වර්ෂ 2016 ක්වූ ජනවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




වස්සානයේ සඳ

පුතා හිතලා මතලා තීරණයක් ගන්න

මිහිරිගෙ සිතුවිලි දැහැන බිඳී ගියේ තම ජංගම දුරකතනයේ නාදයත් සමඟය. මේ මොහොතේ ඇය සිටියේ එරංගගේ ඇඳ මත දිගා වී ඔහුට සමීපවය. ඇඳ අසල ඇති කුඩා මේසය මත තිබූ දුරකතනය අතට ගත් ඇය එහි මුහුණත බැලුවාය. ඇය සිතූ පරිද්දෙන්ම එහි සටහන් වී තිබුණේ සන්දේශ්ගේ නමය. ඒ සමඟම ඇය දුරකතනයේ මුහුණත පැත්තක ඇති වෙලාව දෙස ද බැලුවාය. රාත්‍රී එකොළහයි හතලිහ ලෙස එහි සඳහන් වී තිබිණ.

මෙතෙක් කතාව

සන්දේශ් හා මිහිරි යනු විවාහ ගිවිස ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින පෙම්වතුන් යුවලකි. මිහිරිට 'ඩවුන් ඩින්ඩ්‍රොම්' නැමැති බුද්ධි හීන ආබාධයෙන් පසුවන බාල සොහොයුරෙකු සිටින බව දැන ගැනීමෙන් පසු සන්දේශ් සහ ඔහුගේ දෙමව්පියෝ තරමක් වික්ෂිප්ත තත්ත්වයකට පත් වෙති. විවාහයෙන් පසුවත් සහෝදරයා තමන් සමඟ සිටිය යුතු බවක් ද මිහිරි පවසා සිටී.

සන්දේශ් හා ඔහුගේ මවත් පියාත් දිනක් මිහිරිගේ සහෝදරයා වන 'එරංග' බැලීමට ඇයගේ නිවසට යති. එහිදී එරංගගේ දඩබ්බර, බොළඳ හා අහිංසක ක්‍රියාවන් දැක සන්දේශ් හා ඔහුගේ දෙමව්පියෝ දුකටත්, කනස්සල්ලටත් පත් වෙති.

''ඔයා මොකද හිතන්නෙ?''

සන්දේශ්ගේ මව එසේ ඇසුවේ මිහිරිගේ නිවසේ සිට ගෙදර යන අතරතුෙර්ය. රිය පදවමින් සිටියේ සන්දේශ්ගේ පියා ය.

''පුතාගෙන් ම තමයි උත්තරයක් ගන්න වෙන්නෙ''

සුසුමක් හෙළනවා හැර ඇයට වෙන කියන්නට දෙයක් තිබුණේ නැත.

(අද එතැන් සිට)

"මොකක්ද දැන් පුතා හිතාගෙන ඉන්නෙ? "

සන්දේශ්ගේ මව එසේ ඇසුවේ රාත්‍රී ආහාර ගන්නා අතරතුර ය.

"අම්මල කියන්න"

"අපි කියන එක නෙවිනෙ, පුතා එපැයි තීරණයක් ගන්න"

"අම්මලගෙ තීරණේ කියන්න"

"විහිළුවක් නෙවි පුතේ මේක" සන්දේශ්ගේ මව එසේ කීවේ ඔහුගේ මුහුණ දෙස එක එල්ලේ බලමින්ය.

"මං විහිළු කෙරුවෙ නෑනෙ"

මව පියාගේ මුහුණ දෙස බැලුවාය. ඔහු සිටියේ නිහඬව ආහාර ගනිමින්ය. ගෙවී ගිය තවත් සුළු මොහොතක් තුළ ඇසුණේ හැඳී ගෑරුප්පු පිඟන් මත ගැටෙන හඬ පමණි.

"තාත්තා නං හිතන්නෙ අර දරුවගෙ ප්‍රශ්නෙ හින්ද පුතාගෙ ජීවිතේට අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති වෙයි කියල. "

ඇය පවසන්නේ පියාගේ අදහස්ය. තාත්තා නම් අම්මා තරම් සැහැල්ලුවෙන් හැමදෙයක්ම නොසිතන බව සන්දේශ් දනී.

