වර්ෂ 2016 ක්වූ ජනවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




ක්ලීටස්ට දෙවියන් වහන්සේගෙන් තෑග්ගක්

ක්ලීටස්ට දෙවියන් වහන්සේගෙන් තෑග්ගක්

ක්ලීටස් මට හඳුන්වා දුන්නේ චිත්‍රපට අධ්‍යක්ෂ ඇන්ටන් ග්‍රෙගරි විසිනි. මේ දෙදෙනාම මීගමු පුරවරයෙන් බිහි වූ සිනමාකරුවන් වූහ. සංඛපාලි, කිරි සුවඳ, යළි පිපුණු මලක්, ප්‍රාර්ථනා, සූර සරදියෙල් ඇතුළු චිත්‍රපට රැසක රඟපෑ ක්ලීටස් තිරයේ දකින දුෂ්ටයාට හාත්පින්ම වෙනස් නිහතාමනී චරිතයකි. බැතිමත් කිතුනුවකු වූ ඔහු ආදරණිය ස්වාමි පුරුෂයෙකි, කරුණාවන්ත පියෙකි.

ක්ලීටස් මෙන්ඩිස් වඩාත් ප්‍රකටව සිටියේ දුෂ්ට චරිත රඟපැමටය.මගේ මතකයේ හැටියට 'වීර පුරන් අප්පු' චිත්‍රපටයෙන් ඔහු සිනමාවට පිවිසියේය. මීගමුවේ මාරිස්ටෙලා විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ ඔහු දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙකි.

පසු කලෙක සිනමාවට පිවිසි රන්ජන් මෙන්ඩිස් සමඟ ක්ලීටස් පාපන්දු පිටිය වර්ණවත් කළේය. 'අපේක්ෂා' චිත්‍රපටයෙන් 1978 සිනමාවට පිවිස ඉන් පසු අනුපමා, අමල් බිසෝ, පළඟැටියෝ හා සසරක පැතුම් චිත්‍රපටවල රඟපෑ රන්ජන් අකාලයේ මිය ගියේය. එච්. ඩී. ප්‍රේමරත්න හඳුන්වා දුන් රන්ජන් හිත හොඳ නිහතමානී තරුණයෙකි. එකල අපි ඔහුට 'සරසවිය' පුවත්පතින් ලොකු ප්‍රචාරයක් ලබා දුන්නෙමු. ඔහු තව කලක් සිටියා නම් සිංහල සිනමාවේ හොඳම චරිතාංග නළුවකු වනු නොඅනුමානය.

ක්ලීටස් මට හඳුන්වා දුන්නේ චිත්‍රපට අධ්‍යක්ෂ ඇන්ටන් ග්‍රෙගරි විසිනි. මේ දෙදෙනාම මීගමු පුරවරයෙන් බිහි වූ සිනමාකරුවන් වූහ. සංඛපාලි, කිරි සුවඳ, යළි පිපුණු මලක්, ප්‍රාර්ථනා, සූර සරදියෙල් ඇතුළු චිත්‍රපට රැසක රඟපෑ ක්ලීටස් තිරයේ දකින දුෂ්ටයාට හාත්පින්ම වෙනස් නිහතාමනී චරිතයකි. බැතිමත් කිතුනුවකු වූ ඔහු ආදරණිය ස්වාමි පුරුෂයෙකි, කරුණාවන්ත පියෙකි.

ඔහු මා හමු වී කතාබහ කොට ඇත්තේ නම් එය කෙටි කතාවකට සීමා විය. එයට තවත් හේතුවක් වූයේ ඔහු මීගමුවේ උපන්නත් මධුපානය නොකළ බැවිනි. එසේ වුවත් මධු සාදවල අනුව ගැලපීමට හැකියාවක් තිබුණි. දක්ෂ ගායකයකු වූ ඔහු මේ සාදවල ගායකයෙකු ලෙස කැපී පෙනුණි. විජය කුමාරතුංග, රවීන්ද්‍ර රන්දෙනිය මෙන් ක්ලීටස් ද ගායනයේදී අපූරුවට කැපී පෙනුණි. විජය මිය ගිය පසු ඔහු විජයගේ හඬින්ම ගීත ගැයීම විශේෂයක් විය. විජයගේ හඬට ක්ලීටස්ගේ හඬ අපුරුවට ගැලපුණි.

