වර්ෂ 2016 ක්වූ ජනවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




මම සම්මානය ගත්තේ වචනය අහක දමන්න බැරි නිසා

මම සම්මානය ගත්තේ වචනය අහක දමන්න බැරි නිසා

අපේ කාලයේ පටාචාරව දුලානි අනුරාධා

උවන සඳක් වැනි චූටි දූ එකපිම්මට ම සාලයට දිව්වේ ඒ එක් කොණක තියලා තිබෙන රේඩියෝවේ හඬ වැඩි කිරීමට සිතා ය. පාසල් අවසන් වී නිවෙසට පැමිණෙන මේ පුංචි දුවගේ එක්තරා පුරුද්දක් වී තිබුණේ රේඩියෝවට සවන් දීම ය. ඉන් විකාශය වන ගී, සින්දුවලට බෙහෙවින් ඇල්මක් දැක් වූ ඈ පෙලඹුණේ ඒවා මුමුනා ගයන්නට පමණක් නොවේ. ඒ ගීතයේ තාලයට පා තබමින්, විවිධ ඉරියව් පා නර්තනයේ නියැළීමට ද මේ දූ දැක්වූයේ දැඩි ඇල්මකි. වරෙක කොණ්ඩ කරල් දෙකක් ගොතා ගන්නා මේ සිඟිති දියණිය අම්මාගේ සාරියක් ගෙන ඇඟේ පටලවා ගනිමින් තාලයට අඩි තියන්නේ නර්තනයට හුරුපුරුදු කාරියක ලෙසිනි. ඇගේ නර්තනය රස විඳීන ආත්තම්මා මිනිබිරියගේ නර්තනයට අත්පොළසන් දෙන්නේ ඈව වඩාත් ධෛර්යවත් කරනු පිණිස ය. ළදැරියක වුවද ඉඟසුඟ නටවමින් නටන නර්තනය සැබවින් ම සුන්දර බව ආත්තම්මා වටහා ගත්තා ය. එදා ඒ අයුරෙන් ළදැරියක අවධියේ තාල තියමින් නැටූ කුඩා දියණිය අද තරුණියකි. එපමණක් පමණක් නොවේ නර්තන ගුරුවරියකි, රංගන ශිල්පිනියකි. ඈ අන් කවුරුත් නොව ප්‍රථම චිත්‍රපට රංගනයෙන් ම ප්‍රේක්ෂකයන්ගේ හදවත දිනාගත් දුලානි අනුරාධා ය.

මේ දිනවල එල්. එෆ්. සී. මණ්ඩලයේ සිනමා ශාලාවල තිරගත වන සුගත් සමරකෝන්ගේ ‘අපේ කාලයේ පටාචාරා’ චිත්‍රපටයේ කතා නායිකාව වන්නේ ඇයයි. මේ ලිපිය සැකසෙන්නේ දුලානි අනුරාධා සමඟ ‘අපේ කාලයේ පටාචාරා’ චිත්‍රපටය හා ඇගේ රංගන ජීවිතයත්, ගරු භූමිකාව පිළිබඳත් කළ සංවාදයකිනි.

* බෞද්ධ සාහිත්‍යයේ එන ‘පටාචාරා’ ශ්‍රී ලාංකික බෞද්ධයන්ට නුපුරුදු චරිතයක් නොවේ. ඒ චරිතය හා බැඳුණු ‘අපේ කාලයේ පටාචාරා’ චිත්‍රපටයේ ‘පටාචාර’ ව නව වසරේ දුටුවන ම මොන වගේ අදහස්ද පැවසෙන්නේ?

පාසලේ අය ‘අපේ කාලයේ පටාචාරා’ චිත්‍රපටය නරඹලා තිබුණු බව මට දැන ගන්නට ලැබුණේ පාසල් නිවාඩුව අවසන් වී පාසලට ගියාට පස්සෙයි. දරුවන් දෙදෙනෙකුත් සමඟ පටාචාරාගේ චරිත නිරූපණය බොහොම හොඳට නිරූපණය කර ඇති බවයි මගේ පාසලේ ගුරු මණ්ඩලයේ මිතුරු - මිතුරියන් පැවසුවේ. පාසලට පරිබාහිර සමාජයට පැමිණියාට පස්සේ බොහෝ දෙනෙකු පවුලේ සියලුදෙනාත් සමඟ ම ගිහින් ‘අපේ කාලයේ පටාචාරා’ චිත්‍රපටය නරඹලා තිබෙන බව පෙනෙනවා. ඒ මා යම් යම් කාර්යයන් සඳහා මඟ තොටට පිවිසි පසුව ඔවුන් චිත්‍රපටය පිළිබඳ කරන කතාබහෙනුයි ඒ වග මට හැඟෙන්නේ. ඒ මඟින් මට හැඟෙන්නේ ‘අපේ කාලයේ පටාචාරා’ චිත්‍රපටයට බොහෝදෙනා කැමැත්තක් දක්වන බවයි.

