වර්ෂ 2016 ක්වූ ජනවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




දීපිකා නිසා හොලිවුඩ්වලට කලින් බොලිවුඩයෙන්

දීපිකා නිසා හොලිවුඩ්වලට කලින් බොලිවුඩයෙන්

2002 වසරේ තිරගත වූ අතිශය ත්‍රාසජනක ක්‍රියාදාම චිත්‍රපටයක් වන xXx ක්‍රියාදාම චිත්‍රපට ලෝලීන්ගේ මතකයේ රැඳෙන චිත්‍රපටයක්. රොබ් කොහෙන් (ෆාස්ට් ඇන්ඩ් ද ෆියුරියස්, ඩ්‍රැගන්හාට්) ගේ අධ්‍යක්ෂණයක් වූ මෙම චිත්‍රපටය නීල් එච් මොරිට්ස් ගේ නිෂ්පාදනයකි. මෙහි ප්‍රධාන චරිතය වන xXx හෙවත් සැන්ඩර් කේජ් හට පණ පෙවූයේ ජනප්‍රිය ක්‍රියාදාම නළුවකු, නිෂ්පාදකවරයෙකු සහ අධ්‍යක්ෂවරයකු වන වින් ඩීසල්ය. එපමණක් නොව එය ඔහුගේ රංගන ජීවිතයේ ද විශේෂ සන්ධිස්ථානයක් සටහන් කළ චිත්‍රපටයක් විය.

විචාරකයින්ගෙන් මිශ්‍ර ප්‍රතිචාර ලද චිත්‍රපටයක් වූ එය අමෙරිකානු ඩොලර් මිලියන 70 ක පිරිවැයක් දරමින් නිර්මාණය වුණු අතර ලොවපුරා තිරගත වෙමින් අෙ මරිකානු ඩොලර් මිලියන 277 ක ආදායමක් ලබමින් අතිශය වාණිජ සාර්ථකත්වයක් ඉසිලීය. නීතියෙන් තහනම් කර ඇති ත්‍රාසජනක ක්‍රියාදාම වලින් විනෝදවන පුද්ගලයෙකු වන 'යයය' ට ඇමෙරිකානු රජයේ NSA (ජාතික ආරක්ෂක ආයතනය) විසින් යෝජනාවක් කෙරේ. එනම් රුසියානු මත්කුඩු කල්ලියක් වැටලීමට දායක වුවහොත් ඔහුට ඇති චෝදනාවලින් නිදහස් කරන බවට සහතික වේ. යෝජනාව භාරගන්නා යයය ගේ වික්‍රමාන්විත අත්දැකීම් මෙම චිත්‍රපටයේ දැක්වේ.

xXx චිත්‍රපට මාලාවේ දෙවන චිත්‍රපටය xXx - State of Union නමින්, ලී ටමහෝරි ගේ අධ්‍යක්ෂණයෙන් 2005 වසරේ තිරගත වූ අතර මෙහිදී පළමු චිත්‍රපටයේ සැන්ඩර් කේජ් චරිතය මියගොස් xXx ගේ ස්ථානය ඩේරියන් ස්ටෝන් නම් නව නිලධාරියකු වෙත ලැබෙන අතර ඩේරියන් ගේ චරිතයට 'අයිස් කියුබ්' හෙවත් ඔෂියා ජැක්සන් පණ පොවයි. ලෝක බලවතුන් අතර සිදුවන ගැටුමකට මැදි වන නව xXxගේ වික්‍රමාන්විත අත්දැකීම් ගෙනහැර පාන මෙම චිත්‍රපටය විචාරක ප්‍රතිචාර අතින් මෙන්ම වාණිජමය අතින්ද අසාර්ථක නිර්මාණයක් විය.

දෙවන චිත්‍රපටයෙන් වසර 12 කට පසුව xXx චිත්‍රපට මාලාවේ තෙවැන්න, හෙට (ජනවාරි 20) සිට ලොව පුරා තිරගත වීමට නියමිත් අතර 'xXx - Return of the Xander Cage' ලෙස නම් වූ මෙම චිත්‍රපටයේදී මියගොස් ඇතැයි සැක කෙරෙන 'සැන්ඩර් කේජ්' චරිතය නැවත පැමිණේ. පළමු සැන්ඩර් කේජ් චරිතයට පණ පෙවූ වින් ඩීසල් විසින් මෙම චරිතයටත් පණ පොවන අතර ඔහු චිත්‍රපටයේ නිෂ්පාදකවරයෙක්ද වෙයි. ජෝ රොත් සහ ජෙෆ් කර්ශන්බෝම් අනෙක් නිෂ්පාදකවරුන් දෙදෙනා වන අතර මෙම චිත්‍රපටය ඩී. ජේ. කෘසෝ (ඩිස්ටර්බියා, ඊගල් අයි, අයි ඇම් නම්බර් ෆෝ) ගේ අධ්‍යක්ෂණයකි. ජනප්‍රිය හොංකොං නළුවකු, සටන් ශිල්පියකු, අධ්‍යක්ෂවරයකු සහ ලෝක වුෂු ශූරයෙකු වන ඩොනී යෙන් මෙම චිත්‍රපටයේ යයයගේ ප්‍රධාන විරුද්ධවාදියාගේ චරිතයට පණ පොවයි. ප්‍රධාන කාන්තා චරිතය ජනප්‍රිය හින්දි නිළි දීපිකා පදුකොන් විසින් රඟ දක්වන අතර මේ නිසාම මෙය හින්දි චිත්‍රපට ප්‍රේක්ෂකයින් ද උනන්දුවක් දක්වන චිත්‍රපටයක් වනු ඇති බවට මත පළ වී තිබේ.

'පැන්ඩෝරා ගේ පෙට්ටිය' නම් වූ බලවත් ආයුධයක් සන්තක කර ගැනීමට තරගයේ යෙදෙන පිරිසක් වටා ගෙතී ඇති මෙම චිත්‍රපටය විනාඩි 107ක් පුරා දිවෙයි. කොලොම්බියා පික්චර්ස්, පැරාමවුන්ට් පික්චර්ස් සහ රිවලුෂන් ස්ටුඩියෝස් ඇතුළු නිෂ්පාදන ආයතන පහක නිෂ්පාදනයක් වන මෙය පැරාමවුන්ට් පික්චර්ස් බෙදාහැරීමකි.