වර්ෂ 2016 ක්වූ ජනවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




මේ සුමින්දට ඔබ ඇවැසි සමයකි

මේ සුමින්දට ඔබ ඇවැසි සමයකි

දශක තුනක පමණ කාලයක් පුරා වේදිකාවේ සහ පුංචි තිරයේ විවිධ චරිත ඉදිරිපත් කරමින් ප්‍රේක්ෂක හදවත් තුළ රැඳී සිටි ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේනයන් වසර හතරක පමණ කාලයක සිට රෝගී තත්ත්වයට පත්ව ඇත.

ස්නායු ආබාධිත රෝගී තත්ත්වයක් මත මේ වන විට ඇවිදීමේ ආධාරකයක සහ රෝද පුටුුවක ආධාරයෙන් ගමන් කිරීමට සිදුව ඇති අතර දැනට 68 වෙනි වියෙහි පසුවේ.

ගම්පහ, ශ්‍රී බෝධි පාරේ, අංක 29/3 දරන නිවසෙහි වෙසෙන සුමින්ද මහතාගේ සුව දුක් බැලීම පිණිස නිවස වෙත ගිය අතර රෝගීව සිටිය ද අපව පිළිගනු ලැබුවේ සුපුරුදු සිනහවෙනි.

තම රෝගී තත්ත්වය පවසා සිටි හෙතෙම ජීවන ගමන් මඟ සිහිපත් කරමින් තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන සමයේදී රංගනයට යොමුව ධම්ම ජාගොඩ මහතා යටතේ වේදිකා නාට්‍ය පුහුණුව ලැබූ අයුරු සහ මහාචාර්ය සරත්චන්ද්‍රයන්ගේ නාට්‍යයන්හි රඟපෑ අන්දමද සිහිපත් කළේය.

මනමේ, සිංහබාහු වැනි නාට්‍ය ඇතුලු වේදිකා නාට්‍ය පනහක පමණ ද 1985 වසරේ පටන් ටෙලි නාට්‍ය හැටක පමණ ද සිය රංගනයන් සිදු කළ අයුරු පැවසූ සුමින්ද මහතා, හොඳම නළුවා සහ සහාය නළුවා වැනි විවිධ සම්මානයන් 19 ක් හිමි වූ බවත් මතකය අවදි කරමින් පවසා සිටි අතර රංගනයට ඇති ලැදියාව නිසාම, රෝගීව සිටිය ද මෑතකදී රෝද පුටුවක ගත කරන චරිතයකට පෙනී සිටි බවත් පැවසීය.

සුමින්ද සිරිසේනයන්ගේ තොරතුරු සොයා එම නිවස වෙත අපි ගිය අවස්ථාවේදී ලේක්හවුස් ආයතනයෙහි මෙහෙයුම් අධ්‍යක්ෂ, අග්‍රාමාත්‍ය සහකාර කාර්ය මණ්ඩල ප්‍රධානී ලක්ෂ්මන් හේවාපන්න මහතා ද පැමිණ සිටි අතර ඒ මහතා අප සමඟ පවසා සිටියේ වේදිකාව, පුංචි තිරය ඔස්සේ රංගන හැකියාවන් ඉදිරිපත් කළ මෙවන් ශිල්පීන් රෝගීව සැඳෑසමය ගත කරද්දී, සිතට සතුටක් ලබාදීම පිණිස දැක බලා තොරතුරු බිඳක් විමසා සිටීමට පැමිණීම ඉතා වැදගත් බවය.

කලක් ප්‍රේක්ෂකයින් පින වූ සුමින්ද සිරිසේන නම් මෙම සම්මානලාභී රංගන ශිල්පියා හුදකලාව ගෙවන නිසාවෙන් හමුවීමට පැමිණ සුව දුක් විමසා යාමට ඔබටත් හැක්කේ නම් ඔහුගේ සිතට සහනයක් වනු ඇත.

ඇමතිම් දුරකථන අංක - 0718030610 හෝ 0718212188.