වර්ෂ 2016 ක්වූ ජනවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




එළාරගේ දුව ගැමුණුට ආදරය කළාදැයි මා දන්නේ නැහැ

එළාරගේ දුව ගැමුණුට ආදරය කළාදැයි මා දන්නේ නැහැ

හොඳම ගායිකාව නිරෝෂා විරාජිනී

මා සම්මාන උලෙළට සහභාගි වන්නේ මට සම්මානයක් තිබෙනවා ද? නැති ද? කියලාවත් දන්නේ නැතුවයි. එය නැවත පැවැත් වීමේ ප්‍රීතියෙන් යුතුවයි මා ඊට සහභාගි වන්නේ. හොඳම ගායිකාව විදියට මගේ නම නිර්දේශ වනවිටත් මා සිටියේ වේදිකාවේ පිටුපසයි. ඒ සම්මාන උලෙළේ ඊළඟ පැවැත්වීමට නියමිත අංගය සඳහා සූදානම් වෙමින්. ඒ වෙලාවේ නම කියන ඇසුණු නිසා මා වේදිකාවේ පිටුපස සිට දුවගෙන පැමිණියා. ඒත් ඒ සම්මානය ලැබුණේ කුමන ගීතයට ද?, ඒ ගීතත් සමඟ නිර්දේශ වූ අනෙක් ගීත මොනවා ද? මේ කිසිවක් නොදැනයි මා සම්මානය ලබාගත්තේ.

“සඳ මඬල වී ගුවනේ දිලෙයි
සඳ සිහිල වී හදවත රැඳෙයි
දුර ඈත සිටියත්..... පාවී......
පාවී.......ආවත්

මඳ සුළඟ සේ ගත සිත නිවෙයි
පල බරව සෙවණ සදනා
තුගු රුකකි නුඹ විසල්
ඒ මියුරු පල රස විඳීනා
පින නැතත්
සිත දුකින් පිරී...යයි...”

ජයන්ත චන්ද්‍රසිරිගේ ‘මහරජ ගැමුණු’ චිත්‍රපටයේ ඇසෙන මේ ගීතය අපගේ හදවත සොරා ගනියි. වරින්වර නැඟෙන සිතාරයේ නාදය හා බටනලාවේ සෝකී ස්වරය ගීතය ගයන්නියගේ සෝකය අපට කියාපාන ඇගේ ස්වරය වැන්න. එළාර රජුගේ දියණියන්ගේ හදවතේ නැඟෙන ඒ ශෝකය කියා පාන්නේ අන් කවුරුත් නොව අපට සිටින ප්‍රවීණ ගායන ශිල්පිනියකි. ඈ නිරෝෂා විරාජිනී ය. ඇගේ මේ මියුරු ස්වරෙයෙන් ගැයුණු ගායනයට පසුගියදා සරසවිය සම්මාන උලෙළේදී හොඳම ගායිකාවට හිමි සම්මානය ලැබිණි.

2016 වසර ඔබ සම්මාන ලැබීමට උදා වූ වර්ෂය වගෙයි නේද?

2016 වසරේදී චිත්‍රපටයට ම මට සම්මාන හතරක් ලැබුණා. ඉන් එකක් වන්නේ මෙවර පැවැත් වූ සරසවිය සම්මාන උලෙළේදී යළිත් වරක් හොඳම ගායිකාව ලෙස මා ලැබූ සම්මානයයි. එය ලැබීමට තරම් මා යළිත් වාසනාවන්ත වුණා. ඒ වගේ ම සරසවිය සම්මානය කියන විට අපට දැනෙන හැඟීම බොහොම වෙනස් ම දෙයක්.

ඒ දැනෙන බොහොම වෙනස් ම හැඟීම කුමක් ද?

සරසවිය සම්මාන උලෙළ පවත්වන බව දැන ගැනීමෙන් පසුව මොකක්දෝ කියා ගන්න බැරි සතුටක් දැනුණා. සරසවිය සම්මානය ඔස්සේ අපේ හිතට දැනෙන බර වසර ගණනකට පසුව වුණත් අපට දැනෙන්න ගත්තා. මෙතෙක් සිතේ තිබුණු සතුට දෙගුණ තෙගුණ වුණා.

අනෙක් සම්මාන උලෙළවලට වඩා සරසවිය සම්මාන උලෙළේ තිබෙන විශේෂත්වය මොකක් ද?

අනෙක් සම්මාන උලෙළවල් පවත් වන්න ගත්තේ මේ මෑතයි. අපේ රටේ පිළිගත හැකි සම්මාන ලබාදෙන උළෙලක් ඇත්තේ නැහැ. ඒ නිසයි එවැනි පිළිගැනීමක් තිබෙන ජනාධිපති සම්මාන උලෙළ හෝ සරසවිය සම්මාන උලෙළ අප හැමදාමත් බලාපොරොත්තු වුණේ. කලාකරුවකු ලබන වැදගත් ම වටිනාකම වුණේ ඒ සම්මාන උලෙළවලින් සම්මානයක් ගැනීමයි. සරසවිය සම්මානයක් ලබනවා කියන්නේ තමන් කළ වෘත්තිය වෙනුවෙන් තමන් ලබන ලොකුම වටිනාකමයි. ඒ නිසා කලකට පසුව සරසවිය සම්මාන උලෙළ පැවැත් වීම පිළිබඳ එය පැවැත් වූ සියල්ලන්ට ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේ ම මාව මේ නිර්මාණයට දායක කරගත් සියල්ලන්ටමත්, ගීත නිර්මාණයට සම්බන්ධ වූ සියල්ලන්ටමත් මා කෘතඥතාව පළකරනවා.

