වර්ෂ 2016 ක්වූ ජනවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




චිත්‍රපටයක සංගීතය කියන්නේ ගීතයකට තනු දානවා වගේ වැඩක් නොවෙයි

චිත්‍රපටයක සංගීතය කියන්නේ ගීතයකට තනු දානවා වගේ වැඩක් නොවෙයි

මීට වසර ගණනාවකට කලිනුයි ‘මහරජ ගැමුණු’ චිත්‍රපටය නිර්මාණය කරන්නට පිඹුරු පත් සකස් කරන්නේ. ඒ වනවිට මා සිටියේ ස්විට්සර්ලන්තයේ. එහේ ඉන්න අවස්ථාවෙදියි ජයන්ත චන්ද්‍රසිරි අයියා මට චිත්‍රපටයේ තිරරචනය ඊ-මේල් කරලා තිබුණේ. මේ කටයුතු සඳහා පර්යේෂණ කටයුතු සිදුකරමින් සිටින අතරතුරදියි චිත්‍රපටයේ කටයුතු මඳක් නැවතුණේ. ඊට පසුවත් දෙවන වරත් ඔහු මට කතා කළා. ඒ අනුව මා කොහොමත් චිත්‍රපටය වෙනුවෙන් පර්යේෂණ කටයුතු සිදු කරලයි තිබුණේ.

“චිත්‍රපටයේ ගොඩනැඟනු ලබන පසුබිම චිත්‍රණය කිරීමේ හා නිරූපිත චරිත අභ්‍යන්තර මනෝභාව උද්දීපනයේ ලා සියුම් නාද රටා අර්ථ පූර්ණව හා ශබ්ද පූර්ණව භාවිත කොටගත් ප්‍රශස්ත සංගීත නිර්මාණය උදෙසා 2016 සරසවිය සම්මාන උලෙළේ හොඳම සංගීත අධ්‍යක්ෂණයට හිමි සම්මානය පිරිනැමෙන්නේ, ‘මහරජ ගැමුණු’ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළ නදීක ගුරුගේට ය.”

සරසවිය සම්මාන උලෙළේ වේදිකාවේ උන් නිවේදක දෙපළ පැවසුවා පමණි. මුළු නෙළුම් පොකුණ රඟහල ම දෙදරවමින් ඇසුණේ අත්පොළසන් නාදයකි. නදීක ගුරුගේ නම් අපේ කාලයේ සංගීතවේදියාගේ රුව මතු වූයේ වේදිකාවේ පැති තිරයෙනි. ඔහු දුටු වන ම අපේ සිතට පිවිසෙන්නේ ‘මහරජ ගැමුණු’ චිත්‍රපටයයි.

තිස්තුන්වැනි සරසවිය සම්මාන උලෙළේත් හොඳම සංගීත අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය හිමිකර ගන්නේ ඔබයි?

මීට අවුරුදු අටකට කලිනුත් අන්තිමට පැවැත් වුණු සරසවිය සම්මාන උලෙළෙත් මේ සම්මානය ම මට හිමි කරගන්නට අවස්ථාව ලැබෙනවා. ඒ ජැක්සන් ඇන්තනී සහෝදරයාගේ ‘අබා’ චිත්‍රපටයට. ඊට අවුරුදු අටකට පස්සෙත් ඒ සම්මානය ම මට නැවත වරක් හිමිවීම සතුටට කාරණයක්. මා සලකන්නේ මේ ලැබුණු සම්මානය මගේ පර්යේෂණයට ලැබුණු සම්මානයක් විදියටයි. ‘මහරජ ගැමුණු’ චිත්‍රපටයේ සංගීතය නිර්මාණය සංකීර්ණ පර්යේෂණයක ප්‍රතිඵලයක්. එය අගය කරමින් ජූරියකින් ඇගයීමක් ලැබීම කියන්නේ සතුටට කාරණයක්.

තිස්දෙවැනි හා තිස් තුන්වැනි සරසවිය සම්මාන උලෙළවලින් ඔබට හොඳම සංගීත අධ්‍යක්ෂණයට සම්මාන ලැබීම මඟින් හැඟෙන්නේ ඔබ වුණු මහන්සියට නියම ඇගයීම ලැබුණු බව ද?

