වර්ෂ 2016 ක්වූ ජනවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




සිනමා කිවිඳියගේ වෛෂ්ණාවී ළඟදිම තිරයට

සිනමා කිවිඳියගේ වෛෂ්ණාවී ළඟදිම තිරයට

මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ කතාවක් අනුව හෙළ සිනමාවේ කිවිඳිය සුමිත්‍රා පීරිස්ගේ නවතම සිනමා කෘතිය වන වෛෂ්ණාවී චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේදී පැවැත්විණ. චිත්‍රපටය නැරැඹූ බොහෝ දෙනා එය සුමිත්‍රා පීරිස්ගේ විශිෂ්ටතම චිත්‍රපටයක් ලෙස පෙන්වා දුන්හ. එහි තිර රචනය නිමකොට ඇත්තේ අපට සිටි අති දක්ෂ තිරකතා රචකයකු මෙන්ම විශිෂ්ට රංගධරයකු වූ ටෝනි රණසිංහ විසිනි. හඳුන්වා දෙන සමාධි අරුණඡායා සමඟ තුමිඳු දොඩන්තැන්න, අයිරාංගනීණී සේරසිංහ, ජයලත් මමෝරත්න, ක්ලීටස් මෙන්ඩිස්, වීණා ජයකොඩි, වසන්ති චතුරාණි, රෝහණ බැද්දගේ, රොෂාන් පිලපිටිය වෛෂ්ණාවි රංගනයෙන් හැඩ කරති. වෛෂ්ණාවිහී නළු නිළියන් හැඩ ගැන් වූ දෙදෙනාම අද අපෙන් සදහටම සමුගෙන ගොසිනි. ඒ ඊබට් විජේසිංහ සහ රංජිත් මතඟවීරයි. සංගීතය සැපයු නිමල් මෙන්ඩිස් ද අද අප අතර නැත. චමත් පරණවිදාන වෛෂ්ණාවි සංස්කරණය කොට ඇත. මනෝ නානායක්කාර වෛෂ්ණාවී නිෂ්පාදකයි. වෛෂ්ණාවි තව නොබෝ දිනකින් තිරගතවීමට නියමිතයි.


සරසවිය නියෝජ්‍ය කර්තෘ ආචාර්ය නුවන් නයනජිත් කුමාරගේ “ඔතපුවන් නුවණ” එළිදකී

සරසවිය සිනමා පුවත්පතෙහි නියෝජ්‍ය කර්තෘ ප්‍රවීණ කලා විචාරක ආචාර්ය නුවන් නයනජිත් කුමාර විසින් විරචිත "ඔතපුවන් නුවණ" නම් වූ අභිනව ශාස්ත්‍රීය විචාර ග්‍රන්ථය මෙම මස 20 වැනිදා එනම් හෙට සවස 3 ට කොළඹ 07 ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී ජනගත වේ. ප්‍රවීණ සාහිත්‍යධර කරුණාරත්න අමරසිංහ සූරීන් මෙහි මුලසුන හොබවන අතර දිලීප අබේසේකර, මහින්ද ප්‍රසාද් මස්ඉඹුල, අශේන් මංජුල යන නිර්මාණවේදිහු මෙදින දෙසුම් පවත්වති. සම්පත් සල්පිටිකෝරාල, නිශාන්ති සල්පිටිකෝරාල ප්‍රතිභාන්විත පූරක දායකත්වය සපයති. මෙම ග්‍රන්ථය බෞද්ධ දර්ශනය පදනම් කොට ලාංකේය කලා විචාර ක්‍රමවේදයක් බිහි කිරීම උදෙසා ආචාර්ය නුවන් නයනජිත් කුමාර සිදු කළ පර්යේෂණවල තවත් දිගුවකි. බෞද්ධ දර්ශනය, කලා විචාරය, සාහිත්‍ය, සංගීතය, සිනමාව, වේදිකා නාට්‍ය, ගුවන් විදුලිය, රූපවාහිනිය සහ ප්‍රවීණ කලාකරුවන් අරභයා ලියවුණ ශාස්ත්‍රීය විචාර ලිපි 35 ක් මෙම ග්‍රන්ථයට ඇතුළත් වේ. ඔතපුවන් නුවණ ග්‍රන්ථය ජනගත කිරීමේ උලෙළ පන්සිළු කලා කේන්ද්‍රයේ සංවිධානයකි. ග්‍රන්ථය සරසවි ප්‍රකාශනයක් ලෙස එළිදකියි. මෙය ආචාර්ය නුවන් ලියූ 12 වැනි ශාස්ත්‍රීය කෘතියයි.


