වර්ෂ 2016 ක්වූ ජනවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




රඟපාන්න පැමිණි ආච්චිලා කොණ්ඩේ ඩයි කරලා

රඟපාන්න පැමිණි ආච්චිලා කොණ්ඩේ ඩයි කරලා

හොඳම අංගරචනා ශිල්පී ජයන්තා රණවක

‘මහරජ ගැමුණු’ කියන්නේ විශාල නිෂ්පාදනයක්. මා බෙහෙවින් ස්තුතිවන්ත වන්නේ මාත් සමඟ කටයුතු කළ, මට සහයෝගය ලබාදුන් මගේ රූපණ ආයතනයේ ඉගෙන ගත් නිපුණතා ලත් ශිල්පීන්ටයි. ඔවුන්ගේ පුහුණු කාලය ඇතුළේ ප්‍රායෝගිකව නියැළිය යුතු අවස්ථාව සඳහා මා ඔවුන්ව යොදා ගත්තේ මේ නිර්මාණය සඳහායි. ඔවුන් මා කියූ ආකාරයෙන් හරි හරියට මේ නිර්මාණයට මහන්සියෙන් වැඩ කළා. චිත්‍රපටයකදි අංගරචනා කටයුතු සඳහා විශාල පිරිසක් සිටින විට බොහොම වැදගත් වන්නේ කාලයයි.

තිස්තුන්වැනි සරසවිය සම්මාන උලෙළේ හොඳම අංගරචනා ශිල්පියා වූයේ ඔහු ය. නාවික ඉංජිනේරුවරයකු ලෙස සිය ජීවිතය ආරම්භ කර එය අතැර රංගනයට පෙම්බැඳී ඔහු අද කලා ක්ෂේත්‍රයේ ප්‍රකටව සිටින්නේ දක්ෂ අංගරචනා ශිල්පියකු වශයෙනි. හේ ජයන්තා රණවක ය. මේ වනවිට සිය දැනුම බෙදා දෙමින් ගෝලයන් රැසක් නිර්මාණය කළ ගුරුවරයකු වන ජයන්ත රණවක ජයන්ත චන්ද්‍රසිරිගේ ‘මහරජ ගැමුණු’ චිත්‍රපටය වෙනුවෙන් මේ ලැබූ සම්මානය පිළිබඳ සිය අදහස් ගෙනහැර පෑවේ මේ අයුරිනි.

වසර අටකට පසුව පැවැත්වුණු මෙවර සරසවිය සම්මාන උලෙළ පිළිබඳ ඔබ දරන්නේ මොනවගේ අදහසක් ද?

වසර අටකට පසුව සරසවිය සම්මාන උලෙළ පැවැත්වීම පිළිබඳව ඒ අදාළ සියලුදෙනාට ම ස්තුති කළ යුතුයි. සම්මාන උලෙළකදි නිවැරැදිව ඇගයීමකට ලක්වෙනවා නම් හොඳයි. එසේ වීමෙන් එය සිනමාව ප්‍රවර්ධනයට බෙහෙවින් බලපාන නිසයි මා එලෙස පවසන්නේ.

අංගරචනයට සම්මාන ලබාදීමේදී සැලකිල්ලට ලක්විය යුතු යැයි ඔබ සිතන්නේ කුමන කාරණයක් ද?

සිනමා නිර්මාණයක නළුවාව සකසන ශිල්පියා හැටියට අංගරචනා ශිල්පියා ප්‍රමුඛත්වයක් ගන්නවා. එහෙත් අංගරචනා ශිල්පියා නළුවාව අංගරචනා කරලා කියලා පේ‍්‍රක්ෂකයාට දැනෙනවා නම් ඒක ලොකු වැරැද්දක්. එය විශ්වසනීයත්වයෙන් තොරවන වැඩක්. මට මෙතැනදි යම් කියමනක් මතක් වෙනවා. ඒ ‘මේකප් මීන් නෝ මේකප්’ කියන ලෝකයේ තිබෙන ප්‍රසිද්ධ කියමන. අංගරචනාව කියන හොඳ අංගරචනාවේ අංගරචනා කළා කියා නොදැනිය යුතුයි. ඒ අදහස මේ උලෙළේදී නියම ආකාරයෙන් විනිශ්චයට ලක්වී ඇති බවක් හැඟෙනවා.

ඔබට සම්මානය ලැබෙන්නේ ඒ නිසා ද?

ඒ නිසයි මට මේ සම්මානය ලැබුණේ. ඒ වෙනුවන් මගේ සතුටක්, ඇගයීමක්, ස්තුතිවන්ත වීමක් තිබෙනවා.

ඔබ සරසවිය සම්මාන ලාභියකු වන්නේ පළමු වරට ද?

