වර්ෂ 2016 ක්වූ ජනවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




ජනක මල්ලිමාරච්චි යළි ටෙලි නාට්‍යකරණයට

ජනක මල්ලිමාරච්චි යළි ටෙලි නාට්‍යකරණයට

බුද්ධිනී ජයවර්ධනගේ ආන්දෝලනාත්මක රචනයක්

ජනක මල්ලිමාරච්චි අධ්‍යක්ෂණය කරනු ලබන ඔහුගේ සිව්වැනි ටෙලි නිර්මාණකරණය ආදර දඩයම රූගත කිරීම් මෙම මසදී ආරම්භ කිරීමට නියමිතය. මෙරට මහත් ආන්දෝලනයකට පාත්‍ර වූ සත්‍ය කතාවක් ඇසුරෙන් බුද්ධිනී ජයවර්ධන විසින් මෙහි රූපවාහිනී රචනය කර ඇත. ආදර දඩයම ආචාර්ය ජගත් විජේනායකගේ නිෂ්පාදනයකි. බිමල් ජයකොඩි, යශෝධා විමලධර්ම, ගයාන් වික්‍රමතිලක, ඩිනක්ෂි ප්‍රියසාද් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරයි. සංගීත අධ්‍යක්ෂණය දිනේෂ් සුභසිංහගෙනි. ප්‍රවීණ රූපවාහිනී ශිල්පියකු වන ජනක අවසන් වරට අධ්‍යක්ෂණය කළේ ගිිම්හානය නිමා විය ටෙලි සිතුවමයි. එය මීට වසර 22 කට පෙරය. පහන් සිතක්, මල්වරුසා ආදී ටෙලි නිර්මාණ රැසක් පුංචි තිරයට ගෙනා ජනක ජාතික රූපවාහිනියේ ආරම්භක සාමාජිකයකු වේ. පසුකාලීනව ඔහු එහි වැඩසටහන් අධ්‍යක්ෂ ධූරය ද හෙබවීය.


ති: නා: අලුත් චිත්‍රපටයකට රයිගමයයි- ගම්පළයයි වැඩ අරඹයි

මෙරට සිටින ප්‍රකට සිනමා සංරක්ෂකවරයකු වන තිස්ස නාගොඩවිතාන යළිත් චිත්‍රපට නිෂ්පාදනයට යොමුව සිටියි. පැරැණි ජනකතා ඇසුරෙන් නිර්මාණය වන රයිගමයයි ගම්පළයයි ඔහුගේ නවතම සිනමා නිෂ්පාදනයයි. අද දින දෙහිවලදී පැවැත්වෙන මුහුරත් උලෙළකින් අනතුරුව තිස්සගේ නවතම සිනමාපටයේ වැඩ කටයුතු ඇරැඹෙනු ඇත. විජේරත්න වරකාගොඩ, කුමාර තිරිමාදුර, ගිරිරාජ් කෞශල්‍ය, පියුමි හංසමාලි, රෝහිත් මාන්නගේ, අනුර බණ්ඩාර රාජගුරු, ඉසුරු නාවෝද්‍යා, ලක්ෂ්මන් අමරසේකර, ආනන්ද විජේතිලක ගමයයි ගම්පළයයි සඳහා නිෂ්පාදනයෙන් තිස්සගේ පුතු වන හරේන් නාගොඩවිතාන දායක වී ඇත. හර්ෂමාන පණ්ඩිතරත්න සහ කුෂාන් විජේසිංහ සම නිෂ්පාදකවරුන්ය.

රයිගමයයි ගම්පළයයි අධ්‍යක්ෂණය කරමින් ලලිත් ප්‍රේමතිලක සිනමාවට එක් වෙයි.

බුද්ධීක මංගල කැමරා අධ්‍යක්ෂවරයාය. අනුර බණ්ඩාරගේ සංස්කරණයකි. ශාන්ත පීරිස් සංගීත අධ්‍යක්ෂවරයාය. උෂාන් පෙරේරා නිෂ්පාදන කළමනාකරණයෙන් ද, හෙන්රි ප්‍රේමරත්න අංග රචනයෙන් ද, රොෂාන් සංජය හේරත් විධායක නිෂ්පාදනයෙන් ද, හේමන්ත ජයලත් කලා අධ්‍යක්ෂණයෙනේ ද මෙයට දායක වෙයි. අමිල පහතගෙදර සහාය අධ්‍යක්ෂවරයාය.


