වර්ෂ 2016 ක්වූ ජනවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවිය උලෙළ මට නුහුරු නැහැ

සරසවිය උලෙළ මට නුහුරු නැහැ

ඩිනක්ෂි ප්‍රියසාද්

මම දන්නේ නැහැ මට හාස්‍යෝත්පාදක චරිත කරන්න පුළුවන් ද කියලා. නමුත් බැරිවෙන එකක් නැහැ. නිළියක් වුණාම ඒ වගේ චරිතත් කරන්න එපායැ. නමුත් මම හිතන විදිහට අධ්‍යක්ෂවරයා අතේ තමයි නළු නිළියන්ගේ හැසිරවීම තියෙන්නේ. යම්කිසි අධ්‍යක්ෂවරයකුට අවශ්‍ය නම් විකට චරිතයක් මා තුළින් නිරුපණය කරවා ගත හැකියි. ඒක ඔහුගේ හෝ ඇයගේ දක්ෂතාවය.

ඩිනක්ෂි ප්‍රියසාද් සරසවිය සම්මාන උලෙළේදී කුසලතා සම්මානයකින් පිදුම් ලැබුවා. ඒ චන්ද්‍රන් රත්නම්ගේ මේ වගේ ආදරයක් චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්. පුංචි කාලයේ පටන් ඩිනක්ෂිට සරසවිය සම්මාන උලෙළේ අත්දැකීම් නුහුරු වූයේ නැහැ. දිනෙෂ් ප්‍රියසාද් සමඟින් ඇය අවස්ථාවන් කිහිපයකදීම උලෙළට සහභාගී වී තිබෙනවා. නමුත් ඇයට මෙවර සම්මාන උලෙළ විශේෂයි.

ඒ ඇය පළමුවරට සරසවිය සම්මානයක් ලැබුවේ මෙම උලෙළින් නිසා.

* ඩිනක්ෂි, ඔබ වැඩි වශයෙන් රංගනයට පිවිසුණායින් අනතුරුව සහභාගි වූ පළමු සරසවිය සම්මාන උලෙළ නේද මේ?

ඔව්. 2009 වසරේදියි මං ප්‍රධාන චරිත රංගනයට පිවිසුණේ. එතකොටත් මං තාත්තාගේ චිත්‍රපටවල සුළු චරිත රඟපාලා තිබුණා. මං ජනප්‍රිය වෙච්ච කාලයේ සරසවිය සම්මාන උලෙළ තිබුණේ නැහැ. ඒක මටත් තදින් දැනුණා. රංගන ශිල්පිනියක් විදිහට ස්ථාවර වුණායින් අනතුරුව මෙවර පැවැත් වූ සම්මාන උලෙළට මට සහභාගිවන්නට ලැබුණා. එහෙම ඇවිත් සම්මානෙකුත් අරගෙනයි ගෙදරට ගියේ.

* සරසවිය සම්මාන උලෙළ ගැන මොන වගේ උනන්දුවක් ද ඔබට තිබුණේ?

ආරාධනා පත ලැබුණු මොහොතෙත් සිට මං ඊට සහභාගි වන්නේ මොන විදිහට ද කියන දේ ප්ලෑන් කළා. විශේෂයෙන්ම ඇඳුම ගැන. මාව උලෙළේ අයිටම් එකකට පවා තෝරගෙන තිබුණා. එහෙයින් මට තවත් වගකීමක් වැඩි වුණා. හරිම සතුටින් තමයි මෙවර උලෙළට සහභාගි වුණේ.

* පුංචි කාලේ සරසවිය සම්මාන උලෙළකට සහභාගි වූ අයුරු ඔබට මතකද?

අනේ ඔව්. අම්මයි තාත්තයි දෙපැත්තේ තියාගෙන මං උලෙළට ආවා. ඇවිත් අම්මගේ ඔඩෙක්කුවට වෙලා උලෙළ බලලා තියෙනවා. යන්තම් මතකයි එවකට උලෙළේ අසිරිය ගැන. කොහොම හරි අම්මගේ ඔඩොක්කුවෙන් බහින්නේ නැහැ උලෙළ නිම වෙනකම්.

* ඔබ රඟපෑ මේ වගේ ආදරයක් චිත්‍රපටය මෙවර උලෙළ නියෝජනය කළා. පුංචි හෝ බලාපොරොත්තුවක් තිබුණද සම්මානයක් ගැන?

නැහැ. උලෙළ නියෝජනය කරන්නයි එදා මං ආවේ. ශාලාවට ඇතුළු වෙද්දී මට හරි වැඩක්නෙ වුණේ?