ඒ කාරණය මට එලෙස ම සිතෙනවා. මගේ පළමු සංගීත සංරචනාවක් සරසවිය සම්මාන උලෙළකට නිර්දේශ වන්නේ 2006 වසරේදී. ඒ ‘සුළඟ එනු පිණිස’ චිත්‍රපටය වෙනුවෙන්. එහිදී මා නිර්දේශ වන්නේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් සමඟින්. තරුණ කාලයේදී ම අපේ රටේ සිනමා සංගීතයේ පතාක යෝධයාත් සමඟ මගේ නම නිර්දේශ වීම මට ඉතාම ගෞරවයක්. එහිදී එතුමාටයි ජයන්ත චන්ද්‍රසිරිගේ ‘ගරිල්ලා මාකටින්’ චිත්‍රපටයේ කළ ඒ සංගීත සංරචනාව වෙනුවෙන් සම්මානය හිමි වන්නේ. එවැනි අවස්ථාවකදිත් සරසවිය සම්මාන උලෙළේදී මාව නිර්දේශ වීම පිළිබඳ මා එදා සතුටට පත් වුණා.

එදා එහෙම වුණත් මෙවර ඔබ සම්මාන ලබන්නේ ජයන්ත චන්ද්‍රසිරිගේ ම චිත්‍රපටයකටයි?

ඇත්තට ම මට ඒ ගැන සතුටුයි. මෙවර සරසවිය සම්මාන උලෙළේත් මට සම්මානයක් තිබෙන බවක් මා දැනගෙන සිටියේ නැහැ. මේ උලෙළ පැවැත් වුණු දිනයට පසුවදා ම මා ඉන්දියාවට යෑමට නියමිතව තිබුණා. ඒ දිනය මා යොදා ගත්තේ ඊට සතියකට පෙරයි. ඒ අතර චන්න විජේවර්ධන මට කතා කළා. ඔහු විමසුවේ සම්මාන උලෙළේ යම් අංගයකට ගිටාර් වාදනය කරන්න පුළුවන්ද කියලයි. ඒ අනුව සරසවිය සම්මාන උලෙළේ පැවැත් වුණු එක් අංගයකට සහභාගි වන්නයි මා නැවතුණේ. එදා මා වේදිකාව පිටුපසට වී සිටියේ ඊළඟට තිබෙන අංගය සඳහා සූදානම් වෙමින්. ඒ අතරදියි මගේ නම කියනවා ඇසුණේ. ඒ සැණෙන් ම මා සම්මානය අර ගැනීමට එහි පිවිසුණා. නොදැනී ම සම්මානයකට පාත්‍ර වීම ගැන තිබෙන්නේ සතුටක්.

ඒ අනුව ඔබට සරසවිය සම්මාන ද්විත්වයකට උරුමකම් කියනවා?

සරසවිය සම්මාන උලෙළේ සම්මාන හතරක් සඳහා මා නිර්දේශ වෙලා සම්මාන දෙකකට හිමිකම් කියනවා. අනෙක් සරසවිය සම්මානය මා ලබන්නේ ‘සංඛාරා’ චිත්‍රපටය වෙනුවෙන්. ඊට අමතරව මා සංගීත අධ්‍යක්ෂණය කළ නිර්මාණ වෙනුවෙන් වෙනත් නිර්මාණකරුවන් සම්මාන කිහිපයක් ම හිමිකර ගත්තා. ‘අබා’ චිත්‍රපටය වෙන්වෙන් හොඳම ගායිකාව ලැබුණේ ශ්‍රියා කාරියවසම්ටයි. ඒ චිත්‍රපටය ම ජූරියේ විශේෂ සම්මානයකටත් හිමිකම් කියනවා. මේ චිත්‍රපටයේත් හොඳම ගායිකාව වන්නේ නිරෝෂායි. ඒ ගීතය පල්ලේගම හිමියන් පදරචනා කළ, මා සංගීතය නිර්මාණය කළ ගීතයයි. එයත් සතුටට කාරණයක්.

මේ සම්මානය හරහා එවැනි සතුටට පත් විය හැකි කාරණා රැසක් තිබෙන බවයි පෙනෙන්නේ?

ඒත් ඒ සතුට නියම ආකාරයෙන් බුක්ති විඳීන්නට මට නොහැකි වුණා. ඒ ඊට පසුවදා ම මා ඉන්දියාවට ගිය නිසයි. මගේ දරුවන් හා බිරිය බලන්නයි මා එලෙස ගියේ. මේ සතුටත් මට තිබුණා. තවමත් මා ලැබූ සම්මානය තිබෙන්නේ මගේ වාහනයේ.

‘මහරජ ගැමුණු’ චිත්‍රපටයට සංගීතය නිර්මාණය කිරීමට ඔබට ආරාධනා ලැබුණේ කුමන ආකාරයෙන් ද?