"පුතාම හිතල මතල තීරණයක් ගන්න. මිහිරි එක්ක ජීවත් වෙන්නෙ අපි නෙවිනෙ, පුතානෙ. "

තමා නොසිතූ පරිද්දෙන් මවගේත්, පියාගේත් අදහස් වෙනත් අතකට ගසාගෙන යන සෙයක් සන්දේශ්ට දැනෙන්නට විය. මිහිරිගේ ප්‍රශ්නයේදී මවගේත් පියාගේත් අදහස් පිළිබඳව ඔහු සිටියේ තරමක දෙගිඩියාවකිනි. පියාගේ නිහඬබව මෙන් ම අම්මා පවසන වදන් ඔහුගේ සිත තුනී රිදීමකට ද පත් කර තිබුණි. මිහිරිගේ සොයුරාගේ ප්‍රශ්නය සමඟ ඇය හා විවාහ වීම පිළිබඳව දෙදෙනාගෙන්ම පැහැදිලි පිළිතුරක් මේ වන තුරු ඔහුට ලැබී තිබුණේ නැත.

"කොහොම හරි කියන්නෙ, මේ ප්‍රශ්නෙත් එක්ක මං මිහිරි බඳීනවට අම්මලගෙ කැමැත්තක් නෑ කියන එක? "

සන්දේශ් එක එල්ලේ ඇසූ ප්‍රශ්නයෙන් මව තුළ සිහින් තිගැස්මක් ඇති විය. ඇය සෙමෙන් පියාගේ මුහුණ දෙස බැලු නමුත් ඒ වන විටත් ඔහු සිටියේ නිහඬව ආහාර ගනිමින් ය. තවත් තත්පර දහයක් පමණ ගෙවී ගිය පසු හැඳී යුගල පිගාන මත තබා අත් පිස්නාවෙන් කට පිස දැමූ පියා වතුර උගුරක් ද බී කිසියම් කතාවකට මුල පිරුවේය.

"පුතා මට හිතෙන්නෙ සන්තෝසෙන් ඉන්න පුළුවන්කම තියෙන ඔයාටත් ඔයාගෙ ජීවිතෙන් සෑහෙන කොටසක් මිහිරිගෙ මල්ලි වෙනුවෙන් වෙන් කරන්න වෙයි. මේ ප්‍රශ්නෙ හින්ද ඔයගොල්ලන්ගෙ ජීවිතවලින් සතුට කියන එක ගොඩක් මග හැරිල යයි. ඔයාගෙ තාත්තයි අම්මයි විදියට අපිටත් ඒක දුකයි. ඒ වුණාට ඔයා ඒක ප්‍රශ්නයක් කර ගන්න එපා. මිහිරිත් එයාගෙ මල්ලි වෙනුවෙන් ඒ කැප කිරීම කරන්න කැමති නං, ඔයාටත් ප්‍රශ්නයක් නැත්තං ඔයා ඒ තීරණය ගන්න. අපේ අකමැත්තක් නෑ. "

පියා ඒ දේ පැවසුවේ බොහෝ සෙයින් සිතා මතා බව සන්දේශ් දනී. පියාගේ වදන් ඔස්සේ සන්දේශ්ගේ සිතුවිලිත් බොහෝ දුරට විසිරී යන්නට විය. අවවාදයකුත් සමඟ දැන් ඔවුන්ගේ කැමැත්ත ලැබී තිබේ.

"ඔයාටත් සන්තෝසෙන් ගෙවන්න තියෙන ඔයාගෙ ජීවිතෙනුත් සෑහෙන කොටසක් මිහිරිගෙ මල්ලිගෙ දුක වෙනුවෙන් වෙන් කරන්න සිද්ධ වෙයි" වැනි කාරණා මින් පෙර ඔහුගේ සිතට පැන නැගී නොතිබුණු අදහස්ය. පියා ඒ දේ අවධාරණයෙන් පැවසුවේ සැහැල්ලු තත්ත්වයකින් වුවත් සන්දේශ්ගේ සිත නම් නුහුරු බරකින් තෙරපී යන්නට විය.