මීට පෙර රාජ්‍ය, හිරු ඇතුළු සම්මාන උලෙළ රැසකින් සම්මාන රැසක් ම මා ලබලා තිබෙනවා. එහෙත් සරසවිය සම්මාන උලෙළකදි පළමු වරට සම්මානයක් හිමිකර ගන්නේ මෙවරයි. ඒ ගැන මට තිබෙන්නේ සතුටක්.

පසුගිය කාලයේ තිබුණු සම්මාන උලෙළවලදිත් ඔබගේ නම නිර්දේශ වුණා. ඒත් සම්මාන හිමිවුණේ නැහැ නේද?

පසුගිය කාලයේ සම්මාන උලෙළ රැසක් තිබුණා. ඒ අවස්ථාවලදිත් මගේ නම නිර්දේශ වූවා පමණයි. ඒ නිසා මේ සම්මාන උලෙළෙදිත් මගේ බලාපොරොත්තුව වූයේ එයමයි. මා එදා සම්මාන උලෙළට සහභාගි වෙද්දි සිටියේ අසනීප තත්ත්වයකයි. ඒත් සම්මාන උලෙළට සහභාගි වුණේ සම්මාන ලබන අයට අත්පුඩියක් ගහන්න මිස සම්මානයක් බලාගෙන නොවෙයි.

එහෙත් ඒ අදහස වෙනස් කරමින් ඔබට සරසවිය සම්මාන උලෙළේ හොඳම අංගරචනා ශිල්පියා වීමට වාසනාව උදාවුණා?

අනෙක් අපේ ශිල්පීන්ට සම්මාන ගැනීමේදි අත්පුඩි ගහන අතරදියි අහඹු විදියට නිර්දේශිත නාම අතරට මගේ නම කියනවා ඇසුණේ. එහිදි හොඳම අංගරචනා ශිල්පියා ලෙස මගේ නම තිරයේ වැටුණට පස්සේ මගේ සිතේ ඇතිවුණේ පුදුමයක්. “මෙහෙම දෙයක් වුණා නේද?” කියලා. සතුටක් ඇතිවුණා.

ඔබ සම්මානය ලබාගන්නේ ඔබ ඉපැදුණු ගම් ප්‍රදේශයේ ඉපැදුණු ආරාධිත අමුත්තකුගෙන්

නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහත්තයා අතිනුයි මා සම්මානය ලබාගත්තේ. එතුමාත් අපේ රත්නපුර ගම් ප්‍රදේශයේ ම කෙනෙක්. ඒ බව සිහිපත් කිරීමට මෙන් මා එතුමාට පැවසුවේ “මමත් ගමේ කොල්ලෙක්” කියලා. එතුමා ඒ අදහසට ප්‍රතිචාර දැක්වූයේ සිනහ වෙලා. ඒ වෙලාවෙ මටත් හොඳට ම සිනහ ගියා.

‘මහරජ ගැමුණු’ චිත්‍රපටයේ අංගරචනා කටයුතු කළේ ඔබ පමණක් ද?

‘මහරජ ගැමුණු’ කියන්නේ විශාල නිෂ්පාදනයක්. මා බෙහෙවින් ස්තුතිවන්ත වන්නේ මාත් සමඟ කටයුතු කළ, මට සහයෝගය ලබාදුන් මගේ රූපණ ආයතනයේ ඉගෙන ගත් නිපුණතා ලත් ශිල්පීන්ටයි. ඔවුන්ගේ පුහුණු කාලය ඇතුළේ ප්‍රායෝගිකව නියැළිය යුතු අවස්ථාව සඳහා මා ඔවුන්ව යොදා ගත්තේ මේ නිර්මාණය සඳහායි. ඔවුන් මා කියූ ආකාරයෙන් හරි හරියට මේ නිර්මාණයට මහන්සියෙන් වැඩ කළා. චිත්‍රපටයකදි අංගරචනා කටයුතු සඳහා විශාල පිරිසක් සිටින විට බොහොම වැදගත් වන්නේ කාලයයි. කාලය කියන්නේ මුදල්. මුදල අවම කර ගැනීමට නම් අප ඉක්මනින් වැඩ කළ යුතුයි. එතැනදි මේ ශිල්පීන්ගේ සහය ලැබීම මට හයියක්. ඉතා ම කෙටි කාලයකදි විශාල පිරිසක් අංගරචනය කර රූගත කිරීම් කරන තැනට පිටත් කිරීම මඟින් ජයන්ත චන්ද්‍රසිරිගේ මානසිකත්වය අවුල් නොකර සිටීමට අපට හැකිවුණා.

දිනකට කී දෙනෙකුට අංගරචනා කටයුතු කළා ද?