මීට වසර ගණනාවකට කලිනුයි ‘මහරජ ගැමුණු’ චිත්‍රපටය නිර්මාණය කරන්නට පිඹුරු පත් සකස් කරන්නේ. ඒ වනවිට මා සිටියේ ස්විට්සර්ලන්තයේ. එහේ ඉන්න අවස්ථාවෙදියි ජයන්ත චන්ද්‍රසිරි අයියා මට චිත්‍රපටයේ තිරරචනය ඊ-මේල් කරලා තිබුණේ. මේ කටයුතු සඳහා පර්යේෂණ කටයුතු සිදුකරමින් සිටින අතරතුරදියි චිත්‍රපටයේ කටයුතු මඳක් නැවතුණේ. ඊට පසුවත් දෙවන වරත් ඔහු මට කතා කළා. ඒ අනුව මා කොහොමත් චිත්‍රපටය වෙනුවෙන් පර්යේෂණ කටයුතු සිදු කරලයි තිබුණේ.

ඔබගේ අතින් ‘සඳ මඬල වී’ ගීතය නිර්මාණය වුණු ආකාරය මතක ද?

මේ ගීතය නිර්මාණයේදී මා යොදා ගත්තේ යම් ආකාරයකට ඉන්දියානු රාගධාරී සංගීතයේ කර්ණාටක සංගීතයේ එන යම් පාද ලක්ෂණ. කලාතුරකිනුයි මා සාමාන්‍යයෙන් එලෙස රාගධාරී උතුරු - දකුණු ඉන්දියානු සංගීත අභාසය ලබන්නේ. මෙහිදී මා තීරණයකට පැමිණියා එවැනි සංගීත ආභාසයක් ගත යුතුය කියමින්. ඒ සඳහා මා යම් රාග ලක්ෂණයක් භාවිත කළේ ඒ අදාළ අවස්ථාවේ ඇති වන හැඟීම උද්දීපනය කිරීමටයි. චිත්‍රපටයේ ඒ ‍ඵෙතිහාසික, සංස්කෘතික මොහොත චිත්‍රණය කරන්නටයි එවැනි සංගීත සංඝටක යොදා ගත්තේ.

චිත්‍රපටයක සංගීතය නිර්මාණ කිරීමත්, ගීතයකට තනුවක් නිර්මාණය කිරීමත් වෙනස් ම කාරණා දෙකක් නේද?

චිත්‍රපටයකට සංගීතය සපයනවා කියන්නේ චිත්‍රපටයකට තනු දානවා නොවෙයි. සමහරු මේ කාරණය වරදවා වටහාගෙන තිබෙනවා. අපට චිත්‍රපටයට තනු දාන්න බැහැ. චිත්‍රපටයට අදාළ සංගීත ආත්මයක් තිබෙනවා. ඒ ආත්මය සොයා ගැනීමයි සංගීතඥයාගේ කාර්යය වන්නේ. එය සොයා ගන්න එක සංකීර්ණ වැඩක්. එහෙම නැතිව අපට කැමැති කැමැති විදියට තනු දාන්න, සංගීත ඛණ්ඩ හදලා හරියන්නේ නැහැ. මේ ක්‍රමවේදය චිත්‍රපටයෙන් චිත්‍රපටයටත් වෙනස්. ඒ නිර්මාණයේ තිබෙන ඉතිහාසයේ මොහොත, ඉන් කියැවෙන සංස්කෘතික කාරණා, දේශපාලනික කාරණා, සාහිත්‍ය, කලාත්මක දාර්ශනික පාර්ශ්වය කියන මේ සියල්ල පිළිබඳ සැලකිලිමත් වෙමිනුයි ඒ නිර්මාණයට අදාළ සංගීත ආඛ්‍යානය සොයා ගන්නේ.

ඉතිහාසය සම්බන්ධ නිර්මාණවලදි එය කළ යුත්තේ කුමන ආකාරයෙන් ද?

