වර්ෂ 2016 ක්වූ ජනවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




මට වැඩි දෙනෙක් කතා කරන්නේ ඩිංගිරි නමින්

මට වැඩි දෙනෙක් කතා කරන්නේ ඩිංගිරි නමින්

තිළිනි අමල්කා

ඇත්තම කිව්වොත් ජනප්‍රියත්වය හොයාගෙන නෙවෙයි මං මේ ක්ෂේත්‍රයට ආවේ. මට හැකියාවක් සහ ආශාවක් තියෙනවා. ඒ හින්දයි රංගනයේ යෙදෙන්නේ. නමුත් දිගින් දිගටම රූපවාහිනියෙන් දකිද්දී ජනප්‍රිය වෙනවනේ. ඒක වළක්වන්න බැහැ. මම හරියටම දන්නේ නැහැ ඩිංගිරි කොච්චර ජනප්‍රිය ද කියලා. නමුත් මට දැන් වැඩි දෙනෙක් කතා කරන්නේ එනමින්.

විජිත මංජුල සිංහපෘථිවිගේ සඳ දිය මංකඩ ටෙලි සිතුවමේ ඩිංගිරිගේ චරිතයට පණ පෙවූ ඇය තිළිණි අමල්කා. ඇය හා හා පුරා කියා රංගන ශිල්පිනියක බවට පත් වන්නේ ද සඳ දිය මංකඩ හරහායි.

* තිළිණි, කෙහොමද ඔබ සඳ දිය මංකඩ හා එකතු වන්නේ?

මං පසුගිය වසරේ රූපවාහිනී අවුරුදු කුමාරි තරගයට ඉදිරිපත් වුණා. මගේ වැඩිමල් අක්කා තමයි එයට මාව යොමු කළේ. ඇප්ලිකේෂන් එක පවා දැම්මේ ඇය. එම තරගයෙන් මට තෙවැනි ස්්ථානය ලැබුණා. එහිදී මාව දැකලා තිබුණ විජිත මහත්මයා ඔහු තමයි මාව රංගනයට ගත්තේ.

* එතකොටත් ඔබ රංගනයට කැමැත්තෙන්ද හිටියේ?

ඇත්තටම ඔව්. හිතේ කොනක දැඩි ආසාවක් තිබුණා. ඒත් අවස්ථාවක් හොයාගෙන යාමට නොහැකි වීම සහ කලා ක්ෂේත්‍රයේ පුද්ගලයන් නොහඳුනා සිටීම හේතුවෙන් ඒ ආශාව යටපත් වෙලා තිබුණේ. නමුත් අර අලුයට ගිනි පුපුරු තියෙනවා වගේ ඒ රංගන කැමැත්ත වියැකිලා ගියේ නැහැ.

* එහෙම කැමැත්තෙන් ඉඳලා රංගනයට අවස්ථාව හිමි වුණාම ඔබ එක පයින් හා කියන්නට ඇති?

ඔව්. අර ඉබ්බා දියට දාන්නද කියලා ඇහැව්වාම ඇන්නෑවේ කිව්වා වගේ තමයි. අවස්ථාවක් හොය හොය ඉන්න කෙනෙකුට ඒ වගේ ආරාධනාවක් ලැබුණාම ප්‍රතික්ෂේප කරයිද.

* අධ්‍යක්ෂවරයා ඔබට චරිතය ගැන දැනුවත් කළේ කොහොමද?

මට ඔහු කලින් පිටපත ලබා දුන්නා. චරිතයේ ස්වභාවය ගැනත් කිව්වා. ඩිංගිරි කියන්නේ වලව්වේ පුංචි කුමාරිහාමිගේ සේවිකාව. මම ඉතින් පිටපත කියවලා චරිතය හොඳින් රංගනයේ යෙදීමට හිතා ගත්තා.

* දර්ශන තලයට ගිය පළමු දිනය ගැන මොන වගේ මතකයක් ද ඔබට තියෙන්නේ?

එදා ලොකේෂන් එකේ ප්‍රවීණ අය ගොඩක් හිටියා. මෙතෙක් නොඇසූ වදන් අසන්නට ලැබුණා. හැබැයි මොන දේ වුණත් මං එදා බය වුණේ නැහැ.

* ඩිංගිරිට පණ පොවන්න ගිහින් වෙච්ච අමතකම නොවන අත්දැකීම ගැනයි මං ඊළඟට අහන්නේ?