මා ක්ලීටස් හරිහැටි හඳුනා ගත්තේ 1992 වසරේදීය. ශ්‍රී ලංකවේ නළු නිළියන් හා කේරළයේ නළු නිළියන් යොදා කේරළයේ රූගත වූ 'ආචර්යන්' නම් මේ චිත්‍රපටයේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදකවරයා වුයේ යසපාලිත නානායක්කාරය. නිෂ්පාදන සම්බන්ධිකරණය ටී. අර්ජුන (චිත්‍රපට අධ්‍යක්ෂ). මේ චිත්‍රපටය ශ්‍රී ලංකාවෙන් යසෝධා විමලධර්ම, රජීව් නානායක්කාර, මාක් සැම්සන් ද කේරළයෙන් තිලකන්, ශ්‍රීනිවාසන්, සුරේෂ් ගෝපි, ජගත් කුමාර්, කේ. පී. උම්මර් සහභාගී වූහ. ආශෝකන් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වූයේ තුල්සිදරන්ය. මේ චිත්‍රපටයේ රූගත කිරීම් නැරැඹීමට සරසවිය කර්තෘ ලෙස මට ආරාධනය කළේ යසපාලිත හා අර්ජුනය.

මා තිවැන්ද්‍රම් ගුවන් තොටුපළේ සිට ඔවුන් නැවතී සිටි ප්‍රශාන්ත් හෝටලයට රැගෙන ඒමට ක්ලීටස් සහ මාක් සැම්සන් පැමිණ සිටියහ. ඔවුන් මා ආදරයෙන් පිළිගත්හ.

'රංජිත් ආපු එක හොඳයි, අපි ලංකාවේදී මෙහෙම කතා කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ' ක්ලිටස් කීවේය.

ලයාලි භාෂාව අපූරුවට උච්චරණය කරමින් අපේ නළු නිළියන් රඟපාන අයුරු දකින විට මට සතුටක් ඇති විය. රජීව් නානායක්කාර පිරිසේ ජනප්‍රිය පුද්ගලයා විය. ඔහු මලයාලි චිත්‍රපටයට සම්බන්ධ සියලුම ශිල්පීන් සමඟ අත්වැල් බැඳගෙන තිබුණි. රජීව් රඟපෑවේ මත්කුඩුවලට ඇබ්බැහි වූ ප්‍රේමවන්තයකු වූ උන්නි ලෙසය. මේ චරිතය සඳහා රජීව් රැවුල වවා තිබුණි.

'මම රැවුල වවාගෙන චරිතයක් රඟපාන ප්‍රථම අවස්ථාවයි මේ' රජීව් මට කිවේය.

යසෝධා විමලධර්ම මේ චිත්‍රපටයේ රඟපෑවේ රේඛා නම් තරුණියගේ චරිතයයි. ඇය ප්‍රේම කරන්නේ තරුණ මූර්ති ශිල්යෙකු වු කේරළ නළු විතීන් සමඟය. මාක් සැම්සන් ශ්‍රී ලංකවේ ප්‍රකට සටන් නළුවෙකි. ඔහු මේ චිත්‍රපටයේ සටන්කාමී ස්ටැලෝන්ය. ඔහුගේ කොණ්ඩය කැරලි ගොතා තිබුණි. මම මාක්ගේ කොණ්ඩය සකස් කරන අන්දම බලා සිටියෙමි. ඒ සඳහා වේශ නිරූපණ ශිල්පී සුදේවන්ට පැය දෙකක් පමණ ගත විය.

