වර්ෂ 2016 ක්වූ ජනවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ

නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 20

මෙරට වේදිකා ඉතිහාසය ගෙනහැර පාමින් නාට්‍ය හා රංග කලාව විෂය ඇසුරු කරමින් ලියැවෙන ලිපි මාලාව

විකාර රූපී නාට්‍ය කලාවේ බුද්ධියේ ප්‍රවිෂ්ටය

ධර්මසේන පතිරාජ

“මම හිතන්නේ මේ දුරස්ථ කිරීම හා ආත්මීයත්වය යන දෙකම චරිතයක් නිරූපණය කිරීම කෙරෙහි බලපානවා කියායි. අංග සම්පූර්ණයෙන්ම චරිතයකට කිඳා බහින්නත් බැහැ. ඒ ලෙසින්ම අංග සම්පූර්ණ ලෙස දුරස්ථ වන්නත් බැහැ.”

ආචාර්ය ධර්මසේන පතිරාජ අද වඩාත් ප්‍රකට සිනමකරුවකු වශයෙනි. එහෙත් හැටේ දශකයේදී ඔහු කලා විචාරකයෙක්, වේදිකා නාට්‍යකරුවෙක් වශයෙන් කටයුතු කර ඇත.

පතිරාජ විශ්වවිද්‍යාල සමයේ 'රන්මුතු දූව', 'සිකුරු තරුව' වැනි චිත්‍රපට අලළා සමෝධානික විචාරයක් කළ අතර 'තුංමං හන්දිය', 'මිනිසා සහ කපුටා' චිත්‍රපට අරභයා විචාර ලියා ඇත.

පතිරාජ රචනා කර ඇත්තේ එක් නාට්‍ය පිටපතක් පමණක් වුවත් (කොරා සහ අන්ධයා) වුවත් (පුටු) ඔහු නිෂ්පාදනය කර ඇත්තේ එකම එක් නාට්‍යයක් පමණක් වුවත් (පුටු) නාට්‍යකරුවකු වශයෙන් ඔහු හිමිකරගත් ස්ථානය සුවිශේෂී වූවකි.

පතිරාජ , සුගතපාල ද සිල්වා ප්‍රමුඛ 'අපේ කට්ටිය' නාට්‍ය කණ්ඩායමේ දෙවැනි පරපුර නියෝජනය කරන්නෙකි. බන්දුල විතානගේ, ඩබ්. ජයසිරි, විමල් කුමාර ද කොස්තා, දයා තෙන්නකෝන්, තිලක් ජයරත්න යන අය ද එම පරපුරේ නියෝජනයන්ය.

පතිරාජ සිංහල වේදිකාවට ප්‍රවිෂ්ට වන්නේ සුගතපාල ද සිල්වාගේ 'හිත හොඳ අම්මණ්ඩි' නාට්‍යයේ වේදිකා පරිපාලකයකු වශයෙනි. 'හිත හොඳ අම්මණ්ඩි' බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ 'ද ගුඩ් වුමන් ඔෆ් සෙට්සුවාන්' නාට්‍යයේ සිංහල පරිවර්තනයකි. එකල පතිරාජ ද බ්‍රෙෂ්්ට් පිළිබඳ කිසියම් මූලික හැදෑරීක් කර තිබිණි. 'බ්‍රෙෂ්ට් සහ නූතන නාට්‍ය' යන මැයෙන් ඔහු 1970 ජූනි 12 'විසිතුර' පුවත්පතට ලියූ ලිපිය හෝ දුන් සම්මුඛ සාකච්ඡාව එය සාක්ෂාත් කරවයි. ඔහු එහිදී ස්ටැනිස්ලවුස්කි හා බ්‍රෙෂ්ට්ගේ රංග මතවාද තුළනාත්මකව විමසා බලයි. එහිදී ඔහු කියන්නේ මෙම මතවාද දෙකම අන්තවාදී වැඩි බවයි.