* ‘අපේ කාලයේ පටාචාරා’ චිත්‍රපටය දිවෙන්නේ වර්තමානය හා අතීතය යන කාලය ගැළපීමක් ඔස්සේයි?

වර්තමාන හා අතීතය ගැළපීම මා දකින්නේ ‘අපේ කාලයේ පටාචාරා’ චිත්‍රපටයේ තිබෙන වෙනසක් විදියටයි. අධ්‍යක්ෂවරයාගේ සිතේ පැවතුණු රූපමය පෙරදැක්මකුයි මෙලෙස චිත්‍රපටයට භාවිත කර තිබෙන්නේ. එය සාර්ථක වූ බවකුයි මට හැඟෙන්නේ. අනෙක් කාරණය නම් අප අසා ඇති කතාව එක්වර ම කියනවාට වඩා වෙනස් ආකාරයක පිවිසුමකින් සිනමා ප්‍රේක්ෂකයන්ට අලුත් අත්දැකීමක් ගෙනේවි.

* අධ්‍යක්ෂ සුගත් සමරකෝන්ගේ ‘විජය-කුවේණි’ හා ‘ඇහැළේ පොළ කුමාරිහාමි’ චිත්‍රපටවලත් ප්‍රධාන චරිතවලට පණ පොවන්නේ ඔබයි. ඔහුගේ චිත්‍රපටවල ඔබව ම ප්‍රධාන චරිතයට තෝරා ගන්න විශේෂ වූ හේතු ව ලෙස ඔබ දකින්නේ කුමන කාරණයක් ද?

අධ්‍යක්ෂ සුගත් සමරකෝන් ‘කුවේණි’, ‘ඇහැළේ පොළ කුමාරිහාමි’ කියන චරිත සඳහා මා තෝරා ගැනෙන්නේ ඒ චරිත සඳහා අධ්‍යක්ෂවරයාගේ සිතේ මැවී තිබුණු රූපය හා සමාන රූපකායක් මට තිබෙන නිසා වෙන්න ඇතැයි මා සිතනවා. ඔහුගේ නවතම චිත්‍රපටය වූ ‘අපේ කාලයේ පටාචාරා’ චිත්‍රපටයේ ‘පටාචාරා’ගේ චරිතයට මාව තෝරා ගන්නට ඇත්තේ ඉහත කියන ලද කාරණයත්, ඒ නිර්මාණවල කටයුතු කිරීමේදී මා පෑ රංගන දක්ෂතාවත් නිසා බවයි මට නම් හැඟෙන්නේ. ඒ වගේ ම ඊට බලපාන්නට ඇති අනෙක් කාරණය නම් නිර්මාණ සමඟ කටයුතු කරද්දී මගෙන් ලැබෙන සහයෝගයයි.

* මීට පෙර නිර්මාණවල කටයුතු කරද්දී ‘අපේ කාලයේ පටාචාරා’ චිත්‍රපටයේ ‘පටාචාරා’ගේ චරිතය පිළිබඳ යම් ඉඟියක් අධ්‍යක්ෂවරයා ඔබට පවසලා තිබුණා ද?

කොහොමත් ඔහු එක් නිර්මාණයක් කරද්දි ඊළඟ නිර්මාණ ගැන අපට යම් ඡායාවක් ලබාදෙනවා. ඒ ගැන වරින්වර කතා කළ අවස්ථාත් තිබුණා. එය හරියට ම දැන ගත්තේ ‘ඇහැළේ පොළ කුමාරිහාමි’ චිත්‍රපටය තිරගත වුණාට පසුවයි.