මා කේරළයට ගිය දිනම මුල්ම රූප රාමුවට මුහුණ දුන්නේ ක්ලීටස්ය. දුඹුරු පැහැති බාච්චුවක් වැනි දිග බැනියමකින් හා ඒ පාටටම හුරු දුඹුරු කලිසමකින් සැරසී සිටි ක්ලීටස් කේරළ බස උච්චාරණය කරමින් ටෙලිෆෝනයෙන් කතා කරනු දුටු මම මවිත වීමි. රඟපෑමෙන් පසු අධ්‍යක්ෂ අශෝකන් 'ඡ්යජඥතතඥදබ'කියනු ඇසුණි.

රූගත කිරීම් අවසන අධ්‍යක්ෂවරයා 'මේ හතර දෙනාම නෑයෝ'දැයි අපෙන් ඇසීය.

'නෑයෝ නෙවෙයි, ඒ වුණාට සහෝදර නළු නිළියෝ' මම කීවෙමි.

ඇත්තටම එක පවුලේ අය වගේ අපට ලොකු සහායක් දුන්නා. ඉතා ඉක්මනින් අපේ භාෂාව තේරුම් ගත්තා. අපේ රූපගත කිරීම් බලන්න ආව කේරළ සිනමා පුවත්පත් කලාවේදියෙක් මේ අය අගය කරලා අපූරු ලිපියන් ලියලා තිබුණා' කී අධ්‍යක්ෂවරයා අපට ඒ සඟරාවෙන් පිටපතක් දුන්නේය. මලයාලි බසින් නිකුත් කරන ලද 'නානා' නම් ඕෆ්සෙට් වර්ණයෙන් පිටවන සඟරාවේ ලිපියේ ඡායාරූපයක් මම සරසවියේ පසුව පළ කළෙමි. යසෝධා විමලධර්මගේ ඡායාරූපයකින් එහි කවරය සැරැසී තිබුණේය.

ක්ලීටස් හා මාක්ගේ සටන් දර්ශන මෙහෙය වු චිත්‍රපටයේ සටන් අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ත්‍යාගරාජන් මවිතයට පත් විය.

'ඔබ දෙදෙනා අපේ නළුවන්ට වඩා සටන් දර්ශනවලදී අවදානම ගන්නවා' සටන් අධ්‍යක්ෂවරයා කීවේ ක්ලීටස්ට හා මාක්ට සුබ පතමින්ය.

මා කේරළයේ සිටි සතියක කාලයක් තුළ සවස රූගත කිරීම් නිම වූ පසු සංගීත රස දහරකි. අප සිටි කාමරවල ඉදිරි කාමරවල සිටි අධ්‍යක්ෂ, සහාය අධ්‍යක්ෂ හා නිෂ්පාදක මේ සංගීත රාවය අසා අප අසලට පැමිණෙන්නේ පුටුවක් ද සහිතවය.

ක්ලීටස් සංගීත මාස්ටර්ය. මේසයට තාල තබා ගීයක් පටන් ගනී.

'දුරස්වන්නට මේ ලෙසින් ඇයි ද අප හමු වුණේ'

අත්පුඩි අතරින් තවත් ගීතයක් ගැයීමට ක්ලීටස්ට ඇරැයුම් ලැබේ.

'රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ'

පිරිසේ හින්දි විශාරදවරිය යසෝධාය. යසෝධාගේ පියා වූ රවිලාල් විමලධර්ම හින්දි විශාරදවරයෙකි. ඔහු විශ්ව විද්‍යාල හින්දි කථිකාචාර්යවරයකු ද, සංස්කෘතික අධ්‍යක්ෂ ලෙස ද කටයුතු කර ඇත. කුඩා කල ඔහු ගුවන් විදුලියෙන් මෙහෙය වූ 'ගී අමධාරා' නම් හින්දි ගීත වැඩසටහන අප ඇසීමට සැදී පැහැදී සිටියේය.

'දැන් යසෝධා හින්දි ගීතයක් ගයන්න ඕනෑ' මාක් සැම්සන් නිවේදනය කළේය.