මෙවැනි ඉතිහාසය සම්බන්ධ චිත්‍රපටයකදි සංගීත ආඛ්‍යානය සොයා ගැනීමේ ලා පැහැදිලිව ම ඒ නිශ්චිත කාලවලදි තිබුණු සංගීත සංඝටක ගැන අවබෝධයක් තිබිය යුතුයි. උදාහරණයක් විදියට ‘අබා’ චිත්‍රපටයේ දී බොහෝ අය කතා කළා මෙච්චර බෙර තිබෙන රටේ ඇයි බෙර ගැහුවේ නැත්තේ කියලා. බෙර එන්නේ බොහෝ කාලයකට පස්සේ. එහෙත් ‘අබා’ චිත්‍රපටයේදි කතා කළේ වසර දෙදහස් පන්සියයකට ඔබ්බෙන් තිබුණු යම් සංස්කෘතියක් ගැනයි. අපට එතකොට දැන් තිබෙන බෙර ගහන්න බැහැ. ලෙහෙසිම දේ තමයි දැන් තිබෙන බෙර ගහන එක. පර්යේෂකයෙක් එහෙම කරන්නේ නැහැ. පර්යේෂකයෙක් ඒ කාල අවකාශයට යනවා. ගිහින් දැන් තිබෙන දත්ත පදනම් කරගෙන ඒ කාල අවකාශයේ මොන දේවල් තිබෙන්නට ඇති ද කියලා පරිකල්පනය මෙහෙයවලයි මේ නාද උත්පාදනය කර ගන්නේ. ඒක බොහොම සංකීර්ණ කාරණයක්. ඒත් ඒක මා බොහොම කැමැති වැඩක්. ඒකයි මගේ පර්යේෂණය වන්නේ.

‘සඳ මඬල වී’ ගීතය ගයන්නට නිරෝෂා විරාජිනීව ම තෝරා ගන්න විශේෂ හේතුවක් තිබුණා ද?

ජයන්ත අයියාගේ චිත්‍රපටයක ගීත ගයන්නට නිරෝෂාගේ අදහසක් තිබුණා. ජයන්ත සහෝදරයත් පැවසුවේ මේ ගීතය ගයන්න අපි නිරෝෂාව තෝරා ගමුද කියලයි. මා ඒ අදහසට එකඟ වුණා. අපට නිරෝෂා ගැන කියන විට මුලින් ම මතකයට නැගෙන්නේ ඉන්දියානු අභාසය සහිත ඇගේ කටහඬයි. ඒ නිසා ඇගේ කටහඬින් එවැනි චරිතයක් නිරූපණය කළ හැකිය කියන අදහස ජයන්ත චන්ද්‍රසිරි සහෝදරයාගේ සිතේ තිබුණා. ඇගේ ගායනයෙන් ම ඒ අදහස නිවැරැදි බව ඔප්පු වුණා.

ඊට අපූර්ව ලෙස එක් කරන උමාලිගේ රංගනය නිසා මේ චිත්‍රපටයේදී ඒ ගීතය වඩාත් ඉස්මතු වෙනවාද?

මේ ගීතයට උමාලි ඇගේ රංගනය ස්වාභාවිකව ම ඉදිරිපත් කරන්නේ ඈ හොඳ ගායිකාවක නිසයි. ඒ ගායනයේ තිබෙන කුඩා ස්වර රටාවක් ගැන ම ඈ දන්නවා. ඒ වගේ ම ඈට ඒ විදියට ම ගීතය ගයන්නත් පුළුවන්. ඇත්තට ම ඒ ගීතය ඈයටත් ගයන්න පුළුවන්කම තිබුණු ගීතයක්. පටිගත කිරීමේ දී පවා ඈ ගීතය නිවැරැදිව ගායනා කරමිනුයි රංගනයේ යෙදුණේ. එහෙම නැතිව බොරුවට කට හොල්ලමින් නෙමෙයි ඒ අවස්ථාව නිරූපණය කළේ. ඉතා ම තාත්වික රංගනයට බලපාන්නේ ඇගේ ඒ ගායන හැකියාවයි. ඒ ගීතයේ හුස්ම ගන්න තැන් පවා, ඇගේ ඉංගිත, චලනවල ඒ සියල්ල පදනම් වන්නේ හරියට ම ඈ ගීතය ගයද්දියි. ඇගේ එකතුවත් මේ ගීතය ප්‍රබල සංඥාවක් ජනනය කරන්නට බලපෑවා කියන එක අනිවාර්යයෙන් ම පිළිගත යුතු කාරණයක්. මෑත කාලයේ සිටින තරුණ - තරුණියන් අතර උමාලි කියන්නේ දක්ෂ නිළියක් වගේ ම ගායිකාවක්. ඇගේ රංගනයේ තිබෙන සංයමයත්, ජයන්ත චන්ද්‍රසිරිගේ මෙහෙය වීමේ තිබෙන දක්ෂතාවත්, පල්ලේගම හිමියන්ගේ පදරචනාවේ තිබෙන ප්‍රබලත්වයත් නිරෝෂාගේ ගායනයත් මේ ගීතය සරසවිය සම්මාන උලෙළේ ඇගයීමට ලක් වීමට හේතු වූ කාරණා ලෙසයි මා දකින්නේ.