* ඔබ පටාචාරාගේ චරිතය අසා තිබුණත්, ඒ චරිතය ගැන හඳුනා ගැනීමට වෙනත් අධ්‍යයනයක නිරත වූවා ද?

සුගත් සමරකෝන් අධ්‍යක්ෂවරයාගේ සිතේ ඇඳීලා තිබෙන පටාචාරා ගැන ඔහු යම් විග්‍රහයක යෙදුණා. ඊට අමතරව මේ චරිතය පිළිබඳ ලියැවුණු පොතක් ඔහු, මට ලබා දුන්නා. පටාචාරාගේ චරිතය ගැන දීර්ඝව ලියැවුණු පොතපත ඇත්තේ නැහැ. ඒ නිසා ඇගේ චරිතය ගැන දීර්ඝ ලෙස සොයා බලන්නට අවස්ථාවක් උදා වුණේ නැහැ. ඒ ඒ සියලුදේත්, මා පටාචාරා ගැන අසා ඇති දේත් සමඟ පටාචාරව මගේ සිතේ ඇඳුණා. මේ සියලුදේත් සමඟ අධ්‍යක්ෂ සුගත් සමකෝන්ට අනුවයි පටාචාරා චරිතය නිර්මාණය වන්නේ. එහි එන වර්තමානයේ චරිතය නිරූපණය කිරීමට මට දැඩි වෙහෙසක් ගන්න උවමනා වුණේ නැහැ. මොකද සුනාමි ව්‍යසනය අපට අලුත් අත්දැකීමක් නොවෙයි. ඒ මඟින් සිදු වූ විපත් අප ඕනෑතරම් අත්දැකලයි තිබුණේ. මා ජීවත් වන්නේ මුහුද ආසන්නයේ නිසා එවැනි දේ මා මගේ ඇස් දෙකෙන් ම දැකලා තිබෙනවා. මේ නිසා චිත්‍රපටයේදී වර්තමාන චරිතය ප්‍රතිනිර්මාණය කරන්නට මට පහසු වුණා.

* තරුණියක් විදියට ඔබ පටාචාරාව දකින්නේ කුමන ආකාරයෙන් ද?

පටාචාරාගේ කෙළිලොල් බව නිසයි ඈ කුලයෙන් අඩු තරුණයකුට පෙම්කර ජීවිතය වෙනස් මඟකට යොමුකර ගන්නේ. සැපවත් ජීවිතයේ ඇලී ගැලී සිටින ඈට, ඈ අවට වෙසෙන්නන් ගැන, සමාජය ගැන දැනුම්වත් බවක් ඇත්තේ නැහැ. එවැනි යුවතියක ලෙස ඈ තරුණ අවධියේ හිතුවක්කාර තීරණයක් ගත්තත්, කාලයකදි ඈට තමන්ගේ අය ළඟින් සිටිනවා නම් යන හැඟීම දැනෙන්න පටන් ගන්නවා. විශේෂයෙන් ම පටාචාරාට ඒ හැඟීම දැඩිව දැනෙන්නට ගන්නේ ගර්භිණියක් වීමත් සමඟින්. සමහර විට ඈ සිය සැමියාට ආදරය වුණත්, තමන්ගේ අයගෙන් ඈත් වී විසීම සම්බන්ධයෙන් පසුතැවීමට පත්නොවී සිටියා යැයි කාට නම් කිව හැකි ද? ඈට අවසානයේ සියල්ල අහිමි වීමත් සමඟ ඇතිවන මනෝභාවයයි ජීවිතයේ සත්‍ය වටහා ගැනීමට අවශ්‍ය මාර්ගය විවර කරන්නේ.

* ඔබගේ පෙම්වතා ලෙස රංගනයේ නියැළෙන්නේ වර්තමානයේ සිටින දක්ෂ නළුවකු වන සාරංග දිසාසේකරයි. සාරංග සමඟ රඟපෑමේදී එකිනෙකා අතර යම් කතිකාවක් ඇති වුණා ද?