'චොටා බායි' චිත්‍රපයේ ලතා මංගේෂ්කාර් ගැයූ ගීතයකි එය. ගීතය අවසානයේ අත්පුඩි හඬ ගිගුම් දුන්හ. මාක් සැම්සන් ගායකයකු ලෙස මෙන්ම විකට ජවනිකා රඟපෑ නළුවකු ලෙස ද මතු විය. ඔහු සුනිල් පෙරේරා (ජිප්සීස්) වෙළඳ දැන්වීම් සඳහා ගැයූ 'ජිංගල්ස්' ඒ හඬින්ම ගයා පිරිස සතුටට පත් කළ අතර මැක්ස්වල් මැන්ඩිස්ගේ හා සුනිල්ගේ ගීත ගැයීය. කේරළ පිරිසේ සිටි චිත්‍රපට තිර රචකයා වූ බී. ජයචන්ද්‍රන් කලකට ඉහත ලංකාවේ තිරගත වූ 'චෙම්මීන්' නම් මලයාලි චිත්‍රපටියේ ශෝකී ගීතයක් භාවාත්මකව ගැයීය. අපේ කලාකරුවෝ ධ්‍යානගතව එය අසා සිටියහ.

ගීත සැඳෑව අවසන් වූ පසු සහාය අධ්‍යක්ෂවරයාට මම ප්‍රසාදය පළ කොට 'චෙම්මීන්' චිත්‍රපටයේ පරාජිත පෙම්වතා හා පෙම්වතී ලෙස රඟපෑ කොච්චි මුදලාලි මධූ සහ කුරුතම්මා ලෙස රඟපෑ නිළිය පදිංචිව ඇත්තේ කොහිදැයි කරුණු විමසීමි.

'මධූ නම් ඉන්නේ මේ ළඟ. එයා හැම දවසකම එකොළහ වෙන කොට මේ හෝටලයේ බාර් එකට එනවා ඩ්‍රින්ක් එකක් ගන්න. මම හෙට ඔබ එක්ක ගිහින් අඳුන්නලා දෙන්නම්. තවමත් 'චෙම්මින්' නැරඹූ අය එයාට ආදරෙයි' තිර නාටක රචකයා කීවේය.

නිළිය සිටින්නේ ඈතක බව කී ඔහු 'මම ආරංචි කරලා බලලා කියන්නම්' මට පොරොන්දු විය.

ඉන් පසු තිබූ මධු සාදයේදී ක්ලිටස් මුනිවත රැක්කේය. අපට සප්පායම්වීමට තිබුණේ ඉන්දියා සුවිශේෂ විස්කි හා 'ඕල්ඩ් මන්ක්' නම් අති විශේෂ රම් බෝතල්ය. කේරළයේ කට ගැස්මට අනිවාර්යයෙන්ම 'ඉස්සන් 'බයිට් එක නොවරදී. කේරළය ඉස්සන්ට අති ප්‍රසිද්ධය. 'චෙම්මීන්' නමින් නිපද වූ චිත්‍රපටයේ නමේ තේරුම ද 'ඉස්සෝ'ය.

'ක්ලීටස් මේ රම් ටිකක රහ බලන්න. මේක අවුසදයක්' කවුදෝ කීය.

අපේ බල කිරීමට ක්ලීටස් රම් ස්වල්පයක් වීදුරුවට වත්කර ගත්තේය. එතැන් සිට ක්ලීටස් සිටියේ අමුතු ලෝකයකය. ඔහු කෑම නොකාම නින්දට ගියේය.

'මීට පස්සේ ක්ලීටස්ට බොන්න දෙන්න එපා' රජීව් හා යසෝධා නීතියක් පැන වූහ. ක්ලීටස් බීවේ ද දිදාලයක තරමේ රම් ස්වල්පයකි.

පසුදා අපි කේරළය පුරා ඇවිද්දෙමු. එහි ටවුමේ සාරි කඩ 10 ක් තිබුණොත් පොත් කඩ ද 10 ක් පමණ තිබුණි. මලයාලි සාහිත්‍යයට ආදරය කළ බොහෝ දෙනා අලුත් මෙන්ම පරණ පොත් ගැනීමට රැස්ව සිටියහ. අප කේරළයේ වීදිවල ඇවිදින විට දුටු විශේෂ ලක්ෂණයක් නම් එරට දැවැන්ත පෝස්ටර් අලවා ඇති බවය. මේ දැවැන්ත සිනමා පෝස්ටර්වල ප්‍රධාන චරිත රඟපාන සම්ප්‍රදායානුකූල කේරළ නිළියන්ගේ හැඩ රුවට යසෝධාගේ හැඩ රුව සමාන බව මට එකවර තේරුම් ගත හැකි විය.