* ඒ මොකක්ද?

දෙර විවර කරද්දීම මට මගේ නම කියනවා ඇහුණා. මං බැලුවා මොකටද කියලා. සම්මානෙට තමයි මගේ නම කියලා තියෙන්නේ. දොර ගාව ඉඳලා දුවගෙන ආවේ වේදිකාවට. සම්මානයත් අරගෙන තමයි මම අදාල සිට් එකේ වාඩි වුණේ.

* රංගනය සඳහා ආරාධනා රැසක් ඔබට ලැබෙනවා ඇති? ඒවා අතරින් චරිතයක් බාර ගනිද්දී මොන වගේ කාරණා ද ඔබ සැලකිල්ලට ගන්නේ?

චරිතයක් බාර ගනිද්දී මේ වන විට දැඩිව සොයා බැලිය යුතු වෙනවා. ලැබෙන චරිතය ප්‍රධාන ද අප්‍රධාන ද කියලා නෙවෙයි මං බලන්නේ. මට ඒ චරිතය තුළින් යමක් කරන්න පුළුවන් නම් මට ඒ ඇති.

* ඒ කියන්නේ ඔබ අප්‍රධාන චරිත පවා බාර ගන්නවා?

ඔව්.

* ඇයි ඒ? සාමාන්‍යයෙන් ප්‍රධාන චරිත රඟපාන නිළියන් පොඩි චරිත බාර ගන්නේම නැති තරම්නෙ?

මම එහෙම නැහැ. පොඩි චරිත වුණත් ඒවාවල රඟපාන්න දෙයක් තියෙනවා. මං එහෙම චරිත කරලත් තියෙනවා. රංගනයේ යෙදෙන කොට මට ප්‍රවීණයන් ඇසුරු කරන්නට ලැබෙනවා. චරිතය ලොකු ද පොඩි ද කියන කාරණයට වැඩිය මං මුල් තැන් දෙන්නේ නැත්තේ ඒකත් එක කරුණක් නිසා. මං හරිම ප්‍රිය කරනවා ප්‍රවීණයින්ගෙන් යමක් නිතර ඉගෙන ගන්න.

* ඔබ පරපුරේ නිළියන් කිහිප දෙනෙකුම හාස්‍යෝත්පාදක චරිත රගපානවා. ඩිනක්ෂි වැඩිය ඒ සඳහා යොමු වෙලා නැහැ?

මම දන්නේ නැහැ මට හාස්‍යෝත්පාදක චරිත කරන්න පුළුවන් ද කියලා. නමුත් බැරිවෙන එකක් නැහැ. නිළියක් වුණාම ඒ වගේ චරිතත් කරන්න එපායැ. නමුත් මම හිතන විදිහට අධ්‍යක්ෂවරයා අතේ තමයි නළු නිළියන්ගේ හැසිරවීම තියෙන්නේ. යම්කිසි අධ්‍යක්ෂවරයකුට අවශ්‍ය නම් විකට චරිතයක් මා තුළින් නිරුපණය කරවා ගත හැකියි. ඒක ඔහුගේ හෝ ඇයගේ දක්ෂතාවය.

* ඔබ සිටින චිත්‍රපටයක් මේ දිනවල තිරගත වෙනවා.නමුත් ඒ ගැන වැඩි දෙනෙක් දන්නේ නැහැ?

චිත්‍රපටය සුම්. ඒක හදිසියේම තමයි තිරගතවීම ඇරැඹුණේ. මේ වන විට ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා රැසක් සුම් ගැන කතා කරනවා.

* සුම් චිත්‍රපටයේ ඔබ මෙතෙක් නොකළ අන්දමේ චරිතයක් රඟපානවා?

ඔව්. චරිතයේ නම නඳුනි. නඳුනි කියන්නේ හොල්මනක්. පළමු වතාවට තමයි මං හොල්මන් චරිතයක් රඟපාන්නේ.

* මා දන්නා පරිදි ඔබ තමයි මෑතකාලිනව වැඩිපුරම දෙවැනි මනාලිය ලෙස සැරසුණ රංගන ශිල්පිණිය?

මට ක්ෂේත්‍රයේ මිතුරියන්ගෙන් ඒ සඳහා නිරන්තරයෙන් ආරාධනා ලැබෙනවා. බැහැ කියන්නත් බැහැ. නානාප්‍රකාර අන්දමින් මං දෙවැනි මනාලිය විදිහට සැරසිලත් තියෙනවා. හරිම කැමැත්තෙන් තමයි ඒකටත් මා සහභාගි වන්නේ.