධර්මාශෝක රජුගේ පටන් බෞද්ධ දර්ශනය ප්‍රචාරයට වුණු මෙහෙය, මහින්දාගමනය යන ඒ කුරුණු ගත්තට පස්සේ මේ චිත්‍රපටයට අදාළ වූ කතා වස්තුවත් ඉතිහාසයේ විශේෂ ස්ථානයක් සනිටුහන් කරනවා. ඒ කාරණය මූලාශ්‍රවලත් සටහන් වන්නක්. මෙලෙස වළගම්බා රාජ්‍ය සමයේ බෞද්ධ දර්ශනය සටහන් නොකරන්න මතු පරපුරට බෞද්ධ දර්ශනයක් ඉතුරු නොවීමට ඉඩ තිබුණා. ඒ වනවිටත් භික්ෂූන් වහන්සේලා ත්‍රිපිටකය රැගෙන පැමිණියේ මුඛ පරම්පරාවෙන්. මේ චිත්‍රපටයේ සිදුවුණු සිදුවීම් සමඟ යතිවරයන් වහන්සේලා තීරණය කරන්නේ පුස්කොළ පොත්වල සටහන් කිරීම මඟින් ත්‍රිපිටකය ඉදිරියට රැගෙන යන්නයි. ‘සිද්ධාර්ථ ගෞතම’ චිත්‍රපටයේ ම දෙවැනි කොටස ලෙස ‘ආලෝකෝ උදපාදි’ නොසැලකුණත්, ඒ නිර්මාණය මූලික කරගෙනයි මේ චිත්‍රපටය නිර්මාණය වන්නේ. බෞද්ධ දර්ශනය විකාශනය වීමේ සංදිස්ථානයක් ලෙසයි මේ සිදු වීම ගැනෙන්නේ.

‘ආලෝකෝ උදපාදි’ චිත්‍රපටය තිරයට රැගෙන පැමිණීම පසු පස ඔබට සම අධ්‍යක්ෂණයෙන් සහය වුණු භාරත හෙට්ටිආරච්චි ඇතුළු බොහෝ තරුණයන් පිරිසක් සිටි බවයි පෙනෙන්නේ?

සම අධ්‍යක්ෂණයෙන් සහය වුණු භාරත හෙට්ටිආරච්චි මට මුණ ගැසෙන්නෙත් මේ උපාධිය හැදෑරීම හරහා. ඔහු වගේ ම මේ චිත්‍රපටයට දායක වුණු තවත් තරුණයන් කණ්ඩායමක් ම ඉන්නවා. ඔවුන් සියලුදෙනා ම මට මුණ ගැසෙන්නේ මැලේසියාවේදී. කලත් වර්ණකුලසූරිය, ෂෙහාන් ඔබේසේකර, සමීර ප්‍රනාන්දු කියන මේ පිරිසයි චිත්‍රපටය සම්බන්ධයෙන් මට සජීවීකරණය සම්බන්ධ තාක්ෂණික දේවල් නිර්මාණය කිරීමට සහය වන්නේ.

සාර්ථක චිත්‍රපටයක් නිර්මාණය කිරීම භාරධුර කාර්යයක්. අවසානයේ කුමක් වුවත් එහි අවසන් බර දැරිය යුතු වන්නේ නිෂ්පාදකවරයායි. මේ වනවිටත් බොහෝ අත්දැකීම් නැති පිරිසකට මේ සා භාරධුර කාර්යයක් භාර දීමට නිෂ්පාදකවරයා කැමැති වූවා ද?

තාත්තා එතැනදි ගත්ත තීරණයක් අනුවයි අප සියලුදෙනාට ම මේ නිර්මාණයට දායක වීමට අවස්ථාව උදා කරන්නේ. අපේ වැඩ කිරීම කෙසේ වෙතත්, අපට එකට වැඩ කිරීමට ලැබීමයි වැදගත් කාරණයක් වන්නේ. මෙහි සංගීත අධ්‍යක්ෂවරයා වන මිලින්ද තෙන්නකෝන් චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කරන විටත් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපාධිය හදාරමිනුයි සිටියේ.