බෙනට් පූනා ජූරියට

පූනා අන්තර් ජාතික සිනමා උලෙළේ මෙවර විනිශ්චය මණ්ඩලයට සරසවිය සම්මාන දිනූ සිනමාකරු බෙනට් රත්නායක සහභාගි වෙයි. මෙවර ඔහුගේ නවතම සිනමාපටය වන නෙලා හි විශේෂ දර්ශනයක් ද සිනමා උලෙළේදී පැවැත්වේ.


 

වැල්ලවත්ත රොක්සි - සැවෝයි ප්‍රිමියර් නමින් ත්‍රිමාණ වෙයි

මෙරට පැරණිතම සිනමාහලක් වන වැල්ලවත්ත රොක්සි සිනමාහල හෙට (ජනවාරි 20) සිට යළි ප්‍රදර්ශනය ඇරඹේ. ත්‍රිමාණ සිනමාහලක් ලෙසින් ප්‍රදර්ශනය අරඹන එය නම්කර ඇත්තේ ‘සැවෝයි ප්‍රිමියර්‘ නමිනි.


කැපිටල් අලුත් වෙලා

කොළඹ ශ්‍රී සංඝරාජ මාවතේ පිහිටි කැපිටල් සිනමා ශාලාව ඩිජිටල් තාක්ෂණයෙන් යුතුව යළි පසුගියදා විවෘත කෙරිණ. සීමාසහිත සිනමාස් සමාගම යටතේ පවතින කැපිටල් මෙරට ඇති පැරැණිතම සිනමා ශාලාවකි. එහි චිත්‍රපට තිරගත වනුයේ දමිළ ප්‍රේක්ෂකයන්ව ඉලක්ක කොටගෙනය. කැපිටල් යළි විවෘත කෙරුණු පසු පළමුව තිරගත වූයේ විජේ රඟන නවතම සිනමාපටය වන බයිරවා චිත්‍රපටයයි.


 සියයට සියයක් නිළියන් විතරමයි සේයා වැඩ හෙට ඇරැඹෙයි

මෙරට ප්‍රථම වතාවට රංගන ශිල්පිණියන් පමණක් රංගනයේ යෙදෙන සිනමා සිතුවමක මූලික වැඩ කටයුතු හෙට දින ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී පැවැත්වෙන මුහුරත් උලෙළකින් පසුව ආරම්භ වේ. සේයා ලෙසට නම් කොට ඇති එය කල්‍යාණ චන්ද්‍රසේකරගේ අධ්‍යක්ෂණයකි. සේයා ඔහුගේ සිව්වැනි සිනමා අධ්‍යක්ෂණය වේ.