රුක්මණී 94 වැනි ජන්ම දින සැමරුම 15 දා

මෙරට පළමු නිළි රැජින රුක්මණී දේවියගේ 94 වැනි ජන්ම දිනය නිමිති කර ගනිමින් රුක්මණී දේවි අනුස්මරණ සංගමය මඟින් සංවිධානය කළ රුක්මණී දේවි සමරු ගී ප්‍රසංගය මෙම මස 15 වැනිදා කොළඹ ටවර් හෝල් රංග ශාලාවේදී පැවැත්වේ. මෙයට සමගාමීව එම සංගමයේ නිර්මාතෘ හෙන්රි ප්‍රියශාන්ත මෙන්ඩිස් විසින් සතිපතා පුවත්පතකට සම්පාදනය කළ කලාකරුවන්ගේ විස්තර රැගත් ලිපි මාලාවකින් තෝරා ගත් ලිපි 56 කින් සමන්විත 'රිදී තිරය ඔප කළ තරු' ග්‍රන්ථය ද එළිදැක්වේ. ටවර්හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල් ලයනල් ප්‍රනාන්දු මහතා සහ සංස්කෘතික අමාත්‍යාංශයේ අධ්‍යක්ෂිකා අනූෂා ගෝකුල මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම ප්‍රසංගයේ මුඛ්‍ය දේශනය සතිස්චන්ද්‍ර එදිරිසිංහගෙනි. රිදි තිරය ඔප කළ තරු ග්‍රන්ථය පිළිබඳ රවීන්ද්‍ර රන්දෙනිය විසින් අදහස් දැක්වීමක් ද සිදු කෙරේ. ජගත් ලියනගේ මෙම අවස්ථාව නිවේදනයෙන් මෙහෙයවයි. සංගීතය රංජිත් යාපා ද අල්විස්ගෙනි. සිරිමා ඇනස්ටා මර්සලින්, එඩ්වින් පෙරේරා, චිත්‍රා කාන්ති, රංජනී චන්ද්‍රිකා, මංගලිකා පෙරේරා, සුසිල් වික්‍රමසූරිය, නිමල් පාලිත, මංගලා පෙරේරා, ලීලා ප්‍රතාපසිංහ, චමිත් ජයංග, මොහොමඩ් මොහිදීන්, පුෂ්පා වික්‍රමසිංහ, ආරියදාස තන්ත්‍රිගේ, අමිතා වික්‍රමසිංහ, නිර්මලා කරුණාරත්න සහ ජී. චිත්‍රා ප්‍රසංගයේ ගීත ගායනා කරයි.


ප්‍රියන්ත කළුආරච්චිගේ ‘රතු සමනල හීනයක්’ 15 වැනි අන්තර්ජාතික සිනමා සම්මාන උලෙළට

ප්‍රියන්ත කළුආරච්චිගේ අධ්‍යක්ෂණය කළ 'රතු සමනල හීනයක්' චිත්‍රපටය පහළොස්වැනි ඩකා අන්තර්ජාතික සිනමා සම්මාන උලෙළේ අධ්‍යාත්මික සිනමා අංශය නියෝජනය කිරීමට තෝරාගෙන ඇත.

මේ චිත්‍රපටය මීට පෙර 'ඒෂියා ටීකා' - රෝමය, 'ඕල් ලයිට්ස්' - ඉන්දියාව, 'ජෝග්ජ්' - ඉන්දුනීසියාව, විසිඑක්වැනි කේරළ අන්තර්ජාතික සිනමා සම්මාන උලෙළ ද නියෝජනය කළ චිත්‍රපටයකි.


වික්ටර් - එඩ්වඩ් - චරිතා ඩුබායි ප්‍රසංගය 20 දා

ආචාර්ය වික්ටර් රත්නායක, විශාරද එඩ්වඩ් ජයකොඩි, විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස් ගැයුමෙන් සරසන “සෙනෙහසේ ගී අභිවන්දනා“ ජනවාරි 20 වැනි සිකුරාදා සවස 6.00 ට ඩුබායි RASHID MEDICAL LIBRARY AUDITORIUM හිදී පැවැත්වේ.

