වර්ෂ 2016 ක්වූ ජනවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




මහින්ද විතානාච්චිගේ ඡායාරූප දැක්ම 21 - 22

මහින්ද විතානාච්චිගේ ඡායාරූප දැක්ම 21 - 22

ලේක්හවුස් ආයතනයේ ඡායාරූප ශිල්පී මහින්ද විතානාච්චිගේ හත් වැනි ඡායාරූප ප්‍රදර්ශනය මෙම මස 21 සහ 22 යන දෙදින පුරා කොළඹ ජේ. ඩී. ඒ. පෙරේරා කලාගාරයේදී පැවැත්වෙනු ඇත. වන සතුන්, පරිසරය මෙන්ම මානව ක්‍රියාකාරකම් යන මාතෘකා යටතේ මහින්දගේ තෙවැනි ඇසට හසු වූ සොඳුරු සේයාරූ එකසිය දහයකින් ප්‍රදර්ශනය සමන්විත වේ. ප්‍රදර්ශනය 20 වැනිදා සවස 2.30 ට අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරැඹෙනු ඇත. මේ අවස්ථාව සඳහා විශේෂ අරාධිත අමුත්තා වශයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මොහාන් ද සිල්වා සහභාගි වේ.


සරත්ගේ චිත්‍ර දැක්ම 21 ඇරැඹේ

ප්‍රවිණ චිත්‍ර ශිල්පී එස්. එච්. සරත්ගේ සිතුවම් දැක්මක් මෙම මස 21, 22 සහ 23 යන දිනයන්හි කොළඹ ලයනල් වෙන්ඩ්ට් හැරල්ඩ් පීරිස් ගැලරියේදී පැවැත්වේ. මෙහි සමාරම්භය 20 වැනිදා සවස එහිදී පැවැත්වෙනු ඇත. තෙදින පුරා උදෑසන 10 සිට රාත්‍රී 8 දක්වා සිතුවම් දැක්ම විවෘතව පවතියි. මෙවර සරත්ගේ සිතුවම් දැක්මේ මාතෘකාව වර්ණ යන්නයි. ප්‍රදර්ශනය සඳහා සිතුවම් 40 ක් අන්තර්ගතවේ. සරත්ගේ මුල්ම චිත්‍ර ප්‍රදර්ශනය 1974 වසරේදී පැවැත්විණ. එතැන් පටන් අද දක්වා ඔහු විසින් චිත්‍ර ප්‍රදර්ශන රැසක් පවත්වා තිබේ. එදා මෙදාතුර සරත් ඇඳි සිතුවම් ඇතුළත් කළ විශේෂ ග්‍රන්ථයක් මෙවර සිතුවම් දැක්මේදී එළි දකී. සරත්ගේ සිතුවම් ඔහුගේ නම සඳහන් කොට අන්තර් ජාලයේ යූ ටියුබ් හරහා රස විඳිය හැකිය.