මීට පෙරත් සාරංග සමඟ මා රංගන කටයුතුවල යෙදිලා තිබෙනවා. ඒ කාලයේදිත් අපි දෙන්නා බොහොම සහයෝගයෙන් වැඩ කරලා තිබෙනවා. ඒ සහයෝගය මේ නිර්මාණයෙදිත් ඇති වුණා. ඔහුත් සමඟ රඟපෑම මට ගෙනාවේ පහසුවක්. සමහර අවස්ථාවලදි මට අවශ්‍ය දෙයක් දැනගන්න හෝ අඩුපාඩුවක් හදා ගන්න සිටියේ ඔහුයි. මගේ පෙම්වතා ලෙස කළ ප්‍රේම ඡවනිකාවලදි අපි කතා කරගෙන මෙහෙම කරමු යැයි පවසමින් කතාකර ගෙනයි කටයුතු කළේ. අප දෙදෙනා අතර කිට්ටු මිත්‍රත්වයකුත් තිබුණු නිසා ඔහුත් සමඟ කටයුතු කිරීමේදී මට පහසුවක් සැලසුණා. ඒ වගේ ම ඔහු බොහොම හොඳ සවන්දෙන්නෙක්. ඔහු ඇතුළුව මෙතෙක් මා රඟපෑ අවස්ථාවලදි මට මුණ ගැසුණු සියලු ම ශිල්පීන් බොහොම හොඳ අය විදියටයි මා දැක්කේ.

* සුකොමාල තරුණියක විදියට හැඳී වැඩුණු පටාචාරාට සිය පෙම්වතා සමඟ රහසේ ගියාට පසුව ජීවිතයේදී මුහුණ දීමට සිදුවන්නේ විවිධ හැලහැප්පීම්වලටයි. ඔවුන් ජීවත් වන්නේත් වනාන්තරයේ. රංගන ශිල්පිනියක් විදියට මේ අත්දැකීම් ලැබීමට ඔබටත් සිදු වුණා

සුකොමාල තරුණියක විදියට ජීවත් වූ තැනැත්තියකට එක්වර ම කටුක ජීවිතයකට හුරු වීම පහසු නැහැ. විශේෂයෙන් ම ගර්භිණියක් විදියට ඈ ඒ නැවුම් අවස්ථාවට මුහුණ දීමේදී තමන්ගේ ම අය ළඟ සිටියා නම් කියන අදහස ඕනෑ ම කෙනෙකුගේ සිතේ උපදින සිතුවිල්ලක්. ගර්භිණියකගේ චරිතය රඟපෑමේ දී ඒ ආකාරයට බඩක් බැඳ තිබීම නිසා ඒ අවස්ථා නිරූපණයට කිරීම මට පහසු වුණා. ඒ බඩ සමඟ ඉබේ ම වගේ ගර්භිණියකගේ තත්ත්වයට මමත් හැඩ ගැසුණා. මා ගර්භිණියක් ලෙස රඟපාන පළමු අවස්ථාව මෙය නොවුණත්, මේ චරිතය සඳහා මට ගොඩක් ප්‍රයෝජනවත් වුණේ සමාජයේ දී මා අධ්‍යයනය කළ දේයි.

* පටාචාරා යනු දරුවන් දෙදෙනෙකුගේ මවක්. ඒ දරුවන් දෙදෙනා සමඟ ඈට මුහුණ දීමට සිදු වන්නේ නොසිතූවිරූ ඛේදවලටයි. පටාචාරා රඟපෑමේදී ඔබටත් ඒ ඒ සිදු වීම්වලට මුහුණ දීමට සිදු වනවා. එවැනි දේ නිරූපණයේදී විඳීමට සිදු වුණේ මොන වගේ අත්දැකීම් ද?

