වර්ෂ 2016 ක්වූ ජනවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




දැන් ජීවිතයම පුංචි පුතා තමයි

දැන් ජීවිතයම පුංචි පුතා තමයි

ලෝචනා ඉමාෂි

මම කොහොමත් හැම තැනකදීම කියව කියව ඉන්න කෙනෙක් නෙවෙයි. අවශ්‍ය තැන්වලදී තැන්පත්ව සිටිනවා. නමුත් මගේ ගතිගුණ එහෙම්මමයි. මේ මගේ උපන් හැටි. ඉස්සර දැකපු ලෝචනාම තමයි අදටත් ඉන්නේ. කොච්චර ජනප්‍රියත්වය ලැබුණත් මම එදා වගේම අදත් හැමෝම එක්ක සුහදයි. හැමෝම එක්ක කතාබහ කරනවා. එහෙම විශේෂයෙන් කියලා වෙනස් වෙලා නැහැ.

ලෝචනා ඉමාෂි කියන නම ඇසුණ සැනින් මතක් වෙන්නේ දඟකාර නිළියක් මෙන්ම කටකාර තරුණියක්ව. ඒ කටකාර කමයි දඟකාරකමයි ක්ෂේත්‍රයේ අයට නම් හරිම හුරුයි. සරලව සැහැල්ලුුවෙන් ජීවිතය ගෙවා දැමූ ලෝචනා දැන් අම්මා කෙනෙක්. ඇගේ පුංචි පුතුට හරියටම මාස හතරයි. අප ලෝචනාගේ අලුත් ජීවිතය ගැන අහලා එහි විස්තර ඔබ වෙත ගෙන එන්නට හිතුවා. ලෝචනා තම පුතුගේ රුව වැඩි වශයෙන් මාධ්‍යට යොමු කළේ නැහැ. ඒ වුණාට ඇය අපට නම් දෙවතාවක් නොසිතා පවුලේ සේයාරූ පළ කිරීමට අවසරය ලබා දුන්නා. ඒත් සමඟම පවුල් ජීවිතයේ තොරතුරු අපත් සමඟ මෙසේ බෙදා ගත්තා.

සියල්ලට පෙර ලෝචනා කියන්නකො තවමත් ඉන්නේ අර කටකාර දඟකාර ලෝචනා ඉමාෂිමද කියලා?

අනිවාර්යයෙන් බබා ලැබිලා අම්මා කෙනෙක් වුණාට මම පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැහැ. ආයේ ඉතින් මමම තමයි බබාලා දහ දෙනෙක් ලැබුණත්. මං මේ වගේම තමයි.

ඒ වුණාට ගොඩක් දඟකාර තැනැත්තියෝ විවාහ වෙලා මවක් වුණාට පස්සේ බොහොම තැන්පත් වෙනවා?

මම කොහොමත් හැම තැනකදීම කියව කියව ඉන්න කෙනෙක් නෙවෙයි. අවශ්‍ය තැන්වලදී තැන්පත්ව සිටිනවා. නමුත් මගේ ගතිගුණ එහෙම්මමයි. මේ මගේ උපන් හැටි. ඉස්සර දැකපු ලෝචනාම තමයි අදටත් ඉන්නේ. කොච්චර ජනප්‍රියත්වය ලැබුණත් මම එදා වගේම අදත් හැමෝම එක්ක සුහදයි. හැමෝම එක්ක කතාබහ කරනවා. එහෙම විශේෂයෙන් කියලා වෙනස් වෙලා නැහැ.

කොහොමද බබත් එක්ක ගෙවුණු මේ මාස හතර ඔබට දැනුණේ?

මොනවද ඉතින්. ජීවිතයම බබා තමයි. මේ කාලයම ගෙවා දැම්මේ බබත් එක්ක. හරිම වෙනස් අත්දැකීමක්. කොච්චරවත් අනුන්ගේ ළමයි හුරතල් කරලා තිබුණත් ඒක එතනින් ඉවරයිනෙ. නමුත් තමන්ගේම බබෙක් ඉන්න ඕන ඒ හැඟීම ඇත්තටම දැනෙන්න.

මොකක්ද බබාට දැම්ම නම?

මෙදුල නවරත්න.

ඔබ සහ ඔබේ සැමියා ලසන්ත බලාපොරොත්තුවෙන් හිටියේ පිරිමි ළමයකුටද?

මම නම් ආසාවෙන් හිටියේ කොල්ලෙකුට. ලසන්තගේ කැමැත්ත නම් තිබුණේ දුවෙකුට. ඒ වුණාට දැන් නම් මටත් වැඩිය බබත් එක්ක ඉන්නේ ලසන්ත.

කොහොමද මවක වීමේ අත්දැකීම?