මේ සඳහා ශ්‍රී ලංකාවෙන් සහභාගිවන සංගිත අධ්‍යක්ෂ තිළිණ තුෂාර, ජානක බෝගොඩ, දිනේෂ් බෝගොඩ, සුරේෂ් උපනන්ද, දිලූෂ රවින්ද්‍රනාත් ඇතුළු වාද්‍ය වෘන්දයට ඩුබාහි හි වෙසෙනෙ ශ්‍රී ලාංකේය සංගීතඥයින් වන චමින්ද කොළඹ මුදලිගේ, භානු බෝගොඩ, නාමල් විජේතුංග, දුෂාන් කරවිට, ප්‍රදීප් පෙරේරා ද එක්වෙති. ප්‍රසංගය ආමන්ත්‍රණය රන්දුනු සූර්යාගෙනි.

මෙම ගී ප්‍රසංගයේ සංවිධානය සහ ඉදිරිපත් කිරිම රොෂාන් (ශාන් මැක්ස්)ගෙනි. චානක කැලුම්, තිළිණ ලියනගේ සහ භාණුක ලහිරු සහය සංවිධානයෙන් දායක වෙති.


සේනක විජේසිංහ මුල්වරට අධ්‍යක්ෂණයට

සේනක විජේසිංහ සිනමා අධ්‍යක්ෂණයට පිවිස තිබේ. ඒ මේඝ සමඟිනි. ප්‍රියදර්ශනී දැඩිගම නිෂ්පාදනය කරන එම සිනමාපටයේ මුහුරත් උලෙළ පසුගියදා සුදර්ශී ආයතනයේ පැවැත්විණ. සේනක විජේසිංහ, සචිනි අයේන්ද්‍රා, සම්පත් ජයවිර, අනුජ් රණසිංහ, බුද්ධික ජයරත්න, සරත් දික්කුඹුර, නිරෝෂන් ඉලේපෙරුම, දුෂේනි මියුරංගි මේඝ හි චරිත මවනු ඇත. කැමරාව විශ්ව බාලසූරිය මෙහෙයවයි. තිර රචනයෙන් මෙන්ම සහාය අධ්‍යක්ෂණයෙන් සුදත් දේව් පතිනායක දායක වෙති. වසන්ත ගුණසේකරගේ අංග රචනයකි. ලස්සන ජයසේකර සංගීත අධ්‍යක්ෂවරයාය. ප්‍රියන්ත දිසානායකගේ කලා අධ්‍යක්ෂණයකි. උරේෂා රවිහාරි, අමිලා නදීශානි, පවන් මල්ලවාරච්චි සමඟ සේනක විජේසිංහ මෙහි ගීත ගයනු ලබයි. මේඝ රූගත කිරීම් ළඟදීම ඇරැඹෙනු ඇත.


පේ‍්‍රමායුධ සිරසට

අතිශය ජනාදරයට පත් ප්‍රේම දඩයම ටෙලි සිතුවමෙන් අනතුරුව ප්‍රේමායුධ නමින් තවත් ටෙලි සිතුවමක් මෙම මස 14 වැනිදා සිට සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම රාත්‍රී 7.30 ට සිරස නාළිකාවේ විකාශය වේ. මෙය මහ ගෙදර, ප්‍රවීණා, මේ ආදරයයි, ප්‍රේම දඩයම ආදී ටෙලි සිතුවම් නිපද වූ බලාජි ටෙලි ෆිල්ම්ස් ආයතනයේ නිෂ්පාදනයකි.


සාමාජීය කේන්ද්‍රයේ නොමිලයේ පාඨමාලා

සාමාජීය හා සාමයික කේන්ද්‍රය මඟින් නොමිලයේ පවත්වනු ලබන පාඨමාලාවන් කිහිපයක් සඳහා නවකයන් මේ දිනවලදී බඳවා ගැනේ. කෙටි චිත්‍රපට නිර්මාණය, කාටුන් ශිල්පය, පුවත්පත් කලාව, නිවේදනය සහ වීදි නාට්‍ය යන අංශ යටතේ එම පාඨමාලාවන් පැවැත්වෙනු ඇත. මේ සඳහා සම්බන්ධවීමට කැමැත්තෙන් ඇති අයවලුන් සියලු විස්තර ඇතුළත් අයැදුම් පත්‍රයක් (තෝරා ගත් පාඨමාලාව පැහැදිලිව සඳහන් කරමින්) සනත් ප්‍රනාන්දු, සම්බන්ධි කාරක, සමාජය හා සාමයික කේන්ද්‍රය, අංක 281, ඩීන්ස් පාර, කොළඹ 10 ලිපිනයට එවීමෙන් වැඩි විස්තර ලබාගත හැකිය.