තරමක් වැඩුණු ළමයාව පාලනය කරගන්න මටත්, සාරංගටත් ටිකක් අපහසු වුණා. ඒත් අපි දෙන්නා කොහොමහරි චාටුබස් කියලා ඒ දරුවාව ඒ ඒ අවස්ථාවලදි විතරක් හෝ පාලනය කරගැනීමට උත්සාහ දැරුවා. ගොඩක් ම අසීරු වුණේ පුංචි ම ළමයාව පාලනය කර ගැනීමයි. ඒ චරිතයට සිටියේ ඉපදිලා දින කිහිපයක් ගතවුණ ළමයකුවයි. ඒ ළමයා උපදින්නේ අධික වර්ෂාවක් මැද්දෙයි. ඒ වැස්සත් සමඟ මා දරුවන් දෙදෙනෙකු බලා ගන්නත් ඕනෑ. ඒ අතර රඟපාන්නත් ඕනෑ. සැමියා මැරුණු අවස්ථාවේ දරුවන් දෙදෙනා සමඟමයි මා ඔහු අසලට පිවිසෙන්නේ. ඒ අතර සැබෑවට ම ළමයි දෙන්නා ම අඬන්න ගත්තා. මේ තත්ත්වය යටතේ මට එල්ල වෙලා තිබුණේ ලොකු පීඩනයක්. මගේ අතේ ඉන්නේ සැබෑ ළමයකුයි. ඒ සෑම අවස්ථාවකදි ම අලුත ඉපැදුණු ළමයාව වැස්සෙන් මුවා කරගෙන, ඒ සියලු කරදර බාධක මැද්දේ පටාචාරාගේ චරිතයත් රඟපෑවා. චිත්‍රපටය තිරගත වීමේදි ඒ අවස්ථාව නැරැඹුවාට පසුව මට ඇත්තටම ඇති වුණේ සතුටක්.

* ගඟ තරණය කරන දර්ශනයේදිත් ඒ පීඩනය ම ඔබට එල්ල වුණා ද?

ඒ දර්ශනය බොහොම භයානකයි. ගඟක බැහැලා යන දර්ශනයේදී මගේ අතේ ඉන්නේ අලුත ඉපැදුණු ළමයෙක්. ඒ නිසා මට බොහොම පරිස්සම් වීමට සිදු වුණා. වතුර යට මොන විදියක තත්ත්වයක් තිබේද කියලා අපට කල් ඇතිව කියන්න බැහැ නේ. අඩියෙන් අඩිය ඉස්සරහට තියද්දි ලිස්සයි ද? මොන වගේ දෙයක් වෙයිද? කියලා කිසිවකුටත් කියන්න බැහැ. යම් දෙයක් වුණොත් ඊට අවශ්‍ය පියවර ගන්න පිරිසක් සූදානමිනුයි සිටියේ. ඒ දර්ශනය කිසිම කරදරයකින් තොරව අවසන් කිරීමට ලැබීම ම භාග්‍යයක්.

* පාසලක උගන්වන ගුරුවරියක් විදියටත්, රංගන ශිල්පිනියක් විදියටත් ඔබට පැවරෙන කටයුතු නිවැරැදිව ඒ ආකාරයෙන් ම ඉටුකිරීමට ලැබෙනවා ද?

ඒක බොහොම අමාරු කාර්යයක්. ළමයින් සමඟ කටයුතු කිරීම පහසු නැහැ. කටහඬ ගොඩක් පාවිච්චි කරන්න වෙනවා. ඒ නිසා ගුරුවරුන් වන අපව දැඩි සේ වෙහෙසට පත්වෙනවා. මේ නිසා බොහෝ ගුරුවරු නිවාඩු ලැබෙන්නේ කොයි කාලෙද කියලයි බලාගෙන ඉන්නේ. අපට මාසයක් නිවාඩු ලැබුණත් ඒ නිවාඩු ලැබෙන මාසයේත් මම ඉන්නේ වැඩවල නියැළිලා. අනෙක් මාසවල පාසලේ කටයුතු නිසා කාර්යබහුලයි. අනෙක් අයට ලැබෙන එවැනි නිවාඩුවක් වත් මට නැහැ. ඉතිං කොහොම හරි මා රංගනයයි, පානදුර සුමංගල බාලිකා විද්‍යාලයේ නර්තන ආචාර්යවරිය විදියට ගුරු වෘත්තියයි දෙකම සමබරව පවත්වා ගෙන යනවා. සමහර දවස්වලට නිවාඩුත් ගන්නවා. එහෙත් මගෙන් ළමයින්ට සිදු විය යුතු යුතුකම් කිසිවක් අතපසු කරන්නේ නැහැ. කොහොමත් රංගන කටයුතුවලදී මා වසරකට නිර්මාණ දෙකකට වඩා භාර ගන්නේ නැහැ.