එවැනි ආධුනිකයකුට සංගීත අධ්‍යක්ෂණයට එන්න කියලා ආරාධනා කිරීම මඟින් තැබුව විශ්වාසය වන්න ඇති චිත්‍රපටයේ සාර්ථකත්වය පසුපස තිබෙන්නේ. මෙහි වැඩ කළ අනෙක් තරුණ පිරිසටත් මේ කාරණය ම අදාළයි.

තාත්තා මේ තරුණ පිරිස කෙරේ තැබුව විශ්වාසය ම නිෂ්පාදක තුසිත විජේසේන මහත්තයත් අප කෙරේ තැබුවා. තාත්තාගේත්, ඔහුගේත් තිබුණු යහළුකම මතයි සියල්ල සිදු වුණේ. අප වැනි තරුණ පිරිසක් මෙතෙක් ලොකු වැඩක් නොකර තිබුණත්, අප ඉදිරියට පැමිණිය යුතුය කියන මතයේ තුසිත මහත්තයා නිතර ම සිටියා. ඒ අනුවයි ඔහු වැනි නිෂ්පාදකයකු අපේ තරුණ පිරිසට අත දෙන්නේ. ෂම්මු වැනි නවක රංගන ශිල්පියකුට වුණත් ඒ කාරණය අදාළයි.

ඉතිහාසය නිර්මාණශීලී ලෙස නිර්මාණයකට රැගෙන පැමිණීමට නම් දින කිහිපයක අධ්‍යයනයකින් නොහැකියි. ඒ අධ්‍යයනය සිදුකළේ කෙසේ ද?

ඉතිහාසය පිළිබඳ අපගේ දැනුම අල්ප වුණත්, වළගම්බා රාජ්‍ය සමය පිළිබඳ සිදුවීම්වලට අදාළව ඒ කාලයේ සමාජ ක්‍රමය, ආර්ථිකය, රාජ්‍ය තන්ත්‍රය ක්‍රියාත්මක වුණේ කොහොම ද කියන කාරණා ගැන අප අධ්‍යයනයක නිරත වුණා. ඒ යුගයේ තිබුණු ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ වෙන ම අධ්‍යයනයක් සිදු කළා. අධ්‍යක්ෂවරු විදියට මුළු ඉතිහාසය පිළිබඳ අවබෝධයක් නැතිවුණත් මේ රාජ්‍ය සමයට පෙර හා පසු කාලය පිළිබඳම අවබෝධයක් අප සතුවිය යුතුයි. මෙහි පෙර නිෂ්පාදන කටයුතු සඳහා අපට මාස අටක පමණ කාලයක් ගත වුණා. ඒ කාලය පුරා අප සමඟ ඉතිහාසඥයන් හා චිත්‍ර ශිල්පීන් රැසක් සිටියා. ඔවුන්ට පුළුවන් වුණා අප දිශානතිය වෙස් කරනවා නම් අපව හරි මඟට ගන්න. ඔවුන්ගේ උපදෙස් අනුවයි මේ සෑම දෙයක් ම කළේ. අප චිත්‍ර ශිල්පීන්ගේ උදව් ඇතිව චිත්‍රපටයේ සෑම දර්ශන තලයක් ම රූපයට නැගුවා. ඒ ඒ අය කොතැන ද ස්ථාන ගත වන්නේ කියලා එහි සඳහන් කළා. එලෙස චිත්‍රයට නැගුණු ස්ටෝරි බෝඩ් පැනල්ස් ම දාහකට ආසන්න ප්‍රමාණයක් අප සතුයි. ඒ අධ්‍යයනයෙන් පසුවයි අප රූ ගත කිරීම්වලට යන්නේ.

එවිට අතීතයේ තිබුණු බොහෝ දේම රූපයට නැඟිය හැකියි ද?

