වර්ෂ 2016 ක්වූ ජනවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




වස්සානයේ සඳ

මෙතෙක් කතාව

සන්දේශ් හා මිහිරි යනු විවාහ ගිවිස ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින පෙම්වතුන් යුවලකි. මිහිරිට 'ඩවුන් ඩින්ඩ්‍රොම්' නැමැති බුද්ධි හීන ආබාධයෙන් පසුවන බාල සොහොයුරෙකු සිටින බව දැන ගැනීමෙන් පසු සන්දේශ් සහ ඔහුගේ දෙමව්පියෝ තරමක් වික්ෂිප්ත තත්ත්වයකට පත් වෙති. විවාහයෙන් පසුවත් සහෝදරයා තමන් සමඟ සිටිය යුතු බවක් ද මිහිරි පවසා සිටී.

සන්දේශ් හා ඔහුගේ මවත් පියාත් දිනක් මිහිරිගේ සහෝදරයා වන 'එරංග' බැලීමට ඇයගේ නිවසට යති. එහිදී එරංගගේ දඩබ්බර, බොළඳ හා අහිංසක ක්‍රියාවන් දැක සන්දේශ් හා ඔහුගේ දෙමව්පියෝ දුකටත්, කනස්සල්ලටත් පත් වෙති.

''ඔයා මොකද හිතන්නෙ?''

සන්දේශ්ගේ මව එසේ ඇසුවේ මිහිරිගේ නිවසේ සිට ගෙදර යන අතරතුෙර්ය. රිය පදවමින් සිටියේ සන්දේශ්ගේ පියා ය.

''පුතාගෙන් ම තමයි උත්තරයක් ගන්න වෙන්නෙ''

සුසුමක් හෙළනවා හැර ඇයට වෙන කියන්නට දෙයක් තිබුණේ නැත.

(අද එතැන් සිට)

හිතට දුකක් තියෙනව වුණත් පුංචි කාලෙ ඉඳලම මිහිරි දැන් ඒ ප්‍රශ්නෙට හැඩ ගැහිල ඉවරයි. සන්දේශ්ටත් ඒකට හැඩ ගැහෙන්න ගොඩක් කාලයක් යයි. සමහර වෙලාවට එයාට ඒකට හැඩ ගැහෙන්න බැරි වෙයි. බැරිවෙලා ඔයත් එක්කත් ප්‍රශ්න ඇති කර ගනියි.

* * *

මිහිරි තවමත් සිටින්නේ අවිනිශ්චිත අනාගතයක් පිළිබඳව බියමුසු සිහිනයක පැටලීගෙනය. ඇගේ සිත මෙතරම් පෙළා දමන්නේ සන්දේශ්ගේ දෙමව්පියන්ගේ කාරුණික හා යහපත්බවම ය. තමන් එකම මල්ලී ගැන සෙනෙහස හා ආදරය පෙරදැරිව සිතන අයුරින් ම ඔවුනුත් තම එක ම පුතා ගැන සිතන බැව් මිහිරි දනී.

එදිනත් මැදියම් රැය වන තුරුත් ඇගේ සිත තිබුණේ විශාල ව්‍යාකූල තත්ත්වයකය. කොයි මොහොතක හෝ සන්දේශ් දුරකතනයෙන් තමා අමතාවි යන බලාපොරොත්තුවක් තිබුණත් එය එසේ නොවුණි. තමා නිසා සන්දේශ්ගේ ජීවිතය බිඳකට හෝ දුකකට හෙලන්නට ඇගේ සිත ඉඩ නොදෙයි.

අවසානයේ ඇය සිතුවේ සන්දේශ් මැදිහත් නොකර ගනිමින්ම මේ ප්‍රශ්නයට විසඳුමක් සොයා ගන්නටය.

* * *

"සර් කවුද මිස් කෙනෙක් ඇවිත් ඉන්නව"

සන්දේශ්ගේ පියාගේ මේසය මත ඇති දුරකතනය තුළින් ඇසුණේ පහත මාලයේ සිටින පිළිගැනීම් නිලධාරිනියගේ කටහඬය.

"කවුද...... ඇපොයින්ට්මන්ට් එකක් තියෙනවද? "

"නෑලු සර්‍"

"ආවෙ මොකටද අහන්න"

තත්පර කිහිපයක් ගිය පසු යළිත් ඇයගේ කටහඬ ඇසිණ.