යුද්ධය කරන දවස්වලදි එක්වරම බස්එකකින් පන්සියයක ප්‍රමාණයක් ශිල්පීන් එනවා. දින කිහිපයකදි ම ඒ වගේ විශාල පිරිසකට අප අංගරචනා කටයුතු කළා.

ඔබ ඔවුන්ව අංගරචනා කිරීමේදී මොන වගේ වෙනස්කම්වලට ද, ලක් කළේ?

චිත්‍රපටය නරඹද්දි ඔබ දුටුවා ද, දුටුගැමුණු - එළාර යුගයේ දී සිටි පිරිස් අතට කවුරු හෝ වර්තමානයේ සිටින හමුදා නිලධාරියෙක්? අද අප දන්නවා වර්තමානයේ සිටින හමුදා නිලධාරියකුගේ කොණ්ඩය මොන විදියට ද කපලා තියෙන්නේ කියලා. අංගරචනා කිරීමට පැමිණි, පිරිස් හැටියට රඟපෑව බොහෝ අය හමුදා නිලධාරීන්. ඒ සමහර අයගේ කොණ්ඩයක්, රැවුලක් නැහැ. එහිදී මට සිදුවුණා ඔවුන්ව අතීතයේ සිටි අය බවට පත්කිරීමට. ඒ සඳහා අප කොණ්ඩ සෑහෙන ප්‍රමාණයක් භාවිත කළා. ඔවුන්ගේ ස්වරූපය සම්පූර්ණයෙන් වෙනස් කළා. සමහර අයගේ ශරීරයේ පච්ච පවා තිබුණා. ඒ සියල්ල මකා දමලයි අංගරචනා කටයුතු කළේ. හාමුදුරුවරුන්ට තෝරා ගත්ත සමහර ශිල්පීන්ගේ කොණ්ඩා වවලයි තිබුණේ. ඔවුන්ගේ කොණ්ඩය සම්පූර්ණයෙන් ම තට්ටයක් බවට පරිවර්තනය කළා. අංගරචනා කටයුතුවලදි එවැනි පරිශ්‍රමයක් අප දැරුවා.

ඒ පරිශ්‍රමය තවදුරටත් විස්තර කළොත්

අංගරචනා කිරීම සඳහා ගම්වලින් පැමිණි සමහර වයසක ආච්චි අම්මලාගේ කොණ්ඩ කළු ම කළුයි. ඒ ඔවුන් කොණ්ඩ ඩයි කරලා. ඒ යුගයේ ඩයි තිබුණේ නැහැ නේ. ඒ ඩයි එක නැතිවන විදියට අංගරචනා කරන්න අපට සිදු වුණා. සමහර තරුණයන් කොණ්ඩය කපලා තිබුණේ ෂැගී කට් එකයි. අප අංගරචනයේදී ඒ සියලු දේ සම්පූර්ණයෙන් ම වෙනස් කළා. මේ නිසා සමහර අංගරචනා කටයුතුවලට අවශ්‍ය බඩු බාහිරාදිය ගෙනාවේ ඉන්දියාවෙන්. එහිදී කොන්ඩා, රැවුල් රැසක් අප ගෙනාවා. සමහර අවශ්‍ය දේ ගෙන්වා ගත්තේ ඇමෙරිකාවෙන්.

ඒ කොණ්ඩා, රැවුල් ශිල්පීන්ට දැම්මට පස්සේ නැවතත් ලැබුණා ද?

එහිදී නම් අපට මුහුණ දීමට සිදු වුණේ අපූරු අත්දැකීමකටයි. මේ රැවුල් දැම්ම සමහර නිලධාරීන් ඒ ආකාරයෙන් ම නිවෙසට යන්නට උත්සාහ කළ අවස්ථා නොයෙකුත් තිබුණා. සමහර ගම්වල අය ඔවුන්ට දැමුව කොණ්ඩයත් එක්ක නිවෙස්වලට ගිහින් තිබුණා. ඒ ඔවුන්ගේ අංගරචනාව බිරියට, නැත්නම් පවුලේ අනෙක් අයට පෙන්වීමේ අදහසෙන්. ඒ විදියට රැවුල් හා කොණ්ඩා රාශියක් අතුරුදන් වුණා.

යුද ගැටුම්වලදි වගේ ම සමහර අවස්ථාවලදි ඊතල විදීම් සිදු වෙනවා. එය සිදු වූයේ ඩිජිටල් තාක්ෂණයේ අරුමයක් මත ද?