ඉතිහාසය කියන්නේ බොහොම සංවේදී කාරණයක්. එහිදි අපට අවශ්‍ය විදියට කටයුතු කරන්න බැහැ. එහෙත් නිර්මාණශීලීත්වයත් නිර්මාණයට ගෙනා යුතුයි. මොක ද මේක වාර්තා චිත්‍රපටයක් නොවන නිසා? ඒ කාලයේ භාවිත කළ භාෂාව හා ඇඳුම් - ආඉත්තම් පිළිබඳ පවා අපට බොහොම සැලකිලිමත් වීමට සිදු වුණා. ඒ සම්බන්ධයෙන් විවිධ ප්‍රශ්න පැන නැගුණා. එහෙත් ඉතිහාසයට සාධාරණයක් ඉටු කිරීම සඳහා එකල තිබුණු භාෂාව හා ඇඳුම් භාවිත කළ නොහැකි වුණා. එහෙම වුණා නම් අප කියන්නට යන පණිවුඩය සිනමා ප්‍රේක්ෂකයන්ට නොවැටහී යන්නට තිබුණා. අපට පුළුවන් වුණේ නිර්මාණයක් මඟින් විශ්වසනීයත්වය ගොඩනැඟීමට පමණයි. මේ සියලු දේ කළේ ඉතිහාසඥයන් හා චිත්‍ර ශිල්පීන් රැසකගේ උපදෙස් මතයි.

මේ චිත්‍රපටයේ රූපරාමු සිනමාත්මකව ඉදිරිපත් කිරීම මඟින් සිනමා ප්‍රේක්ෂකයන්ගේ සිත්පැහැර ගැනීමට සමත් වී ඇති බවයි අපට පෙනෙන්නේ?

මා මේ පවසන්නේ මිසෝන් සෙන් කියන සංකල්පය ඇතුළේ අපි රූපරාමුවක් සකස් කරන්නේ කොහොම ද කියන කාරණය බොහොම වැදගත් බවයි. එහිදී පසුතලය, ඇඳුම් - පැලඳුම්, චරිතයේ තිබෙන රංගන ධාරිතාව කියන කාරණා සමඟයි කැමරා කෝණය ලොකු සහයෝගයක් දෙන්නේ. මේ කියන සියලු ම දේ එකම විදියට වැඩ කළේ නැත්නම් හොඳ රූපරාමුවක් ගොඩනැඟෙන්නේ නැහැ. ඒ නිසා අප මේ එකින් එක පිළිබඳ වෙන වෙන ම සොයා බැලුවා. ඇඳුම් - පැලඳුම්වල වර්ණ පසුතලත් එක්ක ගැළපෙන්නේ කොහොම ද?, අප භාවිත කළේ චිත්‍රපටයට ගැළපෙන වර්ණ සංයුතියක්. ඉන් පිටතට අප ගියේ නැහැ. වර්ණ සංයෝජනය පිළිබඳ දැනගෙනයි අප ඒ රූප රාමුවලදි අවශ්‍ය ආලෝකකරණය ඇතුළු අනෙක් දේවල් සමඟ භාවිත කළේ. කැමරා ශිල්පියා, ආලෝකකරණ ශිල්පියා මෙහි දැවැන්ත කාර්යයක් කර තිබෙනවා තමයි, නමුත් යම් කෙනෙකුට රූප රාමුවක් මනා ලෙස දර්ශනය වීම ඇතුළේ ඒ හා සම්බන්ධ සෑම අංශයක් ම අගය කිරීමට ලක්විය යුතුයි. ඒ අතර කුමාර කරව්දෙණිය, ජයන්තා රණවක, සුනිල් විජේරත්න, අජිත් හක්වැල්ල, ප්‍රභාත් රෝෂන්, නිර්මාණකරණයේ යෙදුණු කණ්ඩායම් ද ඇතුළත්.පෙර නිෂ්පාදන කටයුතුවලදී මේ සියලු දේ සම්බන්ධයෙන් ම අපගේ අවධානය යොමුවෙලයි තිබුණේ.

ආලෝකෝ උදපාදි’ චිත්‍රපටයේ භාවිත කරන සමහර කපන කොටන දර්ශන නිසා ජාති අතර යම් වැරැදි වැටහීමක්, ජාතිවාදි හැඟීමක් සිනමා ප්‍රේක්ෂක සිත්සතන්වල ගොඩනැඟෙනවා නේද?