පසුදා අප නැවතී සිටි හෝටලයේ බාර් එකේදී 'චෙම්මීන්' චිත්‍රපටයේ ප්‍රධාන නළුවා මධූ හමු විය. ඔහු උත්තුංග දේහධාරියෙකි. සුදු වේට්ටියකින් සැරසී සිටි අතර ඔහු හා කතා කරන විට නිහතමානී කලාකරුවකු බව මොනවට පැහැදිලි විය. ඔහු 'චෙම්මීන්' චිත්‍රපටයේ අධ්‍යක්ෂ රාහු කාරියට් ගැන තොරතුරු මට කීවේය. ඔහුගේ වැඩිහිටි මුහුණින් මා දුටුවේ අර පරාජිත පෙම්වතාගේ මුහුණය.

කේරළයේ ගත කළ අන්තිම දෙදිනේ එක් දිනයක ක්ලීටස් මට මෙසේ කීවේය.

'රංජිත් මාත් එක්ක ගමනක් යන්න එනවද?'

මේ කිට්ටුව බොහොම හාස්කම් තියෙන පල්ලියක් තියෙනවා ශාන්ත ඇන්තනීස් කියලා. මට බාරයක් වෙන්න තියෙනවා.'

'අපට දරුවෙකු ලැබෙන්න කියලා. මගෙයි බිරිඳගෙයි එකම ප්‍රාර්ථනය ඒකයි'

'අනේ ක්ලීටස් ඉතාම උතුම් ප්‍රාර්ථනයක්. ඔයා එක්ක මටත් සහභාගි වෙන්න ලැබීම ලොකු භාග්‍යයක්' මම කීවෙමි.

අපි කේරළයේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට ගියෙමු. ඔහුත් මාත් එහි දණ ගසා අපේ ප්‍රාර්ථනය, බලාපොරොත්තුව ඉල්ලා සිටියහ.

'මට දැන් හරිම සතුටුයි. ලොකු සැනසිල්ලක් තියෙනවා'

'ඇත්ත. ඒක ඔයාට දැනෙන්න ඕන. ඔයාගේ බාරය ඔප්පු කරන්න මාස හය හතකින් මේ සුද්ධ භූමියට එන්න'

ක්ලිටස් හා මා යළිත් හෝටලයට පැමිණියේ හද පිරි සතුටිනි. පසුදා මා නැවත යන බව දැනගත් කේරළයේ කලාකරුවන් මට විශේෂ භෝජන සංග්‍රහයක් පවත්වන ලදී. චිත්‍රපටයේ තිර නාටක රචකයා මට 'කේරළ සිනමාව' ගැන ග්‍රන්ථයක් ද සිවසංකර් පිල්ලේ නම් ලේඛකයාගේ නවකතාවක් තෑගි කළේය.

'නැවත ඔබ යළිත් එන්න' ඔවුන් මට කීහ.

මේ සංචාරය අවසන් කොට වසරකට පසු පමණ ක්ලීටස් මට අලුත් ආරංචියක් දුන්නේය.

'අපට පුතෙකු ලැබුණා. නම ඩිල්සර. අපිට දෙවියන් වහන්සේ දුන්න තෑග්ගක්' ක්ලීටස් සතුටින් කීවේය.

'ඔයයි, ඩොරින් වගේම මමත් සතුටු වෙනවා' මම කීවේය.

ඊළඟ සරසවියේ ප්‍රධාන ප්‍රවෘත්තිය ලෙස මම එම පුවත පළ කළේ මේ ශීර්ෂ පාඨයෙනි.

'ක්ලීටස්ට දෙවියන් වහන්සේගෙන් තෑග්ගක්'