වර්ෂ 2016 ක්වූ ජනවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




Assassin's Creed  තවත් විදියේ ගේමක් සිනමාවට

Assassin's Creed  තවත් විදියේ ගේමක් සිනමාවට

ඝාතකයින්ගේ ඇදහීම" බොහෝ චිත්‍රපට රසිකයින්ට නුහුරු යෙදුමක් විය හැකි මුත්, වීඩියෝ ක්‍රීඩා ලෝලීන් අතර නම් බොහෝ ජනප්‍රිය නාමයකි. 2007 වර්ෂයේ ප්‍රථම වරට නිර්මාණය වුණු මෙම වීඩියෝ ක්‍රීඩාවේ පසුගිය 2016 වසර අවසානය වන විට ක්‍රීඩා 21ක් නිකුත් වී ඇත. 'යුබිසොෆ්ට්' ආයතනයේ නිර්මාණයක් වන මෙම ක්‍රීඩාවට පසුව 'ගේම් ලොෆ්ට්' සහ ග්‍රිප්ටෝනයිට්' යන ආයතනද සම්බන්ධ වී ඇත. පැට්‍රිස් ඩේසියෙලේට්ස්, ජේඩ් රේමන්ඩ් සහ කොරී මේ මෙහි ප්‍රධාන නිර්මාණ දායකයෝ වෙති. වීඩියෝ ක්‍රීඩාව පාදක කරගත්, චිත්‍රකතා / රූපමය නවකතා (Graphic Novels) සහ නවකතාද මේ වන විට බිහිවී ඇති අතර, මේ එකතුවට එක්වූ අලුත්ම අංගය වනුයේ ජස්ටින් කර්සල් විසින් අධ්‍යක්ෂණය කරන ලද Assassin's Creed  චිත්‍රපටයයි.

පසුගිය (2016) දෙසැම්බර් 21 වැනිදා සිට ලොව පුරා තිරගත වීම ඇරඹුණු මෙම චිත්‍රපටය විනාඩි 116 කින් යුතු වන අතර, ඇමරිකානු සහ ප්‍රංශ යන රටවල් දෙකෙහි එකතුවකින් බිහිවී ඇත. ජීන් ජුලියන් බ්‍රනට්, ජෙරාඩ් ගුයිලමොට්, ෆ්‍රෑන්ක් මාෂල් ඇතුළු සය දෙනෙකුගේ නිෂ්පාදනයක් වන මෙම චිත්‍රපටය ටිවෙන්ටියත් සෙන්චරි ෆොක්ස් විසින් බෙදාහැරෙනු ලැබේ. රීජන්සි සහ යුබිසොෆ්ට් යන ආයතන ඇතුළු ආයතන සතරක නිෂ්පාදන කාර්යයක් වන මෙහි පිරිවැය අමෙරිකානු ඩොලර් මිලියන 125 ක් වන අතර මේ වන විට අමෙරිකානු ඩොලර් මිලියන 97 ක ආදායමක් වාර්තා කර ඇත. මයිකල් ෆස්බෙන්ඩර් , ප්‍රවීන ප්‍රංශ නිළියක වන මේරියන් කොටිලාඩ්, ප්‍රවීන සම්මානලාභී නළු ජෙරමි අයන්ස් ඇතුළු රංගන ශිල්පීන් රැසක් මෙහි රංගනයෙන් දායක වෙති.

විස එන්නතක් මඟින් මරණයට නියමිත පුද්ගලයෙක් වන කැලම් ලින්ච් ගේ මරණය යම් පිරිසක් විසින් වංචා කරන අතර, ඔවුන් විසින් තාක්ෂණික ක්‍රමවේදයක් මඟින් ඔහුගේ ජාන මතක (සිය පරපුරේ අතීත උරුමය) ඔහු වෙත ලබා දෙනු ලැබේ. තමා අතීත රහස් ඝාතක කල්ලියකින් පැවත එන්නෙක් බව ඉගෙන ගන්නා ලින්ච් ඔවුන්ගේ සූක්ෂම දක්ෂතා තමා වෙත මතු කරගන්නා අතර, ඔහු මුහුණ දෙන අතිශය ත්‍රාසජනක අත්දැකීම් රැසකින් මෙම චිත්‍රපටය සමන්විත වේ.

මෙම චිත්‍රපටය IMDB දර්ශකයේ ලකුණු 6.5ක් සලකුණු කරන නමුත් රෝටන් ටෝමාටෝස් දර්ශකයේ සියයට 17ක් සහ මෙටා ක්‍රිටික් හි සියයට 36ක් ලෙස ඉතා අඩු ලකුණු ප්‍රමාණයන් සටහන් කර ඇත. චිත්‍රපට විචාරකයින්ගෙන් මෙම චිත්‍රපටය සඳහා බොහෝ සෘණ ප්‍රතිචාර ලැබීම එයට හේතුවයි. රෝටන් ටෝමාටෝස් හි ප්‍රමුඛ විචාරය පවසන අන්දමට මෙය, බොහෝ වීඩියෝ ක්‍රීඩාවන්ගෙන් චිත්‍රපටයන්ට නැඟුණු කතා අතර හොඳීන් නිර්මාණය කර ඇති සහ දක්ෂ නළු නිළියන්ගෙන් සමන්විත වූවක් පමණක් නොව ආකර්ශණීය දෘශ්‍ය ප්‍රයෝගයන්ගෙන් සපිරුණ නිර්මාණයක් වුවද ඉතා බාල කතා වස්තුවකින් සමන්විත වූවකි.