"මම හිතන්නේ මේ දුරස්ථ කිරීම හා ආත්මීයත්වය යන දෙකම චරිතයක් නිරූපණය කිරීම කෙරෙහි බලපානවා කියායි. අංග සම්පූර්ණයෙන්ම චරිතයකට කිඳා බහින්නත් බැහැ. ඒ ලෙසින්ම අංග සම්පූර්ණ ලෙස දුරස්ථ වන්නත් බැහැ."

හැත්තෑ ගණන්වල මුලදී පතිරාජ ස්ටැනිස්ලවුස්කිගේ හා බ්‍රෙෂ්ට්ගේ රංග සිද්ධාන්ත ගැන එබඳු බුද්ධිමය ආස්ථානයක සිටීම නාට්‍යකරණය පිළිබඳ ඔහු තුළ තිබූ ප්‍රාමාණික දැනුම විශද කරවන්නකි.

ධම්ම ජාගොඩ නිෂ්පාදනය කළ 'කොරා සහ අන්ධයා' වූ කලී පතිරාජ ලියූ නාට්‍ය පෙළකි. එය විකාරරූපී (ඊඩ්ඡ් ඊඩ්ඡ්ඒඊඅඡ් ර්‍ණජ් ඒඕඉඋඅච්) නාට්‍යයකි. ඒ වාගේම සිංහල වේදිකාවේ විකාර රූපී නාට්‍ය ප්‍රවණාතාවයක් හට ගනිමින් තිබිණි. පතිරාජ එල්. එස්. දයානන්දගේ 'දියසේන', 'කවුරුවත් එන්නේ නැහැ' මෙරට නිෂ්පාදිත ප්‍රථම ස්වතන්ත්‍ර විකාරරූපී නාට්‍ය දෙකකි. ඒ. ජේ. සෙල්වදොරේගේ 'ගොඩෝ එනකං' සැමුවෙල් බෙකට්ගේ 'ද වේටිං ෆෝ ගොඩෝ' නම් වූ විකාරරූපී නාට්‍යයේ පරිවර්තනයක් විය.

'කොරා සහ අන්ධයා' ආවේ මෙබඳු කතා පුවතකි.

එක්තරා රාජ කුමාරියක් අවුරුදු සියයකට පසු නින්දෙන් අවදි වන මොහොතේ කොරුන් දහසකට ඇවිදීමටත් අන්ධයන් දහසකට පෙනීමටත් වරම් ලැබෙන බව කියැවෙයි. මෙම අනගි අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම සඳහා කොරෙක් සහ අන්ධයෙක් දිගු ගමනක යෙදෙති. අන්ධයා අත හැරමිටියකි. ඔවුනොවුන්ගේ සහාය දෙදෙනාටම අවශ්‍යය. වෙනත් ලෙසකින් කිවහොත් එකෙකු කෙරෙහි අනිකකු පවතී. අන්ධයාගේ කර මත ගමන් ගන්නා කොරා අන්ධයාට හිරිහැර කරයි. වරෙක කොරාට අන්ධයා මරා දමන්ට සිතේ. එතේ ඔහු ඒ කොරා අතරමඟ හැර දමන්ට වරෙක අන්ධයා උත්සාහ ගනී. එහෙත් කොරා උපායශීලීව අන්ධයා තමා වෙත නම්මාගෙන තවදුරටත් ඔහුගේ කරපිටින් යයි. ඔවුහු දිගු ගමන නිමාකර කුමරිය වෙසෙන මන්දිරයට ඇතුළු වෙති. කොරා ඇවිදියි. අන්ධයාට පෙනීම ලැබේ. කොරා අන්ධයාගේ ගෙල මිරිකා මරා දමයි. එහෙත් අවසානයේ නිස්සාරත්වය පිළිබඳ හිස් හැඟීමක් කොරා තුළ ඇති වෙයි. ඔහු ශෝකයෙන් මෙන් කිසිවක් කීමට තැත් කරයි.

