වර්ෂ 2016 ක්වූ ජනවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




වැඩිම ඉල්ලුම

වැඩිම ඉල්ලුම

පසුගියදා නිමා වූ තිස්තුන් වැනි සරසවිය සිනමා සම්මාන උලෙළ අවසනදී පුංචි ප්‍රිය සම්භාෂණයක් තිබුණා. එහිදී අපේ කලාකරුවන් එක්ක බොහෝ දෙනෙක් සිහිවටනයක් ලෙස තබා ගැනීමට සේයාරූ ගත්තා. එලෙස වැඩිම ඡායාරූප ප්‍රමාණයකට ඉන්න සිද්ධ වුණේ රන්ජන් රාමනායකට. එක් කෙනෙක් යන්න එක් කෙනෙක් රන්ජන් එක්ක ඉඳලා සේයාරූ ගත්තා. ඔහුගෙන් පසුව කාත් එක්කද දන්නවද එතැන හිටපු අය සේයාරූ ගත්තේ, එඩ්වඩ් ජයකොඩි එක්කයි. රන්ජන්ගෙන් පසු දෙවැනි තැන හිමි වුණේ ඔහුට.

"අර බලන්නකො එඩ්වඩ් අයියට තියෙන ඉල්ලුම" එඩ්වඩ් පෙනී සිටින සේයාරූ සංඛ්‍යාව දැකලා බොහෝ දෙනෙකුගේ මුවින් පිටවුණේ එබඳු වදන් පේළියක්. උලෙළේ හොඳම ගායකයා වුණේ එඩ්වඩ්. ඒ හින්දා වැඩි දෙනෙකු එඩ්වඩ් එක්ක ඡායාරූප ගත්තේ සම්මානෙත් ළඟ තබාගෙනමයි.

ජනරාල් චාමර

චාමර ජනරාජ් පීරිස් කියලා කියන්නේ සම්මානනීය අධ්‍යක්ෂවරයෙක්. ඔහු අතින් නිම වූ අයාල්, පියවි, යාය 4 වැනි නාට්‍ය අතිශය ජනාදරයට පත් වුණා. ඒ වගේම චාමර සිරස සටයින් මැදිරි සංකීර්ණයේ ප්‍රධානියා ලෙසට ද ඉකුත් දෙසැම්බර් 23 දක්වා සේවය කළා. එහෙම බලන කොට චාමර ක්ෂේත්‍රයේ සෑහෙන්න වැඩ කොටසක් කරන අයෙක්. මේ චාමරට මේ අවුරුද්දට සුබපතලා මෙරට ප්‍රභූ කෙනෙකුගෙන් කාඩ් එකක් ආවා. චාමර එය අතට අරගෙන ඔහුගේ නම දුටුවම බකස් ගාලා හිනා ගිහින්. චාමර ජනරාල් පීරිස් යනුවෙනුයි එහි සඳහන් වෙලා තියෙන්නේ. ජනරාජ් වෙනුවට ජනරාල් ලෙසට සඳහන් වෙලා. ඒ කියන්නේ අලුත් අවුරුද්දේ චාමරට ජනරාල් පට්ටමකුත් ලැබිලා. ලබන අවුරුද්දේදී සමහර විට ආචාර්ය පට්ටමකුත් ලැබේවි. කෙසේ වෙතත් චාමරට එක අතකින් දුකයිලු මෙහෙම නම වරද්දපු එකට. එලෙස ජනරාජ් ජනරාල් වෙද්දී චාමර මේ සැරේ තම සිනමා සිහිනය සාක්ෂාත් කරගන්න හිතාගෙන ඉන්නවා. මේ දිනවල එහි පිටපත සකස් කරමින් සිටිනවලු.