නාට්‍ය දර්ශන තල තිබුණේ නුවර, කුරුණෑගල ආදී ප්‍රදේශයන්හි. ඒ මොන දර්ශන තලයට ගියත් මාව පය ලිස්සලා වැටෙනවා. අනේ මන්දා පොළවේ වැරැද්දක් ද කියලා. නමුත් අවස්ථා කිහිපයකදීම මාව එහෙම වැටුණා.

* කොහොමද මේ කෙටි කාලය අතරතුරදී ක්ෂේත්‍රය ගැන ඔබට දැනුණේ?

මං මේ ක්ෂේත්‍රය ගැන මතයක් ඔළුවේ තියාගෙන ආව කෙනෙක් නෙවෙයි. හැබැයි මං හිතුවට වඩා ක්ෂේත්‍රය හොඳයි. දිගින් දිගට මෙහි රැඳෙන්න හිතෙනවා.

* ඔබ හිතනවද ඩිංගිරි නිසා ඔබ ජනප්‍රිය වුණා කියලා?

ඇත්තම කිව්වොත් ජනප්‍රියත්වය හොයාගෙන නෙවෙයි මං මේ ක්ෂේත්‍රයට ආවේ. මට හැකියාවක් සහ ආශාවක් තියෙනවා. ඒ හින්දයි රංගනයේ යෙදෙන්නේ. නමුත් දිගින් දිගටම රූපවාහිනියෙන් දකිද්දී ජනප්‍රිය වෙනවනේ. ඒක වළක්වන්න බැහැ. මම හරියටම දන්නේ නැහැ ඩිංගිරි කොච්චර ජනප්‍රිය ද කියලා. නමුත් මට දැන් වැඩි දෙනෙක් කතා කරන්නේ එනමින්.

* මේ ක්ෂේත්‍රයේ කටයුතු කරගෙන යද්දී, විශේෂයෙන් නිළියන්ට කට කතා හැදෙනවා?

මං දන්නවා. හැබැයි හරියට හිටියොත් ඔය මොන කට කතාවක්වත් නැහැ.

* නිරන්තරයෙන් කොළඹ ඇවිත් රංගනයේ යෙදුණත් ඔබගේ ගෙවල් තියෙන්නේ කොළඹ නෙවෙයි?

ඔව් අයියේ. මගේ පදිංචිය හම්බන්තොට. බඳගිරිය මහ විදුහලෙන් සහ බේරුවල ආරියවංශ විදුහලෙන් තමයි මං අධ්‍යාපනය හැදෑරුවේ. රංගන කටයුතු හින්දම කොළඹ එනවා.

* ස්ථිර පදිංචියට කොළඹ එන්න අදහසක් නැතිද?

කොළඹ එන්න ඕනෑ. කොළඹ හිටියම තමයි රංගන කටයුතුවලට වඩාත් ලේසි. බලමු නේද ඉදිරියට.

* තිළිණිගේ පවුලේ විස්තර සඳහන් කළොත්?

මගේ අම්මා පියසීලි සුදුසිංහ. තාත්තා අගම්පොඩි ධර්මදාස, මට අක්කලා තුන් දෙනෙක් ඉන්නවා.

* ඔබේ පෙම්වතා ගැන විස්තර කියන්න දැන් වෙලාව?

මට පෙම්වතෙක් නැහනෙ. හිටිය දවසට කියන්නම්.

* තිළිණි ලස්සනට හැඩට ඉන්න නිසා ඉදිරියේදී නළුවකුගෙන් විවාහ යෝජනාවක් එයිද දන්නේ නැහැ?

කියන්න බැහැ. කොහොමත් මගේ අදහසක් නැහැ යාළු වෙලා විවාහ වෙන්න. යෝජිත විවාහයකට තමයි ආස.

* තිළිණිට සිනමා නිර්මාණයකට ඇරැයුම් ලැබුණේ නැතිද?

තවම නැහැ. ඇත්තම කිව්වොත් බොහොම ආසාවෙන් පසුවනවා සිනමා නිර්මාණයකට එකතුවන්න.

* දිගින් දිගටම රංගනයේ යෙදෙන්නද කල්පනාව?

ඔව්. හැබැයි ගුරුවරියක් වෙන්නත් ආසයි. එහෙම වුණත් දිගටම මං රඟපානවා.