වර්ෂ 2016 ක්වූ ජනවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




යළිත් ඔහුට සිලෝන් ටී හමු නොවනු ඇත

යළිත් ඔහුට සිලෝන් ටී හමු නොවනු ඇත

ඕම් පූරි ගැන මතකාවර්ජනයක්

කෙසේ වුවත් පසුගිය 6 වැනිදා දහවල මා විකෂිප්ත කළ පුවත වූයේ විශිෂ්ට ඉන්දීය නළුවෙකු වන ඕම් පූරි එදින උදෑසන හෘදය වස්තුව අකර්මණ්‍යවීම හේතු කොට ගෙන අභාවප්‍රාප්ත වූ බවයි. 1950 වසරේ ඔක්තෝබර් 18 පන්ජාබයේ උපත ලැබූ ඕම් පූරි 2017 ජනවාරි 6 වන දින උදෑසන මහාරාෂ්ට්‍රයේ අභාවයට යන විට 66 වන වියේ පසුවුණි.

එම මරණය හෘදය වස්තුව අකර්මණ්‍ය වීම හේතු කොට ගෙන වූ බව තීරණය කරගත් පසු පවුලේ ඥාතීන් හා ඔහුට සමීප කලාකරුවන් එක්ව දේහය එදිනම සන්ධ්‍යාවේ මිහිදන් කෙරිණි. එම අවස්ථාවට ඉන්දියාවේ ප්‍රකට කලාකරුන් වන අමිතාබ් සහ ජයා බහදුරි යුවළ, ජාවිඩ් අක්තාර්, ජොනි ලිවර්, ප්‍රකාෂ් ජා, ෂබානා අස්මි, විද්‍යා බාලන් ආදී විශාල පිරිසක් ඕම් පූරිගේ දේහය වටා රොක් වුණි. මෙය ඉන්දීය ජනමාධ්‍යයට විශාල පුවතක් වූවා සේම බොලිවුඩයේ ඔහුගේ නම ගිය හිතවතුන් එම අවස්ථාව ගැන ශෝක වෙමින් 'ට්විටර්' පණිවුඩ යොමු කළා. ඒ අතර අමිතාබ් බච්චන්, ෂාරුක් ඛාන්, බෝමන් ඉරානි, ෆර්හාන් අක්තාර්, මහේෂ් බාත්, ආලියා බාත් ප්‍රමුඛ විය.

ඕම් පූරි යනු ඇත්තෙන්ම ඉන්දීය මහ සිනමාවේ යම් යම් විශේෂතා බිහි කළ රංගධරයෙකි. ඊට හේතු සාධක වුවා යැයි බොහෝ විට හඳුනා ගත හැක්කේ රංගනය පිළිබඳ ඔහු සතු වූ ඇකඩමි ආභාෂයත් සිනමාව සම්බන්ධයෙන් ඔහු තුළ වූ පුළුල් දැක්මත්ය. 1972 ගෂිරාමි කොට්වල් චිත්‍රපටය සඳහා පෙනී සිටීමටත් පෙර ඔහු වීදි නාට්‍ය හා වේදිකා නාට්‍යය ගැන සෑහෙන දුරට සංවේදීකමක් තිබුණි. ඔහුගේ මූලික අධ්‍යාපනයෙන් පසු ඔහු යොමු වෙන්නේ දිල්ලියේ පිහිටි ජාතික නාට්‍ය පාසල වෙතයි. අදටත් ඉන්දියාවේ විශිෂ්ටතම රංගන අධ්‍යාපනය ලබාදෙන ගුරුකුලය වශයෙන් හඳුන්වන ජාතික නාට්‍ය පාසලෙන් පසු ඔහු නවතින්නේ පුනේ හි පිහිටි චිත්‍රපට අභ්‍යාස ආයතනයේය. මෙවර සරසවිය හොඳම නිළිය අංජලී පටිල් ද එම ආයතන දෙකෙහිම ශිෂ්‍යාවකි. ඔහු රංගනය ගැන දිල්ලියේදී විධිමත්ව හදාරා පූනේට පැමිණෙන්නේ බොලිවුඩය හා සම්බන්ධවීමේ අධිටනින්ය. එහිදී ඔහු රංගනය ගැන විශේෂ පුහුණුවක් නොලැබූ නමුත් ලෝක සිනමාවට විවෘත වීම නිරායාසයෙන්ම සිදු වුණි. විශේෂයෙන්ම ඒ යුගය ඉන්දීය වාණිජ මහ සිනමාවට සමාන්තරව බිහි වූ නව රැල්ලේ සිනමාවේ වර්ධණීය අවධියක් විය. සත්‍යජිත් රේ, මිර්නාල් සෙන් ආදීන් ඊට ඉහතදී පොහොර දමා පෝෂණය කළ කලාත්මක නවරැල්ල 70, 80 දශකයන්වලදී ඉදිරියට රැගෙන යාමට නිර්මාණශීලී සිනමාකරුවන් පිරිසක් මුළු ඉන්දියාවේම බිහි වී තිබිණි.