මෙදින දවස පුරාම මිහිරිගේ සිතත් තිබුණේ ව්‍යාකූල තත්ත්වයකය. ඇයටත් සන්දේශ්ටත් වුවමනාව තිබුණේ සන්දේශ්ගේ දෙමව්පියන්ට මල්ලී පෙන්වන්නට වූ නමුත් මල්ලී ඔවුන් ඉදිරියේ හැසිරුණු දඩබ්බර විලාසය ඇය බලාපොරොත්තු වූවක් නොවේ. එහෙත් මල්ලී ගැන අනුකම්පාවක් මිස කෝපයක් ඈ තුළ කොහෙත්ම පැන නොනගී. එමෙන්ම සිතේ සිර වී තිබූ යමක් පිට කිරීමෙන් එය කිසියම් සැහැල්ලුවකට පත් වූ සෙයක් ද මිහිරිට දැනෙමින් තිබිණ. ඔවුන් ගන්නා ඕනෑම තීරණයකට තමා එකඟ වන බවට අවසානයේ ඇය සිත හදාගෙන සිටියාය.

මිහිරිගෙ සිතුවිලි දැහැන බිඳී ගියේ තම ජංගම දුරකතනයේ නාදයත් සමඟය. මේ මොහොතේ ඇය සිටියේ එරංගගේ ඇඳ මත දිගා වී ඔහුට සමීපවය. ඇඳ අසල ඇති කුඩා මේසය මත තිබූ දුරකතනය අතට ගත් ඇය එහි මුහුණත බැලුවාය. ඇය සිතූ පරිද්දෙන්ම එහි සටහන් වී තිබුණේ සන්දේශ්ගේ නමය. ඒ සමඟම ඇය දුරකතනයේ මුහුණත පැත්තක ඇති වෙලාව දෙස ද බැලුවාය. රාත්‍රී එකොළහයි හතලිහ ලෙස එහි සඳහන් වී තිබිණ.

"දැන් ද කෝල් එකක් දෙන්න මතක් වුණේ" එසේ අසන්නට සිතා සිටියත්, ඇය එම සිතුවිල්ල යටපත් කොට ඇසුවේ වෙනත් දෙයකි.

"මොකද නින්ද යන්නැද්ද? "

ඇය සිටියේත් අද දින කොයි මොහොතේ හෝ සන්දේශ් කතා කරාවි යන බලාපොරොත්තුවෙනි. ඔහුගේ කටහඬ ඇසෙන්නට පමා වන විට කිසියම් බියක් ද නොදැනුවත්වම ඇය තුළ පොදි ගැසෙමින් තිබුණි. කෙසේ වෙතත් මේ මොහොතේ හෝ ඔහුගේ කටහඬ ඇගේ සිතට අස්වැසිල්ලකි.

"කීයද වෙලාව? "

"දොලහටත් කිට්ටුයි"

"හ්ම්"

"මොකද බකමූණෙක් වගේ හූම් හූම් ගාන්නෙ? "

සන්දේශ් සෙමෙන් සිනාසෙන හඬ, මිහිරිට දුරකතනය තුළින් ඇසිණ.

"තාත්තලත් එක්ක කතා කෙරුවද? "

"හ්ම්"

"ආයෙත් බකමූණා"

"ඔව්"

"මොකද කියන්නෙ? "

"ම්..... ප්‍රශ්නයක් නෑ"

"මට ඇත්ත කියන්න සන්දේශ්! "

"මට තීරණයක් ගන්න කිව්වා"

"ඉතිං ඔයා තීරණයක් ගත්තද? "

"හ්ම්"

"මොකක්ද? "

"ඔයාව කසාද බඳීන්න"

සන්දේශ්ගේ පිළිතුරින් මිහිරිගේ සිතට නැගුණේ සතුටකටත් වඩා ඔහු ගැන සෙනෙහසකි. එය කොතෙක් අප්‍රමාණදැයි කිවහොත් හදවතට බරක් දැනෙන තරම් විය. තම දෙනෙත් සිහින් කඳුළු පටලයකින් වෙලී යන අයුරු ද ඇයට දැනිණ.