"මිහිරි කියල කෙනෙක්ලු. සර්ව දන්නවලු"

රිසීවරය කන අසල තබාගෙන හදිසි කටයුත්තක් සඳහා ලිපි ගොනුවක් පිරික්සමින් සිටි සන්දේශ්ගේ පියා මිහිරිගේ නම ඇසීමත් සමඟ තරමක් සන්සුන් විය. ඇය මින් පෙර කිසිදිනෙක මෙම කාර්යාලයට පැමිණ නොමැති බව සන්දේශ්ගේ පියා දනී. පෙරදිනෙක තමා ඇගේ නිවසට ගොඩවැදුණු සිද්ධිය ද එක්වරම ඔහුගේ මතයට නැගිණ.

"ඕකේ, එන්න කියන්න"

එතෙක් බලමින් සිටි ලිපි ගොනුවේ අවශ්‍ය කරුණු පමණක් සටහන් කරගත් සන්දේශ්ගේ පියා එය පැත්තකින් තබා මේසය මත තිබූ වතුර වීදුරුවෙන් වතුර උගුරක් බීවේය. මිහිරි පැමිණෙන්නේ සන්දේශ් සමඟ ඇගේ විවාහය හා මල්ලී පිළිබඳ ප්‍රශ්නය කතා කරන්නට බව ඔහුට පැහැදිලිය. ඇගේ සිත නොරිදවා කතා කළ යුතු බවක් ද සිතට ගත් ඔහු පුටුවේ හරිබරි ගැසී වාඩි වූයේය.

තවත් සුළු මොහොතකට පසු සුදු පැහැයට හුරු සාරියකින් සැරසුණු මිහිරි ඇරුණු දොර අසල පෙනී සිටියාය.

"කම් කම්"

මඳ සිනහවකින් මුව සරසාගත් මිහිරි සෙමෙන් ඉදිරියට පියවර තබන්නට විය. ඇය මේසය අසලට ළඟාවත් ම සන්දේශ්ගේ පියා අසුනින් නැගිට මඳක් ඉදිරියට ගියේය. ඉන්පසු ඔහු මේසය අසල තිබූ සෙටිය පෙන්වමින් මිහිරිට සුහදව කතා කළේය.

"සිට්"

සිනහව රැඳුණු මුවින් යුතුවම මිහිරි සෙටියේ වාඩි විය. ඒ සමඟම සන්දේශ්ගේ පියා ද ඇය අසල තිබූ අනිත් සෙටියේ වාඩි විය. වැඩි ප්‍රමාණයක් ලීයෙන් නිමැ වූ, බඩු බාහිරාදියෙන් නොපිරුණු මෙම පියකරු කාමරය මිහිරිගේ සිත සතුටට පත් කර තිබුණි. එමෙන්ම වායුසමීකරණයෙන් නැගෙන සිසිල, ගමන් මහන්සිය නිසා තරමක් විඩාවට පත් ව තිබූ ඇගේ ගතට මහත් සුවයක් ද ගෙන දුන්නේය. අර්ධ නග්න ස්ත්‍රී ලී කැටයමක් ද සෙටිය අසලම තිබුණේය.

"ඉතිං..... කලින් කියන්නෙවත් නැතුව ආවෙ....? හොඳ වෙලාවට මං ඔෆිස් එකේ හිටියෙ"

සන්දේශ්ගේ පියා පැවසූ දේට මිහිරි සුහද සිනහවක් පෑවාය. කමිසයට සරිලන පැහැයෙන් යුතු ටයි පටියක් ද පැළඳ සිටි ඔහු, අත් දිග කමිසයේ අත් තරමක් ඉහළට නවාගෙන ද සිටියේය.

"සන්දේශ් දන්නවද ඔයා අද මෙහේ එන විත්තියක්? "

"නැහැ?

ඇගේ පිළිතුර ඔස්සේ පියාට සිතන්නට බොහෝ දේවල් තිබිණ. එහෙත් වැඩි වේලා නොගොස්ම ඔහු යළිත් කටහඬ අවදි කළේය.

"ඕකේ...... කියන්න, ප්‍රශ්නයක් තියෙනව නං අපිට කතා කරලම විසඳගත්තැහැකි"

මිහිරිගේ මුවින් හුස්මක් පිට විය. දිරිගෙන සියල්ල පවසා, සිතට වධ දෙන පැනයට පැහැදිලි පිළිතුරක් ලබාගෙන තම සිත නිරවුල් කර ගත යුතු බවක් මෙතැනට පැමිණෙන්නටත් පෙර ඇය තරයේ සිතාගෙන සිටියාය.