මෙම නාට්‍යයේ සංවාද හා ආකෘතිමය ස්වභාවය හඳුනා ගැනීම සඳහා නාට්‍යය ආරම්භ වන ආකාරය පෙළ රචනයේ දක්වා ඇති පරිදි විමසමු.

කාලය හා ස්ථානය අවිනිශ්චිතය. වේදිකාව හිස්ය.

අඩ අඳුරු එළියක් මූසල අළු පාටක් වැනි එළියක් ඇත. එකෙකුගේ කරේ නැඟුණු තවත් එකෙක් වේදිකාවේ මැදින් මතුවෙයි. ඔවුන් අපහැදිලිය. අඳුරු ගුලි දෙකක් බඳුය. වේදිකාව මැදට එත්ම කෙමෙන් එළිය වැටෙන්ට පටන් ගනී. එකෙකු අන්ධයෙකි, අනිකා කොර එකෙකි. කොරා අන්ධයාගේ කර උඩ නැඟ සිටී. දෙදෙනාම නිශ්චිතවම හඳුනාගත නොහැකි තරමටම වැරහැලි වුණු ඇඳුම් ඇඳගෙන සිටිති. කොරාගේ එක අතක හැරමිටියක් ඇත. එය දෙදෙනාටම වඩා උසය. අනික් අතින් කරෙන් පහළට වැටෙන ඔලගුවක් අල්ලාගෙන යති. දෙදෙනාම ඉදිරිපස වේදිකාවට ඇවිත් නවතී.

අන්ධයා - "ඔන්න ඔය ටික තමයි මං හැම වෙලේම උඹට කියන්නේ. පොඩ්ඩක් හිතපන්, අපි ටිකක් කල්පනා කරන්න ඕනෑ. අපිට තව ගොඩ ක් කාලයක් ජීවත් වෙන්න තියෙනවා. අමාරුවෙන් හරි අපිට තව හුඟ දුරක් යාගන්න පුළුවන්. මා ගැන මීට වඩා චුට්ටක් උඹ හිතනවනං"

මෙහි කොරා ලෙස දයා තෙන්නකෝන් හා අන්ධයා ලෙස විමල් කුමාර ද කොස්තා ද රඟපෑහ.

මෙම නාටකයට මුල් වී ඇති කොරාගෙත් අන්ධයාගේත් අන්‍යෙන්‍ය අවලම්බිත ස්වභාවය පිළිබඳ මනෝරූපයක් යැයි කියන මහාචාර්ය විමල් දිසානායක මේ මනෝරූපය පැරැණි සිංහල ජන සාහිත්‍යයෙත්, සීගිරි පද්‍යයකත් දක්නා ලැබෙන බව කියයි. එසේම ඒ අරභයා තවදුරටත් අදහස් දක්වන මහාචාර්යවරයා මේ මනෝරූපය සිහියට නංවන මානුෂික අවස්ථා විකාරරූපී නාට්‍ය රචක සැමුවෙල් බෙකට්ගේ ඇතැම් නාට්‍යයක දක්නා ලැබෙන අතර වැස්කෝ පෝපා නමැති යුගෝස්ලොවියානු කවියාගේ රචනයක ද මෙයම අලංකාරෝත්තියක විලාසයෙන් දක්නා ලැබෙන බව කියයි. 70 වසරේ නාට්‍ය ක්ෂේත්‍රයේ වැදගත් සිදුවීම් තුනක් ගැන කතා කරන මහාචාර්ය ඒ. ජේ. ගුණවර්ධන ඉන් එක් සිදුවීමක් ලෙස දකින්නේ 'කොරා සහ අන්ධයා' නිෂ්පාදනයයි. නිෂ්පාදනයේ නිර්මාණාත්මක අවශ්‍යතා දැන ඉදිරිපත් කළ නාට්‍යයක් ලෙසය ඔහු මෙය හඳුන්වන්නේ.

'කොරා සහ අන්ධයා' තුළ ප්‍රංශ බසට පරිවර්තනය කරන ලදුව එය අර්ධ මාසික ජාත්‍යන්තර නාට්‍ය සඟරාවක් වන ඹ්'ඒ ඍඒව්ඊ ඉඛ්ඡ්ව්ඡ් හි පළව ඇත.