"ඒයි, මොකද..... අඬනවද? "

සන්දේශ් එසේ ඇසුවේ සුළු නිහැඬියාවකට පසු ඇය හුස්මක් ඉහළට ගන්නා හඬ දුරකතනය තුළින් පැහැදිලිව ඇසුණු නිසා ය.

"ඔයා ඒක තාත්තල අම්මලට පිටුපාල ගත්ත තීරණයක් නේද? "

"ඔයා කොහොමද එහෙම හිතන්නෙ? "

"මට හිතාගන්න පුළුවන්"

"පිස්සු කියවන්න එපා මිහිරි"

මුව තුළ වචන හිර වී ඒවා පිටතට නොඑන සෙයක් මිහිරිට දැනෙන්නට විය. ඇසේ තිබූ කඳුළු පිටතට ගලා එන්නට පෙර ඒවා අතැඟිලිවලින් පිස දැමූ ඇය, අසලම ඇඳේ නිදමින් සිටි සොයුරා දෙස බැලීය. කුඩා දරුවෙකු පරිද්දෙන් නිසොල්මන්ව නිදන ඔහු කෙරෙහි වෙන කිසිදිනෙක නොමැති වූ සෙනෙහසක් ඇයගේ ලයේ මෝදු වෙමින් තිබිණ.

"හෙට හම්බවෙන්නකො මාව, මං ඔයාට හෙට උදේ කෝල් එකක් දෙන්නං"

සන්දේශ්ගේ වදන්වලින් පසු කතාබහට නොගිය මිහිරි 'ගුඩ් නයිට්' කියමින් දුරකතනය විසන්ධි කළාය. සන්දේශ් පැවසූ පරිද්දෙන් පසුදින හවස් වරුවේ උද්‍යාන මාවතකදී ඇය ඔහු හමුවූවාය.

".....පිස්සු නෙවි සන්දේශ්, ඒගොල්ලන්ගෙ හිතට දුකක් දීගෙන මට ඔයත් එක්ක ජීවත් වෙන්න බෑ"

මිහිරි කතා කරන්නේ හැඟුම්බර හදවතින් බැව් සන්දේශ්ට වැටහේ. නමුත් කියන්නට බොහෝ දේවල් ඒ වන විටත් සන්දේශ් තුළ තිබුණි.

"මොකක්ද ඒ ගොල්ලන්ට දුක, අපි දෙන්න සන්තෝසෙන් ඉන්නව නං අම්මල තාත්තලට එක ප්‍රශ්නයක් නෑනෙ මිහිරි. මං ජීවත් වෙන්නෙ ඔයත් එක්කනෙ"

"ඔයා ඔහොම කිව්වට මල්ලි හින්ද මටත් ඔයා වෙනුවෙන් කරන්න තියෙන යුතුකම් ගොඩාක් මග හැරේවි. ඒක දැනිච්ච දවසක ඔයත් මට ගොඩාක් දොස් කියයි. මට බයයි සන්දේශ්"

මිහිරි මුවින් පිට කළේ කාලයක් තිස්සේ සිත තුළ තෙරපී තිබූ අදහසක් ය. තමා කොතෙක් කීවත් මිහිරි සිටින්නේ අනවශ්‍ය බියකින් සිත පුරවාගෙ යැයි සන්දේශ්ට සිතේ.

"ඔයා හිතනව වැඩියි මිහිරි. පුතා විදිහට අම්මල තාත්තල මං ගැන හිතන දේවල් මට නවත්තන්න බෑ. මං මගේ තීරණය ගැන ඔයාට කියල තියෙන්නෙ. ඔයා තීරණයක් අරගෙන මට කියන්න එච්චරයි."

තරමක් තදින් එහෙත් පැහැදිලිව සන්දේශ් එසේ පැවසුවේ තවදුරටත් මිහිරි සනසමින් ඇගේ සිත හදන්නට ඔහු නොකැමැති වූ නිසා ය.