"අන්කල්ට හිතාගන්න පුළුවන් ඇති මං අද මෙහේට ආවෙ මොකද කියල"

"ඔව්, මට ටිකක් හිතාගන්න පුළුවන්"

"මල්ලිගෙ ප්‍රශ්නෙත් එක්ක අපි එකතු වෙනවට සන්දේශ් කැමති වුණත්, ඒකට අන්කල්ලගෙ කැමැත්තක් නැත්තං මටත් තීරණයක් ගන්න වෙනව. මං නිසා කාගෙවත් හිත රිදවගෙන ජීවත් වෙන්න මං ආස නෑ අන්කල්"

මිහිරිගේ හැඟුම්බර කටහඬ තුළින් ඇගේ සිත තුළ පොදි ගැසී ඇති හැඟීම් තේරුම් ගැනීමට සන්දේශ්ගේ පියාට අපහසුවක් නොවීය. තමාත් හැඟුම්බර වීමට වඩා ප්‍රශ්නයට පිළිතුරු පැහැදිලිව කතා කළ යුතු බවක් ද ඔහු සිතා ගත්තේය.

"මොන ප්‍රශ්න තිබුණත් ඒ ඔයාගෙ මල්ලි. මොන රණ්ඩු තිබුණත් හැම අක්කා කෙනෙක්ම තමන්ගෙ මල්ලිට ආදරෙයි. මෙතන ඔයාගෙ හිතේ මල්ලි ගැන ආදරේකටත් වැඩිය තියෙන්නෙ අනුකම්පාවක්. ඒක මං දන්නව. සන්දේශ් අපේත් එකම පුතා. අපිටත් පුතා ගැන තියෙන්නෙ ආදරයක්. පුතා අද වගේම හෙටත් හොඳීන් ජීවත් වෙනව දකින්න තමයි මාත් එයාගෙ අම්මත් කැමති"

නිහඬ කාමරය තුළ සන්දේශ්ගේ පියාගේ කටහඬ මිහිරිට පැහැදිලිව ඇසේ. කතාව අතරේ ඇයගේ දෙනෙත් සෙමෙන් වෙනතකට යොමු විය.

"......මිහිරි එයාට හොඳ හයියක් සතුටක් ගේන, එයාගෙ ජීවිතේට හොඳ සහකාරියක් වෙයි. අපිටත් හොඳ ලේළියක් වෙයි. ඒකෙ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒකනෙ අපි කැමැත්ත දුන්නෙත්"

"ප්‍රශ්නෙ මගෙ මල්ලි"

"ඔව්, මං නැහැ කියන්නෙ නෑ. හිතට දුකක් තියෙනව වුණත් පුංචි කාලෙ ඉඳලම මිහිරි දැන් ඒ ප්‍රශ්නෙට හැඩ ගැහිල ඉවරයි. සන්දේශ්ටත් ඒකට හැඩ ගැහෙන්න ගොඩක් කාලයක් යයි. සමහර වෙලාවට එයාට ඒකට හැඩ ගැහෙන්න බැරි වෙයි. බැරිවෙලා ඔයත් එක්කත් ප්‍රශ්න ඇති කර ගනියි. කසාද බැඳල සන්තෝසෙන් ඉන්න පුළුවන් කාලයෙන් සෑහෙන කොටසක් පුතාටත් වෙන ප්‍රශ්නයක් වෙනුවෙන් කැප කරන්න සිද්ධ වෙන එක ගැන ඇත්තටම අපිටත් දුකක් ඇති වෙයි. ඒකයි ඇත්ත තත්ත්වය"

මිහිරි සිටියේ සන්දේශ්ගේ පියාගේ වදන් සාවධානව අසාගෙනය. ඒ අතරේ තම මල්ලීගේ අසරණ සෙනෙහෙබර මුහුණත් ඇයට මැවී පෙනෙයි. පියා පවසන දේ වැරදි යැයි සිතන්නට හැකියාවකුත් නැත.

"......මිහිරිගෙ මල්ලි විතරක් නෙවි. ඔය වගේ ආබාධිත ළමයි ගැන මේ ලෝකෙ ඉන්න හැමෝම දුක් වෙනව. අනුකම්පා කරනව. ඒක අමුතු දෙයක් නෙවි. ඒ හින්ද මේ කාරණය පැත්තකින් තියල මේ ප්‍රශ්නෙන් ඔයාල දෙන්නගෙ ජීවිතවලට වෙන්න තියෙන කරදර අඩු කරගන්න බලමු. එහෙම හිතල අපට බැරිද මල්ලිට ඔය වගේ ළමයි ඉන්න තැනක නවත්තන්න. ඒ වගේ හොඳ තැන් ගොඩක් තියෙනව මෙහේ. සල්ලි පැත්තෙන් ප්‍රශ්නයක් තියෙනව නං ඒක මං බාර ගන්නම්"

සන්දේශ්ගේ පියා කතා කරන්නේ අවංකවම බවට මිහිරිට කිසිදු සැකයක් නැත. බොහෝ වේලාවක් කතා කළ ඔහු තමා දෙස බලා සිටින්නේ පිළිතුරක් බලාපොරොත්තුවෙන් බව ඇයට තේරෙයි. මල්ලී පිළිබඳ අතීත සිදුවීම් රැසක් ඇයගේ සිත පුරා එක්වරම ඇඳී ගියේය.