'පුටු' පතිරාජ පරිවර්තනය කර නිෂ්පාදනය කළ එකම නාට්‍යයයි. එය ලෝකයේ අද්විතීය විකරරූපී නාට්‍ය රචකයකු වූ යුශේන් ඉයොනෙස්කෝගේ 'ද චෙයාර්ස්' නම් වූ නාට්‍යයේ පරිවර්තනයකි.

ඉයොනෙස්කෝ (1912 - 1994) විකාරරූපී නාට්‍ය රැසක කතුවරයාය. 'ද බෝල්ඩ් සොප්‍රානෝ', 'ද පික්චර්", 'ද ලෙසන්', ' අමෙඩි', 'රයිනෝසිරස්' ඔහුගේ ජනප්‍රිය විකාරරූපී නාට්‍ය අතර වෙයි.

1976 ලෝක නාට්‍ය දිනය වෙනුවෙන් ඉයොනෙස්කෝ පිළියෙළ කළ පණිවුඩය ඔහුගේ අදීන චින්තනය ප්‍රකාශ කරලන්නට ඔහු එහිලා මෙසේ කියයි.

"අනිවාර්යයෙන්ම දේශපාලකයෝ කලාවේ ආවතේවකාරයෝ පමණක් වෙන්න ඕන. ඒ හැර සියල්ලටම ඉහළින් ඉඳගෙන නාට්‍ය කලාවට අතදාන කෘති වාරණයට ලක්කරන, පාලක මණ්ඩල ඇති කරන පිරිසක් නොවිය යුතුය. ලොවට නිදහසේ ලැබෙන්න ඉඩ පහසුකම් සපයන්න ඔවුන් කටයුතු කළ යුතුය. ඒත් නිදහස් පරිකල්පනය ඒ උදවිය තුල භීතිකාවක් ඇති කරනවා. අන්න ඒ නිසාම තමයි ඇතැම් රටවල බහුල ලෙස නිර්මාණ කෘති වාරනයට ලක් වන්නේ. තමන්ගේ රාජ්‍ය තන්ත්‍රය ගැන විශ්වාසයක් නැති වැනෙන ආණ්ඩු නිතරම ප්‍රතිවිරෝධී අදහස් ගැන පුදුමාකර බයකින් පසුවන්නේ."

ඉයෙනෙස්කෝ එහිදී තවදුරටත් මෙසේ ද කියයි.

"පෞද්ගලිකව ගත්තම ඕනෑම පුරවැසියකුට තමන්ට රුචි දේශපාලන ආස්ථානයක රැඳෙන්න පුළුවන්. නිදහස හැර අන් සියලුම දෑ සැබෑ කලාකරුවා ප්‍රශ්න කළ යුතුයි. ආණ්ඩුවලට මුක්කු ගහලා ඉන්න පණ්ඩිතයන්ගෙනුයි, ඒ ආණ්ඩුවලින් කලාව බේර ගන්න නම් ඉක්මනින් කලාව නිර්දේශපාලනය කළ යුතු වෙනවා. මේක තමා සැබෑ නාට්‍යකරුවන්, කලාකරුවන් ඉදිරියේ තිබෙන මුඛ්‍ය අභියෝගය."

"පුටු" ඉයොනෙස්කෝගේ නාටය්‍යක් සිංහලට පරිවර්තනය වූ පළමු වතාවය. (ඊට ඉහත පී. වැලිකල 'කුළු හරක්' නමින් නිෂ්පාදනය කළේ මොහුගේ 'රයිනෝසිරස්' නාට්‍යය බව කියැවුණත් එය තහවුරු කරන්ට අවශ්‍ය සාධක මෙතෙක් අපට ලැබී නැත).