මෙලෙස ඔබ සරසවිය සම්මාන උලෙළේදී සම්මාන ලබන්නේ කීවැනි වතාවට ද?

දෙවැනි වතාවටයි. මට සරසවිය සම්මාන උලෙළේදී පළමුව සම්මානය ලැබෙන්නේ උදයකාන්ත වර්ණසූරියගේ ‘රාජ්‍ය සේවය පිණිසයි’ චිත්‍රපටයේ ‘සඳ තනියම...’ ගීතය සඳහායි. ඒ චිත්‍රපටයට පෙර වෙනත් චිත්‍රපට කිහිපයකට ම මා ගීත ගයා තිබුණත්, ඒ අතරෙන් පළමුව තිරගත වන්නේ ‘රාජ්‍ය සේවය පිණිසයි’ චිත්‍රපටයයි.

ඔබ ගායන ජීවිතයේදී ලබන පළමු සම්මානය ලබන්නේ කුමන උලෙළකදී ද?

මගේ ජීවිතයේ පළමුව හොඳම ගායිකාව ලෙස සම්මානයක් ලබන්නේ ජනාධිපති සම්මාන උලෙළේදියි. දෙවැනි සම්මානය සරසවිය සම්මානයයි.

පළමුවරට සරසවිය සම්මාන උලෙළේදී සම්මානය ගන්න මොහොතේ සිතේ ඉපැදුණු හැඟීම ම ද, පසුගියදාත් සම්මානය ගන්න මොහොතේ ඔබගේ සිතේ ඉපැදුණේ?

මා සම්මාන උලෙළට සහභාගි වන්නේ මට සම්මානයක් තිබෙනවා ද? නැති ද? කියලාවත් දන්නේ නැතුවයි. එය නැවත පැවැත් වීමේ ප්‍රීතියෙන් යුතුවයි මා ඊට සහභාගි වන්නේ. හොඳම ගායිකාව විදියට මගේ නම නිර්දේශ වනවිටත් මා සිටියේ වේදිකාවේ පිටුපසයි. ඒ සම්මාන උලෙළේ ඊළඟ පැවැත්වීමට නියමිත අංගය සඳහා සූදානම් වෙමින්. ඒ වෙලාවේ නම කියන ඇසුණු නිසා මා වේදිකාවේ පිටුපස සිට දුවගෙන පැමිණියා. ඒත් ඒ සම්මානය ලැබුණේ කුමන ගීතයට ද?, ඒ ගීතත් සමඟ නිර්දේශ වූ අනෙක් ගීත මොනවා ද? මේ කිසිවක් නොදැනයි මා සම්මානය ලබාගත්තේ.

ඔබට ‘මහරජ ගැමුණු’ චිත්‍රපටයේ ‘සඳමඬල වී..... ගීතය ගැයීමට ආරාධනා ලැබෙන්නේ කෙලෙස ද?

ජයන්ත අයියාගේ ටෙලි නාට්‍ය සඳහා පසුබිම් ගායනයෙන් සහභාගි වී තිබුණත්, මේ ඔහුගේ චිත්‍රපටයකට පසුබිම් ගී ගයන පළමු වතාවයි. ඔහු මට කතා කරලා “නංගී මගේ චිත්‍රපටයේ මෙහෙම සින්දුවක් තිබෙනවා. ඒක සංගීතය නදීකගේ” කියලා කිව්වා. නදීකත් සමඟත් මා මීට පෙරත් නිර්මාණ කිහිපයකට ම දායක වෙලා තිබුණා. නදීකගේ සංගීතයට ගීතයක් ගයන්නට ලැබීම ම මා සතුටට පත්කළා. නදීකගේ සංගීතයේ තිබෙන අමුතු බවට මා වඩාත් කැමැතියි. නිකම්ම නිකම් ට්‍රැක් එකක් හදනවට වඩා නිතර ම වෙනස් වැඩකුයි ඔහු කරන්නේ. මට ඒ විශ්වාසය ඔහු ගැන තිබුණා. එදා ජයන්ත අයියා ගීතය ගැන පවසන විට මට කිව්ව තවත් දෙයක් වුණේ “ඔයාටයි මේ නිර්මාණයේ ප්‍රධාන ගීතය ලැබිලා තිබෙන්නේ. ඒ නිසා නදීකත් එක්ක ඒ ගැන කතාකර ගන්න.” කියන කාරණය. ඊට පස්සේ මා මුලින් ම ගිහින් ගීතය බලලා ආවා.

ඒ ගීතය ගැන මොන වගේ අදහසක් ද සිතේ ඇති වුණේ?