නිර්මාණකරුවන් විදියට එවැනි දෙයක් සිනමා ප්‍රේක්ෂක සිත්වල නිර්මාණය කරන්න අප උත්සාහ ගත්තේ නැහැ. ඒ කියන කාරණය පුද්ගයන් සාපේක්ෂව දකින දෙයක් මිසක් නිරපේක්ෂව වන දෙයක් විදියට මා දකින්නේ නැහැ. ඉතිහාසයේ මෙවැනි කාරණයක් ඉදිරිපත් කර තිබෙනවා නම් අප ඇයි එය ඒ ආකාරයෙන් ම ඉදිරිපත් නොකරන්නේ. ඒ නිසා අප අලුතින් විකෘති කිරීමක් මේ නිර්මාණය ඇතුළේ කරලා නැහැ. ඒ නිසයි අප දෙමළ භාෂාවම චිත්‍රපටයේදී භාවිත කරන්නෙත්. මේ ආක්‍රමණිකයන් පැමිණියේ චෝල දේශයෙන්. ඔවුන් කතා කරන්නෙත් දෙමළ භාෂාවයි. අප ඉතිහාසයේ එන කරුණුවලට සාධාරණයක් කරනවා නම් ඔවුන්ගේ භාෂාවත් වෙන්න ඕන දමිළ භාෂාවට සමාන ඊට ආසන්නයෙන් යන භාෂාවක්. ඉන් මා පෙන්වන්නේ නැහැ ජාතියක්ව නියෝජනය කරන්න. ඔවුන් සමහර විට මුහුදු මංකොල්ලකරුවන් විය හැකියි. අපේ රටට බොහෝ ආක්‍රමණිකයන් පැමිණියේ එහි තිබෙන සම්පත් රැගෙන යෑමේ අදහසෙන්. ලංකාව ඇතුළේදී සිදු වී තිබෙන්නේ මේ ද්‍රවිඩ ආක්‍රමණය පමණක් නොවෙයි. විදේශීය ආක්‍රමණත් ගණනාවක් පැමිණ තිබෙනවා. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි එල්ල කළ ඒ ආක්‍රමණවලදිත් අප ඒවාට ජාතිවාදිත්වයක් ආරෝපණය කර ගන්නවා ද? එහෙම වන්නේ නැහැ. අප සාපේක්ෂව දරන මතයයි සිනමා ප්‍රේක්ෂකයාට දැනෙනවා නම් දැනෙන්නේ.

ඔබ පවසන්නේ සිනමාකරණයේදී එවැනි අදහසක් මතු කිරීමට ඔබගේ සිතේ අදහසක් නොපැවතුණු බව ද?

අප සැමවිට ම බැලුවේ ඉතිහාසයේ එන කරුණු ඒ ආකාරයෙන් ම උපුටලා අරගෙන ඉදිරිපත් කරන්නයි. යුද්ධයක් කියන කොට ඒක පාසලක පන්තියක වන පොඩි ආරවුලක් නොවෙයි නේ. එය දැවැන්ත විදියටයි පෙන්විය යුත්තේ.

ඉතිහාසය කියන්නේ ප්‍රබන්ධයක්. එහි පැවසූ බොහෝ දේ ඒ ආකාරයෙන් විය හැකි දැයි යමෙකුට ඔබගෙන් විමසිය හැකියි?

අපි ප්‍රබන්ධය කියන එකෙන් බැහැරව ගියා කියලා සිතන්න. එවිට අපව හංවඩු ගහන්නේ ඉතිහාසය විකෘති කළා කියලා. එහෙම නම් නිර්මාණකරුවන් විදියට අප කොතැනද නතර විය යුත්තේ කියන ප්‍රශ්නය මගේ සිතේ පැන නැඟෙනවා. හැබැයි ඉතිහාසය ප්‍රබන්ධයක් තමයි, මහාවංශය බොරු, අපට ඕනෑ ම දෙයක් කරන්න පුළුවන් කියලා සිතාගෙන නිර්මාණයක් කළා කියලා සිතන්න. එතැනදිත් අපව හංවඩු ගහනවා. ඒ “ඔන්න ඉතිහාසය විකෘති කළා. බොරු රජ කතා හදන හොරු සෙට්එකක්” කියලා. මේ නිසා අපට පුළුවන් වුණේ මූලාශ්‍රවලට එකඟව දේවල් නිරූපණය කරන්නයි. ඒත් ඒක ඇතුළේදි අප සිනමාත්මකව දේවල් නිරූපණය කළා. සමහර දේවල් අතිශයෝක්තියකින් යෙදෙන්න ඇති. ඒක මේ ජාතිවාදිත්වය අවුස්සන්න වත්, සංහිඳීයාව නැති කරන්නවත් කළ දෙයක් නොවෙයි. ආක්‍රමණිකයන් නිසා සිදු වුණු අතුරු ප්‍රතිඵලයයි අප මෙතැනදි පෙන්වා දෙන්නේ. ඒක පැහැදිලිව ම කිව යුතු කාරණයක්.