කෙසේ වෙතත් පසු කලෙක ඉයොනෙස්කෝගේ නාට්‍ය කීපයක්ම සිංහල වේදිකවේ රඟ දැක්විණි. රන්ජිත් ධර්කීර්තිගේ 'හස්තිරාජ මහත්තයා' (ද පික්චර්) කපිල කුමාර කාලිංගේ 'රයිනෝසිරස්' (රයිනෝසිරස්) රණසිංහ අධිකාරිගේ 'හතළිස් වැනි මරණය' (ද ලෙසන්) කංචුකා ධර්මසිරිගේ 'තට්ට ගායිකාව' (ද බෝල්ඩ් සො ප්‍රානෝ) සුදත් මහදිවුල්වැවගේ 'සහතික නොකළ මරණයක්' (අමෙඩි) ඉන් කීපයකි.

'පුුටු' නාට්‍යයේ කතා සාරංශය මෙසේය.

කොදෙව්වක ඉදිකර ඇති එක්ටැම් ගෙයක මහලු යුවළක් වාසය කරති. මහල්ලාගේ වයස අවුරුදු 95 කි. මැහැල්ල ඊට අවුරුද්දක් බාලය. අනාගත පරම්පරාවට ඉතා වැදගත් පණිවුඩයක් ලබා දෙන්නට මහල්ලා සූදානමින් සිටී. මහල්ලා ශූර කථිකයකු නොවන බැවින් පණිවුුඩය ප්‍රකාශයට පත්කරන්ට කථිකයකු ගෙන්වා ගනී. මෙම වැදගත් පණිවුඩය අසන්ට බොහෝ දෙනෙක් පැමිණෙති. එහෙත් ඔවුන් අදෘශ්‍යමානය. අධිරාජ්‍යයා පවා මෙයට සහභාගි වෙයි. මහලු යුවළ අමුත්තන්ට ඉඳගැනීම සඳහා පුටු සකස් කරති. අදෘශ්‍යමාන අමුත්තන් සමඟ අභිනයෙන් කතා කරති. කථිකයා පැමිණේ. මහලු යුවළ තම පණිවුඩය ඔහුට භාරදී ජනේලයෙන් මුහුදට පැන දිවි තොර කර ගනිති. කථිකයා ගොළුවෙකි. ඔහු කියවන පණිවුඩය අපැහැදිලි ශබ්ද මාලාවක් පමණි. කථිකයා කළු ලෑල්ලක යමක් ලියයි. එය ද අපැහැදිලිය. එහි ඇත්තේ අක්ෂර විකෘතියකි.

'පුටු' සාර්ථක නාට්‍ය නිෂ්පාදනනයක් වූයේය. මෙහි මහල්ලා ලෙස විමල් කුමාර ද කොස්තාත් මැහැල්ල ලෙස මානෙල් වීරමුණිත් කථකයා ලෙස දයා තෙන්නකෝනුත් රඟපෑහ. සංගීතය ආචාර්ය ප්‍රේමසිරි කේමදාසගෙනි.

1971 ජාතික නාට්‍ය උලෙළේදී 'පුටු' හොඳම පරිවර්තනය සඳහා වන සම්මානය දිනාගති.

විමල් කුමාර ද කොස්තා අභිරූපණ රංග (ඊඩ්ඡ් ඒඅඊ ර්‍ණජ් ර්ධ්ර්ඡ්) කීපයක් සඳහා පතිරාජ පිටපත් ලියා ඇත. ඇතැම් රංගයක් නිෂ්පාදනය කර ඇත.

'අහස් ගව්ව' චිත්‍රපටයත් සමඟ සිනමාවට ප්‍රවිෂ්ට වීමෙන් ඉනික්බිතිව පතිරාජ වෙතින් වෙනත් නාට්‍යයක් ලියැ වී හෝ නිෂ්පාදනය වී නැත. 'අහස් ගව්ව්, 'බඹරු ඇවිත්' චිත්‍රපටයෙන් පතිරාජ හා රංගධරයකු වශනේ විමල් කුමාර ද කොස්තා ප්‍රගුණ කළ විකාරරූපී ස්වභාවය යම් පමණකට දක්නට ලැබේ.