වර්ෂ 2016 ක්වූ ජනවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




ඔටුනු හොරා 21 දා

ඔටුනු හොරා 21 දා

චිත්‍රපට, ටෙලි නාට්‍ය, වේදිකා නාට්‍ය නළුවකු වන චූලා මෙන්ඩිස් අධ්‍යක්ෂණය කළ 'ඔටුනු හොරා' වේදිකා නාට්‍යයේ මංගල දර්ශනය මෙම මස 21 වැනිදා සවස 3.30 ට සහ 6.30 ට කුරුණෑගල පුරහලේදි වේදිකා ගත කෙරේ.

ගාමිණි හෙට්ටිආරච්චි, උදය කුමාරි රණසිංහ, ලොයිඩ් ගුණවර්ධන, ලක්ෂිකා ෆොන්සේකා, සජීව මල්මාලආරච්චි, ප්‍රියන්ත රණසිංහ, දිල්කි මිහිරාජ්, ප්‍රියංකා ජයවර්ධන, සඳරුවනී රත්නායක, සම්මානී රත්නායක, සුසන්ත විජේරත්න සමඟ චූලා මෙන්ඩිස් ඔටුනු හොරාට රංගනයෙන් දායක වෙති.

චූලා මෙන්ඩිස්ගේ ප්‍රථම නාට්‍ය අධ්‍යක්ෂණය වන ඔටුනු හොරාට සංගීතයෙන් ගයාන් ගනකධාර, ශබ්ද පරිපාලනයෙන් හා වේදිකා ආලෝකකරණයෙන් මිහිඳු මධුසංක, අංග රචනයෙන් රසික තෙන්නකෝන්, ඇඳුම් නිර්මාණයෙන් දිනුර ලක්ෂිත, පසුතල නිර්මාණයෙන් රංජිත් සිල්වා, වේදිකා පරිපාලනයෙන් සමන් අතපත්තු, වේදිකා පරිපාලන සහයෙන් යසලාල් ලියනගේ දායක වෙති.


නීතිඥ ජෝන් ද සිල්වාගේ ‘රාමායණය’ නූර්ති නාට්‍යය වසර තිස්හතකට පසුව නව නිෂ්පාදනයක් ලෙසින් කරළියට

'අඹ දඹ නාරං' 'ශ්‍රියා මනමත් වී', 'සීතා මා සිරියා', 'මිහිරි නාද කෝකිලාදී' ඇතුළු ගීත පනස් හතරකින් හැඩ වූ නීතිඥ ජෝන් ද සිල්වාගේ 'රාමායණය' නූර්ති නාට්‍යය වසර තිස්හතකට පසුව නව නිෂ්පාදනයක් ලෙසින් වේදිකා ගතවෙයි. එහි මංගල දර්ශනය මේ මස 24 වැනිදා පසුවරු 6.30ට මරදාන ටවර් රඟහලේදී පැවැත්වෙයි.

කලාසූරී ලයනල් ගුණතිලකගේ අධ්‍යක්ෂණයෙන් වේදිකා ගතවන 'රාමායණය' නූර්ති නාට්‍යය රඟ දැක්වෙන්නේ අග්‍රාමාත්‍ය, ටවර් හෝල් රඟහල පදනමේ සභාපති රනිල් වික්‍රමසිංහ මහතාගේ හා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙනි. 'රාමායණය' නූර්ති නාට්‍යයට සහය අධ්‍යක්ෂණයෙන් නිමල් ජයසිංහ, ඇඳුම් නිර්මාණයෙන් ආරියපාල ගමගේ සහය වෙති. මේ නූර්ති නාට්‍යය සඳහා රංගනයෙන් දායක වන්නේ ප්‍රවීණ කලාකරුවන් රැසකි.

මෙහි විශේෂ දර්ශන දෙකක් පැවැත් වීමට නියමිත අතර ඉන් පළමුවැන්න මේ මස 25 වැනිදා පෙරවරු 10.30ට විශේෂ පාසල් දර්ශනයක් ලෙසද, පස්වරු 6.30ට මහජන දර්ශනයක් ලෙසද වේදිකා ගතවෙයි. දෙවැන්න මේ මස 26 වැනිදා පෙරවරු 10.30ට විශේෂ පාසල් දර්ශනයක් ලෙසද, පස්වරු 6.30ට මහජන දර්ශනයක් ලෙසද වේදිකා ගතවෙයි.

නීතිඥ ජෝන් ද සිල්වාගේ 'රාමායණය' නූර්ති නාට්‍යය වසර තිස්හතකට පසුව නව නිෂ්පාදනයක් ලෙසින් මෙලෙස වේදිකා ගත වන්නේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදේශකත්වයෙන් හා ප්‍රවීණ ශිල්පීන් රැසකගේ දායකත්වයෙනි. 'රාමායණය' නූර්තිය ඉදිරිපත් කිරීම ටවර් හෝල් රඟහල පදනම විසිනි.