කලා භූෂණ ධුරයක්

ලක්ෂ්මන් මල්ලවාරච්චි කියන නම පොතපතට ලැදි අයට නුහුරු නැහැ. බොහොම සුන්දර ආදර නවකතා රැසක්ම ඔහු අතින් රචනා වුණා. ලක්ෂ්මන් වර්තමානයේ සේවය කරන්නේ ශ්‍රී ගුවන් විදුලියේ. එහි නියාමන නිලධාරියකු හැටියටයි. ලක්ෂ්මන්, ක්‍රිෂාන් ජීව රණසිංහ සමඟ සති අන්තයේ ශ්‍රී නාලිකාවේ ප්‍රචාරය වන ශ්‍රී සිනමාව වැඩසටහන ද මෙහෙයවනවා. ඔහු මෙතෙක් කළ සේවාවන් උදෙසා පසුගියදා කලා භූෂණ සම්මානයෙන් පිදුම් ලැබුවා. එය ලබා දුන්නේ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මඟින්. ලක්ෂ්මන් නවකතාකරණයට අමතරව කෙටි කතා රචකයකු, කවියකු, ගුවන් විදුලි, චිත්‍රපට, ටෙලි නාට්‍ය තිර රචකයකු ලෙස ද කටයුතු කරනු ලබනවා.

යකාගේ කම්හල

සාමාන්‍යයෙන් නළුවකුට එකම කාල වකවානුවක ටෙලි නාට්‍ය පහක චරිත පහක් රංගනයේ යෙදීමට අවස්ථාව ලැබීම විරළ සිදුවීමක්. මේ දිනවලදී එහෙම රඟපාන නළුවකු ඉන්නවා. ඔහු තමයි අසංග පෙරේරා. මුතුකුඩ කුමාරි හාමි සිහින මායාවි ඇතුළු නාට්‍ය පහක අසංග රඟපානවා. මේ හේතුවෙන් එම නාට්‍යන්හි තමන්ට රඟපාන්න තියෙන දින පැටලේවි කියලා වෙනමම ඩයරියක් ඔහු පවත්වාගෙන යනවලු. ඇතැම් අවස්ථාවලදි පැටලිලා තමන් හිතන දර්ශන තලවට නෙවෙයිලු අසංග ඇවිත් තියෙන්නේ. මේ අතරේ අසංග හිරු මෙගා ස්ටාර් වේදිකාවේ නර්ථනයෙන් ද පෙලහර පානවා. මේ වැඩ නිසා අසංගගේ ඔළුව යකාගේ කම්හල වගෙයිලු. ලැබී තිබෙන වැඩ ප්‍රමාණය වැඩි වුණත් ඒවා නිසිලෙසට කළමනාකරණය කර ගනිමින් වැඩ කටයුතු කරගෙන යනවලු.

ශිවන්‍යාට වැඩිය

ලංකාවේ ජනප්‍රියම හැපින්න කවුද කියලා ඇහැව්වොත් වැඩි දෙනෙකු කියන්නේ ශිවන්‍යා කියන නම. ඇත්තම මොන හැපින්නකටත් වඩා ශිවන්‍යාව ජනප්‍රියයි. මේ ශිවන්‍යා ඉන්නේ ප්‍රේම දඩයම ටෙලි සිතුවමේ. එහි ශිවන්‍යාට හඬ කවන්නේ පූර්ණිමා විදේශිකා. ඇය හඬ කැව්ව පළමු චරිතය තමයි ශිවන්‍යා. ඇයගේ වාසනාවට ශිවන්‍යා තරමටම පූර්ණිමාවත් ජනප්‍රිය වුණා. ඇතැම් අය කිව්වේ ශිවන්‍යාට වැඩිය පූර්ණිමා ලස්සනයි කියලා. පසුගියදා ප්‍රේම දඩයමේ අවසන් කොටසට පූර්ණිමා හඬ කැව්වලු. ඒ කටයුතු එලෙස හමාර වෙද්දී ඇයට චිත්‍රපටයක රඟපාන්න ලැබිලා. මෙගා නාට්‍ය රඟපාන්නේ නැහැ කියන මතයේ ඉන්න පූර්ණිමා චිත්‍රපටවලට නම් එකතු වන්නට ඉන්නේ ඉතාම කැමැත්තෙන්. තව නොබෝ දිනකින්ම පූර්ණිමාගේ රුව රිදී තිරයේ දක්නට ලැබේවි.