‘මහරජ ගැමුණු’ චිත්‍රපටයට අවශ්‍ය යාන්ත්‍රික මැනුවල් ටෙක්නිකල් ඉපෙක්ට් පාවිච්චි කරන්න ශිල්පියකු සිටියේ නැහැ. ඒ අවස්ථාවේ ජයන්ත චන්ද්‍රසිරි මගෙන් කාරුණික විමසීමක් කළා “මේ දේවල් කරන්නේ කොහොම ද, ජයන්ත” කියලා? ඒ මොහොතේ ස්වේච්ඡාවෙන් මා ඉදිරිපත් වුණා, “ඔයාට උවමනා නම් මම මේ ටික කරලා දෙන්නම්” කියලා. ඒ අනුව යුද්ධයේ දී භාවිත කරන ඊතල විදීම් මා ඉදිරිපත් කළේ විශේෂ ප්‍රයෝග භාවිතයෙන්. එක ම තැනකදී ඇරෙන්න අනෙක් සියලු ම ස්ථානවලදී ඊතල හා හෙල්ල වදින විදිය මා නිර්මාණය කළේ විශේෂ ප්‍රයෝග භාවිතයෙන්.

‘මහරජ ගැමුණු’ චිත්‍රපටයේ එක් අවස්ථාවක පාරුවක ගමන් කරන පිරිසක් ම ඊතල ප්‍රහාරයකට ගොදුරු වෙනවා. ඒ අවස්ථාව නිර්මාණය වුණේ කෙලෙස ද?

පාරුවේ යන දහදෙනාට ඊතල වැදිලා ඔවුන් සියලුදෙනා ම මැරෙනවා. ඒ අවස්ථාව නිර්මාණය වුණේ ඩිජිටල් තාක්ෂණය ඔස්සේ නොවෙයි. සජීවවයි ඒ අවස්ථාව රූගත කළේ. අප ඔවුන්ට ස්වාභාවිකව ඊතල විද්දා. එය සිදුකළේ අවශ්‍ය ආකාරයට ඊතල නිර්මාණය කිරීම මඟින් අවශ්‍ය ස්ථානයට කේබල් එකක් ආධාරයෙන් ඊතලය විදීමෙන්. ඉන්පසුව කේබල් එක පෙනෙන තැන් රූප රාමුවලදි සංස්කරණය කළා. එවිට බලාගෙන සිටින අයට පෙනෙන්නේ ඊතලය පැමිණ ඒ අදාළ කෙනාට ම වදින බවයි. හොලිවුඩ්වලදි යොදා ගන්නෙත් මේ තාක්ෂණයමයි.

අංගරචනා ශිල්පයට නියම මිලක් තිබෙනවා ද?

මේ කාරණය සම්බන්ධයෙන් බොහෝදෙනා නම් හිතාගෙන සිටින්නේ වෙනස් ම විදියටයි. සමහර නිර්මාණකරුවන් ඔවුන්ගේ නිර්මාණවල අංගරචනා කටයුතු සඳහා අපට කතා කරන්නේ සිය නිර්මාණයේ වැඩි දෙයක් නොමැති බව පවසමින්. එහෙම වුණත් එහි ගියාට පස්සෙයි එහි තිබෙන වැඩ ප්‍රමාණය පෙනෙන්නට ගන්නේ. සමහර අයට අංගරචනා කටයුතු සඳහා මිලක් කිව්වා කියලා සිතන්න. ඔවුන් පවසන්නේ ඒ තරම් මුදලක් අංගරචනා කටයුතුවලට වෙන්කර නොමැති බවයි. මට එවෙලෙට ඇති වන්නේ පුදුමයක්. අංගරචනය කියන්නේ නළුවාගේ සෞඛ්‍යයට වග කියමින් නළුවාගේ රුව චිත්‍රපටයට අවශ්‍ය විදියට සකසන එක ම අංශයයි. අංගරචනාවක් කළාට පස්සේ ඒවා නැවත ගන්න බැහැ. ඒ නිසා මේ අංශය වෙනුවෙන් වටිනාමකින් යුතුව යම් මුදලක් අනිවාර්යයෙන් ම චිත්‍රපටවල අයවැයට එකතු විය යුතුයි.

‘මහරජ ගැමුණු’ චිත්‍රපටයේ දීත් ඔබට මෙවැනි ප්‍රශ්නවලට මුහුණදීමට සිදු වුණා ද?

අනේ නැහැ. එහි කටයුතු සියල්ල සිදු වුණේ පෙර සැලසුමකට අනුවයි. ‘මහරජ ගැමුණු’ චිත්‍රපටය කළේ ඒ ක්ෂේත්‍රය පිළිබඳ අවබෝධයක් තිබුණු පිරිසක්. ඔවුන් මට ඒ අව්‍යශ බඩු ගන්න කලින් ම කාලයක් දුන්නා. ඒ වගේ නිර්මාණකරුවන් සමඟ වැඩ කිරීමට ලැබීම සතුටක්.