දිල්හානි ඒකනායක, දීපානි සිල්වා, මානෙල් වානගුරු, උදාරි පෙරේරා, මැණික් විජේවර්ධන, නිරෝෂා මෛත්‍රි, සිනෙති අකිලා, තුෂාරි වේහැල්ල, කුමාරි මුණසිංහ, ඉන්දිකා සුභසිංහ, මානෙල් චන්ද්‍රලතා, මල්කි ප්‍රනාන්දු, හෙලන් රෙනොල්ඩා ආදී නිළියන් සේයාහි චරිත මවනු ඇත. ඒ. පාරිස්ටර් සහ තරංග අතුරලිය නිෂ්පාදනය කරන මෙහි කැමරාව මෙහෙයවීම ලාල් ඩයස්ගෙනි. සරත් වික්‍රම සංගීත අධ්‍යක්ෂවරයාය. සම්පත් රත්නායක සහාය අධ්‍යක්ෂණයෙන් දායකවේ. බන්දුල වීරසේකරගේ කලා අධ්‍යක්ෂණයකි. ගුණවර්ධන එදිරිසිංහ නිෂ්පාදන කළමනාකරණයෙන්ද ජින්ජර් සහ චිත්රු පාඨලී ගායනයෙන්ද, සංජය නිපුණආරච්චි අංග රචනයෙන් ද දායක වන මෙහි ඇඳුම් නිර්මාණය කුමුදු ළමාහේවාගෙනි. සංස්කරණය රුවන් චාමර සහ ශබ්ද පරිපාලනය ශෂික රුවන් මාරසිංහගේ දායකත්වයෙන් නිර්මාණය වනු ඇත.


දුප්පතාගේ දුක - වනමෝහිණී ඩී වී ඩී එළිදකී

කේ. ගුණරත්නම්ගේ චිත්‍රපට තිස්ස නාගොඩවිතාන අතින් තැටියට

ලාංකික සිනමාවේ පනහ දශකයේ බිහි වූ අතිශය ජනප්‍රිය චිත්‍රපට යුගලක් පසුගිය දිනෙක ඩී වී ඩී මාධ්‍යයෙන් දොරට වැඩිණ. ඒ සිනමාස් සමාගම නිෂ්පාදනය කළ දුප්පතාගේ දුක සහ වනමෝහිණී චිත්‍රපට යුගලයි. එදා අතිශය ජනප්‍රිය වූ සිනමාස් සමාගමේ චිත්‍රපට ඩි වී ඩී ලෙස මුල්වරට එළි දකින්නේ මේ සමඟය. ඒ චිත්‍රපට සංරක්ෂක තිස්ස නාගොඩවිතානගේ ඉදිරිපත් කිරීමක් හැටියටය. වික්ටර් හියුගෝගේ ලේ මිසරාබල් (මනුතාපය) ඇසුරෙන් ඒ මිත්‍රදාස් අධ්‍යක්ෂණය කළ දුප්පතාගේ දුක චිත්‍රපටය 1956 දී තිරගත වූවකි. එහි ලැඩී රණසිංහ, කාන්ති ගුණතුංග, මාක් සමරනායක, ස්ටැන්ලි පෙරේරා, ගර්ලි ගුණවර්ධන, උදුලා දාබරේ, හියුගෝ ප්‍රනාන්දු ආදීන් චරිත මවයි. මිත්‍රදාස් දැනට ලොව ජිවත්වන වැඩිමහළුම සිනමාකරුවාය. ඔහුගේ වයස අවුරුදු 99 කි.

1959 වසරේ තිරගත වූ එවකට මහත් ආන්දෝලනාත්මක කතාබහකට ලක් වූ වනමෝහිණී චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ එවකට දකුණු ඉන්දීය සිනමාවේ මෝගල්වරයා ලෙස සැලකූ මොඩර්න් තියටර්ස් ආයතනයේ අධිපති ටී. ආර්. සුන්දරම්ය. එහි හියුගෝ ප්‍රනාන්දු, කාන්ති ගුණතුංග, හර්බි සෙනෙවිරත්න, පියදාස ගුණසේකර, රෝහිණී ජයකොඩි, රිචර්ඩ් ඇල්බට්, ඩේවිඩ් ධර්මකීර්ති, ටී. ඩී. එලිසබෙත් ඇතුව නළු නිළියන් රාශියක් චරිත මවති. ජනප්‍රිය ගීත රාශියක් ඇතුළත් මේ චිත්‍රපට යුගලය සංගීතවත් කළේ ටී. දක්ෂිණමූර්ති විසිනි. නිෂ්පාදනය කේ. ගුණරත්නම්ගෙනි.