වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




ධෝනිගේ නොකී කතාව සිනමාවට

ධෝනිගේ නොකී කතාව සිනමාවට

‘මහේද්‍ර සිං ධෝනි’ ගැන නොදන්නා ක්‍රිකට් ලෝලියකු සිටිය නොහැකිය. ඒ ඉන්දියානු ක්‍රිකට් කණ්ඩාමේ වත්මන් නායකයා වන ධෝනි ඒ තරම්ම ප්‍රසිද්ධ චරිතයක් බැවිණි. ධෝනි සිය ටෙස්ට් ක්‍රිකට් තරග ආරම්භ කළේ 2005 වසරේ ශ්‍රී ලංකාවට එරෙහිවයි. 2007 ලෝක කුසලානයේදී ධෝනි ශ්‍රී ලංකාවට සහ බංගලාදේශයට එරෙහි තරග දෙකෙහිදීම බින්දුවට දැවීගිය ක්‍රීඩකයෙකු විය. නමුත් 2011 වසරේ දී ඉන්දියාව ඔහුගේ නායකත්වය යටතේ ක්‍රිකට් ලෝක කුසලානය හිමි කරගත්තේය. අවසන් තරගය පැවතුනේ ශ්‍රී ලංකාව සමඟය. ධෝනි එක්දින තරගයකදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වන 183ක් ලබාගත්තේද අපට එරෙහිව ය. මේ නිසාම ලාංකික ක්‍රිකට් ලෝලීන් අතරද ධෝනි අමතක කළ නොහැකි චරිතයකි.

ඉන්දියාවේ ‘ජඛාන්’ ප්‍රාන්තයේ ‘රාන්චි’ නම් නගරයේ සාමාන්‍ය පවුලකට දාව උපත ලද ධෝනි සිය දක්ෂතාවයත් ක්‍රීඩාවට ඇති ඇල්මත් නිසා ඉන්දියානු ජාතික කණ්ඩායමේ නායකතත්වය කරා ගමන් කළ ආදර්ශමත් චරිතයකි. නීරාජ් පාන්ඩේ අධ්‍යක්ෂණය කළ, අරුන් පාන්ඩේ සහ ‘ෆොක්ස් ස්ටාර් ස්ටුඩියෝස්’ නිෂ්පාදනය කළ ‘ර්.ඉ ධෝනි : දි අන්ටෝල්ඩ් ස්ටෝරි’ චිත්‍රපටය ධෝනිගේ ජීවිත කතාව අළලා නිම වූවක් වන අතර එය මේ මස 30 වන දා සිට ලොවපුරා තිරගත වීමට නියමිතය.

සුෂාන්ත් සිං රාජ්පුත්, ධෝනි ගේ චරිතයට පණ පොවන අතර, හෙරී ටන්ග්‍රි සහ ෆවාඩ් ඛාන් පිළිවෙලින් ධෝනිගේ මිතුරන් වන යුවරාජ් සිං සහ විරාට් කෝලි යන ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ චරිතයන්ට පණ පොවති. කියාරා අද්වානි ධෝනි ගේ බිරිඳ සක්ෂිගේ චරිතයත්, අනුපම් ඛේර් ඔහුගේ පියාගේ චරිතයත් රඟ දක්වති. සුෂාන්ත් මෙම චරිතය රඟන්නේ ඉතා ආශාවෙන් බවත් මේ සඳහා ඔහුට බොහෝ පුහුණු වීම වල යෙදීමට සිදුවූ බවත් බොලිවුඩ් ආරංචි සඳහන් කරයි.

ධෝනි, සාර්ථක පුද්ගලයෙකු සේම කුඩා කල සිට නොයෙකුත් බාධක මැද ඉදිරියට ආ පුද්ගලයෙකි. කාලය මොහොතක් වත් නාස්ති නොකරන ඔහු සිය ක්‍රීඩාවත් අධ්‍යාපනයත් සමබරව පවත්වා ගනිමින් ඉදිරියට පැමිණි ගමන ඉකුත්දා නිකුත් වූ මෙම චිත්‍රපටයේ එන ‘බෙසබ්‍රියන්’ ගීතයෙන් පෙන්නුම් කෙරේ.

“ගමන් මඟ දිවෙයි, දෙපා පරදවමින්
අසා සිටිමු දිවියෙන්, තවත් යමක්
යන දිසා කුමට සිතමුද?
යමු යැවෙන දිසාවට
නැත ඉවසීමක්
වලාකුළු දණ නමයි නුඹහට
මතක ඇති තෙක්
නුඹේ අඩවිය
නුඹේ නිධානය
පිපාසාවෙයි නුඹට
කුමක්ද මේ අඳුර?
කිමද සොයනු ආලෝකය?
එය ඇත්තේ නුඹ තුළමය”

මනෝජ් මුන්තශීර් ගේ පද රචනයෙන් ද, අමාන් මලික් ගේ සංගීතයෙන්ද ගායනයෙන්ද නිමවූ මෙම ගීතයේ පද කිහිපයක මෙසේ දැක්වෙන අතර, ‘ඔබ දන්නා මිනිසාගේ ඔබ නොදන්නා ගමන් මඟ’ මෙම ගීතයේ තේමාව වෙයි.