ඕම් පූරි ඉන්දියාවේ සළකුණක් තැබූ නළුවෙකු පමණක් නොව ඉන්දියාවට නම්බුවකුත් එක් කළ නළුවෙකි. ඒ ඔහු හොලිවුඩයෙන් නළු වරම් ගත් පළමු ඉන්දීය නළුවා බවට පත් වෙමිනි. ඒ 1992 දී තිරගත වූ 'සිටි ඔෆ් ජෝයි' චිත්‍රපටයෙනි. කල්කටාව පදනම් කොට ගෙන ගොඩ නැඟුණු කතාවක් වු එය ඕම් පූරි නිරූපණය කරන්නේ එදා වේල සොයා ගැනීමට අරගල කරන පහළ පාන්තික චරිතයකි. එය චිත්‍රපටයේ ප්‍රධානම චරිතවලින් ද එකකි. එදා සිට මෑතක් වන තුරු යළි හොලිවුඩ් නිර්මාණවලට දායක නොවුණ ද ඉංග්‍රිසි නිර්මාණ රාශියකට ඒ අතරවාරයේදී ඔහුගෙන් දායකත්වය ලැබුණි. ඔහු ඉංග්‍රිසි සිනමාව හා ටෙලි නිර්මාණ උදෙසා දුන් දායකත්වය නිසා වරෙක බැෆ්ටා සම්මානයකින් පුද ලබන අතර බ්‍රිතාන්‍ය රජයෙන් පිරිනමන 'ඕම් ඕඩර් බ්‍රිටිෂ් එම්පයර්' නම්බුනාමය ද හිමි කර ගනී.

2017 වන විට ඕම් පූරි රඟපෑ හොලිවුඩ් හා ඉංග්‍රිසි චිත්‍රපට ගණන 15 කටත් වැඩිය. ඔහු රඟපෑ සමහර චිත්‍රපට එකින් එක අධ්‍යනය කළහොත් ඕම් පූරි යනු ජාත්‍යන්තරයේ ඉන්දියානුවා බවට තර්ක කළ හැකිය. සමස්තයක් ලෙස ගත් විට 1997 'මයි සන් ද ෆැනටික්' චිත්‍රපටයේ සංකීර්ණ මමෝභාවයන් සහිත රංගනයන් 1999 'ඊස්ට් ඉස් ඊස්ට්' ඒ අනුසාරයෙන් 2010 නිපද වූ 'වෙස්ට් ඉස් වෙස්ට්' චිත්‍රපට දෙකහි පකිස්ථාන් ගෘහ මුලිකයාගේ චරිතයත් 2007 'චාලි විල්සන්ස් වෝ' චිත්‍රපටයේ පකිස්ථානය මහා මිලිටරි රාජ්‍යයක් කරා දක්කන් ගිය ජෙනරාල් සියා උල් හක් ගේ චරිතයත් 2014 'ද හන්ඩ්‍රඩ් ෆුට් ජර්නි' හි ඉන්දීය ගෘහ මුලිකයාගේ චරිතයත් ඔහු ජාත්‍යන්තරයේ නිරූපණය කළ හොඳම චරිත බවට නම් කළ හැකිය. විශේෂත්වයක් නම් 'චාලි විල්සන්ස් වෝ'' හිදී ටොම් හෑන්ක්ස් සමඟත් 'ද හන්ඩ්‍රඩ් ෆුට් ජර්නි' හිදී හෙලන් මිරේන් සමඟත් කරට කර කටයුතු කරන්නට ලැබීමත්ය. ස්ටිවන් ස්පිල්බර්ග් සමඟ එක්ව වැඩ කරන්නට ලැබීම ඔහු තමන් ලත් භාග්‍යයක් කොට සැලකීය. ඕම් ස්පිල්බර්ග්ව මුණ ගැසුණේ 'ද හන්ඩ්‍රඩ් ෆුට් ජර්නි' සමඟය. මන්ද එහි නිෂ්පාදකයා වූයේ ස්පිල්බර්ග්ය. ඕම් පූරි සමඟ ක්ෂේත්‍රයේ කිට්ටුවෙන් කටයුතු කළ සමීපතමයන් දෙදෙනකු විය. එක් අයෙක් අනුපම් කේර්ය. අනෙකා නස්රුදීන් ෂාය. එයිනුත් වඩා සමීපතමයා වූයේ නස්රුදින් ෂාය.