"මං හිතන්නෑ අන්කල් ඒක කරන්න පුළුවන් වෙයි කියල. කලිනුත් අපි මල්ලිව එහෙම තැනක නැවැත්තුවා. දවසක් එයා එතැනින් පැනල ගිහිල්ල දවස් දෙකකට විතර පස්සෙ තමයි හම්බ වුනේ. අනිත් එක එයා කළුවරට බයයි. නිදාගන්න ඕනෙත් කාමරේ ලයිට් දාගෙන. මල්ලිට මං නැතුවත් බෑ"

එය සන්දේශ්ගේ පියා මින් පෙර ඇගේ සොයුරා ගැන නොඇසූ කතාවකි.

"අනේ අන්කල් මං හින්ද සන්දේශ්ට බලෙන් තීරණ ගන්න එපා කියන්න. මගේ ප්‍රශ්නවලට කවුරුවත් කරදර වෙනවට මං කැමති නැහැ. ඒකයි මං සන්දේශ්ටත් කියන්නැතුව අන්කල් හම්බවෙන්න ආවෙ. ඒක සන්දේශ් දන්නෙම නැතුව ඉන්නව නං හොඳයි"

"මිහිරි කියනව නං මං ඒක පුතාට නොකිය ඉන්නම්. ඒකෙ ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට මිහිරි, අන්තිම සැරේටත් මං කියන්නෙ, මල්ලි ගැන මං අර කියපු කාරණේ ගැන තව ටිකක් හිතල බලන්න. අඩු ගානෙ එහෙමවත් වෙනව නං අපිටත් හිත හදාගන්න පුළුවන් වෙයි"

සන්දේශ්ගේ පියා එසේ කියමින් අසුනින් නැගිට්ටේය.

"මට අමතකත් වුණා, අපි මොනව හරි බොමු. තේකක් හොඳයිනෙ"

එසේ කියමින් ටෙලිෆෝනය අසලට ගිය සන්දේශ්ගේ පියා කිසිවෙකුට කතා කොට තේ දෙකක් ඇනවුම් කළේය.

තවත් සුළු වේලාවක් කාර්යාලය තුළ රැඳුණු මිහිරි සන්දේශ්ගේ පියාගෙන් සුහදව සමු ගත්තාය. නික්ම යන්නට පෙර එරංගගේ නවාතැන් පිළිබඳ කාරණය ඔහු යළිත් වරක් ඇයට මතක් කළේය.

සන්දේශ්ගේ පියාගේ සුහද හැසිරීම හා කාරුණික වදන් ඈ තුළ ඔහු කෙරෙහි ඇති කළේ මහත් ගෞරවයකි. තමා සන්දේශ්ව විවාහ කර ගන්නේ නම් ඔහු තමාට හොඳ මාමණ්ඩි කෙනෙකු වන බවට ඇයට කිසිදු සැකයක් නැත. එමෙන්ම සන්දේශ්ගේ අම්මාත් තමාට තවත් අම්මා කෙනෙකු වනු ඇත. එහෙත් තම එකම පුතු කෙරෙහි ඇති අසීමිත ආදරය හේතුවෙන් අනවශ්‍ය ප්‍රශ්නයක් නිසා ඔහු කිසියම් ආකාරයක හෝ පීඩාවකට පත් වනු දැකීමට ඔවුන් තුළ කැමැත්තක් නොමැති බවත් ඇයට වැටහේ. සන්දේශ් ඔවුන්ගේ එකම පුතා නොවුණා නම් සමහර විට ඔවුන් මේ ප්‍රශ්නය මීට වඩා ලිහිල් ලෙස සිතනු ඇත. එරංග වෙනත් නවතැනක නතර කරන ලෙස කරන ලද ඉල්ලීමට තමාට කොහෙත්ම එකඟ වීමට නොහැකි බව මිහිරි දනී. සන්දේශ්ගේ දෙමව්පියන් තුළ තම එකම පුතා කෙරෙහි ඇති ආදරය හා සෙනෙහසත්, මිහිරි තුළ තම එකම සොහොයුරා වූ එරංග කෙරෙහි ඇති ආදරය හා සෙනෙහස අතරත් වැඩි වෙනසක් නොවීය.