* ඔබ රංගනයට පිවිසෙන්නේ ප්‍රවීණ නළුවකු මෙන්ම අධ්‍යක්ෂවරයකු වන ජැක්සන් ඇන්තනීගේ ‘අබා’ චිත්‍රපටය ඔස්සේ. අපේ රටේ සිනමා ප්‍රේක්ෂකයන් ඔබව හඳුනා ගන්නේ එහි ඔබ නිරූපණය කරන ගුම්භක භුතාගේ චරිතයෙන්. එතැන් පටන් ආරම්භ කරන නිළි ජීවිතය ඔස්සේ ඔබ වෘත්තිය ලෙස රංගනය තෝරා නොගන්නේ ඇයි?

ඒ වනවිට මා විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්. ජැක්සන් ඇන්තනී මහත්තයා ගුම්භක භූතාගේ චරිතයට මාව තෝරා ගැනෙන්නේ චන්දන වික්‍රමසිංහ මහත්තයාගේ මාර්ගයෙන්. අවසානයේ ඒ චරිතයට මට සරසවිය සම්මාන උලෙළේ දී වගේ ම සිග්නීස් සම්මාන උලෙළේදිත් හොඳම නිළිය ලෙස සම්මාන ලැබෙනවා. හැංඟිලා තිබුණු මගේ රංගන හැකියාව හඳුනා ගත්තේ ජැක්සන් ඇන්තනී මහත්තයායි. එහි සම්පූර්ණ ගෞරවය හිමි වන්නේ ඔහුටයි. මේ මොන දේ කළත් මා කුඩා කාලයේ පටන් දැඩි කැමැත්තක් දැක් වූයේ නර්තනයටයි. ඒ කාලයේ පටන් සිතේ තිබුණු හීනයට මා මුල්තැන දුන්නා. ඒ නිසා එය වෘත්තියක් සේ මා තෝරා ගත්තා. රංගනය සම්බන්ධයෙන් පැවසුවොත් රංගනයේ නියැළෙන්න මගේ කිසිම අදහසක් තිබුණේ නැහැ. එහෙත් ‘අබා’ හරහා මා අද දක්වා ම නිළියක් ලෙසත් ප්‍රේක්ෂකයා හඳුනා ගන්නවා. ඒ අනුව මා රංගනය සොයාගෙන ගියේ නැතිවුණත් රංගනය මාව සොයාගෙන ආවා.

* පසුගියදා පැවැත්වුණු සරසවිය සම්මාන උලෙළේ දී හොඳම නිළියගේ සම්මානය ගැනීමට වේදිකාවට පිවිසෙන්නේ ඔබයි. ඔබ ඒ චිත්‍රපටයට කිසිම සම්බන්ධයක් නැතිවත් අංජලී පටිල් වෙනුවෙන් සම්මානය ගන්න විශේෂ හේතුවක් තිබෙනවා ද?

ඒ සම්මානය ගන්න යන්න කියලා මට පැවසුවේ එහි අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ. ඔහු මා ළඟින් ම ආශ්‍රය කරන මගේ හොඳ මිත්‍රයෙක්. ඊට අමතරව ‘ඔබ නැතුව ඔබ එක්ක’ චිත්‍රපටයේ රඟපෑමට අංජලීව තේරුව අය අතරින් මමත් එක් අයෙක්. ඒ සියලු කාරණා වගේ ම අංජලී අපේ රටට පැමිණෙන සෑම අවස්ථාවක ම මා ඇයව මුණ ගැසෙනවා. මා සිතන විදියට අපේ රටේ ඉන්න නිළියන් අතරෙන් ඈ හඳුනන්නේ මා පමණයි. ඒ ඇති වී තිබුණු මිත්‍රකමට හා මගේ මිත්‍රයාගේ වචනය අහක දමන්නත් බැරිව ගිය නිසා මා ඒ සම්මානය ගත්තා.

* ඔබ රඟපෑ ‘බන්ධනය’ චිත්‍රපටයත් ළඟඳීම තිරගත වීමට නියමිතයි. එවිට ඔබ රඟපෑ චිත්‍රපට දෙකක් එක ළඟ එක තිරගත වෙනවා. කිසිම නළුවකුට හෝ නිළියකට ලැබෙන්නේ නැති අවස්ථාවකුයි ඔබට හිමි වන්නේ?

බොහෝදෙනා පවසන්නේ මා වාසනාවන්ත ගුණයක් තිබෙන නිළියක් බවයි. මමත් ඒ කාරණය ඒ අයුරින් ම නිවැරැදි යැයි සිතනවා.