ඒ බලන මොහොතෙත් මට සිතුණ දෙයක් තමයි මේ ගීතය ගයන්න ලෙහෙසි නොවන බව. ගොඩක් කාලයකට පස්සේ එදා මා තාත්තාත් එක්කයි ඒ කටයුත්තට ගියේ.

ඔබ ඒ අභියෝගය ජයගත්තේ කොහොම ද?

ට්‍රැක් එක සම්පූර්ණ කළාට පස්සේ දවසෙයි මා ගීතය ගයන්නට ගියේ. ගීතයේ සමහර තැන් නදීක කියලා දෙන විදියට ගයන්න බොහොම අපහසු වුණා. “කියන්න නිරෝෂා, ඔයාට මේක සම්මානයක් ද දන්නේ නැහැ. හොඳට කියන්න” කියලත් නදීක පැවසුව අයුරු මට මතකයි. හැබැයි, ඒ ගීතය මම ආසාවෙන් ම ගැයුව ගීතයක්. පල්ලේගම හේමරතන හිමියන්ගේ පදවල තිබුණු ලස්සන, බර මගේ සිත ගත්තා. එවැනි ගීතයක් මා ගැයුවේ කාලයකට පස්සේ. මෙවැනි අර්ථවත් පදවලට නදීකගේ සංගීතයත් මුසු වුණාට පස්සේ ඒ ගීතයට වඩාත් අර්ථයක් මුසු වුණා.

සාමාන්‍යයෙන් ඔබ ඔබට ලැබෙන සෑම නිර්මාණයක් ම ගයන්න තෝරා ගන්නේ නැහැ

මා ගීත ගයන විට කොහොමත් තෝරාබේරා ගැනීමක් කරනවා. හේමරතන හිමියන්ගේ ගීතයේ පද දකින විට ම මගේ සිතට දැනුණු යම් දෙයක් තිබුණා. ඒ ඔක්කොමත් එක්කයි ගීතය ගැයුවේ. සම්මානයක් බලාගෙන නම් ගීත ගැයුවේ නැහැ. මා පළමුව සිතන්නේ නිර්මාණය ගැනයි. හොඳ නිර්මාණ ලැබෙන්න, ලැබෙන්නයි අපේ සිතට නැඟෙන්නේ, මේ නිර්මාණයි අපේ ජීවිතයට ලැබෙන හොඳම වටිනාකම කියලා. එවැනි නිර්මාණයකට සම්මානයක් ලැබීම ඒ වටිනාකමට ලැබෙන අමතර ඇගයීමක් විදියටයි මා දකින්නේ.

ගීතය ගයන්නට පෙර ඒ පසුබිම වඩාත් ඔබ හොඳීන් අධ්‍යයනය කළා ද?

ජයන්ත අයියා ඒ පසුබිම පිළිබඳ මාව දැනුම්වත් කළා. දුටුගැමුණුට, එළාරගේ දුව ආදරය කළ බවක් මා අසා නැහැ. ඒත් ඒක චිත්‍රපටයට සඳහා හෝ පොතකට අදාළ විදියකට නිර්මාණයක් කළා ද කියලා මා දන්නේ නැහැ. මේක ආදර ගීතයක්. ඇගේ හැඟීම ගැනයි මේ ගීතයෙන් කියැවෙන්නේ. ට්‍රැක් එකක් අහන විට අපට සංගීතයෙන් යම් හැඟීමක් එනවා. ඒ හැඟීමත් එක්ක මේ ගීතය ගයන්න ඕන මෙහෙමයි කියලා ඉබේ ම අපගේ සිතට පිවිසෙනවා. අමුතුවෙන් ගීතය සිත සිත ගයන්න ඕන වෙන්නේ නැහැ. ඒකයි නදීකගේ සංගීතයේ තිබෙන වෙනස වන්නේ.

ඊට පසුව ඔබ ‘මහරජ ගැමුණු’ චිත්‍රපටයේ ඒ රූපරාමු නැරැඹුවා ද?

මා ගැයූ ගීතයේ රූපරාමුයි, උමාලි ඒ අවස්ථාවේ ගයන විදියට, රඟපාන විදියට ගීතය උපරිමයෙන් දැනෙනවා කියලා මට සිතෙනවා. මා එසේ පවසන්නේ මේ ගීතය ගැයුවේ මා නිසා නොවෙයි. ගීතය ඇසූ බොහෝදෙනා ඒ බව මට පවසලා තිබෙන නිසයි. ඒ ගීතය මට ගයන්න තිබෙන්නේ බොහොම පහළ තැනකින් ආරම්භ කිරීමෙන්. සාමාන්‍ය ආදර ගීතයක් ගයන හඬෙන් නොවෙයි මා ඒ ගීතය ගායනා කළේ. මේ සියලු දේ අවසන් වෙලා ගීතය අහන විට මට හැඟෙන්නේ මේ ගීතය මා ගයන ගීතයක් නොව උමාලි ගයන ගීතයක් බවයි. ඒ තරමට ම උමාලි මා ගීතය ගැයූ ආකාරය හොඳීන් ග්‍රහණය කරගෙන තිබෙන බව පෙනෙනවා.