ඕම් පූරිගේ අභාවය වූ සැනින් ඉන්දීය මධ්‍ය උත්සුක වුූයේ නස්රුදීන් ෂා සමඟ අතීවාවර්ජනයක යෙදීමයි. එහිදී ඕම් පූරිගේ මරණය සම්බන්ධයෙන් ඔහු අඩමාන ප්‍රකාශයක් සිද්ධ කළේය. 'මම ඕම් පූරිගේ සමීපතමයෙකු වුවත් ඔහුගේ පෞද්ගලික ජීවිතයට ඇඟිලි ගහන්න මම ගියේ නැහැ. මම දන්නා විදිහට ඔහුට විශාල වෘත්තීමය පීඩාවක් තිබුණා. ඒ වගේම මුල්‍යමය ප්‍රශ්නත් තිබුණා. ඔහු පවුලෙන් වෙන් වෙලා ගත කළේ හුදෙකලා දිවියක්. ඔහු ප්‍රකාශ කළේ එවැන්නක්.

කලකට ඉහතදී ඔහු ඕම් පූරිට යොමු කළ වෘත්තිමය ගැටළුවක් ගැණත් ඉන්දීය මාධ්‍ය වාර්තා කොට තිබුණේ ද මෙසේය. 'මම වතාවක් ඇහුවා ඕම්ගෙන් ඔහු බොහෝ චිත්‍රපටවල කුඩා චරිත නිරුපණය කරනවා. මම ඉන්න චිත්‍රපටවලත් ඔබ බොහෝ විට කරන්නේ කුඩා චරිත. ඇයි ඔබ ඒ වගේ චරිත බාර ගන්නේ. ඔහු දුන්නේ සරළ පිළිතුරක්. අරේ යාර් මම විශ්වාස කරන්නේ අදහන්නේ චිත්‍රපටය මිසක් ලැබෙන චරිතය නෙවෙයි.'

දැන් මා එන්නේ මා ප්‍රමාද කළ ඕම් පූරි ගැන මා දන්නා කතාව කියන්නටය.

2016 මුල් භාගයේදී ලංකවේ රූපගත කරන දැවැන්තම හොලිවුඩ් නිෂ්පාදනයට සියළු කටයුතු සූදානම් වෙමින් තිබිණි. මෙහි සම නිෂ්පාදකයා වූයේ චන්ද්‍රන් රත්නම්ය. චිත්‍රපටයේ නම 'සෝලාර් ඉක්ලිප්ස්'ය. ඉංග්‍රිසි චිත්‍රපටයකි. ඕම් පූරිට මෙහි නිරූපණය කරන්නට තිබුණේ එවකට ඉන්දීය පොලිස් ප්‍රධානියාගේ චරිතයයි.

ඒ අනුව එළැඹුණු සති කිහිපය රූපගත කිරීම ගැන ඉව කරමින් 'ටච්' එකේ සිටීමට මට සිදු වුණි. එසේ හිටි හෙයින් නිෂ්පාදක කෘත්‍යාධිකාරී ජයන්ත ජයතිලක මට එක වරම දැනුම් දුන්නේ මාර්තු මස 12 වැනිදා හැන්දෑ වරුවේ ඕම් පූරි විවේක කාලයක් ඇති බැවින් එදින සන්ධ්‍යාවේ ඔහු නැවතී සිටින හෝටලයට පැමිණෙන ලෙසත්ය. ජයන්ත ඒ ඇමතුමෙන් කළේ එකම එක ඉල්ලීමකි. ෂෙනාල් ඔයා පරක්කු වෙන්න එහෙම එපා. මොකද ඕම් පූරි කියන්නේ සුද්දා වගේ මිනිහා." මම ලංකාවේ වේලාවට වැඩ නොකළෙමි. ජාත්‍යන්තරයේ සුපිරි රංගන ශිල්පියෙකුට ලංකවේ පත්තර කාරයෙකුට දීමට තරම් මහා වේලාවක් නොමැති බවට පූර්ව නිගමනයකට පැමිණෙමින් අපේ ඡායාරූප ශිල්පියා සුසන්තත් මමත් ජයන්තත් කියූ වේලාවට ඕම් පූරිගේ කාමරය බලා ඇදුණි.

ජයන්ත අපව ඕම් පූරිට හඳුන්වාදී පිටව ගියේය. උණුසුම් පිළිගැනීමකින් අනතුරුව අපි සුවබර අසුනක ඈඳි ගතිමු. ඔහු තදින් දුම් පානය කරන්නෙක් විය. මට ඒ මොහොතේ සිතුණේ මේ දුම කොයි මොහොතක හෝ වැඩි වී හෝටලයේ අනතුරු හැඟවීමේ නලාව නාද විය හැකි බවකි. මම ඔහුගෙන් ප්‍රශ්න කිරිම ඇරඹුවෙමි. ඔහුට අන්‍යන ගැඹුරු හඬින් ඔහු උත්තර බැඳීම ඇරඹුවේය. ඔහු අනවශ්‍ය ලෙස වචන නාස්ති කරන්නෙක් නොවීය. සෑම ප්‍රශ්නයකටම ඔහුට නිශ්චිත අදහසක් හා කෙටි පිළිතුරක් තිබුණි.