‘ආලෝකෝ උදපාදි’ චිත්‍රපටයේ දී ඔබ එක ම විදියේ දර්ශන සහිත රූපරාමු නිතර නිතර භාවිත කිරීම නිසා චිත්‍රපටය නැරැඹීමේදී සිනමා ප්‍රේක්ෂකයාට ඇති වන කම්මැලි බව වැළැක් විය නොහැකියි?

කෙනෙකු ඒ නිර්මාණය ගැන සිතන අයුරු අනුවයි එය සිදු වන්නේ. එය සාපේක්ෂයි. යුද්ධය සම්බන්ධයෙන් තිබෙන ඒ දර්ශන වරින්වර පෙන්වන්නේ මේ සිදුවීම් ශ්‍රී ලංකාවේ සමස්ත සමාජයට ම බලපෑ බව හා දීර්ඝ කාලීනව සමාජයට සිදු වුණු බලපෑම පෙන්වන්නයි. ඒ සඳහායි ඒ බව තැන් කිහිපයකින් ම ඉදිරිපත් කර පෙන්වන්නේ. භික්ෂූන් වහන්සේගේ දර්ශන වරින්වර පෙන්වීමෙන් සිදු කරන්නේ ගාථා පාඨ හඬ නඟා ගැයීමෙන් ගාථා පාඨ සිනමා ප්‍රේක්ෂකයන් ඉදිරියේ තැබීම නොවෙයි. එතැනදි මොන වගේ මෙහෙවරක් ද බෞද්ධ දර්ශනය ආරක්ෂා කර ගැනීමට උන් වහන්සේලා කළේ කියලා හඟවන්නයි. එය එක් දර්ශනයකින් පෙන්නුම් කරලා හරියන්නේ නැහැ. ඒ නිසයි දර්ශන රැසකට ගියේ. අනෙක් කාරණය නම් මේ හැම දර්ශනයක් ඇතුළේ ම ප්‍රධාන කතා ධාරාවට සම්බන්ධ වන වෙන මොකක් හෝ ස්ථානයක් ස්පර්ශ කරනවා. ඒ නිසා ඒක නැවත පෙන්වන දර්ශනයක් පමණක් නොවෙයි, ප්‍රධාන කතා ධාරාවට සම්බන්ධ වන වෙන මොකක් හෝ දෙයක් ඉදිරිපත් වෙනවා. මේ කියන කාරණා අප නිර්මාණශීලී ලෙස රූපරාමු මඟින් තිරයට ගෙනාවා.

ඔබ මෙහිදි සංගීතය යොදා ගන්නෙත් වෙනස් ම ආකාරයෙන්?

සංගීත අධ්‍යක්ෂවරයාත් සමඟ මා ළඟින් ම ඉඳගෙන වැඩ කළා. මේ චිත්‍රපටයේ සංගීතය ඉවත් කළොත් චිත්‍රපටයක් නැති තරම්. සමහර චරිත දෙබස්වලින් කිව යුතු දේ ඉදිරිපත් වුණෙත් සංගීතයෙන්. අප එය සූක්ෂ්මව කළ දෙයක්. මේ සංගීතය නිර්මාණය කළේ සජීවවයි. පරිගණකයෙන් ගත්ත සංගීත ඛණ්ඩ කිසිවක් මෙහි නැහැ. සංගීත අධ්‍යක්ෂවරයා උපරිම ආකාරයෙන් ඒ වගකීම නියම අයුරෙන් වටහාගෙන කටයුතු කළ බව මට කිව හැකියි. මෙහිදි සංගීතය පමණක් නොවෙයි, ශබ්ද පරිපාලනය කියන අංශයේ එකතුවත් නියම අයුරෙන් සංකලනය වීමෙනුයි මේ සියලු දේ සිදු වුණේ.