ඉතාම සුන්දරයි. එහෙම තමයි මට දැනෙන්නේ. ඇත්තටම අම්මා කෙනෙක් වෙන්නම ඕනැ ඒ ලැබෙන අත්දැකීම් ටික දැනෙන්න. මම මවක් වෙන්න සූදානම් වෙනවා කියන කාරණය දැනගත් වෙලාවේ පටන්ම දරුවව ආරක්ෂා කළා. සාමාන්‍යයෙන් ඕනෑම මවක් එහෙමයි. එතකොට මට දැනුණේ අපේ අම්මා මාව ලැබෙන්න ඉන්නකොට කොතරම් මාව පරිස්සම් කරන්න ඇති ද කියලා. දරුවා ලැබුණට පස්සේ මම සහ ලසන්ත කැප වුණේම දරුවා වෙනුවෙන්. අපේ අම්මලා තාත්තලා කොච්චර දුක් විඳින්නට ඇති ද අපිව මේ තත්ත්වෙට ගේන්න. මම අම්මා කෙනෙක් වුණාට පස්සේ ඒ හැම දෙයක් ගැනම අලුතින් හිතන්න පුරුදු වුණා. මේ අත්දැකීම් ටික ලබන්න දරුවෙක් ලැබෙන්නම ඕනෑ.

ඔබ කසාද බඳිද්දි වගේම මවක් වෙද්දී ජනප්‍රිය නිළියක්. ඔබ පරපුරේ ඇතැම් නිළියන් ජීවිතයේ මෙවන් වූ කඩඉම් පස්සට දානවා ජනප්‍රියත්වය අඩු වේවි කියලා?

ඒක ඒ ඒ අයගේ පුද්ගලික මතයනෙ. නමුත් මට කියන්න තියෙන්නේ ජීවිතයේ ඒ ඒ අවස්ථා නිසි කාලයේදී සිදු විය යුතුයි කියන දේ. ඒක තමන් ඉන්නේ කොතනද කියන කාරණය ලොකු වැදගත්කමක් නැහැ. මේ තිබෙන මිල මුදල් ජනප්‍රියත්වය යම්කිසි කාලෙක අහිමි වෙන්න පුළුවන්. එතකොට ඉතුරු වෙන්නේ තමන්ගේ පවුල විතරයි.

ඔබේ ජනප්‍රියත්වය අඩු වුණේ නැද්ද?

නැහැ. මට දැනෙන විදිහට මට ළැදි රසික රසිකාවන්ට වයස් භේදයක් නැහැ. ළමා, තරුණ, වැඩිහිටි සහ මහලු යන සියලු වයස් කාණ්ඩවල පිරිස් අතරේ මං ජනප්‍රියයි. ඒ හින්දා මගේ ජනප්‍රියත්වය වැඩි වුණා මිසක් අඩු වුණේ නැහැ.

ඔබ ආයෙත් රඟපාන්න ගියාද?

ඔව්. ආයෙමත් ආදරෙන් කියලා නාට්‍යයක මං රඟපෑවා. බබා ලැබෙන්නට බොහෝ කාලයකට පෙර එහි ෂූටිං ආයේ පටන් ගත්තා. ඒකේ රඟපෑවා. තව නාට්‍යයකට කතා කළා. ඒකෙත් වැඩ මේ දිනවල.

ඔබේ පුතු කෙදිනක හෝ කලාවට එකතුවන්නට උත්සාහ කළොත් මොකද කරන්නේ?

තවම මං එයා යන ක්ෂේත්‍රය ගැන හිතලා නැහැ. හැබැයි කලාවට ළැදි බවක් පේනවා. කොහොම වුනත් එයා යන ෆීල්ඩ් එක එයා තීරණය කරයි. හැබැයි මේ වන විට පුතා නළුවෙක් වෙලා ඉවරයි.

ඒ කොහොමද?

පුතා වස්සානේ ප්‍රේමයයි නාට්‍යහි රඟපෑවා. එහි නිෂ්පාදක ප්‍රභාත් රෝෂන් අයියගේ ඉල්ලීමට තමයි එහෙම කළේ. ඔහු දැඩි ලෙසටම ඉල්ලීමක් කළා පුතාව නාට්‍යයට දෙන්න කියලා. ඒක නිසා දුන්නා.

ගොඩක් දෙනා හිතුවේ ඔබ ලසන්තත් සමඟ නිෂ්පාදනයට පිවිසෙයි කියලා?

එහෙම කරන්න පුළුවන් තත්ත්වයක නෙවෙයි අපි ඉන්නේ. වර්තමානයේ මේ තියෙන ක්‍රමවේදය එක්ක නිෂ්පාදකව රැකෙන්නේ නැහැ. පළමුව මේ ක්‍රමවේදය වෙනස් කළ යුතුයි. එතකොට බලමු.