ඔහු සැබෑ ලෙසම කතා කරන්නට ගත්තේ මා ලංකාව සම්බන්ධයෙන් ඔහුගෙන් ඇසූ විටය. ඒ ඔහු ලංකාවට පැමිණි පළමු වතාවය. ඔහුට අනුව ඔහු ලංකාව ගැන මුලින්ම දැනුම්වත් වන්නේ රාම රාවණ කතන්දරයෙනි. මා නම් සිතන්නේ ලංකාවට පැමිණෙන තෙක්ම ඔහු මෙය තුන හුලස් ද වෘත්තාකාර ද යන්නවත් දැන නොසිටින්නට ඇත. 'ටේක් විත් හිම් ඕල්සෝ' යැයි සුසන්තට පවසා ඔහු මා අසලින්ම ඈඳගෙන කතාවට මුල පිරුවේය.

ඔහු ඊට පෙර දින පින්නවල චාරිකාවක් ගොස් තිබුණි. එහෙයින් ඔහු සතුටින් පිනා ගොස්ය. එමෙන්ම ඔහු වට පිටාවේ සුන්දරත්වය දැක වශීකෘතව සිටියේය. ඔහු නිතරම කීවේ ලංකාව ඉතා සුන්දර පිරිසුදු රටක් බවය. මිනිසුන් වුව ද සුහද බවය. අපේ නිල කතා බහ නැවතී ඔහුගේ ලංකා වර්ණනය මම අසා සිටියෙමි. ඇත්තෙන්ම ලංකාව නිසා ඔහුට ඇති වූ සතුට ගැන මෙසේ වුවද ලියන්නට වචන සොයා ගත්තේ බොහොම අමාරුවෙනි. ඔහු ලංකාවට ඉතා ආදරය කරන බව මට වැටහිණි. එකෙනෙහිම මගේ ප්‍රශ්න කිරීම් නැවතී ඔහු මා ප්‍රශ්න කරන්නට පටන් ගත්තේය.

ඊළඟ වර ලංකාවට පැමිණෙන විට තමන්ට සංචාරය කරන්නට හොඳ ස්ථාන මොනවාදැයි මගෙන් මාර්ගෝපදේශ විමසුවේය. මා පැවසුවේ හැකි නම් ලංකාවේ මධ්‍ය කඳුකරයට ගොස් වෙනස අත්විඳින ලෙසටය. එයින් උත්තේජනය ලද ඔහු ලංකාවට නැවත නිවාඩුවකට පැමිණෙන බව කිවේය. ලංකාවේ ඔහුගේ සිත් ගත් තවත් දේ තිබුණි. එකක් නම් බිත්තර ආප්පය. අනික නම් ලංකාවේ සුප්‍රකට තේ ය. පෙර දිනක කොළඹ සංචාරයක් අතරතුර දී මිළදී ගත් සිහිවටන කිහිපයක් ඔහු මට පෙන්වීය. ලක්සලෙන් මිළදී ගත් ඒවාය. තවත් තේ ඇසුරුම් කිහිපයක් විය. එකනෙහිම ඔහු මට ඩී. වී. ඩී ඇසුරුම් කිහිපයක් පෙන්වීය. ඒවා ඔහු මිලදී ගෙන තිබුණේ කොළඹ ඩී. වී. ඩී. අළෙවි හලකිනි. ඒ අතරින් එකක් ගෙන ඔහු මට පෙන්වූයේ 'ඔබ දන්නවාද? මේ චිත්‍රපටය ඔබේ රටේ හදපු එකක්'. චිත්‍රපටය 'බොම්බේ වෙල්වට්' විය.

ඒ අතරම මටත් ඔහුට දෙන්නට යමක් විය. බ්‍රෑන්ඩඩ් නොවුණ ද ඉස්තරම් වර්ගයේ තේ කුඩු ඇසුරමක් මා සතුව තිබුණි. මම එය ඔහුට තෑගි කළෙමි. ඒ මොහොතේ ඔහුගේ මුහුණේ මැවී ආ සතුටු සිනාරැල්ල මට ජීවිතේ තිබෙන තාක් අමතක කළ නොහැකි එකක් විය. බොහෝ ස්තූති කළ ඔහු මට යළි යළිත් කියා සිටියේ ඊළඟ නිවාඩුවට ලංකාවට එන බවය. මම ඔහුට සමු දුණි. ඒ සමු දීම මම ඔහුට දෙන අවසන් සමු දීම යැයි කිසි විටෙකත් නොසිතුවෙමි.